Wednesday, January 20, 2021

බලි ශාන්තිකර්මයේ විකාශය

 

රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කෙහෙතු යනුවෙන් දැක්වෙන නවග්‍රහයන්ගෙන් සිදුවන්නා වූ අපල උපද්‍රව දුරු කරගැනීම සඳහා කරනු ලබන බලි ශාන්තිකර්මය උඩරට, පහතරට සහ සබරගමු යන සම්ප්‍රදායන් තුනට අයත් වූ ශාන්තිකර්මයකි. මීට අමතරව වශයෙන් නුවරකලාවියේ සහ ඌව ප්‍රදේශයද එකී ප්‍රදේශයට ආවේණිකව පවත්වනු ලබන්නා වු බලි ශාන්තිකර්ම සම්ප්‍රදායන්ද ඇති හෙයින් අප රටෙහි,

  • උඩරට බලි ශාන්තිකර්මය
  • පහතරට බලි ශාන්තිකර්මය
  • සබරගමුව බලි ශාන්තිකර්මය
  • ඌව බලි ශාන්තිකර්මය
  • නුවර කලා කලාවියේ බලි ශාන්තිකර්මය

යනුවෙන් සම්ප්‍රදායන් පහකට අයත් වන්නා වූ බලි ශාන්තිකර්ම විධි ව්‍යවහාරයේ ඇත. මෙකී සම්ප්‍රදායන් පහට අයත් බලි ශාන්තිකර්ම අතර පොදු සමානත්වයක් දක්නට ලැබෙන අතර ඇතැම් චාරිත්‍ර විධි අතින් ද යොදා ගන්නා වාදන භාණ්ඩ ගායනය සඳහා යොදාගනු ලබන නාදමාලා වැනි ඇතැම් සාධක මත එකිනෙක විසින් තම සම්ප්‍රදායට අදාල අනන්‍යතාවක් පවත්වා ගනු ලබන බවද පෙනේ.

  • පැවැත්වීමේ අරමුණු
  • යොදා ගනු ලබන්නා වූ ගායන හා බැදි ගීත සාහිත්‍යය
  • අඹනු ලබන රූප හෝ අඳිනු ලබන චිත්‍ර 
යනාදි වශයෙන් මූලික ලක්ෂණ සලකා බලන කල මෙකී සම්ප්‍රදායන් සියල්ලෙහිම පොදු සමානත්වයක් දක්නට ඇත.

මිනිසාගේ පැවැත්ම කෙරෙහි ග්‍රහ වස්තූන්ගේ බලපෑමක් ඇති බව අනාවරණය කරගනු ලැබූයේ මෑත යුගයේදී නොවේ. ලෝකයේ සෑම රටකම පාහේ ග්‍රහවස්තු පිදීම් සිරිතක් කොට ගෙන තිබූ බව සමාජ විද්‍යාඥයින්ගේ පර්යේෂණයන්ගෙන් සනාථ වී ඇත. ලෝකයේ පැරණිම සංස්කෘතිය ලෙස සලකන සුමේරියානු, පැපිලියානු සහ හොවැංහෝ, යැංසිකියෑං, නයිල් නිම්න සහ ඉන්දුනිම්න වැනි ගංගාධාර ශිෂ්ටාචාරයන්හි ද ග්‍රීක රෝම ක්‍රීට් දූපත් ආශ්‍රිත සංස්කෘතීන්හි ද ග්‍රහ වස්තු ඇදහීම සිරිතක් ව පැවත ඇත. භාරතයේ "රවි" මිසරයේ "රේ" ඒ වශයෙන් හඳුන්වා ඇත්තේ හිරු දෙවියන් බව පැහැදිලිය. ග්‍රහ වස්තු සඳහා පුද පූජා පැවැත්වීමත් ඒ ආශ්‍රිතව කෙරුණ යාගහෝම නර්තන පැවති බවට සාධක ඇත. 

සංස්කෘත භාෂා සාහිත්‍යයට අනුව බලි යනු පූජාව යන අර්ථයයි. අනෙක් පූජාවන්ගෙන් වෙනස් වන්නේ එය රූපයක් මගින් කරනු ලබන හෙයිනි. වර්තමාන ශ්‍රී ලංකාවේ බලි වර්ග දෙකක් විද්‍යාමාන වේ. එනම්, 

  • රූප බලි (කඩබලි)
  • ඇඹුම් බලි වශයෙනි.

රූප බලි යනු අදාළ බලියට නියමිතව වශයෙන් නියමිත ග්‍රහයන් දෙවියන් හෝ යක්ෂයන් කැන්වස් රෙද්දක හෝ වෙනත් කඩදාසියක හෝ චිත්‍රණය කර එය අබිමුවෙහි තබා කරන ලබන බලියයි. ඇඹුම් බලි යනු අදාල දෙවියා ග්‍රහයා හෝ යක්ෂය ඔහුගේ උස මහතට හෝ ඊට වඩා අඩු උස මහතින් හෝ මැටි වලින් අඹා වර්ණ ආලේප කර එම රූප බලි මැස්ස මත තබා ඒ ඉදිරියේ සිට කරනු ලබන ශාන්තිකර්මයි. ඇතැම් විට එය ඉතා සුළු වශයෙන් කරනු ලබන බලි ආදියෙහි රූප කිසිවක් දක්නට නොමැති අතර එහිදී ගොක්කොළ සැරසිලි පමණක් තිබුණු ඇතැම් විට දැකිය හැකියි. එහෙත් මේවා ද ග්‍රහයින් උදෙසා පවත්වනු ලබන හෙයින් බලි යනුවෙන්ම හඳුන්වති.

බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ බලි බමුණු සංස්කෘතියේ බලපෑම නිසා කෝට්ටේ කාලයේ දී අපට ලැබුණු දායාදයක් බවයි. ඒ හා සම්බන්ධ ජනප්‍රවාද වර්තමාන ජනතාව අතර ද පවතී. භාරතයෙන් ලංකාවට පැමිණි බ්‍රාහ්මණයෙකු තමා බලියාග කර්මය දන්නා බවත් ලංකාවේ එවැනි බලි ශාන්තිකර්ම තිබේද කියා වීදාගම හිමියන්ගෙන් විමසූ බවත් එවිට උන්වහන්සේ අප ළඟත් එවැනි යාගයක් තිබෙන බවත් බමුණා දන්නා යාගය හා අප අතර ඇති යාගය එකක්ම දැයි බැලීම පිණිස එය ගායනා කරන ලෙස කී බවත් බමුණා ගායනා කරන විට ඊට යාබද කාමරයේ සිටි වීදාගම හිමියන්ගේ ශිෂ්‍ය රාහුල හිමියන් ක්ෂණයකින් ලඝු අක්ෂර උපයෝගී කරගෙන පත් ඉරුවල ඒවා එලෙසම ලියා ගත් බවත් බමුණා ගායනා කර අවසාන වූ පසු අප ළඟ ඇති කළු මැද නැති පත් ඉරු ටික ගෙනත් කියවන ලෙස ගෝලයට කී බවත් උන්වහන්සේ බමුණා ගායනා කළ දෑ එලෙසම සටහන් කරගෙන එය කියවනවා දුටු බ්‍රාහ්මණයා මවිත වී අප හා ඔබ ළඟ එකම යාග ශාන්තියක් තිබීම සතුටට කාරණය කියා නික්ම ගිය බවත් ජනප්‍රවාදයේ තුඩ තුඩ පවති. එදා පටන් ශාන්තිකර්මය ඇති වූ බව සාම්ප්‍රදායික පිළිගැනීමත් වීදාගමහිමි තොටගමුවේ රාහුලහිමි හා වෑත්තෑවෙි හිමියන් බලි යාගයට බෞද්ධ මුහුණුවරක් ද ඇතුළත් කොට ජනතාව අතර ප්‍රචලිත කළ බව සාම්ප්‍රදායික ඇදුරන් අතර පවතින විශ්වාසය වේ.  

එහෙත් කෝට්ටේ කාලයට පෙර ලංකාවේ බලි තිබුණ බවට යම් යම් සාධක වංශ කථා වල දැක්වේ. කි.පූ. 4 වන ශත වර්ෂයේ පණ්ඩුකාභය රජුගේ කාලයේ ඔහුට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා චිත්තරාජ කාලවේල වාහන යක්ෂයන් ආධාර කල බවත් මේ නිසා ඔවුන්ගේ ගුණ සිහිකිරීම පිණිස ආරාම සාදා බලි පූජා කරන්නයි මිනිස්සුන්ට අණ කළ බවත් කියැවේ. පොලොන්නරු රාජ්‍ය කාලයේ නිශ්ශංකමල්ල රජු විසින් නවග්‍රහ ශාන්තිකර්මයක් සඳහා කාලයක් ද නියම කර තිබුණේ මේ අවස්ථාවට පෙර නවග්‍රහ බලි පිළිබඳව වංශ කථා වල තොරතුරු නොදැක්වේ. පඬුවස්දෙව් රජතුමාගේ දිවි දෝෂය සුවපත් කිරීම සඳහා දෙවියන් සියලු දෙනා සහ මැති ඇමතිවරු එක් වී එක් දවසක් බලි මංගල්ලයක් සත් දවසක් බලිමුර මංගල්‍යයක් කළ බව කොහොඹා යක් කංකාරියේ මහා යාතිකාවෙන් කියැවේ. එහෙත් මෙම ප්‍රවෘත්තිය ගොඩනැගුණේ කෝට්ටේ කාලයේදීය. මල් බලි ගායන වලින් කියවෙන්නේ බලිය උපත විශාලා මහනුවර තුන්බිය සිදු වූ කාලය දක්වා ඈතට දිව යන බව ය. මේවා පුරාවෘත්ත පමණක් බව සලකනු වටී.

කෝට්ටේ කාලය සාහිත්‍ය විෂය ක්ෂේත්‍රය මතු නොව අන් හැම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම වැදගත් කාල වකවානුවකි. විශේෂයෙන්ම ශාන්තිකර්ම හා සම්බන්ධ පත පොත සුලබව රචනා වූ බවට සාධක තිබේ. වීදාගම හිමියන් බලි ශාන්තිකර්මය හා සම්බන්ධ රත්නාලංකාරය, යාග සංග්‍රහය, මහා බලි නිධානය, චිත්තාමාණි ශාන්තිය ආදී කෘතින් රචනා කළ බවද කියති. බලි කලාව බ්‍රාහ්මණයන්ගෙන් අප ලද දායාදයක් සේ සැලකුව ද එය මේ රටේ දී දේශත්වයෙන් අනූනව ස්වාධීන ලක්ෂණ ද සහිතව ප්‍රභවය වූ බව පෙනේ. එහෙත් බ්‍රාහ්මණයන්ගේ ආභරණ සේ සැලකෙන පුන නූල, හක්ගෙඩිය, අත්මිණිය, තුන්නූර් ගෑම ආදිය තවමත් සිංහල බලි ඇදුරන් විසින් ද පරිහරණය කරනු දක්නට ලැබේ. 

සිංහල බලි ශාන්තිකර්මය බමුණු බලි යාගයට වඩා අලංකාර එකක් විය. ලංකාවේ මෙන් රූප ආදියෙන් අලංකාර වූ බලි ක්‍රමයක් භාරතයේ නොමැති බව ශ්‍රී චන්දරත්න මානවසිංහ කියයි. බලි ඇදීමේ සහ ඇඹීමේ කලාව නිසා නව ග්‍රාමීය චිත්‍ර සම්ප්‍රදායක් ඇතිවිය. වෙහෙර විහාර වල නිරන්තරයෙන්ම දක්නට ලැබෙන්නේ බොහෝ විට බලි ඇදුරන් අතින් බිහි වී හෝ ඔවුන්ගේ පරම්පරා වල ශිල්පීන් විසින් පෝෂණය කරන ලද විහාර චිත්‍රය. බලි ඇදුරෙකු වූ කලී ගායනය, නර්තනය, වාදනය, චිත්‍ර, ගොක් කලාව, වර්ණා ආලේපය, නක්ෂත්‍රය, නේත්‍රා තැබීම, වාස්තු විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර ආදී බොහෝ විෂයයන් ප්‍රගුණ කළ ශිල්පියෙකි. ඒ වූ කලී ශ්‍රී ලංකාවේ ශාන්තිකර්ම ඉදිරිපත් කරනු ලබන බොහෝ ශිල්පීන් සතුව පවා සුවිශේෂ දක්ෂතාවක් වන්නා සේම අවශේෂ පුද්ගලයන්ගෙන් වෙසෙසා හැඳින ගැනීමට ඇති කුසලතා වෙයි.
බලි වර්ග කිහිපයක් මෙලෙස පෙන්වා දිය හැකිය.

  • නව බලි මල් බලිය
  • පන්තිස් බලි
  • අත් බලි
  • මහසොහොන් බලිය
  • යක්ෂ බලි
  • පිල්ලි බලි
  • සූනියම් බලි
  • දොළ බලි
  • ප්‍රේත බලි
  • අසුර බලි
  • නාග බලි
  • භූත බලි 

බලි ශාන්තිකර්මයේ තවත් සටහනක් සමඟින් පසුව හමුවෙමු.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 

17 comments:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...