කපු යක්කංකාරිය
කපු යක් කංකාරියේ දී නොඉඳුල් පැදුරක් අවශ්‍ය බවත් විලකට ගොස් පන් උදුරා වූත් පැදුරක් වියා ගත යුතු බවත් යකැදුරන් අතර කෙරෙන සංවාද මගින් ප්‍රකාශ කරයි.
ඇදුරා - හේන් කොටනවා වගේ වැඩක් තනියෙන් කරන්න බැහැ. ඒ වගේම පැදුරකුත් හොයා ගන්න ඕනේ. ඊට කලින් පන් හොයා ගන්න ඕනේ. වැදගත් විලකින් පන් හොයා ගන්න ඕනේ. විළක් ළඟට අපි වගේ අය තනියම යන්න හොඳ නෑ ඒ නිසා මිනිහෙක් හොයා ගන්න ඕනේ. (මෙහිදී සභාවෙන් කවර හෝ පිරිමියෙකු ඇදුරා තම සහයකයා ලෙස තෝරාගනී.)
ගුරුන්නාන්සේ - පන් නෙලන්න කොහෙටද යන්නේ
ඇදුරා - ඉර හද පාන විලට යමු.
ගුරුන්නාන්සේ - පන් උගුල්ලන්න යනකොට මොනවද ගෙනියන්නේ
ඇදුරා - දෙල් තම්බල මුලක් බැඳගෙන යනවා. එහෙනම් අපි පන් උගුලන්න යමු.
පැදුරේ කවි
ඉර හඳ පාන විල කොතැනද තුන් හිරියා
ඉර හද පාන විල මෙතැනයි තුන්හිරියා
පන්නම් කරන අඟනෝ කාටත් පිරියා
මට පැදුරකට පන් දෙනවාද තුන්හිරියා
අහුරු අල්ලමින් අගමුල තනාගෙන
දෙපේළියේ පන් මැඳලා තබාගෙන
සිව් මුලෙන් එක් මුල්ලක් පුරාගෙන
පැදුරක් වියමි මේ මුළු තුන් ලොව වටින
සිනාසිලා දත් පොඩි මැදලා රුවට
සෙනේ සිතින් කීවේ තම හිමියාට
විලේ පන් කපති අගනො ගොස් එවිට
මමත් බොලේ යන්නම් පන් කපන්නට
සත් මසකට පසු දරුවා පිළිසිඳලා
චිත්‍ර රුවින් ළමැදේ ගෝමර ඉසිලා
ගස්සාවයි පන්විල කැපුවොත් බැසලා
එපා යන්ඩ කී මගෙ හිමි මට බැනලා
මෙහිදී පැදුරක් වියන ආකාරය අනුකරණාත්මක ස්වරූපයෙන් නිරූපණය කර පෙන්වීමත් ඒ අනුව රංගනයේ යෙදීම මගින් ඉතා විචිත්‍ර ආකාරයෙන් අංගසම්පූර්ණ නාට්‍යමය අවස්ථාවක් නිරූපණය කෙරේ.
කජු ඇට ගෙනෙන්නට රන්මාල නුවරට යෑම, නැකත් බැලීම, හේන් එළිපෙහෙළි කිරීම, කජු බිංදු ඉසීම, කපු නෙලීම, වේලීම, ඇට ඇරීම, වෙල්ලියෙන් කපු කිරීම, පුළුල් වියළීම, කපු කැටීම, වලු පෙට්ටියේ ඇසිරීම, රොද්දෙන් පෙලීම, අඹරා ගැනීම, ඉද්දෙන් නූල් කැටීම, වවුන්නෙන් වැක්කිරීම, කැඳ ගා වේලා මඩුලු ගැසීම, සළුව වියා ගැනීම, කැද නිල්ලා ඇවිලීම ලොවුතුරා බුදුන්ට පූජා කිරීම, බුලත් කා නැගිට යෑම වැනි අවස්ථා රාශියක් කපුවක් කංකාරිය තුළ අන්තර්ගත වේ. ශාන්තිකර්මයේ නියැළුන ශිල්පීන්ටත් එකී නිර්මාණකරණයේ යෙදුණ අපේ මුතුන් මිත්තන්ටත් මෙම කාර්යය පිළිබදව කවර නිපුණතාවක් පැවතියේ ද යන්න හඳුනා ගැනීමට මෙය කදිම අවස්ථාවකි. මෙකී කපු යක් කංකාරියේ දී පෙළපාලි විසිහතරක් අන්තර්ගත බව ජයසේන කෝට්ටේගොඩ මහතා පෙන්වා දෙයි.
බෙන්තර පළාතේ දී කෙරෙන රට යකුමේ කංකාරි දරුනැලවිල්ල ඉදිරිපත් කරතත් මාතර රිද්දි යාගයේෙ දී දළුමුර උපත කියා දළු මුර පිදීම සිදු කරනු ලබයි. මෙය රිද්දි යාගයේ දී දක්නට ඇති විශේෂත්වයක් වන්නේ මල්මඩුව උඩ එල්ලා ඇති දළුමුර මිටිය කඩාගැනීම වරමකින් කරනු ලබන්නක් වන බැවිනි. ඉන් අනතුරුව කිසියම් ආවේගයකට පත්වන ඇදුරා දළුමුර නෙලාගැනීම කරන්නේ එකී ආවේශගත ලක්ෂණය ප්‍රදර්ශනය කරමිනි. දළුමුර නෙළා ගැනීමේ අවස්ථාව එසේ ආවේශ ස්වරූපයකින් ඉදිරිපත් කිරීමේදී ඇදුරාගේ ගත සලිතව වෙව්ලන්නට පටන් ගනියි. දෝතින් දළුමුර ගත් ඇදුරා පැදුරක දපවයි. ඔහුගේ ගත සලිත වීමේ වේගයත් දැත් දෙපා වල දරදඬු ස්වභාවයක් පහව යන්නේ කහදියර මතුරා ඉසීමෙන් එකී අවස්ථාව ස්ත්‍රියකගේ කුසෙහි දරු ගැබ් පිහිටීම සංකේත කොටසක් වන බව ඒ අවස්ථාවේදී කරනු ලබන ගායනාවන් ගෙන් පැහැදිලි වේ.
හාමිනේ අහන්නේ දරුගැබ් බිහිව එන්නෙ
දළුමුර පුදන්නේ ගෙනා දලු මුර ඔප්පු දෙන්නෙ
දළුමුර සහ දරු ප්‍රසූතිය අතර ඇති සමාජ සම්බන්ධතාව පෙන්වා දෙන මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා සඳහන් කරන්නේ දළු මුර පිදීම අවස්ථාව දරුගැබ් පිහිටීම සංකේත කොට දක්වන බවයි.
"තමාට දරුඵල ලැබිය හැකිය" යන මානසික පිළිගැනීම හෝ මානසික ශක්තිය නොමැති වීමත්, දරුවන් පිලිසිද ගැනීම පිළිබඳව ඇතැම් කාන්තාවන් තුළ පවත්නා අනියත බියත් දරු පිළිසිඳ ගැනීම් වැලැක්වීම සහ ගබ්සා වීම කෙරෙහි බලපාන මානසික සාධකයන් ලෙස මනෝ වෛද්‍යවරුන් විසින් හඳුනා ගෙන තිබේ. යහපත් මානසික තත්ත්වයන් සමනය කොට දරුපල අපේක්ෂිත කාන්තාවගේ මනස ශක්තිමත් කිරීම මෙමගින් ඉටුකරනු ලබන කාර්යයකි. දරු නැළවිල්ලේදී දොඩනු ලබන ආදර වදන්, සිප ගැනීම් ආදී කොට ඇති දරු සෙනෙහස දක්වන ඉරියව් දරු සුරතල් පෙන්වීමට නෑවීම, කැවීම, පෙවීම වැනි එකී ආකෘතික දරුවා සහාය කොට කරනු ලබන්නා වූ විවිධාකාර චලන සහ ඉරියව් දරුපල අපේක්ෂිත කාන්තාව අතට එකී දඬුරුව පැවරීම වැනි අභිචාරාත්මක ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ක්‍රියාකාරකම් පෙර දැක්වූ අරමුණු ඉටුකර ගැනීමට යොදාගනු ලබන ක්‍රියාමාර්ගයන් වේ. මෙහිදී යොදා ගනු ලබන සංවාදයන්ද එකී අරමුණු සනාථ කොට දක්වයි.
ඇඳුරා - හොඳයි ගුරුන්නාන්සේ
මම එහෙනම් කිරි අම්මලා හත් දෙනෙකුට දානයක් දෙන විදියට නැද්ද ඒක නෙවෙයි
ගුරුන්නාන්සේ මොකද මට මේ විදිහට එන්න කිව්වේ. මම ඔබ හොයාගෙනමයි ආවේ'.
ගුරුන්නාන්සේ - දරුවන් නැති කෙනෙකුට සෙත් කිරීමට දරුවන් ලැබුණු කෙනෙක් සෙත්පාල යෑම පරම්පරාගතව එන ක්‍රමයක් නොවැ. එදා දීපංකර බුදුන් දවසෙ පන්සීයක් කුමාරිකාවන් අතරේ දරුවන් නැති ශෝකයෙන් හිටපු වඳ බිසවුන්ට දරුවන් ඇති වුනාම වුණු විදියෙ සන්තෝෂයක් තවත් නැතැයි කියලා කියනවා. අපත් අද මේ කරන්නේ ඒකයි. ඔයි ගෙනාපු දරු පැටියා මේ ස්ත්‍රී පාත්‍රයාගේ අතට වඩම්මල තෑගිබෝග අරන් ඒ අයගේ හිත් හොඳ කරලා යන්නයි කියන්නයි මම එන්න කිව්වේ.
මෙසේ රට යකුමේදී කරනු ලබන නිරූපණයන් දරු ගැබක්ද පිළිසිඳ ගැන්වීම සඳහාත් දාරකෝප්පත්ති පහසුව සඳහාත් ලෝකයේ වෙන නොයෙක් රටවල කරන අභිචාර කර්මවලට සමාන වූවක් බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා පෙන්වා දෙයි. දරු නැලවිල්ලෙන් පසුව කරනු ලබන්නේ චාමර නැටීමයි. මෙහිදී රිද්දි පිදේනිය පාවාදීමත් රොඩි බිසවුන්ගේ උපත කියා කුල්ලේ පිදේනියට අයත් වතාවත් ඉටු කිරීමත් සිදුවේ. රිද්දි බිසවුන්ට පිං පෙත් ලබා දෙන්නේ රිද්දි පිදේනිය පාවාදීම මගිනි.
මින් අනතුරුව සිදු කරන්නේ සන්නි හෝ පාලි නැටීමයි. මෙසේ නැටීමක් කළ යුතු වන්නේ අදාළ ආතුරයා කෙරෙහි එකී දෝෂ ඇත්නම් පමණක් වුවද ආතුර පක්ෂයේ අවශ්‍යතා මත පාලි නැටීම රිද්දි යාගයෙහි දී කරනු ලබන සාමාන්‍ය පෙලපාලි අංගයකි අංගයක් ලෙස අද්‍යතනයෙහි සංවිධානය වී ඇත. මෙහිදී සිදු කරනු ලබන සන්නි පිදේනි ඔප්පු දීමෙන් පසු මහ කළු කුමාර සමයම නැටීම සහ අවතාර ඉගිල්ලීම කරනු ලබයි. අවසානයේදී කළු කුමාර බලිය පාවා දී පිං බෙර ගැසීමෙන් මාතර සාම්ප්‍රදායික රිද්දි යාගය නිමාවට පත්වේ.
ප්‍රධාන මූලාශ්‍රයන්
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
👌👌👌
ReplyDelete👍👍👍
ReplyDeleteBest
ReplyDeleteGreat one 💛🥂
ReplyDelete👍👍
ReplyDeleteBest
ReplyDeleteGodak wdagath article ekak.obata jaya
ReplyDeleteNiyamai
ReplyDelete👍
ReplyDeleteGood article
ReplyDeleteGood article
ReplyDeleteImportant article
ReplyDeleteBest
ReplyDelete