අත් බලිය
කුඩා කාලයේ දී දරුවන්ට වැළඳෙන බාලගිරි දෝෂය සහ ග්‍රහයන්ගෙන් සිදුවන්නාවූ රෝග දුරු කර දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා උඩරට, පහතරට සහ සබරගමු යන සම්ප්‍රදායන් සියල්ලෙහිම අත් බලිය නම් ශාන්තිකර්මය කරනු ලැබේ. මෙම ශාන්තිකර්මය සම්බන්ධයෙන් ඇති උපත් කතාවේදී කියවෙන්නේ,
"සූර්ය රශ්මිය ඉවසාගත නොහැකි වූ එක්තරා රජෙක් සූර්යයාට ශාප කරන ලද්දෙන් සුව කළ නොහැකි බලවත් හිස රුදාව හට ගත්තෙන් බලි ඇදුරන්ගේ නියමයෙන් අත් බලියක් කැප කොට දී ශාන්තිකර්මයක් කරන ලදින් සුවය ලැබූ බවත් එතැන් සිට අත් බලි ශාන්තිකර්මය පවත්වනු ලබන බවත්ය."
අනෙකුත් බලි ශාන්තිකර්ම වලදී මෙන්ම මෙහිදීද ආතුර නිවසට උතුරෙන් පිහිටි තුඹසක් තෝරාගෙන එය අවට පිරිසිදු කර ඒ වටා ගොක් රැහැන් ඇද සීමා කොට ගෙන සඳුන් කිරි පැන් ඉස එයින් මැටි පිඩක් කපාගෙන උඩුවියන් සහිත පෙරහැරින් හිසේ තබා වඩම්මවා ගෙන වුත් භූමි දෙවියන්ට කන්නලව් කර එකී මැටි අනා මැටි ගුලියක් තනා එය වටා ගොක් කොළ ගසා අලංකාර කරගත් බලිය සකසා ගනී. ශාන්තිකර්මයේදී සතර වරම් දෙවියන්ට කෝල්මුර කවි කියා පහන් පැලට වඩම්මා නව ග්‍රහයන්ට අදාල ගායනා කර දරුවා වෙනුවෙන් කන්නලව් කර සිරසපාද ගායනා කර සෙත් කවි ආදිය කියා දරුවා ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. ගායනයට ප්‍රධානත්වයක් දෙමින් කරන මෙම කුඩා ශාන්තිකර්මයේදී අත් බලි ශාන්තිකර්මය අවසානයේදී තැනක තබනු ලබයි. එය නිතර දර්ශනය වීමෙන් ආතුරයාට සුවයක් ලැබේ යන්න ගැමි විශ්වාසයයි. පිං බෙර ගසා දෙවියන්ට පිං දීමෙන් ශාන්තිකර්මය නිමවෙයි.
මල් බලිය
මල් බලිය මුලින්ම පවත්වන ලද්දේ විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම සඳහා යැයි කියැවේ. ලිච්ඡවී නම් වූ රජ පරම්පරාවක් විසින් රාජ්‍ය පාලනය කළ විශාලා මහනුවරට එක් කලෙකදී මහා නියං සාගතයක් හටගත්තේ ය. මෙකී නියං සාගතය නිසා දුර්භික්ෂයක් ඇති වූයෙන් රෝග බිය පැතිර යන්නට විය. මෙකී රෝග බියත් සමගින්ම උදාවුයේ අමනුෂ්‍ය බියයි. මෙසේ තුන් බියෙන් විශාල මහනුවර වැනසෙන්නට වූ කල අසල්වැසි රටක රජකළ බිම්බිසාර රජතුමා බුදුන් වහන්සේට මේ බව දන්වා සිටියේය. බුදුන් වහන්සේ එකී විශාලා මහ නුවරට වැඩ රතන සූත්‍රය දේශනා කර යකුන් පලවා හැර නුවරට ශාන්තිය ලබා දුන් බව කියැවේ. බොහෝ සෙයින් ජනතාව අතර ජනප්‍රියව ඇති මෙකී පුරාවෘත්තය මල් බලියේ පුරාවෘත්තයටත් සම්බන්ධතාවයක් දක්වයි. බුදුන් වහන්සේ වැඩ රතන සූත්‍රය දේශනා කළ බව උක්ත කතාවේ සඳහන් වෙතත් මල් බලි උපතේ සඳහන් වන්නේ එකී විශාලා මහනුවර තුන් බිය උදෙසා මල් බලියක් කළ බවයි. මල් බලිය සඳහා ගැබ් අසූ එකක් යොදා ගත යුතුය. අසූ එකට හිමි දෙවිවරුන් අසූ එක් දෙනෙකි. හිං හතර (04) අටවිසි නැකත් (28) සැනිසැක (01) ත්‍රී මොහොත (03) අෂ්ඨ රාක්ෂ (08) දොළොස් රාශි (12) සේනාධිපති (01) තිපස්මත් දෙවිවරු (115) නවග්‍රහ (09) උක්ත ගැබ් අසූ එකට අයත් වන්නා වූ යක්ෂයින්ගේ නැකතින් රාක්ෂයන්ගෙන් රාශි පිහිටීමෙන් නවග්‍රහයන්ගෙන් ආදී කොට ඇති අපල උපද්‍රව දුරු කිරීමට නැකත් ඇදුරන්ගේ නියමයට අනුව බලි ශාන්තිය පැවැත්වූ බව පෙනේ.
ග්‍රහ පූජා
ඉරු ,සිකුරු ,අඟහරු ,රාහු ,කෙහෙතු ,සෙනසුරු ,සදු ,බුද ,ගුරු වශයෙන් දැක්වෙන නවග්‍රහයින්ගෙන් පැමිණෙන්නා වූ අපල උපද්‍රව දුරු කරගැනීම සඳහා ගෘහස්ථව පැවැත්වෙන ශාන්තිකර්ම විශේෂයකි. මෙම ශාන්තිකර්මය දරුවන් සඳහා වන ග්‍රහ අපල වලදී පවත්වනු ලබන්නකි. මේ සඳහා බලි ඇඹීම හෝ රූප බලි භාවිතයක් කරනු නොලබයි. ශාන්තිකර්ම භූමියේම මල් යහනක් ඉදිකරනු ලබන අතර ග්‍රහ දේවතාවන් වෙනුවෙන් සහ සතරවරම් දෙවියන් වෙනුවෙන් මල් පහන් පූජා කිරීම සිදුවන්නේත් භෝජන කැපකර දෙන්නෙත් මෙකී යහන මත තබාය. නර්තනය සඳහා අවධානයක් නොදක්වන අතර ගායනයට ප්‍රමුඛ තැනක් ලබාදෙයි. බුදුගුණ ගී ගායනයටත් ග්‍රහපන්ති ගායනයටත් සිරසපාද සහ සෙත් කවි ගායනයටත් මෙහිදී ප්‍රමුඛතාවක් ලැබේ. බුදුන්, දහම්, සඟුන් වෙනුවෙන් නමස්කාරයෙහි පිහිටා පන්සිල් ගෙන සතරවරම් දෙවිවරුන්ට සහ ග්‍රහ දේවතාවුන්ට යහනට වඩින ලෙස කෝල්මුර කවි කියා මල් පහන් පිළිගන්වා ආතුර දොස් මුදා දෙන මෙන් බැගෑපත් ලෙස ඉල්ලා සිටිනු ලැබේ. උඩැක්කිය ද අත්මිණියද ඇතැම් අවස්ථාවල දී යොදා ගන්නා අතර අනෙකුත් සාම්ප්‍රදායික වාදන භාණ්ඩයක් ද භාවිතා කෙරේ. සහභාගීවන ඇදුරන් ගණන සීමිතය. බොහෝ අවස්ථාවල දී ග්‍රහ පූජා පැවැත්වීමේදී එක් ඇදුරෙක් බෙරකරුවෙක් සහ එක් අතෝරකරුවකු මෙකී කාර්යයට ප්‍රමාණවත් ලෙස සැලකේ.
(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
ප්‍රධාන මූලාශ්‍රයන්
දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Best
ReplyDelete❤️❤️
ReplyDelete