Sunday, January 31, 2021

රට යකුම හෙවත් රිද්දි යාගයේ විමසුම

පහතරට නර්තන සම්ප්‍රදාය හා බැඳී ශාන්තිකර්ම අතර ස්ත්‍රීන් විෂයෙහි පවත්වනු ලබන්නා වූ එකම ශාන්තිකර්මය රට යකුම් යාගය නැතහොත් රිද්දියාගයයි. පහතරට නර්තනයෙහි පවතින ප්‍රාදේශීය ව්‍යවහාරයන් අනුව බෙන්තර ප්‍රදේශයේ දී රට යකුම යනුවෙන්ද මාතර ප්‍රදේශයේදී රිද්දියාගය වශයෙන්ද හඳුන්වනු ලබන්නා වූ මෙකී යාගය එකී ප්‍රාදේශීය භාවිතයේදී පැවැත්වීමේ අරමුණු වශයෙන් ගත් කළ සමානත්වයක් දක්වන්නෙ වී නමුදු පුද පූජා ක්‍රම, සැරසිලි සහ ඇතැම් පෙළපාලි අංගයන්ගෙන් සමානාත්මතාවයක් නොදක්වයි. බොහෝ දෙනාගේ පිළිගැනීම අනුව රට යකුම් යාගය නැතහොත් රිද්දියාගය ගර්භ සංරක්ෂන ක්‍රමයකි. කවර හෝ සමාජයක වේවා මානව සම්පත අන් සියල්ලටම වඩා වටිනා සම්පතක් ලෙස සලකනු ලබයි. මෙකී සම්පත වර්ධනය වීම කෙරෙහි සෘජු ලෙසම බලපාන සාධකය වන්නේ මාතෘත්වයයි. එකී  මාතෘත්වය හා එක එල්ලේම සම්බන්ධතාවක් දක්වන්නා වූ ශාන්තිකර්මයක් වන හෙයින් රට යකුම හෙවත් රිද්දි යාගය අනෙකුත් ශාන්තිකර්මයන්ට වඩා සාමාජීය වටිනාකමක් පැවරුණ යාතුකර්මයක් ලෙස හැඳින්විය හැකිය. එසේ හෙයින් මෙකී ශාන්තිකර්මය හා එහි චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි බොහෝ උගතුන්ගේ අවධානය යොමු වී ඇත. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා රට යකුම් යාගය හඳුන්වන්නේ "ඉතාම රසවත් අනුරූපණ පෙළපාලි දක්නට ලැබෙන එක්තරා ගැබ් පෙළහර වෙසෙසක් ලෙසිනි". 

රටයකුම් යාගය පිළිබඳ විවිධ පර්යේෂණයන්හි නියැලුණ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා ශාන්තිකර්ම සහ සිංහල සමාජය නැමති සිය කෘතියෙහි දක්වා ඇත්තේ "රට යකුම මුළුමනින්ම ගත්කල ගර්භ සංරක්ෂණ පිළිබඳ ශාන්තිකර්මයක් බවයි". එසේ වුවද රට යකුම සහ රිද්දියාගය නමැති සිය ග්‍රන්ථයේ දී මීට වඩා වෙනස් මතයක පිහිටා කරුණු ඉදිරිපත් කිරීමට තිස්ස කාරියවසම් මහතා උත්සාහ ගෙන ඇත. කාන්තාවන් වෙනුවෙන් පමණක් පවත්වන්නේ වී නමුදු මෙම ශාන්තිකර්මය සශ්‍රීකත්වය පිලිබඳ මූලික අදහස් හා බැඳී පවතින බව විවිධ සාධක ඔස්සේ තහවුරු කරන්නට එහිදී කාරියවසම් මහතා උත්සාහ ගනියි. එහිදී A.H. Krappe, The science of Folklore (1965) උපුටා දක්වමින් එතුමා ප්‍රකාශ කරන්නේ පන්දමට හා පන්දම් නැටීමට රට යකුමේ විශේෂ තැනක් ලැබී ඇති බවත් පන්දම සශ්‍රීකත්වය පතා කරන විශේෂ පූජාවකැයි යන මතය මානව විද්‍යාඥයින් අතර පිළිගැනීමකට ලක්වී ඇති බවයි. රට යකුම් යාගයේ එන රූපණ අවස්ථාවක් වන නෙලුමට යන අතරමගදී රිද්දි බිසව් ලෙස සැරසුන ඇදුරා තමාගේ සහායට යොදා ගත් පුද්ගලයා සමග කරනු ලබන කතාබහේ දී සෑහෙන තරමක් දුරට ලිංගික ඉඟි, ප්‍රකාශ වන බව ද පෙනී යන හෙයින් රට යකුම සශ්‍රීකත්ව නිරූපණය කරන ශාන්තිකර්මයක් ලෙස සැලකිය හැකි බව තිස්ස කාරියවසම් මහතා අවධාරණය කොට දක්වයි. ශාන්තිකර්ම බිහිවීමට තුඩුදුන් බොහෝ කරුණු අතරෙන් සශ්‍රීකත්වය පිලිබඳ අපේක්ෂණය වඩාත් ප්‍රබලව නැගී සිටි අවශ්‍යතාවයක්ව තිබූ බව නම් ඇත්තකි. එසේ හෙයින් එකී අරමුණ කවර ශාන්තිකර්මයක් තුළදී වුවද සෘජු හෝ වක්‍ර අරමුණක් වශයෙන් පැවති බව පිළිගත යුතුය. එසේ වුවද අතුරු අරමුණුවලට වඩා ඉහළින් නැගී සිටි සෘජු අරමුණුද ශාන්තිකර්මය හා බැඳී තිබූ බැව් අප විසින් අනුමත නොකළ යුතුය. එසේ හෙයින්,
  • දරුවන් නොමැති කාන්තාවන් සඳහා දරු ගැබ් ඇති කර ගැනීම.
  • පිළිසිඳගත් දරුගැබ් මේරීමට පෙරාතුවම අකලට ගබ්සා වී ලේ කිරිමාල ඇතිවන කාන්තාවන්ගේ එකී රෝගී තත්ත්වය පහකොට පිළිසිඳගත් ගැබ රක්ෂණය කිරීම.
  • කුස තුළ පිළිසිඳගත් දරුවන් ප්‍රසූතියට පෙර කුස තුළදී මිය යන සහ මළ දරු උපත් සිදුවන කාන්තාවන් ආරක්ෂා කොට එවැනි උපද්‍රවයන්ගෙන් එකී මවත් දරුවාත් ආරක්ෂා කර ගැනීම.
  • යහපත් දරු ප්‍රසූතියක් සඳහා ගර්භනීමාතාව මානසික වශයෙන් සූදානම් කරවීම.
යනාදී කොට ඇත්තා වූ දරුවකු කුස පිළිසිඳ ගැනීමේ සිට දරු ප්‍රසූතිය දක්වා වූ කාල වකවානුව තුළ එකී ගර්භනී මාතාවන් දරුවාත් ආරක්ෂා කරගැනීම මුඛ්‍ය අරමුණ කොට ගත් ශාන්තිකර්මයක් වන හෙයින් රට යකුම හෙවත් රිද්දියාගය ගර්භ සංරක්ෂණය මුල්කොටගත් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැලකීම යුක්ති යුක්තය. 
 

 

 
(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Saturday, January 30, 2021

බලි ශාන්තිකර්මයේ එන ගායනා විශේෂ


ශාන්ති කර්මය හා බැඳුණු පුළුල් ගීත සාහිත්‍යයක් ඇත. අංග සම්පූර්ණ වශයෙන් කරනු ලබන බලි යාගයක් පුරා දින තුනක් පැවැත්වෙන හෙයින් ඒ හා බැඳුණු ගායනයන්ගේ ප්‍රමාණය අතිමහත්ය. ඉතාම සරල නර්තනයන්ගෙන් යුක්තව ගගනය නැතහොත් මිණි ගෙඩිය වයමින් විවිධ තාල රූප අනුව ගයන එකී ගායනයන් සඳහා යොදාගනු ලබන්නේ මහාබලි පොත දසවිධ රත්නමාලය චින්තාමණී මුනිගුන මාලය ලෝක රත්නමාලය ධාතු ථූපා වංශය බුදුගුණඅලංකාරය රාගාලංකාරය චිත්තාමණි ශාන්තිය යාග සංග්‍රහය හෙවත් බලි නිධානය පොසිය ජනාලංකාරය ග්‍රහ වළල්ල ඡන්ද හරණය බලි වීදිය රාහු දමනය සූරිය ශාන්තිය නමැති කාව්‍ය ග්‍රන්ථයන්ගෙන් උපුටා ගන්නා ලද ගායනාවන් ය.
 
ඒ අනුව බලි ශාන්තිකර්මයේ එන ගායනා කිහිපයක් ලෙස,
  • ශ්ලෝක
  • ඇඹුම් කවි
  • බුදුගුණ කවි
  • කඩතුරා බලි
  • හීං සතර කවි
  • ග්‍රහපන්ති කවි  
  • සිරස පාද කවි
  • පිරිත් හුය කවි
  • කෝල්මුර ගායනා
  • බලි සැරසිලි කවි
  • බලි පුරාණයේ එන කවි
  • අවනත්තටදීමේ ගායනා
  • දෙවියන්ට පින්දීමේ ගායනා, යනුවෙන් පෙළගැස්විය හැකිය. 
දෙවියන්ට පින්දීමේ ගායනා
 
තුන් ගුණ දත් මුනිඳුගේ ගුණ රදනා
කන්කලු සුමිහිරි බස් නිති කියනා
මං ගුණ ගායනා රුසිරෙන් සොබනා
තුන් පරසිඳු ඇදුරන් කැඳවමිනා

රාවණ මෙන් සොඳ තොවිල් උගත්තු
බෝවන සඳහන් ගුණ සිය පැත්තු
රෝග දුකින් පෙලෙනා බලවත්තු
මේ ඇදුරන් ග්‍රහ පුදට නොගත්තු
 
නවග්‍රහයින් සඳහා කෝල්මුර ගායනා
 
පෑවිය ගණඳුරු දුරැර දිවාකර
ලීලය රත්පැහැ සිරවස දිනකර
මේ වන දෙස දුරලමින පෙමාකර
සූරිය දෙවිදුට වඳිමු සමාකර
 
නවග්‍රහ දෙවිඳුට
අස්න සරසා කොට
පිරි පිරිවර යකුන් හට
දෙවන් දොල පුදු මෙකි  විලසට
 
නවග්‍රහ රුසියෙකි
වඩින දෙපස නවයකි
කැටුව නව දහයකි
එර්දි ගමනින් වඩින විලසකි

නවග්‍රහ දෙවි අරා
දුම්මල පහන් පුදා කරා
රන් කවුලු දොර හැරා
වඩින් ග්‍රහ දෙවි සමග පිරිවරා  

සිරස පාද කවි

පෙර කලෙක අප බෝසතාණෝ ඉපිද මව් මායා කුසින්
දුරු හැරව හැම අන්තරා දුක් ගියේ පොකුරඹ දිය ලෙසින්
හැර නොයෙක් පස කරුම දුරු කොට මෙලොව සතහට මව්ලෙසින්  
සිරස හැම දොස සන්නි බැස යයි ලොව්තුරා බුදු අනුහසින්

එකල කන්ථක අසුගේ නගෙමින් ගොසින් නෙරංජන ගඟින්
නිමල කේෂය ධාතු කපමින් දිවස පුරයට එර්දි කරමින්
එකල දෙව්පුර දෙවිඳු රැස්වී එතන සිළුමිණ සෑය බඳිමින්
නළල හැම දෙස සන්නි බැස යයි ලොවුතුරා මුණි අනුහසින්

අපගේ සිදුහත් සන්සුන් කුමරුනි මහණ වෙමි පතා
අදම යමි සිතා සන්සුන් ගමනින් අසුට නැග ඉතා  
පැමිණ වසවත් කිව් බස් නොගෙන බුදු වෙතා
ඒ අනුහස වෙතා සුන් සුන් කොට සියලු පිරිපතා
 
පිරිත් හූයේ කවි
 
මුනිදු යමහල් වසනද සිරිලකට මුචලිදු සඳ එදා
සුරිඳු පුල්වන් දෙවිඳු එව්වෙ පිරිත් හුය මතුරා එදා
දිනිදු කුල පඬුවස් රජුගේ දිවි දොස මුදාහල රජ එදා
එබඳු අනුහස මේ ආතුරයාට පිරිත් හුය වඩමින් එදා

බුද්ධං සරණින් බුද්ධ පිරිත් හුය
ධම්මං සරණින් ධම්ම පිරිත් හුය
සංඝං සරණින් සංඝ පිරිත් හුය
මෙතුන් සරණින් වඩිමි පිරිත් හුය

විපත ගෙන දෙන ලෙසට සක්වල සමන් විභීෂණ දෙවියනේ
උපත කළ මහා සම්මතේ පෙර පවතිනා රඟ අසමිනේ
නිරත අට කොණ වැසෙන හැම දෙවි බලා දිවැසකිනේ
පිරිතවේ ඔබ අතට දෙන්නට දෙවන් අවසර දෙවියනේ 
 
කඩතිර හැරීම
 
ලකුණු බලා අපෙ මුනි බෝ මුල වැඩ සිටගෙන
දකුණු අතින් කලස දරා මිහිකත් දෙස් දෙන
ලකුණු බලා සඳ මඬලක් සේම උදාවෙන
කකුසඳ මුනි අනුහසයෙන් කඩතිර හරිමින
 
සිද්ද මුනිදු වැඩ හිද බෝ මුල විදුරාසන
යුද්ධ කරන්නට වසවතු ඇවිදින් පිනිමින
වැද්ද නොදී හැම පිරිපත දුරලා හරිමින
බුද්ධ රත්නෙ අනුහසයෙන් කඩතිර හරිමින
 
ශ්ලෝක
 
නෙත්‍යං සෝම වර්ණංච
රාක්ෂපති රූපකං
ත්‍රීශූල පාස දරන් චෛව
කාලෝක්‍යය තුරඟ වාහනං 

නීල වර්නංච පාත්‍යං
පාද සීරෝ ඔදරං
වායු රක්ෂසද පත්‍යුහ
වාස වූව නිල් එළු වාහන

බලි පූරාණය

සිතට අමාසිරි සැපදුක් දියනා
ලොවට දෙසු දම් මුණි දම් සඟනා 
වෙතට තමා කරවිත් සැම සුරනා
සතට කියන් බලි පිළිවෙල පටුනා

ඇදුරු පිරිසිදුවී සැරසී ගෙන
සොඳරු පිරුවට ඇඳ පේවී ගෙන 
ඉදුරා කී ලෙස බලිය සරා ගෙන
ඇඳුරා යාගය කරවති මෙලෙසින
 
මල් බලි
 
පෙර ඉසිවරු කීවා බස් අරගන්නේ
ඒ මුල්කොට ගෙන නිරවද වන්නේ
අක් මුල් දැන මේ යැයි පවසන්නේ
මල් බලි අස්නක් කියමු අසන්නේ
 
හත් දවසින් මුණිවැඩ ඉද එ නුවර
බලි පිරිතුත් කර රෝ දුක් දුරු කර
රෝ දුක් කරනා ලෙස හැම දුරුකර
යාග කරපු හැටි අස මල් බලි පෙර  

බලි සැරසිල්ලේ කවි

අතපය බරවා කොර බිහිරෝ ඇති
දත සුදු සෝ ගඳ දද ලෙඩ ඇති
ඇස් කිති කෙල තොළු බොල්ලෑ දත් ඇති
බලි ඇරුමට මේ ඇදුරෝ නොගනිති

අඩි ඇන දෙරණත දස දිග ගුගුරා
පැන පැන සියොලඟ දුහුවිලි තවරා
මේ රඟ නාටක හැකිනම් ඇදුරා
යමයෙකි ආතුරයන් හට හතුරා
 
බුදුගුණ ගායනා
 
නමෝ මුනිදු බුදු වෙන්නට සිරිමහ බෝ මුල උන් කල
නමෝ බුද්ධ රත්න ගුණෙන් සළු දසතුන් හට මුල් කල
නමෝ කියා සිරි හස්තය දිගු කල මුනි අනුහස් බල
නමෝ කියන පළමු පදෙන් වේය ඔබට ජය මංගල

ඇඹුම් කවි

මුදුන පටන් දෙවිවරු  අඹමි නොලෙසා
ළැමැද පටන් අඹ කන්‍යා රුව නොලෙසා
සිව් කොන සිං හතර නව ග්‍රහයින් නොලෙසා
සිව් සාලිස් වටකර උරඟුන් නොලෙසා

කක්කල් කැසි ඔක්කාරයත් කරයි නන්
පිස්සු විකාරත් අමියා කරයි නන්
හීන කරන මරු සීනෙන් පෙනෙයි නන්
දේව කන්‍යාව දුටුවම ලෙඩ ඇරෙයිනන්

මෙලෙස බලි යාගයේ එන ගායනා ලෙස ගෙනහැර දැක්විය හැකිය.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 




 
 
 

 

 
 

Monday, January 25, 2021

අත් බලිය, මල් බලිය හා ග්‍රහ පූජා පිළිබඳ ලුහුඬින්

අත් බලිය
 
කුඩා කාලයේ දී දරුවන්ට වැළඳෙන බාලගිරි දෝෂය සහ ග්‍රහයන්ගෙන් සිදුවන්නාවූ රෝග දුරු කර දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා උඩරට, පහතරට සහ සබරගමු යන සම්ප්‍රදායන් සියල්ලෙහිම අත් බලිය නම් ශාන්තිකර්මය කරනු ලැබේ. මෙම ශාන්තිකර්මය සම්බන්ධයෙන් ඇති උපත් කතාවේදී කියවෙන්නේ, 
 
"සූර්ය රශ්මිය ඉවසාගත නොහැකි වූ එක්තරා රජෙක් සූර්යයාට ශාප කරන ලද්දෙන් සුව කළ නොහැකි බලවත් හිස රුදාව හට ගත්තෙන් බලි ඇදුරන්ගේ නියමයෙන් අත් බලියක් කැප කොට දී ශාන්තිකර්මයක් කරන ලදින් සුවය ලැබූ බවත් එතැන් සිට අත් බලි ශාන්තිකර්මය පවත්වනු ලබන බවත්ය."
 
අනෙකුත් බලි ශාන්තිකර්ම වලදී මෙන්ම මෙහිදීද ආතුර නිවසට උතුරෙන් පිහිටි තුඹසක් තෝරාගෙන එය අවට පිරිසිදු කර ඒ වටා ගොක් රැහැන් ඇද සීමා කොට ගෙන සඳුන් කිරි පැන් ඉස එයින් මැටි පිඩක් කපාගෙන උඩුවියන් සහිත පෙරහැරින් හිසේ තබා වඩම්මවා ගෙන වුත් භූමි දෙවියන්ට කන්නලව් කර එකී මැටි අනා මැටි ගුලියක් තනා එය වටා ගොක් කොළ ගසා අලංකාර කරගත් බලිය සකසා ගනී. ශාන්තිකර්මයේදී සතර වරම් දෙවියන්ට කෝල්මුර කවි කියා පහන් පැලට වඩම්මා නව ග්‍රහයන්ට අදාල ගායනා කර දරුවා වෙනුවෙන් කන්නලව් කර සිරසපාද ගායනා කර සෙත් කවි ආදිය කියා දරුවා ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. ගායනයට ප්‍රධානත්වයක් දෙමින් කරන මෙම කුඩා ශාන්තිකර්මයේදී අත් බලි ශාන්තිකර්මය අවසානයේදී තැනක තබනු ලබයි. එය නිතර දර්ශනය වීමෙන් ආතුරයාට සුවයක් ලැබේ යන්න ගැමි විශ්වාසයයි. පිං බෙර ගසා දෙවියන්ට පිං දීමෙන් ශාන්තිකර්මය නිමවෙයි. 

මල් බලිය

මල් බලිය මුලින්ම පවත්වන ලද්දේ විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම සඳහා යැයි කියැවේ. ලිච්ඡවී නම් වූ රජ පරම්පරාවක් විසින් රාජ්‍ය පාලනය කළ විශාලා මහනුවරට එක් කලෙකදී මහා නියං සාගතයක් හටගත්තේ ය. මෙකී නියං සාගතය නිසා දුර්භික්ෂයක් ඇති වූයෙන් රෝග බිය පැතිර යන්නට විය. මෙකී රෝග බියත් සමගින්ම උදාවුයේ අමනුෂ්‍ය බියයි. මෙසේ තුන් බියෙන් විශාල මහනුවර වැනසෙන්නට වූ කල අසල්වැසි රටක රජකළ බිම්බිසාර රජතුමා බුදුන් වහන්සේට මේ බව දන්වා සිටියේය. බුදුන් වහන්සේ එකී විශාලා මහ නුවරට වැඩ රතන සූත්‍රය දේශනා කර යකුන් පලවා හැර නුවරට ශාන්තිය ලබා දුන් බව කියැවේ. බොහෝ සෙයින් ජනතාව අතර ජනප්‍රියව ඇති මෙකී පුරාවෘත්තය මල් බලියේ පුරාවෘත්තයටත් සම්බන්ධතාවයක් දක්වයි. බුදුන් වහන්සේ වැඩ රතන සූත්‍රය දේශනා කළ බව උක්ත කතාවේ සඳහන් වෙතත් මල් බලි උපතේ සඳහන් වන්නේ එකී විශාලා මහනුවර තුන් බිය උදෙසා මල් බලියක් කළ බවයි. මල් බලිය සඳහා ගැබ් අසූ එකක් යොදා ගත යුතුය. අසූ එකට හිමි දෙවිවරුන් අසූ එක් දෙනෙකි. හිං හතර (04) අටවිසි නැකත් (28) සැනිසැක (01) ත්‍රී මොහොත (03) අෂ්ඨ රාක්ෂ (08) දොළොස් රාශි (12) සේනාධිපති (01) තිපස්මත් දෙවිවරු (115) නවග්‍රහ (09) උක්ත ගැබ් අසූ එකට අයත් වන්නා වූ යක්ෂයින්ගේ නැකතින් රාක්ෂයන්ගෙන් රාශි පිහිටීමෙන් නවග්‍රහයන්ගෙන් ආදී කොට ඇති අපල උපද්‍රව දුරු කිරීමට නැකත් ඇදුරන්ගේ නියමයට අනුව බලි ශාන්තිය පැවැත්වූ බව පෙනේ.

ග්‍රහ පූජා
 
ඉරු ,සිකුරු ,අඟහරු ,රාහු ,කෙහෙතු ,සෙනසුරු ,සදු ,බුද ,ගුරු වශයෙන් දැක්වෙන නවග්‍රහයින්ගෙන් පැමිණෙන්නා වූ අපල උපද්‍රව දුරු කරගැනීම සඳහා ගෘහස්ථව පැවැත්වෙන ශාන්තිකර්ම විශේෂයකි. මෙම ශාන්තිකර්මය දරුවන් සඳහා වන ග්‍රහ අපල වලදී පවත්වනු ලබන්නකි. මේ සඳහා බලි ඇඹීම හෝ රූප බලි භාවිතයක් කරනු නොලබයි. ශාන්තිකර්ම භූමියේම මල් යහනක් ඉදිකරනු ලබන අතර ග්‍රහ දේවතාවන් වෙනුවෙන් සහ සතරවරම් දෙවියන් වෙනුවෙන් මල් පහන් පූජා කිරීම සිදුවන්නේත් භෝජන කැපකර දෙන්නෙත් මෙකී යහන මත තබාය. නර්තනය සඳහා අවධානයක් නොදක්වන අතර ගායනයට ප්‍රමුඛ තැනක් ලබාදෙයි. බුදුගුණ ගී ගායනයටත් ග්‍රහපන්ති ගායනයටත් සිරසපාද සහ සෙත් කවි ගායනයටත් මෙහිදී ප්‍රමුඛතාවක් ලැබේ. බුදුන්, දහම්, සඟුන් වෙනුවෙන් නමස්කාරයෙහි පිහිටා පන්සිල් ගෙන සතරවරම් දෙවිවරුන්ට සහ ග්‍රහ දේවතාවුන්ට යහනට වඩින ලෙස කෝල්මුර කවි කියා මල් පහන් පිළිගන්වා ආතුර දොස් මුදා දෙන මෙන් බැගෑපත් ලෙස ඉල්ලා සිටිනු ලැබේ. උඩැක්කිය ද අත්මිණියද ඇතැම් අවස්ථාවල දී යොදා ගන්නා අතර අනෙකුත් සාම්ප්‍රදායික වාදන භාණ්ඩයක් ද භාවිතා කෙරේ. සහභාගීවන ඇදුරන් ගණන සීමිතය. බොහෝ අවස්ථාවල දී ග්‍රහ පූජා පැවැත්වීමේදී එක් ඇදුරෙක් බෙරකරුවෙක් සහ එක් අතෝරකරුවකු මෙකී කාර්යයට ප්‍රමාණවත් ලෙස සැලකේ.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006 

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

Sunday, January 24, 2021

බලි යාගයේ පූජා විධි රටාව

බලි නිර්මාණකරණය සරල ක්‍රියාවක්‌ නොව එකිනෙක බැඳුණු සංකීර්ණ ක්‍රියාවලියකි. පොත පතේ සඳහන් වන ආකාරයට මෙන්ම ජනප්‍රවාදයේ පවතින ආකාරයටත් බලි නිර්මාණය හා සම්බන්ධ ක්‍රියාවලිය පිළිවෙළකට මෙසේ හඳුනාගත හැකිය.

* බලි මැසි නැගීම හෙවත් මැසි බැඳීම

* බලි මඩුව තැනීම

* තුඹස පේ කිරීම

* මැටි පදම් කිරීම

* මැටි අතින් පේ කිරීම.

* අත් බලිය සෑදීම

* බලිය ඇඹීම

* වර්ණ ගැන්වීම

* නේත්‍රා තැබීම

* බලි නැගී සිටුවීම හෙවත් කෙලින් සිටුවීම වශයෙනි.

බලි ශාන්තිකර්මය කිිරීමට පෙර බලි කප සිටවනු ලැබේ. එයින් කෙරෙනුයේ ග්‍රහයන්ට පොරොන්දු වීමකි. ඉන්පසු ශාන්තිකර්මය ඉටු කිරීමට කලින් බලි මඩුව සෑදීම සඳහා එම ස්ථානයට පැමිණේ. වෙනත් මඩු ශාන්තිකර්මයක දී ඒ සඳහා යොදාගනු ලබන  රඟමඬල හෙවත් මඩුව සාදනුයේ නිශ්චිත දිග පළලක් සහිතවයි. දිගින් සැට රියනක් සහ පළලින් තිස් රියනක් ලෙස ගැනෙන එකී භූමි ප්‍රමාණය බලි ශාන්තිකර්මය සඳහා අදාළ නොවේ. බොහෝ විට මෙය ගෘහස්ථ කරනු ලබන්නක් වන හෙයින් මඩු කූඩාරම් ඉදි කිරීම සිදු නොකරන අතර විශාල බලි යාගයක් පැවැත්වීමේදී ආතුර ගෘහයේ ඉඩකඩ නොමැති අවස්ථාවකදී නම් ඒ සඳහා මඩුවක් ඉදි කරනු ලබන අතර එකී මඩුව ද අවශ්‍යතාවයට සලකාගෙන කරනු ලබන්නකි. එසේ වුවද මෙකී මඩුව උඩට උඩුවියන් බැඳ නව කොළ අතු එල්ලා වටේට ගොක් කොළ එල්ලා සැරසිලි යොදා අලංකාර කොට සරසා ගනු ලබයි. මෙකී යාග මණ්ඩපය පිරිත් සජ්ඣායනය සඳහා සකස් කළ මණ්ඩපයක ස්වරූපයක් ගනු ලබන්නේ යැයි කිවහොත් එය නිවැරදිය. ආතුර ආසනයේ දෙපසත් බලි මණ්ඩපයෙ සිව් කොනහිත් පුන්කලස් තබනුයේ සෞභාග්‍යය සංකේතත්වයක් වශයෙනි.

ඇඹීම සඳහා මැටි තෝරා ගැනීමේදී හුඹස්‌ මැටි වඩාත් සුදුසුම මැටි ලෙස සැලකෙන අතර බොහෝ විට යාග භූමියට උතුරු දෙසින් පිහිටි තුඹසකින් තෝරා ගැනීම සම්ප්‍රදායකි. මැටි පේ කිරීම සිදුවන්නේ මැටි කැපීමට පෙර දිනය. තුඹස වටා ගොක්‌ රැහැන් ඇද සරසා පුද සත්කාර කරන්නේ මේ පළමු දිනදීමය. මෙය මැටි පේ කිරීම යනුවෙන්ද හැදින්වේ.

බලි මැසි නැගීම හෙවත් මැසි බැඳීම බලි ශාන්තිකර්මය හා සම්බන්ධ ආරම්භක කාර්යයයි. නියමිත ග්‍රහයන්ට අනුව බලියේ ප්‍රමාණයට ද අනුව ප්‍රමාණවත් මිමි ගණනය කිරිමෙන් මැසි සැකසීම සිදු කරයි. බොහෝ විට ඔත්තේ සංඛ්‍යා වලින් මෙම මිමි යොදා ගැනීම විශේෂත්වයකි. බලි හා බැඳුණු ඇඹුම් කවි වලින් බලි මැසි බැඳීම පිළිබඳ විස්‌තර කරුණු හඳුනාගත හැකිය.

"උසින් එකොළොස්‌ වියන් පළලින් වියත් පමණක්‌ මැස්‌ස ගන්නේ. හොඳින් ඇදුරා පේව දත මැද ගෙයක්‌ පිරිබඩ ලමින්නේ.".........

බලි නිර්මාණයේ මූලිකම කාර්යය බලිය ඇඹීමයි. ඇදුරෙකු විසින් මැටි පිඩක්‌ ගෙන තුන්වරක්‌ හිස වටා කරකවා මැස්‌ස මතට දැමීමත් සමඟ සම්ප්‍රදායානුකූලව ඇඹීම ආරම්භ කරයි. ආරම්භයේදී තෙරුවන් ගුණ සිහිකිරීම ද බොහෝ දුරට සිදුවේ. ලාංකේය බලි ශාන්තිකර්මය පුරාම මේ ආගමික නැඹුරුව ද හඳුනාගත හැකිය. එය පොතපතේ ද සඳහන් වෙයි. විනී විතාරණ මහතා එය සඳහන් කරන්නේ "බලි යාගය මෙන්ම ඇඹීම ද ආරම්භ කරන්නේ තෙරුවන් සිහි කිරීමෙනි. බලි රඟමඬලක්‌ වනාහි යම්තාක්‌ ප්‍රමාණයකට පිරිත් මණ්‌ඩපයක අනුකරණයකැයි තිරසරව පිළිගත හැකිය" යනුවෙනි. (විනී විතාරණ - බලි යාගය)

ඇතැම් බලි ශාන්තිකර්ම සඳහා විශාල බලි සාදාගන්නා බැවින් පොල් පරාල වැනි ශාක්‌තිමත්, දැව ද මැසි බැඳීමට යොදා ගනී. පොල් පිති පතුරු ගෙන හරහට තබා බඳියි. බලි මඩුව සකසා ගැනීම ඊළඟ මූලික කාර්යයි. මෙයද බලියේ උස්‌ මිටි ප්‍රමණයට අනුව පරිමාණයට සාදා ගනී. බලි ඇදුරකුගේ මුල්ම ප්‍රධාන කාර්ය ලෙස සැලකෙන්නේ මැටි පේ කිරීමයි. මෙහිදී බොහෝ විට ප්‍රධාන ඇදුරෙක්‌ සහභාගි වීම චාරිත්‍රයකි. සුදු පිරුවට ඇඳගත් ඇදුරා සුදු හඳුන්, පොල්කිරි. අමු කහ, කල්ක ආදිය මුසු කරන ලද කහ වතුර මතුරා ඉසියි. බලිය සම්බන්ධ මුල්ම වැදගත් කාර්යය ලෙස මෙය සැලකෙන බැවින් බොහෝ විට එය නැකතට සිදු කරයි. බලි ඇඹීම ආරම්භ වන්නේ මින් පසුවයි. මුලින්ම මැටි තටුවක්‌ මැස්‌ස මතට දමා ඒ මත රේඛාවෙන් බලිය නිර්මාණය කරයි. අනතුරුව ඇඹීම ආරම්භ කරයි. බලි නිර්මාණය ඇතැම් විට ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්‌ විය හැක. එසේ වන්නේ බොහෝ විට බලියේ ස්‌වරූපය අනුවය. ඇතැම් බලියකට මුහුණු සිය ගණනකි. මහා නීල රාක්‍ෂ බලිය එවැන්නකි. තවද ප්‍රධාන බලියට අමතරව පරිවාර වශයෙන් ද බලි රූප නිර්මාණය කරයි. ඒ අනුව ප්‍රධාන බලියට පරිබාහිරව සිංහ, නාග, ඌරු, අස්‌, ගොන් මෙන්ම ඇතැම් විට නර රූපද, නව ග්‍රහයන් හා සම්බන්ධ පුන්කලස්‌, සංඛය, චාමරය, පොත, ලතාවැල, බඳ වෙළුම, අංකුස ආදිය ද චිත්‍රනය කිරීම බොහෝ දුරට සිදුවේ. තවද ප්‍රධාන බලියට අමතරව බලි මැස්‌සේ සිව්කොනේ යක්‍ෂ රූප චිත්‍රනය කිරීම ද සිදුවෙයි. බොහෝවිට ප්‍රධාන බලියට අමතරව මංගල සංකේත නිරූපන බලි ආදී සෙසු බලි චිත්‍රනයෙන් නිම කර ගැනීම ද සිදුවෙයි.

බලියක්‌ ඇඹීමේදී බොහෝ විට ශිල්පීන් කිහිපදෙනෙකු සම්බන්ධ වීම වැළැක්‌විය නොහැක. එසේ වුවත් ඇතැම් පොතක සඳහන් වන්නේ මූර්තිය ආරම්භයේ සිට වර්ණ කිරීම දක්‌වා සියලු කටයුතු එක්‌ අයෙකු විසින් සිදු කිරීමේ පිළිවෙතක්‌ ද පවතින බවයි. බලි රූප නිරූපනයේදී ඒ ඒ බලියට නියමිත හැඩය ලබා ගැනීම ඉතා වැදගත් කාර්යයකි. මෙහිදී සාම්ප්‍රදායික ශිල්පීන් සිය මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල යොදා ගනිමින් අපූරුවට එය නිම කිරීමට සමත් වෙයි. මේ ආකාරයට බලියට අදාළ මුහුණ ඉතා හොඳින් මතුවන ආකාරයට නිම කිරීම "ත්‍රිමාන්" ලෙස ද, සාමාන්‍ය ලෙස මතු කිරීම "බිමාන්" ලෙස ද හඳුන්වයි. මෙය නූතන චිත්‍ර මූර්ති කලාවේ භාවිත "ත්‍රිමාණ" සහ "ද්විමාන" නිරූපනයමය.

බලි ඇඹීම පිළිබඳ කියෑවෙන කවි තුළින් ඒවායේ නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා ගත හැකිය. "කාල මූර්ති බලිය" පිළිබඳ ඇඹුම් කවියක්‌ මේ ආකාරයට හඳුනාගත හැකිය.

"පසන් මුවින් බබලන අත් දහසකි

ඔටුනු දැරූ රජ රන්වන් පාටකි

අඹනුය උඩුකර නැගි සිය යහනකි

දස අත වෙළුනයි සර්වාභරණෙ කි"

දිසානායක මුදියන්සේ: සමජ සංහිතා බලියාග විචාරය: සෞන්දර්ය කලා වි. වි. පර්යේෂණ හා සන්නිදර්ශන කමිටුව)

බලි නිර්මාණය පිළිබඳ කවි බොහෝ ඇතත් ඒවායින් බලිරූප වල මිමි ප්‍රමාණයන් පිළිබඳ හඳුනාගත හැක්‌කේ ඉතා අල්ප වශයෙනි. "විස්‌කම් බලියේ" ඇඹීමේ මිමි ප්‍රමාණයන් දක්‌වා ඇත්තේ මෙසේය.

"දෙව්රුව නියම උස

නමයට බෙදා එක ලෙස

ඉන් එක මුව පෙදෙ ස

දිගින් පුළුලින් ගනුව මෙලෙස"

බලිය අඹා නිම කිරීමෙන් පසු මීළඟ කාර්යය වන්නේ වර්ණ කිරීමයි. බලියේ අලංකාරවත් බව මෙන්ම සෞන්දර්යාත්මක ගුණය වඩාත් තිව්‍ර වන්නේ බලිය වර්ණවත් වීමත් සමගය. බලි වර්ණ ගැන්වීමේදී සායම් ස්‌වභාවික ද්‍රව්‍යයන්ගෙන් සාදා ගැනීම සාම්ප්‍රදායික ක්‍රමයයි. මෙහිදී සුදු. කලු, කොල, නිල්, තැඹිලි, දුඹුරු, ඇඳුරු සුදු රන්වන් යන වර්ණ බහුලව යොදා ගනී. එසේ වුවත් මෙම වර්ණ බලි සඳහා යොදා ගත්තේ ඒ ඒ ග්‍රහයන්ට විශේෂ වූ වර්ණ පිළිබඳ සැලකිලිමත් වෙමිනි. වර්ණ සාදා ගන්නා ක්‍රමය බෙහෙවින් සම්ප්‍රදායකය. සුදු වර්ණය සකසා ගත්තේ මකුලු මැටි වලිනි. කොල වර්ණය සකසා ගත්තේ අත්තන මදටිය, මිදෙල්ල, කොහොඹ ආදී ශාකවල කොළවල යුෂ වලිනි. පොල්කටු අඟුරු. කුඩුකර පෙරා ගැනීමෙන් කළු වර්ණය සකසා ගති. කහපාට සඳහා ගංගා අසබඩ ඇති පස හෝ කෑමට ගන්නා කහකුඩු යොදා ගනී. මේ ආකාරයට සාදා ගන්නා වර්ණ වලට අමතරව ඔලිද, මදටිය ආදී ඇට වර්ග ද බලියේ අලංකරණ කාර්යයන් සඳහා යොදා ගනී. වර්ණ ගන්වන තෙලිකූර සකසා ගැනීම ද ඉතා සම්ප්‍රදායිකවම සිදුවන අතර පොල්, හන, කිතුල් ආදී කෙඳි මගින් එය සකසා ගනී.

මෙහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ බලි සිටුවීමයි. මෙය ඇතැම් පළාත් වල බලි ඇල්ලීම යනුවෙන්ද හැඳින්වෙයි.මෙහිදී සකස් කරන ලද බලි සිටුවීම සඳහා කණු දෙකක් සිටුවා ඒ දෙක යා කොට දණ්ඩක්  බැඳ ගනු ලබයි. මෙකී දණ්ඩට හේත්තු වන සේ අංශක 45 ක පමණ කෝණයකින් බලි රූප හේත්තු කර සිටුවා තබනු ලැබේ. මෙම රූප වලට යටින් එහි පාමුල භෝජනය තැබීම සඳහා  සුදුසු  වන සේ ලී පට්ටා සහ කෙසෙල් පතුරු යොදාගනිමින් ආසනයක් ඉදිකරනු ලබයි. ඌව ප්‍රදේශයේ දී පවත්වන බලි යාගයේ දී භෝජන තටුව අභියස පොල්ගෙඩි නවයක් සහ කෙසෙල් බඩයෙන් කපා ඇතුළත හාරා වංගෙඩියක් මෙන් සකස් කළ හාල්, කහ, පඬුරු ආදිය දමා මුහුණත වැසූ "කලස්" නමින් හඳුන්වන පූජා උපකරණ නමයක් ද තබනු ලැබේ. එකී ප්‍රදේශ වල බලි මඩුව හඳුන්වන්නේ පන්තලය නැමැති පාරිභාෂිත පදයෙනි.

බලි ශාන්තිකර්මයක දී ශාන්තිකර්ම ආරම්භ කිරීමට ප්‍රථම සඳුන් කිරි පැන් ඉස යාග භූමිය පවිත්‍ර කර ගැනීම සිරිතකි. බලිය පටන් ගැනීමට පෙර කඩතුරාවක් අඳිනු ලැබේ. කඩතුරාව අල්ලා ආතුරයා ලවා පහන් පත්තු කරවා බලි ඇදුරෝ පන්සිල් ගනියි. ඊට පසු නානු තැටියක් තනා නානු ගනු ලැබේ. නානු ගෑමේදී තුණුරුවන් ප්‍රධාන කොටගෙන ශ්ලෝක කියති. නානු ගෑමෙන් පසු අලංකාර ලෝක ස්ත්‍රෝත්‍ර ගායනා කරති. මෙහිදී පිරිත් නූලක් ගෙන බුලත් හා රතු මල් ඉත්තක් ඔතා එයට ශ්ලෝක කියා ආතුරයා අතට දෙනු ලැබේ.

ඉන්පසුව බලි වලට දිෂ්ටි කර කඩතුරාව හැරීම සඳහා නැටුම් කොටසක් කරති. ඉන්පසු පැන් වැඩීම කරයි. තොල්බෝ, හීරැස්ස, පොල්, දිවි, කදුරු, හීනටි සහල්, දෙහි තබා ඒවාට කවි කියා නටති. මඩුපුරය ඒ නම් බලියේ උපත කරනු ලැබේ. මීට පෙර බලි ඇඹුම් කියති. බලි මඩුපුරයෙන් පසු එක් එක් බලිය ආතුරයාට හඳුන්වාදීම කරති. ඒ සඳහා පන්තිස් බලි කියනු ලැබේ. ඒවායේ ද අඩංගු වනුයේ බුදු ගුණය. අවසානයේ විශාලා ශාන්තිය කරයි. පිරිත් හුය බලියේ ගසා විශාලා ශාන්තිය අවසානයේ දෙවියන්ට පින් දෙන කවි කියති. ඊට පසු පිරිත් දේශන කියමින් ආතුරයා ගෙට රැගෙන යයි. පසුව බලිය ගැලවීම (ඉලිප්පීම) කරයි. මන්ත්‍ර ක්‍රියා අවසාන කර පිං බෙර වැයීමෙන් පසු යාගය අවසන් වේ.

තුන ගුණ දත් මුනිදුගේ ගුණ    රඳනා
කන්කලු සුමිහිරි බස් නිති       කියනා
මන්ගුණ ගායනා රුසිරෙන් සොබනා
තුන් පරසිදු ඇදුරන් කැඳ          වමිනා

රාවණ මෙන් හොඳ තොවිල් උගත්තු
බෝවන සඳහන් ගුණ සිය          පැතු
රෝග දුකින් පෙලෙනා බල      වත්තු
ඇදුරන් ග්‍රහ පුදට              නොගත්තු   

(තොරතුරු , ගුරුවරු , පොත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006 

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

Saturday, January 23, 2021

බලි වර්ග

දේශීය වශයෙන් පවතින බලි යාග කර්ම ඒවායේ අන්තර්ගත ඇතැම් ලක්ෂණ නිර්ණායක කොට ගනිමින් කොටස් කිහිපයකට වර්ග කර දැක්විය හැකිය. ඉන් ප්‍රධානතම වර්ග කිරීමට දැක්විය හැක්කේ බලිය නිර්මාණය කිරීමේ ශිල්පීය ක්‍රමය පදනම් කොට ගෙන කරනු ලබන බෙදා වෙන් කිරීමයි. ඒ අනුව ඇඹුම් බලි සහ රූප බලි යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි.


 

ඇඹුම් බලියක් යනු පොල්පිති වෙනත් ආකාරයක ශක්තිමත් කෝටු හෝ පට්ට යොදාගෙන සකස් කරන ලබන මැස්සක හුඹස් මැටි පදම් කොට ගෙන එයින් අදාල රූපය අඹා වර්ණ කර ගැනීමෙන් සකස් කරගනු ලබන අර්ධ උන්නත රූප විශේෂයකි. රූප බලි යනු රෙද්දක හෝ කැන්වසයක තෙල් සායම් හෝ බලි සායමින් අඳිනු ලබන ද්විමාන රූපයකි. මෙකී පුද පූජා සඳහා යොදාගනු ලබන්නේ එකී තලරූප යයි.මෙකී ඇඹීම හෝ ඇදීම නිදහස්ව තමන්ගේ අභිමතය පරිදි හෝ කළ හැකි කටයුත්තක් නොවේ. එහි ප්‍රමාණ අංශ ලක්ෂණ දිසා වර්ණ ආයුධ ආදී කොට ඇති මූලික තොරතුරු නිශ්චිත කොට දක්වන්නා වූ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් එකී කලාව හා බැඳී ඇත. බලියක නැතහොත් බලි මැස්සක දිග පළල ගණනය කරන්නේ වියත නමින් හැඳින්වෙන පැරණි මිනුම් ක්‍රමය යොදා ගනිමිනි. මෙහිදී වියත් පහක් පළල වියත් දහයක් උසට සිටින සේ බලි මැස්ස සකසා ගැනීම සාම්ප්‍රදායික ක්‍රමවේදයයි. ඇතැම් විශාල බලි මැස්සක් වියත් පහළොවක් පමණ වන අවස්ථාද ඇත. එවැනි අවස්ථාවලදී බලි මැස්ස ඉදිකිරීමේදී ශක්තිමත් පොල් පරාල දෙකක් පදනම සේ යොදා ගනු ලබන අතර බලි මැස්ස යටින් එකී පරාල එලියට අඩි තුනක පමණ ප්‍රමාණය සිටින සේ මැස්ස සකස් කිරීම සිරිතකි. එසේ එළියට නෙරා ආ කොටස බලි කකුල් ලෙස හැඳින්වෙයි. බලිය ඇඹීම සඳහා අදාල විධි නියමයන් දැක්වෙන ගායනා ඇඹුම් කවි ලෙස හැඳින්වේ.

දියත් නා පිරුවට අඳිමින් නොයෙක භෝජන        බුදිමිනා
වියත් බර නැග පුළුල් අඩුකොට සිව් වියත් මැන පුළුල් ඉනා
දියත් නා මැටි අනා සුවඳින් අසා වස්ත්‍ර බරණින්     ගෙන්වා
කියත් පෙර සිට පැවති සිරිතකි නව ග්‍රහයින් නව      දෙනා

දකුණු දිග් භාගයට මුහුණලා සිටුවමින් ආතුර      සොයන්නේ
දකුණු හස්තය සුමුදු වර්ණය සමන් දෙවි රජ පලක්     දුන්නේ
දකුණු දෙස සිටුවමින් ආතුර මුවන්ලා              සිටුවමින්නේ
දකුණතින් ගොස් වන් දෙසේ සිට නමෝ සිහිකර මැටි තබන්නේ 

මෙසේ අඹනු ලබන බලියට පස් ගැනීමේදී තුඹස අවට පිරිසිදු කර කහ දියර ඉස එකී තුඹසෙන් මැටි කපා ගනු ලබන අතර එම තුඹස ආතුරයාගේ ගෙට උතුරු දෙසින් පිහිටි තුඹසක් වීම අත්‍යවශ්‍ය සාධකයක් ද වේ. බලි ඇඹීම සඳහා ස්ථාන නමයකින් පස් සහ ජලය ලබා ගත යුතු බව පාරම්පරික නියමය වන හෙයින් ඒ සඳහා අවශ්‍ය හුඹස් මැටි ස්ථාන නමයකින් ලබාගෙන එකට මිශ්‍රකර ස්ථාන නමයකින් ගෙන ජලයට කහ දියර මිශ්‍රකර බලි ඇඹීමට අවශ්‍ය මැටි අනා ගැනීම කරනු ලබයි. මේ සදහා තුඹස් මැටි යොදා ගනු ලබන්නේ ඒවායේ ගල් බොරළු නොමැතිවීමත් හොඳින් අනා පදම් කර ගැනීමට ඇති හැකියාව නිසා බව පෙනේ. මෙහිදී අනාගත් මැටි පේ කර ගැනීමත් ද කළ යුතුය. එහිදී බලි ඇදුරා ඉතා පිරිසුදුව පේ වී සිටිය යුතු වන අතර අළුයම කපුටන් හඬලන්නට පෙර බලි මැස්සට පේ කරන ලද මැටි ගුලිය දැමිය යුතුවේ. මැටි පේ කිරීමේදී ඇදුරා නව ග්‍රහයන්ට යාඥා කොට ආතුරයාට සෙත් ශාන්තියක් ඉල්ලා සිටින අතර තමාට ද යාගය අවසන් වනතුරු සියලු රැකවරණය සහ ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි.


 

රූප බලි වශයෙන් ගැනෙන බලි වශයෙන් ග්‍රහ බලි නවය නැකත් බලි සත් විස්ස රාශි බලි දොළස රකුසු බලි අට සින් බලි සතර සහ පක්ෂ බලි පසළොසය. අතීතයේ දී බලි ක්‍රම අසූහාර දහසක් පැවති බව කියැවේ. ඇතැම් තැනකදී කියවෙන්නේ බලි හැත්තැදාස් හත්සිය හතක් පැවති බවයි. එසේ වුවද අද්‍යතනයේ දී බලි ඇදුරන් අතර ප්‍රචලිතව ඇත්තේ පන්තිස් බලය හෙවත් ප්‍රධාන බලි තිස්පහකි. එක් එක් ප්‍රාදේශීය ප්‍රභේදයන් අනුව සලකා බැලීමේදී ක්‍රම තිස්පහ යන සීමාව ඉක්මවා යනු ලබන බව පෙනී යන හෙයින් පෙර දැක් වූ පුවත් ඇතැම් විට අතිශයෝක්ති වර්ණනා නෙවෙිය හැකිය.

අත් බලි                 දෙවි බලි                 වාස බලි                 නක්ෂත්‍ර බලි         අට රාක්ෂ බලි     

මංගල බලි            සක බලි                  අන්ත බලි              කුළු බලි                 බත් බලි 

නර බලි                 පක්ෂ බල               රාශි බලි                 රූප බලි                 මඩු බලි 

යාග බලි                හිං බලි                   යන්ත්‍ර බලි               මාංශ බලි              යුග බලි 

ත්‍රීති බලි                 චක්‍ර බලි                 ප්‍රතිමා බලි               වෙඩි බලි               කඩ බලි

යක් බලි                 දාස බලි                   වැලි බලි                   වරුස බලි             දින බලි 

හීං හතර බලි        කළ්‍යාණ බලි         අශ්ඨ බලි                පිස්සු බලි               මල් බලි

බලි ඇඹීමේ දී එක් එක් බලි වල ස්වභාවය අනුව වර්ග කර දැක්වීමක් ද කරනු ලැබේ. දේව, රාක්ෂ, මංගල්‍ය, කන්‍යා, නර, සන්ධ්‍යා, දින, එන්ද්‍රෂ්ටක, වේද, සින්, ප්‍රේත, භූත යනාදි එකිනෙක බලි රූ නිර්මාණයේදී එකිනෙක බලියට යෝග්‍ය වන ආකාරයට අනුව දේවාංග භූතාංග සහ නරංග පිහිටුවීමේ දක්ෂතාවයක් බලි ඇදුරාට තිබිය යුතුය.විවිධ පදනම් අනුව බලි වර්ග කිරීමේදී,
 1.අත්, යාත්‍රා, ආකාශ, දින, දිනතිථි, ග්‍රහ, ක්‍රීඩා, ඕලාන්ත, අහස්, කුසුම්, කුජදින, සිංහගති, භූමි චක්‍රාවාට, පූප වර්ග, නිධාන, ත්‍රිකූට, රාහු, සන්නි ...............
2.යක්ෂ, ප්‍රේත, සූනියම්, ග්‍රහ, දොල, සුර, අසුර, නාග, රජ, නර, ගජ, පාප, දිවි, භූත...........
3.වැලි, මල්, යුග, කඩ, ග්‍රහ, වරුසෙට, බත්, මැටි.............
යන ආකාරයෙන් විවිධාකාර වූ බලි ක්‍රම පවතින බව ජේ. ඊ. සේදරමන් මහතා පෙන්වා දී ඇත. 

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006 

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

Friday, January 22, 2021

බලියේ උපත

 බලි යන පදයෙහි අරුත දේව යක්ෂාදීන්ට දෙනු ලබන පිදේනිය, යාගය ශාන්තිකර්ම වලදී අඹනු ලබන රූප යනුවෙන් දැක්විය හැකිය. බලි යාගය සම්බන්ධයෙන්ද අනෙකුත් ශාන්තිකර්මයන්හිදී මෙන් ඊට සම්බන්ධ උපත් කතා ඇත. ඒවායින් වඩාත් ප්‍රචලිත උපත් කතා දෙකක් මතු දැක්වෙයි.

''ලෝකයේ ප්‍රථම රාජ්‍ය පාලකයා වූ මහා සම්මත රජතුමා තමාගේ ඇඟ මතට සර්පයෙක් වැටෙනු සිහියෙන් දැක එය කෙරෙහි බියට පත්වී රෝගාතුර විය. මේ සඳහා කොතෙක් ප්‍රතිකාර කළත් රෝගය සුව වූයේ නැත. මේ බව පවසා සිහින අරුත විමසූ කල ඔවුන් ප්‍රකාශ කළේ මහා සම්මත රජතුමාට ග්‍රහ දෝෂයක් වැළඳී ඇති බවත් ඒ වෙනුවෙන් ග්‍රහයින් සඳහා බලි යාගයක් පැවැත්විය යුතු බවත්ය. එහිදී බොහෝ දෙනා එක්වී බලි තනා පේ කර මහා සම්මත රජු වෙනුවෙන් ග්‍රහ දෙවියන් උදෙසා බලි යාග ශාන්තිකර්මයක් කරන ලද්දෙන් රජුට සුවපත් විය.''

අනෙකුත් කතාවෙන් කියවෙන්නේ ලිච්ඡවී නුවර ලිච්ඡවී කුමාරයෙකු හා සම්බන්ධ පුවතකි.''එක් කලෙක විශාල නම් වූ නුවර ලිච්ඡවී නම් රජ පරපුරෙහි එක් රජ කුමාරයෙකු තමන්ගේ පිරිවර සමග ජල ස්නානය සඳහා යනුයේ එක්තරා විලකට බැස සිත් සේ ජල ක්‍රීඩා කරමින් සිටින්නේ එකී විල අසබඩ නුග රුකක සිටී වෘක්ෂයට අධිගෘහිත යක්ෂයා කෙරෙහි කිසිදු ආකාරයක ගරුසරුවක් දැක්වීමක් නොකළේය. මෙයින් කෝපයට පත් එම යක්ෂයා එම කුමරුවන් ස්නානය කරමින් සිටියදීම ක්ලන්තයට පත් කළේය. කළ යුත්තේ කුමක්දැයි නොදැන වික්ෂිප්තභාවයට පත් වූ කුමරුගේ සහචරයෝ සිතට නැගෙන සිතුවිලි අනුව කටයුතු කරන්නේ කැලයෙන් මල් නෙළා ගෙනවූත් ආයුබෝ වේවා කියමින් කුමරු මතට විසි කළහ. එයින් තරමක සුවයක් ලැබූ කුමරු පිරිස සමග ආපසු මාලිගයට යන්නට තරම් ප්‍රමාණවත් කාය ශක්තියක් ලද්දේය. මෙම පුවත ඇසූ පිය රජතුමා වේදය දත් බමුණන‍ෙ ගෙන්වා ඒ පිළිබඳ විමසූ කළ කාල කේන්ද්‍රයට අනුව ගණනය කර බලන්නේ මේ නම් යක්ෂ දෝෂයකැයි නිගමනය කර අසූ එක් ගැබකින් යුත් මල් බලියක් සාදා එය යකුට පුද දෙන ලෙස උපදෙස් දුන්හ. මාලිගාවේ යාගයක් කොට බලිය පොකුණට කැප කරන ලදින් කුමාරයා සුවපත් විය.'' බලියාග මෙසේ උපත ලද අතර ප්‍රථම කොට පළමුවන ලද්දා වූ මල් බලය සහ වැලි බලය එය වේ යැයි ජනශ්‍රුතියේ කියවේ. 

බලි වර්ග පිළිබඳ සටහනක් සමඟින් පසුව හමුවෙමු.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Wednesday, January 20, 2021

බලි ශාන්තිකර්මයේ විකාශය

 

රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කෙහෙතු යනුවෙන් දැක්වෙන නවග්‍රහයන්ගෙන් සිදුවන්නා වූ අපල උපද්‍රව දුරු කරගැනීම සඳහා කරනු ලබන බලි ශාන්තිකර්මය උඩරට, පහතරට සහ සබරගමු යන සම්ප්‍රදායන් තුනට අයත් වූ ශාන්තිකර්මයකි. මීට අමතරව වශයෙන් නුවරකලාවියේ සහ ඌව ප්‍රදේශයද එකී ප්‍රදේශයට ආවේණිකව පවත්වනු ලබන්නා වු බලි ශාන්තිකර්ම සම්ප්‍රදායන්ද ඇති හෙයින් අප රටෙහි,

  • උඩරට බලි ශාන්තිකර්මය
  • පහතරට බලි ශාන්තිකර්මය
  • සබරගමුව බලි ශාන්තිකර්මය
  • ඌව බලි ශාන්තිකර්මය
  • නුවර කලා කලාවියේ බලි ශාන්තිකර්මය

යනුවෙන් සම්ප්‍රදායන් පහකට අයත් වන්නා වූ බලි ශාන්තිකර්ම විධි ව්‍යවහාරයේ ඇත. මෙකී සම්ප්‍රදායන් පහට අයත් බලි ශාන්තිකර්ම අතර පොදු සමානත්වයක් දක්නට ලැබෙන අතර ඇතැම් චාරිත්‍ර විධි අතින් ද යොදා ගන්නා වාදන භාණ්ඩ ගායනය සඳහා යොදාගනු ලබන නාදමාලා වැනි ඇතැම් සාධක මත එකිනෙක විසින් තම සම්ප්‍රදායට අදාල අනන්‍යතාවක් පවත්වා ගනු ලබන බවද පෙනේ.

  • පැවැත්වීමේ අරමුණු
  • යොදා ගනු ලබන්නා වූ ගායන හා බැදි ගීත සාහිත්‍යය
  • අඹනු ලබන රූප හෝ අඳිනු ලබන චිත්‍ර 
යනාදි වශයෙන් මූලික ලක්ෂණ සලකා බලන කල මෙකී සම්ප්‍රදායන් සියල්ලෙහිම පොදු සමානත්වයක් දක්නට ඇත.

මිනිසාගේ පැවැත්ම කෙරෙහි ග්‍රහ වස්තූන්ගේ බලපෑමක් ඇති බව අනාවරණය කරගනු ලැබූයේ මෑත යුගයේදී නොවේ. ලෝකයේ සෑම රටකම පාහේ ග්‍රහවස්තු පිදීම් සිරිතක් කොට ගෙන තිබූ බව සමාජ විද්‍යාඥයින්ගේ පර්යේෂණයන්ගෙන් සනාථ වී ඇත. ලෝකයේ පැරණිම සංස්කෘතිය ලෙස සලකන සුමේරියානු, පැපිලියානු සහ හොවැංහෝ, යැංසිකියෑං, නයිල් නිම්න සහ ඉන්දුනිම්න වැනි ගංගාධාර ශිෂ්ටාචාරයන්හි ද ග්‍රීක රෝම ක්‍රීට් දූපත් ආශ්‍රිත සංස්කෘතීන්හි ද ග්‍රහ වස්තු ඇදහීම සිරිතක් ව පැවත ඇත. භාරතයේ "රවි" මිසරයේ "රේ" ඒ වශයෙන් හඳුන්වා ඇත්තේ හිරු දෙවියන් බව පැහැදිලිය. ග්‍රහ වස්තු සඳහා පුද පූජා පැවැත්වීමත් ඒ ආශ්‍රිතව කෙරුණ යාගහෝම නර්තන පැවති බවට සාධක ඇත. 

සංස්කෘත භාෂා සාහිත්‍යයට අනුව බලි යනු පූජාව යන අර්ථයයි. අනෙක් පූජාවන්ගෙන් වෙනස් වන්නේ එය රූපයක් මගින් කරනු ලබන හෙයිනි. වර්තමාන ශ්‍රී ලංකාවේ බලි වර්ග දෙකක් විද්‍යාමාන වේ. එනම්, 

  • රූප බලි (කඩබලි)
  • ඇඹුම් බලි වශයෙනි.

රූප බලි යනු අදාළ බලියට නියමිතව වශයෙන් නියමිත ග්‍රහයන් දෙවියන් හෝ යක්ෂයන් කැන්වස් රෙද්දක හෝ වෙනත් කඩදාසියක හෝ චිත්‍රණය කර එය අබිමුවෙහි තබා කරන ලබන බලියයි. ඇඹුම් බලි යනු අදාල දෙවියා ග්‍රහයා හෝ යක්ෂය ඔහුගේ උස මහතට හෝ ඊට වඩා අඩු උස මහතින් හෝ මැටි වලින් අඹා වර්ණ ආලේප කර එම රූප බලි මැස්ස මත තබා ඒ ඉදිරියේ සිට කරනු ලබන ශාන්තිකර්මයි. ඇතැම් විට එය ඉතා සුළු වශයෙන් කරනු ලබන බලි ආදියෙහි රූප කිසිවක් දක්නට නොමැති අතර එහිදී ගොක්කොළ සැරසිලි පමණක් තිබුණු ඇතැම් විට දැකිය හැකියි. එහෙත් මේවා ද ග්‍රහයින් උදෙසා පවත්වනු ලබන හෙයින් බලි යනුවෙන්ම හඳුන්වති.

බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ බලි බමුණු සංස්කෘතියේ බලපෑම නිසා කෝට්ටේ කාලයේ දී අපට ලැබුණු දායාදයක් බවයි. ඒ හා සම්බන්ධ ජනප්‍රවාද වර්තමාන ජනතාව අතර ද පවතී. භාරතයෙන් ලංකාවට පැමිණි බ්‍රාහ්මණයෙකු තමා බලියාග කර්මය දන්නා බවත් ලංකාවේ එවැනි බලි ශාන්තිකර්ම තිබේද කියා වීදාගම හිමියන්ගෙන් විමසූ බවත් එවිට උන්වහන්සේ අප ළඟත් එවැනි යාගයක් තිබෙන බවත් බමුණා දන්නා යාගය හා අප අතර ඇති යාගය එකක්ම දැයි බැලීම පිණිස එය ගායනා කරන ලෙස කී බවත් බමුණා ගායනා කරන විට ඊට යාබද කාමරයේ සිටි වීදාගම හිමියන්ගේ ශිෂ්‍ය රාහුල හිමියන් ක්ෂණයකින් ලඝු අක්ෂර උපයෝගී කරගෙන පත් ඉරුවල ඒවා එලෙසම ලියා ගත් බවත් බමුණා ගායනා කර අවසාන වූ පසු අප ළඟ ඇති කළු මැද නැති පත් ඉරු ටික ගෙනත් කියවන ලෙස ගෝලයට කී බවත් උන්වහන්සේ බමුණා ගායනා කළ දෑ එලෙසම සටහන් කරගෙන එය කියවනවා දුටු බ්‍රාහ්මණයා මවිත වී අප හා ඔබ ළඟ එකම යාග ශාන්තියක් තිබීම සතුටට කාරණය කියා නික්ම ගිය බවත් ජනප්‍රවාදයේ තුඩ තුඩ පවති. එදා පටන් ශාන්තිකර්මය ඇති වූ බව සාම්ප්‍රදායික පිළිගැනීමත් වීදාගමහිමි තොටගමුවේ රාහුලහිමි හා වෑත්තෑවෙි හිමියන් බලි යාගයට බෞද්ධ මුහුණුවරක් ද ඇතුළත් කොට ජනතාව අතර ප්‍රචලිත කළ බව සාම්ප්‍රදායික ඇදුරන් අතර පවතින විශ්වාසය වේ.  

එහෙත් කෝට්ටේ කාලයට පෙර ලංකාවේ බලි තිබුණ බවට යම් යම් සාධක වංශ කථා වල දැක්වේ. කි.පූ. 4 වන ශත වර්ෂයේ පණ්ඩුකාභය රජුගේ කාලයේ ඔහුට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා චිත්තරාජ කාලවේල වාහන යක්ෂයන් ආධාර කල බවත් මේ නිසා ඔවුන්ගේ ගුණ සිහිකිරීම පිණිස ආරාම සාදා බලි පූජා කරන්නයි මිනිස්සුන්ට අණ කළ බවත් කියැවේ. පොලොන්නරු රාජ්‍ය කාලයේ නිශ්ශංකමල්ල රජු විසින් නවග්‍රහ ශාන්තිකර්මයක් සඳහා කාලයක් ද නියම කර තිබුණේ මේ අවස්ථාවට පෙර නවග්‍රහ බලි පිළිබඳව වංශ කථා වල තොරතුරු නොදැක්වේ. පඬුවස්දෙව් රජතුමාගේ දිවි දෝෂය සුවපත් කිරීම සඳහා දෙවියන් සියලු දෙනා සහ මැති ඇමතිවරු එක් වී එක් දවසක් බලි මංගල්ලයක් සත් දවසක් බලිමුර මංගල්‍යයක් කළ බව කොහොඹා යක් කංකාරියේ මහා යාතිකාවෙන් කියැවේ. එහෙත් මෙම ප්‍රවෘත්තිය ගොඩනැගුණේ කෝට්ටේ කාලයේදීය. මල් බලි ගායන වලින් කියවෙන්නේ බලිය උපත විශාලා මහනුවර තුන්බිය සිදු වූ කාලය දක්වා ඈතට දිව යන බව ය. මේවා පුරාවෘත්ත පමණක් බව සලකනු වටී.

කෝට්ටේ කාලය සාහිත්‍ය විෂය ක්ෂේත්‍රය මතු නොව අන් හැම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම වැදගත් කාල වකවානුවකි. විශේෂයෙන්ම ශාන්තිකර්ම හා සම්බන්ධ පත පොත සුලබව රචනා වූ බවට සාධක තිබේ. වීදාගම හිමියන් බලි ශාන්තිකර්මය හා සම්බන්ධ රත්නාලංකාරය, යාග සංග්‍රහය, මහා බලි නිධානය, චිත්තාමාණි ශාන්තිය ආදී කෘතින් රචනා කළ බවද කියති. බලි කලාව බ්‍රාහ්මණයන්ගෙන් අප ලද දායාදයක් සේ සැලකුව ද එය මේ රටේ දී දේශත්වයෙන් අනූනව ස්වාධීන ලක්ෂණ ද සහිතව ප්‍රභවය වූ බව පෙනේ. එහෙත් බ්‍රාහ්මණයන්ගේ ආභරණ සේ සැලකෙන පුන නූල, හක්ගෙඩිය, අත්මිණිය, තුන්නූර් ගෑම ආදිය තවමත් සිංහල බලි ඇදුරන් විසින් ද පරිහරණය කරනු දක්නට ලැබේ. 

සිංහල බලි ශාන්තිකර්මය බමුණු බලි යාගයට වඩා අලංකාර එකක් විය. ලංකාවේ මෙන් රූප ආදියෙන් අලංකාර වූ බලි ක්‍රමයක් භාරතයේ නොමැති බව ශ්‍රී චන්දරත්න මානවසිංහ කියයි. බලි ඇදීමේ සහ ඇඹීමේ කලාව නිසා නව ග්‍රාමීය චිත්‍ර සම්ප්‍රදායක් ඇතිවිය. වෙහෙර විහාර වල නිරන්තරයෙන්ම දක්නට ලැබෙන්නේ බොහෝ විට බලි ඇදුරන් අතින් බිහි වී හෝ ඔවුන්ගේ පරම්පරා වල ශිල්පීන් විසින් පෝෂණය කරන ලද විහාර චිත්‍රය. බලි ඇදුරෙකු වූ කලී ගායනය, නර්තනය, වාදනය, චිත්‍ර, ගොක් කලාව, වර්ණා ආලේපය, නක්ෂත්‍රය, නේත්‍රා තැබීම, වාස්තු විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර ආදී බොහෝ විෂයයන් ප්‍රගුණ කළ ශිල්පියෙකි. ඒ වූ කලී ශ්‍රී ලංකාවේ ශාන්තිකර්ම ඉදිරිපත් කරනු ලබන බොහෝ ශිල්පීන් සතුව පවා සුවිශේෂ දක්ෂතාවක් වන්නා සේම අවශේෂ පුද්ගලයන්ගෙන් වෙසෙසා හැඳින ගැනීමට ඇති කුසලතා වෙයි.
බලි වර්ග කිහිපයක් මෙලෙස පෙන්වා දිය හැකිය.

  • නව බලි මල් බලිය
  • පන්තිස් බලි
  • අත් බලි
  • මහසොහොන් බලිය
  • යක්ෂ බලි
  • පිල්ලි බලි
  • සූනියම් බලි
  • දොළ බලි
  • ප්‍රේත බලි
  • අසුර බලි
  • නාග බලි
  • භූත බලි 

බලි ශාන්තිකර්මයේ තවත් සටහනක් සමඟින් පසුව හමුවෙමු.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 

Tuesday, January 19, 2021

කොහොඹා යක් කංකාරියේ පූජා රටාව සහ එහි අනුපිළිවෙල (දෙවන සටහන)


හවස් වරුවේ චාරිත්‍ර

මඟුල්බෙර වාදනය  
සෑම සුභ අවස්ථාවකම ආරම්භයේ දී මෙන්ම මෙහිදී ද මගුල් බෙර වාදනය කෙරේ.

වැදි යකුන් නැටීම
වැදි යකුන් නටනු ලබන්නේ කංකාරි මඩුව තුළ ය. කංකාරි මඩුවේ මැද අලුත් පැදුරක් එළා පැදුර මත පිරුවටයක් අතුරා ඒ මත හාල් දමා එය අටමගල ලෙස අදිනු ලැබේ.

යක් ඇනුම
සියලු යකුන්ට කංකාරි රඟ මඩලට පැමිණෙන ලෙස කෙරෙන ඇනවුම හෙවත් ආරාධනය යක් ඇනුම නැටුමෙන් අපේක්ෂිතය. දීර්ඝ නැටුමක් වූ යක්කැනුම මෙම අවස්ථාවේ දී කෙටියෙන් නටා අවසන් කෙරේ. 

බුලත් පදය
කොහොඹා යක් කංකාරියේ හත්පදය  පදය යනුවෙන් හඳුන්වන නැටුම් අංක හතෙන් පළමුවැන්න මෙය වේ. දළු මුර පදය යනුවෙන් ද හැඳින්වෙන මෙය සුදු රෙදි කඩක් මත තබන ලද බුලත් අතක් ගෙන යහන ඉදිරිපිට එක් තනි කච්චි නැට්ටුවකු විසින් පමණක් නටනු ලබන්නකි. මල්යහන් කවි ගියා යහනට වඩින ලෙස ආරාධනා කළ දෙවියන්ට බුලත් අතක් දී පිළි ගන්නා ආකාරය මෙයින් නිරූපිත වේ.  

කොතල පදය

කොතල පදය නැතහොත් කහදිය කොතල පදය යනුවෙන් හැඳින්වෙන මෙය නානුමුර කිරීමේදී පැන් තොට සිට ගෙන ආ පැන් කොතලයට කහ ස්වල්පයක් මිශ්‍රකර එම දියර කංකාරි මඩුව වටේ ඉසිමින් එක් නැට්ටුවකු විසින් නටනු ලබන්නකි. මෙය කංකාරි මඩුව පවිත්‍ර  කිරීමේ අරමුණෙන් කෙරෙන බව පෙනේ. මෙයින් දෙවියන්ට පැන් වැඩීමක් ද නිරූපනය කෙරේ.

සළු පදය
සුදු සළුවක් ගෙන දෙකෙළවරින් දෙපසට බේරි සිටින පරිදි එය අල්ලා එම දෙකෙලවර කරකවමින් යහන ඉදිරියේ සිට දෙවියන්ට පවන් සැලීම නිරූපණය කෙරෙන මෙයද ඒකල නැටුමකි.

දුම්මල පදය
වම් අතට ගන්නා දුම්මල අඟුරු දුම්මල කබලට අතෝරකරුවෙකු විසින් දෙනු ලබන දුම්මල දකුණතින් ගෙන දමමින් කෙරෙන සුවඳ දුම් පූජාවක් වන මෙය ද ඒකළ නැටුමකි.

පොල් පදය
ලෙලි හරින ලද පොල් ගෙඩියක් අතින් ගෙන එක් නැට්ටුවකු පමණක් නටන ලදි.

ආවළඳ පදය
ආවළඳ පදය නම් සහල් මුං ඇට ආදී ද්‍රව්‍ය කිහිපයක් දමා කට කෙසෙල් කොලයකින් බැද ඇති මුට්ටිය රැගෙන කෙරෙන කෙටි ඒකල නැටුමකි.

සැවුල් පදය
වැඳි යකුන් නැටීම සඳහා ගන්නා රතු කුකුළා එක අතකට ද අනෙක් අතට පස් කොළ අත්තක් ද ගෙන එක් නැට්ටුවෙකු විසින් නටන පදය සැවුලා වෙනුවෙන් කෙරෙන්නෙකි.

පලවැල දානය
කංකාරියේ දාන පහ නමින් හඳුන්වන පද්‍ය පන්ති පහට අයත් මෙහි සීතා බිසව පිලිබඳවත් ඇය වනාන්තරයේ තනි වු ආකාරය ගැනත් මලය කුමරුන් තිදෙනාගේ උපත් කතා විස්තර කෙරේ. මෙම කවි ගායනා කෙරෙමින් නයියන්ඩි ඇඳුමෙන් සැරසුණු නැට්ටුවො කීපදෙනෙක් රංගනයේ යෙදේ. 

වානේ යක්කම
රඟමඬල මැද එලා ඇති පැදුර මත උඩු යටිකුරු කර හැරවූ වංගෙඩියක් තබා ඒ මත සුදු රෙද්දක් එළා ඇත. එක් නැට්ටුවෙකු නව කොළ අත්තක් සහ කුකුළා අතට ගෙන සිටින අතර ඔහු ඇතැම් විට ඉන් ආතුරයාට සෙත් කරයි. හිසට ස්පර්ශ කර ඉන්පසු ඔහු වංගෙඩියට නැග බෙර කරුවා විසින් වයනු ලබන ජිංත ජිංත ජිංත කුදක් කුදගත දොං කඩ තරිකිට කුං දං ගජිං යන පදයට අනුව චලනය යෙදේ. මෙය නිශ්ශබ්ද අනුරූපණයකි. එය අවසන් වී බෙරකරුවා වෙනත් පදයක් වයද්දී වංගෙඩියෙන් බිමට පනින ඔහු ආතුරයා වෙත ගොස් සෙත් කරයි. එවිට අතෝරකරුවෝ ආයුබෝ වේවායි කියති. මෙය වානේ යක්කමයි.

 වං ගෙඩියේ සමයම
රඟමඬල මැද ඇති පැදුර කෙළවරක තොලබෝ හීරැස්ස ඉරිවේරිය සහ හාල් අතුරා තිබේ. හාල්වලින් අටමගල ඇඳ ඇත. පැදුර අනෙක් කෙළවර දික් අතට පෙරලෙන ලද වංගෙඩියට හිස තබාගෙන උඩුබැල්ලෙන් නිදන එක් නැට්ටුවෙකි. ඉහත සඳහන් කළ අටමගල මත සුදු රෙද්දක් එළා ඒ මත ආතුරයා වාඩිවී සිටි. රතු කුකුළා නැට්ටුවාගෙ දෙපා අතරට සිරකර ගෙන තිබේ. නැට්ටුවාගෙ එක් අතක නව කොල අත්තය. වංගෙඩියේ සමයම ඉදිරිපත් කෙරෙන්නේ මෙසේ සැරසීගෙනය. 

වැදි යක්පොල
කංකාරි මඩුවෙන් පිටත කංකාරිය කෙරෙන භූමියේම ගොඩ අයිලය යනුවෙන් හැඳින්වෙන කුඩා මැස්සකි. ඉරුගල්බණ්ඩාර දෙවියන් වෙනුවෙන් හාල් මල්ලක් එල්ලා තිබේ. දකුණු පස කෙසෙල් කැනකි. වැදි යකුන් සඳහා ගොඩ අයිලයේ පුදන බත් සහ එළවළු පිදිය යුත්තේ ඒ වෙනුවෙන් සාදන වෙනම මුලුතැන්ගෙයක ය. ගොඩ අයිලය හෙවත් වැදියක් මඩුව තුළ වීරමුණ්ඩ කලුකුමාර සහ කොහොඹා යන දෙවිවරුන් වෙනුවෙන් පූජා තටු තුනක් තබනු ලැබේ.
 

රාත්‍රි යාමයේ පූජා චාරිත්‍ර 

අයිලේ කට කැපීම
ලී කෝටු සහ කෙසෙල් පදුරු වලින් සාදා ගොක්කොල වලින් අලංකාර කරන ලද අයිලය ගැබ හෙවත් කුඩා කාමර තුනක් හෝ හතරක් සිටින සේ සකස් කරනු ලැබේ. එහි ගැබ දොරටු වැසෙන පරිදි කෙසෙල් පතුරු ගසා තිබෙන අතර ප්‍රධාන අතෝරකරු පිහියකින් කෙසෙල් පතුරු කපා ගැබ දොරටු අනාවරණය කරයි.
 

යක්දෙස්සන් පේවීම
කංකාරියට දින හතකට පෙර සිටම මස් මාංශ අනුභවයෙන් ස්ත්‍රී සංවාසයෙන් අවමංගල්‍ය වලට සහ සහභාගී නොවීමෙන් පේ වී සිටිය යුතු යක්දෙස්සන් මෙදින වෙස් ඇඳුම් ඇඳීමට ප්‍රථම හිස් සෝදා නා පෙවිය යුතුය. දෙහි ගෙඩි කීපයක් උණු අළු යට දමා තම්බා හිසේ ගා හිස සේදීම පෙවීමේ දී අනුගමනය කරන චාරිත්‍ර වේ.
 

හඟල සූදානම් කිරීම සහ හඟල යැදීම
හිස සෝදා නා පිරිසිදුව පැන් පැමිණි යක්දෙස්සා කංකාරි මඩුව මැද පැදුරක් හෝ උස් ආසනයක් ලබා ඒම තම වෙස් ඇඳුම් කට්ටලය තැම්පත් කර හඟල සහ උල්උඩය ඇදීමට සුදුසු පරිදි සකස් කර ගනිති. ඉන්පසු හඟල ගායනා කරති.
 

ආභරණ අයිලයට වැඩමකිරීම
මගුල් බෙර වාදනය කරද්දි පෙර දින සවස දේවාලයේ සිට හෝ ආභරණ තැන්පත් කර ඇති ස්ථානයේ හෝ සිට වැඩමවා ගෙන ආයුධ ආභරණ සහ අවුපත් උඩු වියන් යටින් හා පාවඩ මතින් අයිලයට වැඩම කෙරේ. 

පුදා වැඩිම
මීට ඉහත දැක්වූ පුදා වැඩීම විස්තරවලට අමතරව සත් වියතක් දිග දිවි කදුරුමෝල වංගෙඩිය ලෙල්ල සහිත සහ ලෙලි ගැසූ පොල් ගෙඩි දෙක තොලබෝ හීරැස්ස සහ ඉරිවේරිය මල් බුලත් පුටුව සහ යටි යහනත් සූදානම් කර තිබීම මෙම චාරිත්‍රය සඳහා අත්‍යාවශ්‍යවේ. 

මහා යාතිකාව
ආතුරයා අයිලය ඉදිරියේ වැඳ ගෙන සිටින අතර ප්‍රධාන යක්දෙස්සා බුලත් අතක් සහ පුවක් මල් කිනිත්තක් ගෙන දෙවියන් වෙත ආතුරයා වෙනුවෙන් යාතිකා කරයි. 

මගුල් බෙර වාදනය
කංකාරිය සඳහා වාදනය කරන සියලුම බෙර වලට දුම්මල අල්ලා කංකාරියට සහභාගීවන සියලුම බෙරකරුවන් ඔවුනොවුන් වෙත ආචාර සමාචාර කිරීමෙන් ඉක්බිති ජේෂ්ඨත්වය හා ප්‍රවීණත්වය අනුව අයිලය ඉදිරියේ පේලි දෙකකට සිටින පරිදි මුහුණට මුහුණලා සිට ගනිති. ඉන්පසු සම්පූර්ණ මඟුල් බෙර වට්ටම් පද වාදනය කෙරේ.  

අත්‍යා බෙර වාදනය
ජ්‍යෙෂ්ඨත්වය හා ප්‍රවීණත්වය අනුව අයිලය ඉදිරියේ දෙපෙල සැදෙන බෙරකරුවෝ අයිලය පැත්තේ සිට වරකට දෙදෙනා බැගින් බෙර වාදනය පටන් ගනිති. එක් එක් බෙරකරුවකු සතු වාද්‍ය කුසලතාව එහි දැක්වෙන්නේ මේ අවස්ථාවේදීය. බෙරකරුවෙකු වැයූ කවර පදයක් වූවත් අනෙක් වාදකයා එලෙසින්ම එක් වරම වාදනය කළ යුතුය.

 යක් ඇනුම
කංකාරියට සහ සහභාගිි වන සියලුම යක්දෙස්සන් වෙස් ඇඳුම් ඇද ඉදිරිපත් කරනු ලබන ප්‍රථම රංගනය මෙයවේ ඔවුහුද බෙරකරුවන් මෙන් ජේෂ්ඨත්වය සහ ප්‍රවීණත්වය අනුව බෙර වාදකයන් පිටුපසින් දෙපළ සෑදීම මෙම රංගනය ඉදිරිපත් කරති.

අයිලය යැදීම
සියලුම දෙවියන් සහ වැද්දන් අයිලය මගින් කංකාරි භූමිය වෙත ගෙන්වා ගැනීමේ මෙහි අරමුණයි. අයිලය යැදීම ගායනයෙන් පසුව කොහොඹා යක්කංකාරිය ඓතිහාසික පසුබිම පැවසෙන එහි කේන්ද්‍රීය පුවත ගැබ් වූ ගද්‍ය සැහැල්ලක් කියනු ලැබේ.

කුවේණි මහ අස්න නැටීම
මෙම නැටුමේදී පහලොස්වැනි සියවසේ දී පමණ රචිත කුවේණි අස්නේ එන ඇතැම් ගද්‍ය කොටස් පද්‍යාකාරයෙන් ගායනා කෙරේ. අස්න නැටුම සඳහාම මූලික නැටුම් පද හතක් නැටිය යුතු අතර ප්‍රධාන අලංකාර පද සතරක් සමඟ පද දොලහක් නැටිය යුතුය. 

යක්තුන් පදය
ඇතැමෙක් යක්තුන් පදය යනුවෙන් ද ඇතැමෙක් යක් සුං පදය යනුවෙන්ද හඳුන්වන මෙහිදී ප්‍රධාන පද තුනක් වාදනය කෙරේ. වාදනයට මුල්තැන දෙන මෙය යක්දෙස්සන් විසින් නැටීමට යොදා ගත්තද සත්‍ය වශයෙන්ම මෙය වාදනය සඳහා සකස් වූවකි. 

හත් පදය

ගුරුගේ මාලාව
ප්‍රථම නාට්‍යමය පෙළ පෙළපාලි යයි.

කවි පන්තිය
වීරමුණ්ඩ ඉරුගල්බණ්ඩාර කළු කුමාර කන්දෙ බණ්ඩාර කොහොඹා යන දෙවිවරුන් පස් දෙනා පිළිබඳව ගයන කෝල්මුර මේ නමින් හැඳින්වේ. ඇතැම් විට උඩුවේරිය දෙවියන් සහ වලියක් තුන් කට්ටුව පිළිබඳව කවි ද ගායනා කෙරේ.

දුනුමාලප්පුව
ඒකල නැටුමක් වන මෙය ලීයෙන් සාදන ලද දුන්නක් සුදු රෙද්දකින් ඔතා එය දෑතින්ම අල්ලා ගෙන අයිලය දෙසට හැරී නටන නැටුමකි. කංකාරියට සම්බන්ධ දෙවියන් සඳහා කෙරෙන පූජෝපහාරයෙකි.

කෝල්පාඩුව

ඒකල නැටුමකි. අයිලයේ තිබෙන මුවපත් ආයුධය හෙවත් කෝලායුධය සහ පුවක් මල් කිනිති කිහිපයක් ගෙන අයිලය ඉදිරියේ කෙරෙන මෙම නැටුමේදී ඇතැම් අවස්ථාවක යක්දෙස්සා දෙවල්ල හෙවත් නරුපට දෑතට ගෙන නටනු ලැබේ. 

ආවැන්දුම

ඇතැමෙක් මෙය අත්වැඳුම් ආවැන්න යන්නෙන් බිඳී ආ පදයක් ලෙස හඳුන්වති. මෙම නැටුම වට්ටම් සතරක් ඇත. එක් වරකට මාත්‍රා දොලසක් කස්තිරම් දොලසක් සහ අඩව් දොලසක් බැගින් ඇත. කොහොඹා යක්කංකාරිය අතිශය දීර්ඝ වූත් අලංකාර වූ නැටුමක් වන මෙහි අවසානය ඇති දොහරොජිං ගජිං ගජිගත වට්ටම දී හස්ත මුද්‍රාවෙන් කිසියම් අදහසක් පළ කරේ. නිශ්ශබ්ද අනුරූපණ අවස්ථාවක් වූ එය මලය රජුගේ උයන පාළු කළ බව කියන ඌරාගේ හැඩ රුව උරා වාසය කරන දිශාව ආදිය අංග චලනයෙන් ඉදිරිපත් කරන්නකි.

වැදි යක්කම
කංකාරියේ දෙවෙනි නාට්‍යමය ජවනිකාව වන මෙය යක්කම් පහ අතරින් ප්‍රථමයෙන්ම රඟ දැක්වෙන්නේය. ප්‍රධාන යක්දෙස්සා සහ සහාය නළුවා යන දෙදෙනාට අමතරව තවත් නලුවෙකු පැමිණෙන එකම ජවනිකාව ද මෙයයි. 

මඩුපුරේ
පත්තිනි හා වීරමුණ්ඩ දෙවිවරුන් වෙනුවෙන් කෙරෙන මඩුපුරය නැටීම ඇතැමෙක් මලේ යක්කම යනුවෙන්ද ව්‍යවහාර කරති. යක්දෙස්සන් පේ කරන ලද ගස්වලින් කපාගෙන යහන මත තැන්පත් කළ නොපුබුදු වූ පොල් මලකට දුම්මල අල්ලා පසුව ඒවා කොපුවෙන් ගලවා දෑතට ගෙන කංකාරි මඩුව වටේ කෝල්මුර කවි කියති.

පොල් මල ගෙන ආතුරයාට යාතිකා කිරීම
කොපුවෙන් මිදූ පොල් මලක් ගන්නා ප්‍රධාන යක්දෙස්සා එය අයිලය ඉදිරියේ වැඳ ගෙන සිටින ආතුරයාගේ හිස මත තබා වීරමුණ්ඩ දෙවියන්ගේ යාතිකාව ගායනා කරමින් මඩුපුරය හේතුවෙන් ආතුරයාගේ සියලුම දොස් දුරුවන බව කියති.

මල බැඳීම
මල නැටීමෙන් පසුව ඉතිරි වූ මල් කිනිති මහ යක්දෙස්සා විසින් යහනෙහි මැද කනුවට තබා බඳිනු ලැබේ. මේ අන්දමින් මල් නැටීමෙන් ඉතුරු වූ මල් කිණිති යහන මත තැබීම හෝ එහි කණුවක ගැට ගැසීම හෝ මල බැඳීම යනුවෙන් හැඳින්වේ. වීරමුණ්ඩ දෙවියන් වෙනුවෙන් කරන මල ඔප්පු කිරීමක් වශයෙන් පැවසේ.

කප ගැලවීම
කංකාරියට පූර්ව සූදානම් වීම වශයෙන් සිදුවන ලද කප ඇතැම් කංකාරියකදී මඩුපුරයට පෙර ගලවන අතර ඇතැම් කංකාරියකදී වැදී යක්කම අනතුරුව සිදු කෙරේ. වැදි යක්කම නැටීමෙන් පසු මඩුපුරයට පෙර වැද්දා ලබා කප ගලවන අවස්ථා ද දැක ඇත.

කඩවර ගොටු දීම (අළුයම් කඩවර)
කඩවර ගොටුව දීම පිළිබඳව මීට පෙර දක්වා ඇති චාරිත්‍ර පිළිවෙලම මෙහිදී ද අනුගමනය කෙරේ.

යක්කම් ගෙනහැර පෑම
මේ සඳහා නයා යක්කම දර්ශන යක්කම විජේරාජ කතාව ඌරා යක්කම සීතා යක්කම යන නාට්‍යමය පෙළපාලි ගෙනහැර දක්වන අතර මෙහිදී සීතා යක්කම භාවිතයේ පවතී.

ගබඩා කොල්ලය
කංකාරිය සඳහා ගම්වාසීන්ගෙන් ලැබෙන සහ කංකාරිය සඳහා කාලය වෙන් කරන ලද බඩු වර්ග තබා ඇති ස්ථානය ගබඩාව යනුවෙන් ව්‍යවහාර කෙරේ. කංකාරිය සම්බන්ධයෙන් ගබඩාව සඳහා අතීතයේේදී වෙනම කුටියක් ඉදි කළ ද අද ඒ සඳහා ආතුරයාගේ නිවසේ කාමරයක් යොදාගැනේ. පොදුවේ පවත්වන කංකාරි වලදී යක්ගෙයට නොදුරින් ඉදිකෙරුණු තාවකාලික මුළුතැන්ගෙය මේ සඳහා යොදා ගැනේ.  

ගෙට ගිනි තැබීම 
ගබඩාව වූ සියලුම ද්‍රව්‍ය යක්දෙස්සන් අතර බෙදා ගත් පසුව ගිනි තබා විනාශ කෙරේ. මෙය ගේ ගිනි තැබීම යනුවෙන් හැඳින්වේ. ගබඩාව සඳහා නිවසක කාමරයක් යොදා ගැනෙන වර්තමානයේ මේ චාරිත්‍ර මෙලෙසින්ම ඉටු කළ නොහැකෙන අතර එය සංකේතවත්ව සිදුකෙරේ. ඒ සඳහා කංකාරිය කරන නිවසේ හෝ කංකාරි මඩුවේ හෝ වහලයේ නූලක් හෝ ලනුවක් ගැට ගසා එහි කඩදාසියක් හෝ පිදුරු වෙණියක් හෝ දවටා තිබණු ලැබේ. ගබඩා කොල්ලය අවසන් කර ඇතා සමඟ පැමිණෙන යක්දෙස්සා විසින් එය ගිනි තැබීම අද කෙරෙන චාරිත්‍රයයි

කොහොඹා හෑල්ල
මෙය කොහොඹා දෙවියන්ගේ උපත් කතාව සැකෙවින් දැක්වෙන පද්‍ය පංතියකි. මෙහිදී ගායනය මෙන්ම නර්තනය ද එක සේ යොදා ගැනේ. ඒ විවිධ තාලරූප වලට අනුකූලවය. මෙය ඇරඹීමට ප්‍රථමයෙන් යක්තුන් පදය නම් නැටුමට අයත් බෙර පද එකක් හෝ දෙකක් වැයේ.

මුව මල  විදීම‍ෙ
අයිලය පිටුපසින් කැන සහ මුව සහිත කෙසෙල් ගසක් පිහිටුවා ඇත. එහි  කැන අයිලයට උඩින් කංකාරි මඩුව දෙසට යොමුවී ඇත. මුව මල විදීම යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන යක්දෙස්සා විසින් ලීයෙන් කළ දුන්නක් සහ ඊතලය උපකාර කරගනිමින් කෙසෙල් මුහය කඩා ගනු ලැබීමය.

මරාව
අයිලය ඉදිරියේ උක්කුටිකයෙන් වාඩි වී සිටින යක්දෙස්සකු විසින් හස්ත චලනයෙන් කරනු ලබන අභිනය මරාව යනුවෙන් හැඳින්වේ. මෙය බොහෝ ශාන්තිකර්ම වල දැකිය හැකි දැකුම් අත් හෝ බැඳුම අත් නැටුමක ස්වරූපය ගනී. මෙයට නියමිත මාර පදය ආලත්ති පදය සමඟ තෙවරක් වාදනය කෙරේ. යක්දෙස්සා මේ චාරිත්‍ර කරනුයේ බිම බලාගෙනය.

මෙලෙසින් කොහොඹා යක්කංකාරිය නිමාවට පත් කරයි.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 

 

Sunday, January 17, 2021

දේශීය ශාන්තිකර්ම සමාජ විද්‍යාත්මකය

සමාජයක් යනු පුද්ගල සමූහයක එකතුවකි. සමූහයක් එක්ව තබා ගන්නේ සියලු දෙනා විසින් පිළිගනු ලබන්නා වූ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් හා සම්මතයන් මගිනි. දේශීය ශාන්තිකර්ම සිංහල සංස්කෘතිය විනිවිද දැකිය හැකි හරස්කඩක් ලෙස ශාන්තිකර්ම හඳුනාගත හැකියි. අර්ථ ක්‍රමය, පාලනය, නායකත්වය, කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විශ්ලේෂණය කිරීමටත් ශාන්තිකර්මය තුළින් හැකියාවක් ලැබේ. ගැමි කලාවන් ප්‍රභවය ලබන්නේ පූජා කර්මයන් ගෙනි. ග්‍රහ බලි, රාක්ශ බලි ආදිය ඇඳීම සඳහාත් වෙස්මුහුණු තැනීම සඳහාත් ඒවා වර්ණ ගැනීම සඳහාත් චිත්‍ර ශිල්පීය ඥානය අවශ්‍ය වේ. කවි ගෙතීම සඳහාත්, පද බැදීමට හැකි ශිල්පීන් පිරිසකගේ දායකත්වය අවශ්‍ය වේ. ඒ අනුව දේශීය ශාන්තිකර්ම සඳහා විවිධ පුද්ගලයින්ගේ හෝ විවිධ ඥානයන්ගෙන් යුතු ඇදුරන්ගේ ඒකරාශීත්වය අවශ්‍ය වේ. සියලු දෙනාම ඒකරාශීව කරන සමාජ මංගල්‍යයක් ලෙස ශාන්තිකර්මය හඳුන්වන්නේ එබැවිනි.

පැරණි  ශ්‍රී ලාංකීය ගැමි සමාජය ස්වයංපෝෂිත ආර්ථික සැලසුමක් අනුව සැලසුම් කරන ලද්දකි. වෘත්තීය හා සමාජ අවශ්‍යතා මත ගොඩනැගුණු කුල ක්‍රමයක් එහි විය. කොහොඹ කංකාරි ශාන්තිකර්මයේ එන ඌරා මැරීමේ අවස්ථාව ඊට නිදසුනකි. සෑම කුලයකටම ඌරාගේ කවර කොටසක් හෝ හිමිවීම විශේෂත්වයකි. 

අසාලා කීවේ වගතුග                    සියල්ලක්
යොදාලා කීවේ බොරු බස්          ඇසිල්ලක්
රවාලා කීවේ අප හට                     දෝෂයක්
කපාලා දෙමිය ගම මහගෙ බරට ගාතයක්

ආල වඩන මගේ හොඳ           බෙරකාරයාට
කෝල නැතිව ඇවිදින්නේ               සභාවට
මාලේ කරලන්ට සිත්වුනි බෙර වයන කොට
පොලේ කපා දෙමු බෙර   ගුරුන්නාන්සෙට

ශාන්තිකර්මයට එක්වන ඇදුරා මස් මාංශයෙන් තොරව කිලි යැයි සම්මත ස්ථානවලින් ඈත්ව පේ වෙන අතර ධර්මානුකූලව ජීවත් වේ. එවිට යකුන් දමනය කිරීමට පවා ඔවුනට හැකිය. මෙමගින් ලබාදෙන ආදර්ශය යහපත් සමාජයක් බිහි කිරීමට අවැසි වෙන බව දක්නට ලැබේ. ශාන්තිකර්ම වනාහි චාරිත්‍ර වාරිත්‍ර මංගල්‍යයකි. එහි චාරිත්‍ර යහපත් සමාජයක් බිහි කිරීම අරමුණු කරගත් බව දක්නට ලැබේ. දෙවියන් බුදුන් නැමදීම ගුරු දෙගුරුන් වන්දනා කිරීම වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම මෙම චාරිත්‍ර අතර ඇත. නමස්කාරය සිදුකොට ගුරුවරුන් වන්දනා කර වීමෙන් අනතුරුව සහෝදර ශිල්පීන් සමග ආචාර සමාචාර කිරීමේ සිරිත වේ. නර්තනයේදී වාදනයේදී සඟ පිලිවෙලට එම කාර්යයේ යෙදීම සමාජ විද්‍යාත්මක වේ. සචේතනික වස්තූන්ට පමණක් නොව අචේතනික වස්තූන්ටද ගරු සරු දැක්වීම සිංහල ශාන්තිකර්ම තුළ දක්නට ලැබේ. අඳින හේලය සුවඳ දුම් අල්ලලා පේ කරයි. එය ගුරුවරයාගේ අතටදී ආශිර්වාදය ලබා ගනී. බෙර වයන ශිල්පීන් තම වාද්‍ය භාණ්ඩයට වන්දනා කරයි. මේවා සමාජ විද්‍යාත්මක ලක්ෂණවලින් යුතු සංස්කෘතික චාරිත්‍රයන් වේ.

පේලේ යාම චාරිත්‍රය දේශීය ශාන්තිකර්මයන්හි අන්තර්ගත සමාජ විද්‍යාත්මක සඳහා නිදර්ශනයකි. එම චාරිත්‍රයේ දී ශාන්තිකර්මයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා ගේන් ගෙට යාම සිදුවේ. සියලු දෙනාගේ දායකත්වය එහි පරමාර්ථය ශාන්තිකර්ම සඳහා අවශ්‍ය හබරල කොළ පිති කෙසෙල් පිති කෙසෙල් කොළ කැන් යනාදී අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා බොහෝ දෙනා එක්ව කටයුතු කරයි. ඒවා ගෙනැවිත් සැරසීම සඳහා ද සියලු දෙනාගේ ඒකරාශිත්වය අවශ්‍ය වේ. වයසින් වැඩි අත්දැකීමෙන් වැඩි පරිපූර්ණත්වයෙන් සපිරුණු අය මෙහිදී නායකත්වය ගනී. සාමූහිකව කටයුතු කිරීමේදී නායකත්වය ඉවසීම තර්කනය අනුකූලතාවය දැක්වීම ආදී ගුණාංග වර්ධනය වේ.

ශාන්තිකර්මය සඳහා සහභාගී වන සියලු දෙනාටම උස් පහත් භේදයකින් තොරව සමඅසුන් පැනවීම සිරිත වේ. ඔවුනට කැවුම් කෙසෙල් ආදියෙන් සංග්‍රහ කිරීම ද තේ පැනින් සංග්‍රහ කිරීම ද සිදු වන අතර ආතුර ප්‍රේක්ෂකයෝ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සමාජ බැඳීම් තහවුරු කර ගනී. මේ අනුව දේශීය ශාන්තිකර්ම වනාහි සමාජ විද්‍යාත්මක ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ දේශීය සංස්කෘතිය හරස්කඩක් හෙළිකරන මංගල්‍යය ලෙස ප්‍රකාශ කිරීම යුක්ති යුක්ත ය.  

සටහන:  ✍ ජයවර්ධන

(තොරතුරු , ගුරුවරු ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Saturday, January 16, 2021

කොහොඹා යක් කංකාරියේ පූජා රටාව සහ එහි අනුපිළිවෙල

කංකාරිය සඳහා පූර්ව සූදානම් වීම

අගහස් වෙන්කිරීම
ගොවිතැනෙන් ලද අස්වැන්නේ ප්‍රථම කොටස දෙවියන් උදෙසා මංගල්ලයක් පැවැත්වීම පිණිස වෙන් කරනු ලැබේ. මෙසේ වෙන් කරගත් අග්‍ර ශස්‍ය කොටස් නිවසේ උස් තැනක සුරක්ෂිතව තබනු ලැබේ. අග්‍ර ශස්‍ය හෙවත් ප්‍රථම අස්වැන්න දෙවියන් සඳහා වෙන් කිරීම ''අක්යාල වෙන් කිරීම" යනුවෙන් උඩරට ප්‍රදේශවල හැඳින්වේ. එය පහතරට ප්‍රදේශවල හැඳින්වෙන්නේ ''දෙවියන්ගේ වී හෝ දෙවියන්ගේ අස්වැන්න'' යන නමින්ය.

රුප් පේ  කිරීම
''රුක් පේ කිරීම'' සුඛෝච්චාරණය උදෙසා ''රුප් පේ කිරීම'' යනුවෙන් සකස් වී ඇත. කංකාරියේ සියලුම අවශ්‍යතා සඳහා යොදා ගන්නා පොල් ගස්, මුව මල්, කෙසෙල් ගස්, පුවක් ගස් ආදිය වෙන් කිරීම හෙවත් නිල කිරීම ''රුප් පේ  කිරිම'' යනුවෙන් හඳුන්වනු ලැබේ.

කප් සිටුවීම
කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ගත වීමට පෙර සාමාන්‍යයෙන් තෙමසක් ඇතුළත කංකාරියක් පවත්වනු ලබන බවට දෙවියන් හා යකුන් විෂයෙහි ප්‍රතිඥා දීමක් කප් සිටු සිටුවීමෙන් අදහස් කෙරේ. කප ගහ සඳහා කංකාරි ගෙදර උතුරු දෙසින් පිහිටි ගෙඩි නොහැදුණු සශ්‍රීකව වැඩුණු වරක ගසක උතුරු දෙසට විහිදුණු අත්තක් උපයෝගී කර ගැනේ.  

කංකාරි දිනට පෙරදා චාරිත්‍ර

මඩුව සෑදීම
කංකාරි මඩුව සාදන්නේ ද නියමිත නැකත් අනුවය. දිගින් සැට රියනක් ද පළලින් තිස් රියනක්ද වන සේ තැනූ කංකාරි මඩුවේ ප්‍රථම කණුව සුභ නැකතකදී මගුල් බෙර වාදනය මාධ්‍යයේ සිට වන ලද්දකි. කංකාරි මඩුවේ එක් පසෙක යක්ගෙය සාදන අතර එහි යහන පිළියෙල කෙරේ. ලී කෝටු කෙසෙල් පදුරු සහ ගොක්කොල වලින් සාදනු ලබන යහන සඳහා කිසිම ආකාරයකින් හෝ යකඩ භාවිතා නොකෙරේ. යක් ගේ තට්ටු දෙකකි. උඩ තට්ටුවෙ දෙවියන්ගේ ආභරණ අවුපත් ආදිය තැන්පත් කරන යහනය. පහල තට්ටුවේ පැහැදුම් පෙට්ටියකි. කංකාරි මඩුවේ සහ යක්ගේ සෑදීමෙන් අනතුරුව කංකාරි මඩුවට නුදුරෙන් කෙළවරක වැඳි යකුන් පිදීම සඳහා වැදි යක් පොල යනුවෙන් හඳුන්වන කුඩා මඩුවක් ද ඉදිකෙරේ.


 

මඩු පේ කිරීම
කංකාරියට පෙරදින දහවල් වන විට සාදා නිම කෙරෙන මඩුව සහ යක් ගෙය පේ කිරීම හෙවත් දෙවියන් සඳහා කැප කිරීම යක් දෙස්සා විසින් විසින් මඩුව පේ කිරීම යනුවෙන් හඳුන්වනු ලැබේ. 

තොට පේ කිරීම
මුරුතැන් හෙවත් දේවදානය පිසීමට ජලය ලබා ගන්නා පැන් තොට දෙවියන් සඳහා වෙන් කිරීම මෙයින් අදහස් කෙරේ. මෙම චාරිත්‍රය විදිය බොහෝ සිංහල ශාන්තිකර්ම සම්බන්ධ වූවකි.

අත්තෝරකරුවන් පේ කිරීම
අත්තෝරකරුවන් හෙවත් කොට්ටෝරුවන් යනුවෙන් හැඳින්වෙන්නේ කංකාරියේ යක්දෙස්සන්ගේ කටයුතු පහසු කරවනු සඳහා මුරුතැන් පිසීම ආදියට සහාය කරගන්නා පුද්ගලයන් ය. මේ සඳහා බෙර වයන්නන්ගේ කුලයටත් වඩා අතිශයින් ම පහත් යැයි සැලකෙන කුලයක අය ගැනෙන බව යක්දෙස්සාන් පවසති. 

මල පේ කිරීම
කප සිටවූ දිනයේ නිල කරන ලද හෙවත් පේ කරන ලද පොල් ගසින් කපා ගත් පොල් මල් දෙවියන් සඳහා පේ කිරීම හෙවත් දේව කාර්යය සඳහා සුදුසු වන පරිදි සකස් කර දීම මල පේ කිරීම නම් වේ  

ආභරණ වැඩමවීම හෙවත් දෙවියන් වැඩමවීම
කංකාරිය හා සම්බන්ධ දේවතාවුන්ගේ ආභරණ හා අවුපත් ආයුධ සහ අදින ලද පින්තූර යහනට වැඩමවීම යක්දෙස්සන් විසින් දෙවියන් වැඩම වීම යනුවෙන් හදුන්වනු ලැබේ.

මල් යහන් කවි යහන් කවි කීම
යහන මත ආයුධ අවුපත් තැන්පත් කිරීමෙන් පසු දිවයිනේ කවර ස්ථානයක වැඩ සිටිය ද ඒ සෑම දෙවියකුටම මල් යහනට වැඩම කරන ලෙස ආරාධනා කරනු ලැබේ. 

දෙවියන්ගේ කවි කීම
කංකාරිය හා සම්බන්ධ සියලුම දෙවි දෙවිවරුන් පිළිබඳ කෝල්මුර කවි කියා ඉන් පසු පොල් මල ගැසීම හා සම්බන්ධ වතාවත් විස්තර කෙරෙන පොල් මලේ කවි සහ මඩුපුරය කවි ගායනා කෙරේ. මෙහිදී අවසාන වශයෙන් විශේෂයෙන්ම වීරමුණ්ඩ දෙවියන් උදෙසා ප්‍රබන්ධිත කවි ගායනා කරනු ලැබේ.

අඩක්කු පිසීම සඳහා සූදානම් වීම
මගුල් බෙර වාදනය කෙරෙද්දී දෙවියන් සඳහා මුලින්ම වෙන් කෙරුනු අක්යාල ගෙන වී කෙටීම ආරම්භ කරනු ලැබේ. දේව දානය සඳහා වී පිටි ආදිය කෙටීමත් තෙල් සිදීම යන කාර්යයන් මෙදින රාත්‍රියේ දී සිදු කෙරෙයි. වී සහ පිටි කොටන වංගෙඩිය වටේ සුදු පිරුවටයක් එතිය යුතු අතර පුවක් මල් කිනිති තුනක් එහි තුන් පැත්තෙහි එල්ලා තැබිය යුතුය. මේ සියලුම කාර්යයන් පේ වූ පිරිමින් විසින් පමණක්ම කරනු ලැබීම මෙහි විශේෂත්වයයි.

කංකාරිය පවත්වන දින පෙරවරු චාරිත්‍ර

මුරුතැන් පිසීම
දෙවියන් සඳහා මුරුතැන් පිසීම කංකාරි දින උදය වරුවේ සිදු කරනු ලැබේ. මුරුතැන් බත් පිසීම සඳහා හාල් මුට්ටි තුනක් ලිප තැබේ. ඒ  මුට්ටිවලට හාල් දමනුයේ ඔත්තේ සංඛ්‍යා වලිනි. 

නානුමුර මංගල්‍යය
පෙරදින හවස යහන මතට වැඩමවන ලද ආයුධ ආභරණ පේ කරන ලද තොට වෙත ගොස් දෙහි මිශ්‍ර ජලයෙන් සෝදා පිරිසිදු කිරීම නානුමුර යනුවෙන් හැඳින්වේ.

පුදා වැඩිම
පිසින ලද මුරුතැන් දෙවියන් වෙත පූජා කිරීම පුදා වැඩීම නම් වේ. බත් වට්ටක්කා අලු කෙසෙල් සහ කරවල අලුත් නෑබිලියකට බෙදා එය කෙසෙල් කොළයකින් වසා පිරුවට ඇඳ මුඛවාඩම් බැඳ ප්‍රධාන අතෝරකරුවා විසින් උඩුවියන් බැඳ යටින් ගෙනවුත් යහනෙහි කෙසෙල් කොළයට දමනු ලැබේ. මෙය ගෙනෙන අතරේ දි තේවා පද වාදනය කෙරේ. මේ ආකාරයට ආහාර තටු පහක් යහන මතට වැඩමවයි. තවත් එක් ආහාර තටුවක් යහනට පහළින් තිබෙන යටි යහනෙහි තැන්පත් කරයි. 

යාතිකාව
පුුදා වැඩීමෙන් පසුව ආතුරයා අතට බුලත් අතක් දී ඔහු යහන අසලට ගෙන්වා ගන්නා ප්‍රධාන යක්දෙස්සා ආතුරයා වෙනුවෙන් යාතිකාවක් කරයි. එම යාතිකාවෙන‍ෙ කියැවෙන්නේ දෙවියන් මේ පුද තටු ගෙන ආතුරයාට ඇති දෙස් මුදා හරින ලෙස කෙරෙන ඉල්ලීමකි.

පේ බත් යැදීම
යහන මත පහන් දල්වා මගුල් බෙර වාදනයක් ද පැවැත් වූ පසු ප්‍රධාන කැපකරු ලෙස කටයුතු කරන්නා යහන ඉදිරියේ සිට කොහොඹා යක් කංකාරියේ මහා යාතිකාව නම් ගද්‍ය සැහැල්ල ගායනා කරයි. අනතුරුව යළිත් මගුල් බෙරවාදනය පැවැත්වේ. දේවාරාධනය ගැයෙන්නේ මීළඟටය. මෙහි අවසාන පද්‍ය කණ්ඩයෙන් වෘක්ෂ දේවතාවෙකු සතුටු කරවන බවත් කියැවේ. මෙය රුක් දෙව් පිදීමේ පැරණි චාරිත්‍ර විධියක් බව දැක්විය හැකිය.

අයිලේ යැදීම
කොහොඹා යක් කංකාරියේ අයිලය වැදි අයිලය යනුවෙන් ද හැඳින්වේ. දහවල් පේ බත් යැදීමෙන් පසුව අයිලය යැදිය යුතු බව යක්දෙස්සන් අතර පවතින සම්ප්‍රදායකි.

දෙවියන්ගේ කෝල්මුර කවි කීම
ඉරුගල්බණ්ඩාර, කන්දෙ බණ්ඩාර, කොහොඹා තුන් කට්ටුව, උඩුවේරිය බණ්ඩාර, වලියක්තුන් කට්ටුව සහ කලුකුමාර යන දෙවිවරුන්ගේ විස්තර ඇතුළත් වන කවි කෝල්මුර නමිනි.

මධ්‍යම කඩවර
කඩවර බොහෝ සිංහල ශාන්තිකර්ම වල දී පුදපෙත් ලබන්නෙකි. කඩවර යනුවෙන් පිදෙන ගොටුව දහවල් මධ්‍යාහ්නයේ දීම මධ්‍යම කඩවර නමින් හැඳින්වේ. කඩවරට කංකාරි මඩුවේ සීමාවට පැමිණීම මලය රජතුමා විසින් තහනම් කරන ලද බවත් ඔහුගේ නොදැමුණුකම ඊට හේතු වූ බවත් කඩවර පිදෙන්න කංකාරි මඩුවෙන් දුර ස්ථානයක දිය යුතු බවත් කෝල්මුර වලින් කියැවේ.

දෙයියන්ගේ දානය
පුදා වැඩීම සදහා ගත් සියළුම කෑම වර්ග දැමු වට්ටිය දෙයියන්ගේ දානේ යනුවෙන් හැදින්වේ. එයින් කොටසක් පළමුවෙන්ම ආතුරයාට භූක්ති විදීමට දෙන අතර ඉන් පසුව රැස්ව සිටින සියලුම දෙනාට භුක්ති විදීමට ආරාධනා කෙරේ.

උදය වරුවේ චාරිත්‍ර මෙයින් සමාප්ත කෙරේ. සවස් වරුවේ චාරිත්‍ර ඇතුලත් දෙවන සටහනින් නැවත හමුවෙමු. 

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ උපත් කතාව

කොහොඹා කංකාරී ශාන්ති කර්මයේ උපත පිළිබඳ විවිධ මතිමතාන්තර පලවී ඇත. ජනප්‍රවාදයේ මෙන්ම ඉතිහාසගත සාහිත්‍ය ග්‍රන්ථ ඇසුරෙන්ද මේ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට පුළුවන. ඒ සඳහා කෝට්ටේ යුගයේදී හා ඊට පසුව ලියැවුණු කුවේනණි අස්න, රාජාවලිය, සිහඹා අස්න, කොහොඹා යක්කම, දිවිදොස් ශාන්තිය, මලය රාජ කතාව ආදී ග්‍රන්ථවල මේ හා සම්බන්ධ තොරතුරු අන්තර්ගත වේ. ඒවායෙහි එකිනෙක අතර සුළු සුළු වෙනස්කම් තිබුනද අන්තර්ගත කරුනු ගොනුකර ගැනීමෙන් මෙහි උපත් කතාව සියල්ලට පොදුවන අන්දමින් මෙසේ දැක්විය හැකිය.

විජය රජු සත් සියයක් සමග ලක්දිවට පැමින පළමුවෙන්ම කුවේණිය විවාහ කර ගත්තේය. පසුව ඇයට ජීවහත්ථ සහ දිසාල නමින් දරු දෙදෙනෙක්ද උපන්හ. එහෙත් විජය රජු කුවේණිය එළවා දමා මදුරාපුරයේ සමකුල කුමාරිකාවක් සරණ පාවාගත්තේය. මෙයට විජය කෙරෙහි කෝපයට පත් කුවේණිය ඔහුට ශාප කළේය. එම ශාපය විජය රජුට නොවැදුනේ බුදුන් වහන්සේ විසින් ලක්දිව ආරක්ෂාවට දෙවියන් වෙත පවරනු ලැබීමේ හේතුවෙන්  විජය රජුට අරක් ගෙන සිටි සක්‍ර, බ්‍රහ්ම, මහේෂ්වර, කිහිරැලි, උපුල්වන්, සමන් ආදී දෙවිවරුන් ඉදිරිපත් වී කුවේණියගේ වීදුරු දිව කඩා ඇය ගල් කර විජය රජු ආරක්ෂා කල බව කියැවේ. එම නිසා විජය රජුගෙන් පසු රාජ්‍යට පැමිනි පඬුවස්දෙව් රජුට මෙම ශාපය වැදුනේය. සිහිනෙන් දිවිවෙසක් දැක බියට පත් වූ පඬුවස්දෙව් රජු රෝගාතුර විය. එම සිහිනය නම් නපුරු රාක්ශයෙක් රජු ගිල ගැනීමට විශාල දිවක් රජු ඉදිරියේ එලියට දැමීමය. මොහොතකින් අවදි වූ රජු තමාගේ අසිපතින් රකුසාගේ දිව කපා දැමීය. මොහොතකින් අවදි වූ රජු විමසිලිමත්ව බැලූ විට බිම වැටී තිබුනු ලේ බින්දු දැක කිසිවකු මෙය දුටුවහොත් තමාට නින්දා අපහාස වේයයි සිතා රන් කොරහකින් එය වසා දැමීය. පසුදින උදෑසන විජය රජුගේ නෑදෑයෙකු පැමින රජු නොසිටි හෙයින් අවට විපරම් කර බැලීමේදී රන් කොරහක් දුටුවේය. එය ඇර බලන විට දිවි පැටියෙක් එහි සිට රජුගේ ඇඟට පැනීමෙන් රජ බියට පත් විය. මෙයින් බියට පත් වූ පඬුවස්දෙව් රජු එතැන් සිට රෝගාතුර විය. මෙම දෝශය දිවිදොශය යනුවෙන් හඳුන්වයි.

මෙම දිවිදෝශය සුව කිරීමට නම් මව්කුසින් නූපන් කෙනෙක් කැඳවිය යුතු බව ශක්‍රයා පවසයි. මේ සඳහා කැඳවිය යුත්තේ මලකින් උපන් කුමරෙකු හෙවත් මලය රජු බව හෙතෙම පැවසීය. මලය රජු ගෙන්වා ගත හැක්කේ රාහු අසුරිදුට යයි, කී පසු රාහු අසුරිදු ගෙන්වා මෙය ඉටුකර දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටි නමුත් ඔහු කියා සිටියේ විශ්නුගේ දස අවතාරයෙන් එකක් වන ඌරු ( වරාහ ) අවතාරයට වරම් ලබා දෙන්නේ නම් එම කාර්යය ඉටු කර දෙන බවයි. පසුව ඌරු අවතාරයට වරම් ලබාදීමෙන් රාහු අසුරිදු ඌරු වේශයෙන් මලය රජුගේ නන්ද නම් උයන විනාශ කරන්නට විය. මෙය දුටු මලය රජු ඌරා ලුහුබැඳ යයි. ඌරා කැලෑ ගම් දනව් පසු කරමින් මහමුහුද තරණය කරමින් ලංකා දේශයේ සන්තානාවට ගොඩ බසී. අවශ්‍ය තැනට මලය රජු ගෙන්වාගත් පසු ඌරා ( රාහු අසුරිදු ) මහා පර්වතයක් බවට පත් විය. ( මන්නාරම් ප්‍රදේශයේ සන්තානා ගල නමින් ව්‍යවහාර කරන්නේ මෙය යයි ජනප්‍රවාදයේ පවතී ) දැඩිසේ කෝපයට පත් වූ මලය රජු තම අත තිබූ තත්තාරී දුන්නෙන් පර්වතයට ගසා දෙපලු කල විට එයින් රාහු අසුරිදු මැවූ බවක්ද කියවේ..

ඉන්පසු රාහු අසුරිදු මලය රජුට පඬුවස් රජුගේ දිවිදෝශය පිළිබඳ කරුණු පැහැදිලි කර රජු දෝශයෙන් මුදවා ගැනීමට එකඟ කරගෙන මලය රජුගේ උපදෙස් පරිදි හැටරියනක් දිගට මඩුවක් සාදවා තැඹිලි, නවසි, රඹකැන් ආදියෙන් සරසා ඔහු විසින් ගෙන්වා ගන්නා ලද බ්‍රාහ්මන ඇදුරන් කීප දෙනෙක් යොදවා තමාගේ ඇඳුමින් අඩක් ඔවුන්ට අන්දවා කල රංගනයෙන් හාස්‍යෝත්පාදක ජවනිකා දැක රජුට සිනහ පහලවී දිවිදෝශය දුරු විය. මින් මතුවට මෙවැනි උවදුරු දුරු කිරීමට සුදුසු දේව මණ්ඩලයක් පත් කර කොහොඹ ගසක් යටදී එහි ප්‍රධානියා වශයෙන් අලුත් කොහොඹා දෙවි පත් කර පරණ කොහොඹ, මහකොහොඹ, ඉරුගල්බන්ඩාර, කන්දෙ බන්ඩාර, කලු බන්ඩාර, මෙලෙයියකා, කඩවරයකා, වැදියකා යනුවෙන් නවදෙනෙක් ඇතුලත් කර ඔවුන්ට මලය රජු සතු බලතල කිහිපයක් පවරාදී ආපසු ගියේය. ඉන්පසු එතැන් පටන් අද දක්වා කොහොඹායක් කංකාරි ශාන්තිකර්මය පවත්වයි.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

 ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

Friday, January 15, 2021

උඩරට නර්තන සාම්ප්‍රදාය හා බැදුණු ශාන්තිකර්ම

 
උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනයන් අතර වඩාත්ම ප්‍රචලිත නර්තන ක්‍රමය ලෙස පිළිගැනේ. ලංකාවේ කන්ද උඩරට නමින් හඳුන්වනු ලබන උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට, හාරිස්පත්තුව, හඟුරන්කෙත, කොත්මලේ යනාදී ප්‍රදේශ වලද  සත් කෝරලය හා සතර කෝරල සීමාසන්න ප්‍රදේශවල දීද මෙම නර්තන සම්ප්‍රදාය ව්‍යවහාරයේ පවතී. උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්ම රාශියක් ද එකී ශාන්ති කර්මයන්ගේ ආභාසය ලබා එයින් පරිබාහිරව වර්ධනය වූ වන්නම්, උඩැක්කි, පන්තේරු, රබන් වන ශාස්ත්‍රීය සාම්ප්‍රදායික ලක්ෂණයන් හා විධි නියමයන් අනුව සකස් වූ සබ නැටුම් සම්ප්‍රදායක් ද ඇත. එකී සබ නැටුමේ දී විශේෂයෙන්ම වන්නම් නැටීමේදී වෙස් ඇඳුම් කට්ටලය ද අනිකුත් සබ නැටීමේදී එකී නර්තනය සඳහා ආවේණික වෙනත් ඇඳුම් කට්ටලයන්ද පැවැත්වීම සාමාන්‍ය පිළිවෙතයි. උඩරට නර්තන හා බැඳී ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස සලකන්නේ ගැටබෙරයයි. ඊට අමතර වශයෙන් තාලම්පටද, උඩැක්කියද, දවුල, තම්මැට හා හොරණෑව, හක්ගෙඩිය හා පන්තේරුව ද උඩරට නර්තනය හා බැඳි විවිධ කාර්යයන්හි දී යොදා ගනු ලැබේ. මෙම නර්තනය හා බැඳී ප්‍රධාන රංග වස්ත්‍රාභරණ ලෙස සලකනු ලබන්නේ වෙස් අදුම් කට්ටලයයි. ඊට අමතර වශයෙන් පන්තේරු ඇඳුම් කට්ටලය, නයියඩි ඇදුම් කට්ටලය, උඩැක්කි ඇදුම් කට්ටලය යනාදි වශයෙන් රංග වස්ත්‍රාභරණ ගණනාවක් ද ඇත. උඩරට සම්ප්‍රදායට අනුව පවත්වනු ලබන ලොකු කුඩා ශාන්තිකර්ම ගණනාවක් උඩරට නර්තන ප්‍රභවයෙන් ලැබූ හා ව්‍යාප්ත වූ ප්‍රදේශයන්හි විවහාරය බව දක්නට ලැබේ. 

සැලකිය යුතු තරම් සංඛ්‍යාවක් ශාන්තිකර්ම අභිචාර විධි හා පුද පූජා ක්‍රම ඔවුන් අතර අද දක්වාම ප්‍රායෝගිකව ව්‍යවහාරය පැවැත්වීම ජාතියේ වාසනාවකි. එසේ භාවිතයෙහි පවතින  ශාන්තිකර්ම අතරින් කිහිපයක් ප්‍රධාන ශාන්තිකර්මයන් වශයෙන් වෙන්කොට හඳුනාගත හැකිය. අනෙක් ඒවායින් බොහොමයක් ප්‍රධාන ශාන්තිකර්මයන් ගෙන් බිඳී ආ එහිම අනු කොටස් නැවත ස්වාධීන ලෙස සංවර්ධනය වූයේ යැයි උපකල්පනය කළ හැකි කුඩා යාතුකර්ම ද පවතී. ඒ අනුව උඩරට නර්තන සම්ප්‍රදායේ එන ශාන්තිකර්ම ලෙස,

  • කොහොඹා යක්කංකාරි ශාන්තිකර්මය
  • වලියක් මංගල්‍යය
  • කඩවර කංකාරිය
  • ගම්මඩු ශාන්තිකර්මය
  • පිදුම් මඩුව
  • ගිනි මඩුව
  • මල් මඩුව
  • රුප්පායක් මඩුව
  • මෙලෙසි යක් මඩුව
  • පඬුරු වෙන් කිරීම දෙවියන් වැඳීම
  • බලි ශාන්තිකර්මය

යනාදිය දැක්විය හැකිය.

(තොරතුරු ගුරුවරු , පොත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)  

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...