කංකාරිය සඳහා පූර්ව සූදානම් වීම
අගහස් වෙන්කිරීම
ගොවිතැනෙන් ලද අස්වැන්නේ ප්‍රථම කොටස දෙවියන් උදෙසා මංගල්ලයක් පැවැත්වීම පිණිස වෙන් කරනු ලැබේ. මෙසේ වෙන් කරගත් අග්‍ර ශස්‍ය කොටස් නිවසේ උස් තැනක සුරක්ෂිතව තබනු ලැබේ. අග්‍ර ශස්‍ය හෙවත් ප්‍රථම අස්වැන්න දෙවියන් සඳහා වෙන් කිරීම ''අක්යාල වෙන් කිරීම" යනුවෙන් උඩරට ප්‍රදේශවල හැඳින්වේ. එය පහතරට ප්‍රදේශවල හැඳින්වෙන්නේ ''දෙවියන්ගේ වී හෝ දෙවියන්ගේ අස්වැන්න'' යන නමින්ය.
රුප් පේ කිරීම
''රුක් පේ කිරීම'' සුඛෝච්චාරණය උදෙසා ''රුප් පේ කිරීම'' යනුවෙන් සකස් වී ඇත. කංකාරියේ සියලුම අවශ්‍යතා සඳහා යොදා ගන්නා පොල් ගස්, මුව මල්, කෙසෙල් ගස්, පුවක් ගස් ආදිය වෙන් කිරීම හෙවත් නිල කිරීම ''රුප් පේ කිරිම'' යනුවෙන් හඳුන්වනු ලැබේ.
කප් සිටුවීම
කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ගත වීමට පෙර සාමාන්‍යයෙන් තෙමසක් ඇතුළත කංකාරියක් පවත්වනු ලබන බවට දෙවියන් හා යකුන් විෂයෙහි ප්‍රතිඥා දීමක් කප් සිටු සිටුවීමෙන් අදහස් කෙරේ. කප ගහ සඳහා කංකාරි ගෙදර උතුරු දෙසින් පිහිටි ගෙඩි නොහැදුණු සශ්‍රීකව වැඩුණු වරක ගසක උතුරු දෙසට විහිදුණු අත්තක් උපයෝගී කර ගැනේ.
කංකාරි දිනට පෙරදා චාරිත්‍ර
මඩුව සෑදීම
කංකාරි මඩුව සාදන්නේ ද නියමිත නැකත් අනුවය. දිගින් සැට රියනක් ද පළලින් තිස් රියනක්ද වන සේ තැනූ කංකාරි මඩුවේ ප්‍රථම කණුව සුභ නැකතකදී මගුල් බෙර වාදනය මාධ්‍යයේ සිට වන ලද්දකි. කංකාරි මඩුවේ එක් පසෙක යක්ගෙය සාදන අතර එහි යහන පිළියෙල කෙරේ. ලී කෝටු කෙසෙල් පදුරු සහ ගොක්කොල වලින් සාදනු ලබන යහන සඳහා කිසිම ආකාරයකින් හෝ යකඩ භාවිතා නොකෙරේ. යක් ගේ තට්ටු දෙකකි. උඩ තට්ටුවෙ දෙවියන්ගේ ආභරණ අවුපත් ආදිය තැන්පත් කරන යහනය. පහල තට්ටුවේ පැහැදුම් පෙට්ටියකි. කංකාරි මඩුවේ සහ යක්ගේ සෑදීමෙන් අනතුරුව කංකාරි මඩුවට නුදුරෙන් කෙළවරක වැඳි යකුන් පිදීම සඳහා වැදි යක් පොල යනුවෙන් හඳුන්වන කුඩා මඩුවක් ද ඉදිකෙරේ.
මඩු පේ කිරීම
කංකාරියට පෙරදින දහවල් වන විට සාදා නිම කෙරෙන මඩුව සහ යක් ගෙය පේ කිරීම හෙවත් දෙවියන් සඳහා කැප කිරීම යක් දෙස්සා විසින් විසින් මඩුව පේ කිරීම යනුවෙන් හඳුන්වනු ලැබේ.
තොට පේ කිරීම
මුරුතැන් හෙවත් දේවදානය පිසීමට ජලය ලබා ගන්නා පැන් තොට දෙවියන් සඳහා වෙන් කිරීම මෙයින් අදහස් කෙරේ. මෙම චාරිත්‍රය විදිය බොහෝ සිංහල ශාන්තිකර්ම සම්බන්ධ වූවකි.
අත්තෝරකරුවන් පේ කිරීම
අත්තෝරකරුවන් හෙවත් කොට්ටෝරුවන් යනුවෙන් හැඳින්වෙන්නේ කංකාරියේ යක්දෙස්සන්ගේ කටයුතු පහසු කරවනු සඳහා මුරුතැන් පිසීම ආදියට සහාය කරගන්නා පුද්ගලයන් ය. මේ සඳහා බෙර වයන්නන්ගේ කුලයටත් වඩා අතිශයින් ම පහත් යැයි සැලකෙන කුලයක අය ගැනෙන බව යක්දෙස්සාන් පවසති.
මල පේ කිරීම
කප සිටවූ දිනයේ නිල කරන ලද හෙවත් පේ කරන ලද පොල් ගසින් කපා ගත් පොල් මල් දෙවියන් සඳහා පේ කිරීම හෙවත් දේව කාර්යය සඳහා සුදුසු වන පරිදි සකස් කර දීම මල පේ කිරීම නම් වේ
ආභරණ වැඩමවීම හෙවත් දෙවියන් වැඩමවීම
කංකාරිය හා සම්බන්ධ දේවතාවුන්ගේ ආභරණ හා අවුපත් ආයුධ සහ අදින ලද පින්තූර යහනට වැඩමවීම යක්දෙස්සන් විසින් දෙවියන් වැඩම වීම යනුවෙන් හදුන්වනු ලැබේ.
මල් යහන් කවි යහන් කවි කීම
යහන මත ආයුධ අවුපත් තැන්පත් කිරීමෙන් පසු දිවයිනේ කවර ස්ථානයක වැඩ සිටිය ද ඒ සෑම දෙවියකුටම මල් යහනට වැඩම කරන ලෙස ආරාධනා කරනු ලැබේ.
දෙවියන්ගේ කවි කීම
කංකාරිය හා සම්බන්ධ සියලුම දෙවි දෙවිවරුන් පිළිබඳ කෝල්මුර කවි කියා ඉන් පසු පොල් මල ගැසීම හා සම්බන්ධ වතාවත් විස්තර කෙරෙන පොල් මලේ කවි සහ මඩුපුරය කවි ගායනා කෙරේ. මෙහිදී අවසාන වශයෙන් විශේෂයෙන්ම වීරමුණ්ඩ දෙවියන් උදෙසා ප්‍රබන්ධිත කවි ගායනා කරනු ලැබේ.
අඩක්කු පිසීම සඳහා සූදානම් වීම
මගුල් බෙර වාදනය කෙරෙද්දී දෙවියන් සඳහා මුලින්ම වෙන් කෙරුනු අක්යාල ගෙන වී කෙටීම ආරම්භ කරනු ලැබේ. දේව දානය සඳහා වී පිටි ආදිය කෙටීමත් තෙල් සිදීම යන කාර්යයන් මෙදින රාත්‍රියේ දී සිදු කෙරෙයි. වී සහ පිටි කොටන වංගෙඩිය වටේ සුදු පිරුවටයක් එතිය යුතු අතර පුවක් මල් කිනිති තුනක් එහි තුන් පැත්තෙහි එල්ලා තැබිය යුතුය. මේ සියලුම කාර්යයන් පේ වූ පිරිමින් විසින් පමණක්ම කරනු ලැබීම මෙහි විශේෂත්වයයි.
කංකාරිය පවත්වන දින පෙරවරු චාරිත්‍ර
මුරුතැන් පිසීම
දෙවියන් සඳහා මුරුතැන් පිසීම කංකාරි දින උදය වරුවේ සිදු කරනු ලැබේ. මුරුතැන් බත් පිසීම සඳහා හාල් මුට්ටි තුනක් ලිප තැබේ. ඒ මුට්ටිවලට හාල් දමනුයේ ඔත්තේ සංඛ්‍යා වලිනි.
නානුමුර මංගල්‍යය
පෙරදින හවස යහන මතට වැඩමවන ලද ආයුධ ආභරණ පේ කරන ලද තොට වෙත ගොස් දෙහි මිශ්‍ර ජලයෙන් සෝදා පිරිසිදු කිරීම නානුමුර යනුවෙන් හැඳින්වේ.
පුදා වැඩිම
පිසින ලද මුරුතැන් දෙවියන් වෙත පූජා කිරීම පුදා වැඩීම නම් වේ. බත් වට්ටක්කා අලු කෙසෙල් සහ කරවල අලුත් නෑබිලියකට බෙදා එය කෙසෙල් කොළයකින් වසා පිරුවට ඇඳ මුඛවාඩම් බැඳ ප්‍රධාන අතෝරකරුවා විසින් උඩුවියන් බැඳ යටින් ගෙනවුත් යහනෙහි කෙසෙල් කොළයට දමනු ලැබේ. මෙය ගෙනෙන අතරේ දි තේවා පද වාදනය කෙරේ. මේ ආකාරයට ආහාර තටු පහක් යහන මතට වැඩමවයි. තවත් එක් ආහාර තටුවක් යහනට පහළින් තිබෙන යටි යහනෙහි තැන්පත් කරයි.
යාතිකාව
පුුදා වැඩීමෙන් පසුව ආතුරයා අතට බුලත් අතක් දී ඔහු යහන අසලට ගෙන්වා ගන්නා ප්‍රධාන යක්දෙස්සා ආතුරයා වෙනුවෙන් යාතිකාවක් කරයි. එම යාතිකාවෙනෙ කියැවෙන්නේ දෙවියන් මේ පුද තටු ගෙන ආතුරයාට ඇති දෙස් මුදා හරින ලෙස කෙරෙන ඉල්ලීමකි.
පේ බත් යැදීම
යහන මත පහන් දල්වා මගුල් බෙර වාදනයක් ද පැවැත් වූ පසු ප්‍රධාන කැපකරු ලෙස කටයුතු කරන්නා යහන ඉදිරියේ සිට කොහොඹා යක් කංකාරියේ මහා යාතිකාව නම් ගද්‍ය සැහැල්ල ගායනා කරයි. අනතුරුව යළිත් මගුල් බෙරවාදනය පැවැත්වේ. දේවාරාධනය ගැයෙන්නේ මීළඟටය. මෙහි අවසාන පද්‍ය කණ්ඩයෙන් වෘක්ෂ දේවතාවෙකු සතුටු කරවන බවත් කියැවේ. මෙය රුක් දෙව් පිදීමේ පැරණි චාරිත්‍ර විධියක් බව දැක්විය හැකිය.
අයිලේ යැදීම
කොහොඹා යක් කංකාරියේ අයිලය වැදි අයිලය යනුවෙන් ද හැඳින්වේ. දහවල් පේ බත් යැදීමෙන් පසුව අයිලය යැදිය යුතු බව යක්දෙස්සන් අතර පවතින සම්ප්‍රදායකි.
දෙවියන්ගේ කෝල්මුර කවි කීම
ඉරුගල්බණ්ඩාර, කන්දෙ බණ්ඩාර, කොහොඹා තුන් කට්ටුව, උඩුවේරිය බණ්ඩාර, වලියක්තුන් කට්ටුව සහ කලුකුමාර යන දෙවිවරුන්ගේ විස්තර ඇතුළත් වන කවි කෝල්මුර නමිනි.
මධ්‍යම කඩවර
කඩවර බොහෝ සිංහල ශාන්තිකර්ම වල දී පුදපෙත් ලබන්නෙකි. කඩවර යනුවෙන් පිදෙන ගොටුව දහවල් මධ්‍යාහ්නයේ දීම මධ්‍යම කඩවර නමින් හැඳින්වේ. කඩවරට කංකාරි මඩුවේ සීමාවට පැමිණීම මලය රජතුමා විසින් තහනම් කරන ලද බවත් ඔහුගේ නොදැමුණුකම ඊට හේතු වූ බවත් කඩවර පිදෙන්න කංකාරි මඩුවෙන් දුර ස්ථානයක දිය යුතු බවත් කෝල්මුර වලින් කියැවේ.
දෙයියන්ගේ දානය
පුදා වැඩීම සදහා ගත් සියළුම කෑම වර්ග දැමු වට්ටිය දෙයියන්ගේ දානේ යනුවෙන් හැදින්වේ. එයින් කොටසක් පළමුවෙන්ම ආතුරයාට භූක්ති විදීමට දෙන අතර ඉන් පසුව රැස්ව සිටින සියලුම දෙනාට භුක්ති විදීමට ආරාධනා කෙරේ.
උදය වරුවේ චාරිත්‍ර මෙයින් සමාප්ත කෙරේ. සවස් වරුවේ චාරිත්‍ර ඇතුලත් දෙවන සටහනින් නැවත හමුවෙමු.
(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
ප්‍රධාන මූලාශ්‍රයන්
දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
වටිනවා👍❤️
ReplyDeleteBest
ReplyDelete