සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක බෙරය හෝ යක් බෙරය, දෙවොල් බෙරය ආදී නම් රාශියකින් හදුන්වනු ලබන මෙම බෙරය පොල්, කිතුල්, ඇහැල, කොහොඹ ආදි දැව වලින් සාදා ගනී. එහෙත් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ කිතුල්, තල් හෝ පොල් ලීයෙන් සාදන බෙරයය.
පහතරට බෙරයේ දිග ද උඩරට බෙරයේ කදේ දිගට සමානය. එනම් තුන් වියත් තුන්ගුලකි. මෙම බෙරයේ කට හෙවත් බෙර ඇස දෙපැත්ත එක හා සමාන විෂ්කම්භයෙන් යුක්තය.එය එක් වියත් තුන්ගුලකි. බෙර කදේ අලංකාරය සදහාත්, ආරක්ෂාව සදහාත් ඇතමෙක් කද වටේට රිදී හෝ තඹ පතුරු සවි කරනු ලැබේ. මෙම බෙරයේ ඇස හෙවත් තට්ටුව සදහා ගනු ලබන්නේ හරක් බොක්කය. මෙය කිරි බොක්ක නමින් හදුන්වනු ලැබේ. දෙපැත්තටම එක හා සමාන සිවියක් ගත්තද දෙපැත්තේ ශබ්ද මාධූර්යය එකිනෙකට වෙනස්ය. මෙයින් එක් පැත්තක් ඇසක හයි පැත්ත යනුවෙන් වාදකයින් විසින් ව්‍යවහාර කරනු ලැබේ. පහතරට බෙරයේ ඇස හෙවත් තට්ටුව දැමීම සදහා ගැටිවැල එක බැගින් යොදා ගනු ලැබේ. බෙර ඇස මත එලන ලද / පොගවන ලද හරක් බොක්ක ගැටි වැල මත තබා නූල් වලින් බදිනු ලබන්නේ රැලි නොවැටෙන පරිදිය.
පහතරට බෙරයේ කැපුම් හම සාමාන්‍යයෙන් කුඩා බවක් විද්‍යාමාන වේ. කුඩා යනුවෙන් අදහස් කෙරෙන්නේ බෙර ඇස මතුපිට එහි ඇති පළල කෙරෙහි අවදානය යොමු කිරීමෙනි.උඩරට බෙරයක කැපුම් හම (බෙර ඇස මත) අගලක් පමණ පළල වන නමුත් පහතරට බෙරයේ කැපුම් හම අගල් භාගයක් පමණ පළලට පවත්නා බව සලකනු වටී.
ශාන්තිකර්ම සදහා බෙර වාදනය කිරීම ප්‍රධාන වශයෙන් පහතරට ප්‍රදේශයේ සිදුවේ. යක් තොවිල්, දේව තොවිල් හා බලි තොවිල් ඒ අතර ප්‍රධාන වේ. පහතරට ශාන්තිකර්ම වලදී මෙන්ම පිරිත් පිංකම් වලදී, නාට්‍ය වලදී, නර්තන වලදීද ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගනුයේ මෙම පහතරට බෙරයයි. පහතරට බෙරය නොහොත් යක් බෙරය වැඩි වශයෙන් මාතර බෙන්තර හා රයිගම් කෝරලය වශයෙන් යන ප්‍රදේශ වල භාවිතා කෙරේ.
පහතරට බෙර වාදනයේ්දී සතර බීජාක්ෂර වාදනය වන අයුරු
තත් - බෙරයේ හයි තට්ටුව මැදට මදක් තම සිරුර පැත්තට බර වන සේ අල්ලේ ඇගිලි ආශ්‍රිත කොටසින් (අත්ලේ මුල් කොටස ගැටියට සම්බන්ධව) තැලීමෙන් තත් හඩ උපදවා ගත හැකිය. මීට අමතරව ගුම්, ගු, දොම් ගත් වැනි අක්ෂරයන්ද මතු කෙරෙන්නේ හයි තට්ටුව ආශ්‍රයෙනි.
දිත් - සුරල් පැත්තේ හඩ විහිදීමත් නොවන සේ ගැටිය අසලට මාපටගිල්ල හැර අනෙකුත් ඇගිලි එකතු කොට හඩ වැසීමෙන් දිත් හඩ උපදවයි.
තොං - හයිතට්ටුවට වැදෙන පහර මූලික වන සේ දෙපසින් ම එකවර වාදනය කිරීමෙන් තොං අක්ෂරය උපදීයි.
නං - ඇගිලි මූලික වන සේ සුරල් තට්ටුවේ ගැටියට ඇගිලි වැදුණු පසු අත ඉවතට යාමට සැලැස්වීමෙන් නං හඩ උපදවා ගත හැකිය.
මීට අමතරව අනෙකුත් අක්ෂරයන් උපදින ආකාරය පිලිබද දැන ගැනීම අවශ්‍ය වේ. ගුම්, ගු, දොං, ගත්, තා යන අක්ෂරයන් බෙරයේ හයිතට්ටුව මගින් උපදීයි. විශේෂයෙන් තොං යන බීජාක්ෂරය මතු වන ආකාරයට ගුම්, ගු, දොං යන අක්ෂර මතු කර ගත හැකිය. ග අක්ෂරය ද හයිතට්ටුවේ තරමක් මැදට වැදීමෙන් උපදවා ගත හැකිය. සුරල් තට්ටුව මුල් කර ගෙන දී, ද, දෙ, ත, ට යන අක්ෂරයන් උපදි. විශේ්ෂයෙන් සුරල් පද වාදනය කෙරෙන්නේ හයිතට්ටුව මූලික කරගෙන ය. බීජාක්ෂර හා අනෙකුත් අක්ෂරයෙන් උපදින ස්ථාන පිළිබද ප්‍රායෝගික පුහුණුව ඔස්සේ සරල බෙර පද වාදනය කිරීමට හැකි වේ.
(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
බෙර උපතේ වත ගොත , ගැටබෙරයේ කතාව පෙර ලිපි බලන්න.
ප්‍රධාන මූලාශ්‍රයන්
දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995
ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි දෙවන වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
👍👍👍👍👌🤩
ReplyDeleteSuper 👍👍
ReplyDeleteවැදගත් ලිපියක් 👍👍
ReplyDelete