බලි නිර්මාණකරණය සරල ක්‍රියාවක් නොව එකිනෙක බැඳුණු සංකීර්ණ ක්‍රියාවලියකි.
පොත පතේ සඳහන් වන ආකාරයට මෙන්ම ජනප්‍රවාදයේ පවතින ආකාරයටත් බලි නිර්මාණය
හා සම්බන්ධ ක්‍රියාවලිය පිළිවෙළකට මෙසේ හඳුනාගත හැකිය.
* බලි මැසි නැගීම හෙවත් මැසි බැඳීම
* බලි මඩුව තැනීම
* තුඹස පේ කිරීම
* මැටි පදම් කිරීම
* මැටි අතින් පේ කිරීම.
* අත් බලිය සෑදීම
* බලිය ඇඹීම
* වර්ණ ගැන්වීම
* නේත්‍රා තැබීම
* බලි නැගී සිටුවීම හෙවත් කෙලින් සිටුවීම වශයෙනි.
බලි ශාන්තිකර්මය කිිරීමට පෙර බලි කප සිටවනු ලැබේ. එයින් කෙරෙනුයේ ග්‍රහයන්ට පොරොන්දු වීමකි. ඉන්පසු ශාන්තිකර්මය ඉටු කිරීමට කලින් බලි මඩුව සෑදීම සඳහා එම ස්ථානයට පැමිණේ. වෙනත් මඩු ශාන්තිකර්මයක දී ඒ සඳහා යොදාගනු ලබන රඟමඬල හෙවත් මඩුව සාදනුයේ නිශ්චිත දිග පළලක් සහිතවයි. දිගින් සැට රියනක් සහ පළලින් තිස් රියනක් ලෙස ගැනෙන එකී භූමි ප්‍රමාණය බලි ශාන්තිකර්මය සඳහා අදාළ නොවේ. බොහෝ විට මෙය ගෘහස්ථ කරනු ලබන්නක් වන හෙයින් මඩු කූඩාරම් ඉදි කිරීම සිදු නොකරන අතර විශාල බලි යාගයක් පැවැත්වීමේදී ආතුර ගෘහයේ ඉඩකඩ නොමැති අවස්ථාවකදී නම් ඒ සඳහා මඩුවක් ඉදි කරනු ලබන අතර එකී මඩුව ද අවශ්‍යතාවයට සලකාගෙන කරනු ලබන්නකි. එසේ වුවද මෙකී මඩුව උඩට උඩුවියන් බැඳ නව කොළ අතු එල්ලා වටේට ගොක් කොළ එල්ලා සැරසිලි යොදා අලංකාර කොට සරසා ගනු ලබයි. මෙකී යාග මණ්ඩපය පිරිත් සජ්ඣායනය සඳහා සකස් කළ මණ්ඩපයක ස්වරූපයක් ගනු ලබන්නේ යැයි කිවහොත් එය නිවැරදිය. ආතුර ආසනයේ දෙපසත් බලි මණ්ඩපයෙ සිව් කොනහිත් පුන්කලස් තබනුයේ සෞභාග්‍යය සංකේතත්වයක් වශයෙනි.
ඇඹීම සඳහා මැටි තෝරා ගැනීමේදී හුඹස් මැටි වඩාත් සුදුසුම මැටි ලෙස සැලකෙන අතර බොහෝ විට යාග භූමියට උතුරු දෙසින් පිහිටි තුඹසකින් තෝරා ගැනීම සම්ප්‍රදායකි. මැටි පේ කිරීම සිදුවන්නේ මැටි කැපීමට පෙර දිනය. තුඹස වටා ගොක් රැහැන් ඇද සරසා පුද සත්කාර කරන්නේ මේ පළමු දිනදීමය. මෙය මැටි පේ කිරීම යනුවෙන්ද හැදින්වේ.
බලි මැසි
නැගීම හෙවත් මැසි බැඳීම බලි ශාන්තිකර්මය හා සම්බන්ධ ආරම්භක කාර්යයයි.
නියමිත ග්‍රහයන්ට අනුව බලියේ ප්‍රමාණයට ද අනුව ප්‍රමාණවත් මිමි ගණනය
කිරිමෙන් මැසි සැකසීම සිදු කරයි. බොහෝ විට ඔත්තේ සංඛ්‍යා වලින් මෙම මිමි
යොදා ගැනීම විශේෂත්වයකි. බලි හා බැඳුණු ඇඹුම් කවි වලින් බලි මැසි බැඳීම
පිළිබඳ විස්‌තර කරුණු හඳුනාගත හැකිය.
"උසින් එකොළොස් වියන් පළලින් වියත් පමණක් මැස්‌ස ගන්නේ. හොඳින් ඇදුරා පේව දත මැද ගෙයක් පිරිබඩ ලමින්නේ.".........
බලි නිර්මාණයේ මූලිකම කාර්යය බලිය
ඇඹීමයි. ඇදුරෙකු විසින් මැටි පිඩක් ගෙන තුන්වරක් හිස වටා කරකවා මැස්‌ස
මතට දැමීමත් සමඟ සම්ප්‍රදායානුකූලව ඇඹීම ආරම්භ කරයි. ආරම්භයේදී තෙරුවන් ගුණ
සිහිකිරීම ද බොහෝ දුරට සිදුවේ. ලාංකේය බලි ශාන්තිකර්මය පුරාම මේ ආගමික
නැඹුරුව ද හඳුනාගත හැකිය. එය පොතපතේ ද සඳහන් වෙයි. විනී විතාරණ මහතා එය
සඳහන් කරන්නේ "බලි යාගය මෙන්ම ඇඹීම ද ආරම්භ කරන්නේ තෙරුවන් සිහි කිරීමෙනි.
බලි රඟමඬලක් වනාහි යම්තාක් ප්‍රමාණයකට පිරිත් මණ්‌ඩපයක අනුකරණයකැයි
තිරසරව පිළිගත හැකිය" යනුවෙනි. (විනී විතාරණ - බලි යාගය)
ඇතැම් බලි ශාන්තිකර්ම සඳහා විශාල බලි සාදාගන්නා බැවින් පොල් පරාල වැනි
ශාක්‌තිමත්, දැව ද මැසි බැඳීමට යොදා ගනී. පොල් පිති පතුරු ගෙන හරහට තබා
බඳියි. බලි මඩුව සකසා ගැනීම ඊළඟ මූලික කාර්යයි. මෙයද බලියේ උස් මිටි
ප්‍රමණයට අනුව පරිමාණයට සාදා ගනී. බලි ඇදුරකුගේ මුල්ම ප්‍රධාන කාර්ය ලෙස
සැලකෙන්නේ මැටි පේ කිරීමයි. මෙහිදී බොහෝ විට ප්‍රධාන ඇදුරෙක් සහභාගි වීම
චාරිත්‍රයකි. සුදු පිරුවට ඇඳගත් ඇදුරා සුදු හඳුන්, පොල්කිරි. අමු කහ, කල්ක
ආදිය මුසු කරන ලද කහ වතුර මතුරා ඉසියි. බලිය සම්බන්ධ මුල්ම වැදගත් කාර්යය
ලෙස මෙය සැලකෙන බැවින් බොහෝ විට එය නැකතට සිදු කරයි. බලි ඇඹීම ආරම්භ වන්නේ
මින් පසුවයි. මුලින්ම මැටි තටුවක් මැස්‌ස මතට දමා ඒ මත රේඛාවෙන් බලිය
නිර්මාණය කරයි. අනතුරුව ඇඹීම ආරම්භ කරයි. බලි නිර්මාණය ඇතැම් විට ඉතා
සංකීර්ණ ක්‍රියාවලියක් විය හැක. එසේ වන්නේ බොහෝ විට බලියේ ස්‌වරූපය අනුවය.
ඇතැම් බලියකට මුහුණු සිය ගණනකි. මහා නීල රාක්‍ෂ බලිය එවැන්නකි. තවද
ප්‍රධාන බලියට අමතරව පරිවාර වශයෙන් ද බලි රූප නිර්මාණය කරයි. ඒ අනුව
ප්‍රධාන බලියට පරිබාහිරව සිංහ, නාග, ඌරු, අස්, ගොන් මෙන්ම ඇතැම් විට නර
රූපද, නව ග්‍රහයන් හා සම්බන්ධ පුන්කලස්, සංඛය, චාමරය, පොත, ලතාවැල, බඳ
වෙළුම, අංකුස ආදිය ද චිත්‍රනය කිරීම බොහෝ දුරට සිදුවේ. තවද ප්‍රධාන බලියට
අමතරව බලි මැස්‌සේ සිව්කොනේ යක්‍ෂ රූප චිත්‍රනය කිරීම ද සිදුවෙයි. බොහෝවිට
ප්‍රධාන බලියට අමතරව මංගල සංකේත නිරූපන බලි ආදී සෙසු බලි චිත්‍රනයෙන් නිම
කර ගැනීම ද සිදුවෙයි.
බලියක් ඇඹීමේදී බොහෝ විට ශිල්පීන්
කිහිපදෙනෙකු සම්බන්ධ වීම වැළැක්‌විය නොහැක. එසේ වුවත් ඇතැම් පොතක සඳහන්
වන්නේ මූර්තිය ආරම්භයේ සිට වර්ණ කිරීම දක්‌වා සියලු කටයුතු එක් අයෙකු
විසින් සිදු කිරීමේ පිළිවෙතක් ද පවතින බවයි. බලි රූප නිරූපනයේදී ඒ ඒ බලියට
නියමිත හැඩය ලබා ගැනීම ඉතා වැදගත් කාර්යයකි. මෙහිදී සාම්ප්‍රදායික
ශිල්පීන් සිය මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල යොදා ගනිමින් අපූරුවට එය නිම
කිරීමට සමත් වෙයි. මේ ආකාරයට බලියට අදාළ මුහුණ ඉතා හොඳින් මතුවන ආකාරයට නිම
කිරීම "ත්‍රිමාන්" ලෙස ද, සාමාන්‍ය ලෙස මතු කිරීම "බිමාන්" ලෙස ද
හඳුන්වයි. මෙය නූතන චිත්‍ර මූර්ති කලාවේ භාවිත "ත්‍රිමාණ" සහ "ද්විමාන"
නිරූපනයමය.
බලි ඇඹීම පිළිබඳ කියෑවෙන කවි තුළින් ඒවායේ නිර්මාණ
ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකිය. "කාල මූර්ති බලිය" පිළිබඳ
ඇඹුම් කවියක් මේ ආකාරයට හඳුනාගත හැකිය.
"පසන් මුවින් බබලන අත් දහසකි
ඔටුනු දැරූ රජ රන්වන් පාටකි
අඹනුය උඩුකර නැගි සිය යහනකි
දස අත වෙළුනයි සර්වාභරණෙ කි"
දිසානායක මුදියන්සේ: සමජ සංහිතා බලියාග විචාරය: සෞන්දර්ය කලා වි. වි. පර්යේෂණ හා සන්නිදර්ශන කමිටුව)
බලි
නිර්මාණය පිළිබඳ කවි බොහෝ ඇතත් ඒවායින් බලිරූප වල මිමි ප්‍රමාණයන් පිළිබඳ
හඳුනාගත හැක්‌කේ ඉතා අල්ප වශයෙනි. "විස්‌කම් බලියේ" ඇඹීමේ මිමි ප්‍රමාණයන්
දක්‌වා ඇත්තේ මෙසේය.
"දෙව්රුව නියම උස
නමයට බෙදා එක ලෙස
ඉන් එක මුව පෙදෙ ස
දිගින් පුළුලින් ගනුව මෙලෙස"
බලිය අඹා නිම කිරීමෙන් පසු මීළඟ කාර්යය වන්නේ වර්ණ කිරීමයි. බලියේ අලංකාරවත් බව මෙන්ම සෞන්දර්යාත්මක ගුණය වඩාත් තිව්‍ර වන්නේ බලිය වර්ණවත් වීමත් සමගය. බලි වර්ණ ගැන්වීමේදී සායම් ස්‌වභාවික ද්‍රව්‍යයන්ගෙන් සාදා ගැනීම සාම්ප්‍රදායික ක්‍රමයයි. මෙහිදී සුදු. කලු, කොල, නිල්, තැඹිලි, දුඹුරු, ඇඳුරු සුදු රන්වන් යන වර්ණ බහුලව යොදා ගනී. එසේ වුවත් මෙම වර්ණ බලි සඳහා යොදා ගත්තේ ඒ ඒ ග්‍රහයන්ට විශේෂ වූ වර්ණ පිළිබඳ සැලකිලිමත් වෙමිනි. වර්ණ සාදා ගන්නා ක්‍රමය බෙහෙවින් සම්ප්‍රදායකය. සුදු වර්ණය සකසා ගත්තේ මකුලු මැටි වලිනි. කොල වර්ණය සකසා ගත්තේ අත්තන මදටිය, මිදෙල්ල, කොහොඹ ආදී ශාකවල කොළවල යුෂ වලිනි. පොල්කටු අඟුරු. කුඩුකර පෙරා ගැනීමෙන් කළු වර්ණය සකසා ගති. කහපාට සඳහා ගංගා අසබඩ ඇති පස හෝ කෑමට ගන්නා කහකුඩු යොදා ගනී. මේ ආකාරයට සාදා ගන්නා වර්ණ වලට අමතරව ඔලිද, මදටිය ආදී ඇට වර්ග ද බලියේ අලංකරණ කාර්යයන් සඳහා යොදා ගනී. වර්ණ ගන්වන තෙලිකූර සකසා ගැනීම ද ඉතා සම්ප්‍රදායිකවම සිදුවන අතර පොල්, හන, කිතුල් ආදී කෙඳි මගින් එය සකසා ගනී.
මෙහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ බලි සිටුවීමයි. මෙය ඇතැම් පළාත් වල බලි ඇල්ලීම යනුවෙන්ද හැඳින්වෙයි.මෙහිදී සකස් කරන ලද බලි සිටුවීම සඳහා කණු දෙකක් සිටුවා ඒ දෙක යා කොට දණ්ඩක් බැඳ ගනු ලබයි. මෙකී දණ්ඩට හේත්තු වන සේ අංශක 45 ක පමණ කෝණයකින් බලි රූප හේත්තු කර සිටුවා තබනු ලැබේ. මෙම රූප වලට යටින් එහි පාමුල භෝජනය තැබීම සඳහා සුදුසු වන සේ ලී පට්ටා සහ කෙසෙල් පතුරු යොදාගනිමින් ආසනයක් ඉදිකරනු ලබයි. ඌව ප්‍රදේශයේ දී පවත්වන බලි යාගයේ දී භෝජන තටුව අභියස පොල්ගෙඩි නවයක් සහ කෙසෙල් බඩයෙන් කපා ඇතුළත හාරා වංගෙඩියක් මෙන් සකස් කළ හාල්, කහ, පඬුරු ආදිය දමා මුහුණත වැසූ "කලස්" නමින් හඳුන්වන පූජා උපකරණ නමයක් ද තබනු ලැබේ. එකී ප්‍රදේශ වල බලි මඩුව හඳුන්වන්නේ පන්තලය නැමැති පාරිභාෂිත පදයෙනි.
බලි ශාන්තිකර්මයක දී ශාන්තිකර්ම ආරම්භ කිරීමට ප්‍රථම සඳුන් කිරි පැන් ඉස යාග භූමිය පවිත්‍ර කර ගැනීම සිරිතකි. බලිය පටන් ගැනීමට පෙර කඩතුරාවක් අඳිනු ලැබේ. කඩතුරාව අල්ලා ආතුරයා ලවා පහන් පත්තු කරවා බලි ඇදුරෝ පන්සිල් ගනියි. ඊට පසු නානු තැටියක් තනා නානු ගනු ලැබේ. නානු ගෑමේදී තුණුරුවන් ප්‍රධාන කොටගෙන ශ්ලෝක කියති. නානු ගෑමෙන් පසු අලංකාර ලෝක ස්ත්‍රෝත්‍ර ගායනා කරති. මෙහිදී පිරිත් නූලක් ගෙන බුලත් හා රතු මල් ඉත්තක් ඔතා එයට ශ්ලෝක කියා ආතුරයා අතට දෙනු ලැබේ.
ඉන්පසුව බලි වලට දිෂ්ටි කර කඩතුරාව හැරීම සඳහා නැටුම් කොටසක් කරති. ඉන්පසු පැන් වැඩීම කරයි. තොල්බෝ, හීරැස්ස, පොල්, දිවි, කදුරු, හීනටි සහල්, දෙහි තබා ඒවාට කවි කියා නටති. මඩුපුරය ඒ නම් බලියේ උපත කරනු ලැබේ. මීට පෙර බලි ඇඹුම් කියති. බලි මඩුපුරයෙන් පසු එක් එක් බලිය ආතුරයාට හඳුන්වාදීම කරති. ඒ සඳහා පන්තිස් බලි කියනු ලැබේ. ඒවායේ ද අඩංගු වනුයේ බුදු ගුණය. අවසානයේ විශාලා ශාන්තිය කරයි. පිරිත් හුය බලියේ ගසා විශාලා ශාන්තිය අවසානයේ දෙවියන්ට පින් දෙන කවි කියති. ඊට පසු පිරිත් දේශන කියමින් ආතුරයා ගෙට රැගෙන යයි. පසුව බලිය ගැලවීම (ඉලිප්පීම) කරයි. මන්ත්‍ර ක්‍රියා අවසාන කර පිං බෙර වැයීමෙන් පසු යාගය අවසන් වේ.
තුන ගුණ දත් මුනිදුගේ ගුණ රඳනා
කන්කලු සුමිහිරි බස් නිති කියනා
මන්ගුණ ගායනා රුසිරෙන් සොබනා
තුන් පරසිදු ඇදුරන් කැඳ වමිනා
රාවණ මෙන් හොඳ තොවිල් උගත්තු
බෝවන සඳහන් ගුණ සිය පැතු
රෝග දුකින් පෙලෙනා බල වත්තු
ඇදුරන් ග්‍රහ පුදට නොගත්තු
(තොරතුරු , ගුරුවරු , පොත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
ප්‍රධාන මූලාශ්‍රයන්
දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
❤️❤️
ReplyDelete