Friday, January 15, 2021

කිරි මඩුවේ වත ගොත

කිරි මඩුව කෘෂිකාර්මික අර්ථ ක්‍රමය ජීවන ජීවනෝපාය කරගත් දේශීය ගැමියාට ගව මහීෂාදීන් මහඟු සම්පතක් විය. ඇතැම් විටෙක කෙනෙකුගේ වත් පොහොසත්කම් පිළිබඳව පවා තක්සේරු කරන ලද්දේ ඔවුන් සතුව සිටින ගව මහීෂාදීන් සංඛ්‍යාව අනුවය. එසේ හෙයින් එකී සතුන් කෙරෙහි පැමිණෙන්නා වූ ඇතැම් රෝගාබාධ සම්බන්ධයෙන්යෙන් අත් බෙහෙත් කිරීම පමණක් නොව ඔවුන් විෂයෙහි ශාන්තිකර්ම පවා ගැමි ජනතාව ඉදිරිපත් වී ඇත. එසේ පශු සම්පත් වර්ධනය අරමුණු කොට ගත් සබරගමු සාම්ප්‍රදායික ශාන්ති කර්මයක් ලෙස කිරි මඩුව හැඳින්විය හැකිය. විශේෂයෙන්ම ගව මහීෂාදීන්ට වැලදෙන්නා වූ රෝග වසන්ගත ආදිය වළක්වා ගැනීම සඳහා මෙම ශාන්තිකර්මය පවත්වනු ලැබේ. මංගල දේවතාවන් සහ පත්තිනි දේවතාවිය ප්‍රධානත්වයෙහි පවත්වනු ලබන කිරිමඩුව ගැබ් ගත් කාන්තාවන් සඳහා විශේෂ වූ ශාන්තිකර්මයක යන්න බොහෝ දෙනාගේ අදහස බව මුදියන්සේ දිසානායක මහතා සඳහන් කරයි. එසේ වුවද එම අදහස පිළිගැනීමට ඇති සාධක විරලය. බොහෝ දෙනාගේ පිළිගැනීම වී ඇත්තේ කිරිමඩුව පශු සම්පත් සංවර්ධනය සඳහා කරනු ලබන ශාන්ති කර්මයක් බවයි. කෘෂි කර්මාන්තයේ දියුණුව සහ මෙම ජාතික අනෙකුත් අතුරු අරමුණු ලෙස සැලකිය හැකිය. සෑම වසරක් පාසාම කිරිමඩුව පවත්වන්නේ ඒ වෙනුවෙන් කෙරෙන භාරහාර ඉටු කිරීම සදහාය. කිරි මඩුව පැවැත්වීම සඳහා කරනු ලබන පූජා චාරිත්‍ර වන්නේ ගසක ගොන් බැඳ වෙන් කිරීමයි. එසේ ගසක බැන්ද තමන්ගේ කිරි හරක් වඳුරු වසංගත වලින් මුදවා ආරක්ෂා කර දෙන ලෙසත් ඒ වෙනුවෙන් මංගර දෙවියන් ප්‍රධාන කොටගෙන කිරි මඩුව පවත්වනු ලබන බවටත් භාරහාර වීම මෙහි චාරිත්‍රයකි. මෙකී මඩුව ශාන්ති කර්මයෙහි පුද ලබන්නා වූ දේව කොට්ඨාසයන් වශයෙන් මංගල දෙවියන් ප්‍රධාන කොට පත්තිනි දේවතාවිය ද, සතරවරම් දෙවිවරුන් ප්‍රධානකොට ඇති සත් පිරිවර දෙවි දේවතාවුන් ය. කිරි මඩුවේ උත්පත්ති වශයෙන් දැක්වෙන කතා පුවත් කිහිපයක් ඇත. එසේ හෙයින් මෙකී පුවත් එකිනෙක හා සංකල්පය වී ඇතැම් විට නිරවුල් ලෙස අදාල කතා පුවත වටහාගැනීමේ දුෂ්කරතාවයන්ට ඇත. ප්‍රාදේශීය වශයෙන් සහ මුඛ පරම්පරාගතව පැවැති එම නිසා වෙනත් කතා හා බැඳී කොටස් අතර වශයෙන් මෙයට එක් වී ඇත.

කිරි මඩු යාග ශාන්ති කර්මය පිළිබඳව නුගේහෑල්ල නැතහොත් මංගර හෑල්ලෙහි දැක්වෙන කථා පුවත මේ ආකාරයෙන් වේ

කිතල්ලව නම් රජුට දාව උපන් කුමරුට වයස අවුරුදු දහ අටේදී පෙර ආත්ම භවයක තිබුණා වූ කිරි වෛරයක් හේතු කොට ගෙන මීමෙකු වෙතින් විපත් පැමිණෙන බව නැකත් අඳුරු පැවසූහ. මෙකී කුමරා මී මුන්ට ඉතා ප්‍රිය ව සිටි අතර කුඩා කල සිටම ඔවුන් හා එක්ව ක්‍රීඩා කිරීමටද පුරුදුව සිටියේය. වයස අවුරුදු හතේ සිට මිත්‍රයන් හා එක කැලෑවට ගොස් කුළුමීමුන් පිටුපස ගොස් ඔවුන් අල්ලා ගැනීමට මුළු සමත්කම් දැක්විය. කුමරුන් මී ගවයින්ගෙ විපත්තියෙන් ගල්වා ගැනීම සඳහා නැව් නැග්ග විය. නැව් නැගී කුමාරු උසන්ගොඩින් බැස කළ මී ගවයින් රැලක් දැක උන් පස්සේ හඹා යන කළ මීයක් දැක එය කඩා ගෙන කෑමට ආශාවක් ඇතිවිය. ඔහුගේ යහළු එඬේර කුමරකුට කදිරා විලට ගොස් මීමා පිළිබඳ තොරතුරු සොයා එන්නට නියම කොට කුමරා තම පියවරක් සමග නුග ගසක බැඳී මීය කඩන්නට සූදානම් විය. මීය බැඳී නුග ගස කපන්නට අපහසු බව මිතුරෝ කුමරුන්ට කීවේ එහි අරක් ගත් යක්ෂයකු සිටි බවත් යක්ෂයන් කපන්නට ඉඩ නොදෙන බවත් මිතුරෝ මංගල කුමාරයාට පැහැදිලි කර දුන් මේ පුවත ඇසූ මංගල කුමරු බෙහෙවින් උදහස් වී තමා ම ඉදිරිපත් වීම කපන කල එහි තිබී රන් ගබඩාවක් හමුවිය. මීය කඩා කාමින් මී පැණි මුලක් තම එඬේර මිත්‍රයාටද බැඳ දී යන්නට යන අතරවාරයේදී මදිරාවේ විල දෙසට දුව ගිය මීදෙන ඔවුන්ට මුණගැසුණේය. මංගල කුමරුන් මීමා අල්ලා ගන්නට කරන විට මීමා කුමරු මරා දැම්මේය. එයින් ශෝකයට පත් එඬේර කුමරා මීමා මරා උගේ ශරීරාංග යොද ප්‍රයෝජනයට ගනිමින් කිරි උතුරවා එම කිරි ඉස මංගල කුමරුන්ට නැවත ප්‍රාණය ලබා දුන්නේය. මෙම කථාපුවත කිරි මඩුවේදී නාට්‍යමය පෙළපාලි හයක් මගින් නිරූපණය කරනු ලබයි.

මීට වඩා තරමක් වෙනස් කථා පුවතක් ද ජනවහරේ ඇත. මායාපුර කිතල්වර නම් රජකු රජ කළ කල්හි එකී රජතුමාගේ බිසව ගැබ් ගෙන ඇසල මස කිවිදින වෛතාල මොහොතේ උපන් කුමරුට බුදුසිරුර යන නම තබන ලදී. මෙම කුමරු වැඩිහිටි වූ කල ගවයකුට පෙම් බැන්ද උගෙන් පහර කා මරණයට පත් වෙතෙයි යන්න නිමිති ඇඳුරා ප්‍රකාශය කළේය. කුමරා රන් වලලු අතලා රන් හවඩියක් ඉනේ ලා රන් මන්දමක් අතින් ගෙන ක්‍රීඩා කරන්නේය. මායා රජුගේ පුත් කුමරාද මෙම කුමාරයා සමග එක්ව ක්‍රීඩා කරන්නේය. අපි දෙදෙන එකම එළදෙනගේ තන කිරි උරා බොමු යැයි මේ දෙදෙනාම කතිකා කරගත්හ. එළදෙනක් ගෙන ඇගේ දෙතන පුඩු වලින් කිරි උරා බොමින් සිටි මේ දෙදෙනාගෙන් එක් කුමරෙක් තමන්ට අයත් තනපුඩුවෙන් කිරි උරා බොන්නේ තනයේ කිරි දෙන තෙක් උරා ගත්තේය. තනයේ කිරි වැඩි හෙයින් අනික් කුමාරයාට කිරි නොමැතිවීම හේතුවෙන් නිසා මේ දෙදෙනා අතර දබරයක් ඇතිවී වෛරයක් ඇති කර ගත කිරි උරාබීම නිසා හටගත් වෛරයක් බැවින් මෙය කිරි වෛරය ලෙස ප්‍රසිද්ධ විය. ඒ තදින් සිතට ගෙන සිටි මිතුරා බුදසිරු මරන්නට සිතා මීමෙකු ආවේශ වූයේ ය.

දිනක බුදසිරු උසන්ගොඩ අසල වනයේ මීයා කඩන්නට ගියේය. රන් පොරවෙන් නුගේ මිය කෙටු විට එහි පැණි පමණක් නොව රන් මන්දක් රන් කෙවිටක් සහ රන් කලස් ආදී තිබෙනු දක්නට ලැබින. නුගේ මිය කඩන්නට ගිය සෙස්සෝ ද මීයේ පැණි මුල් බැඳ රැගෙන එමින් සිටියදී ගව රැලකට අනිමින් දුවගෙන එන මීමෙක් දක්නට ලැබිණ. ගෙරියා බැඳලමියි සිතූ බුදසිරු රන් මන්ද ගෙන මීමා බදින්නට උත්සාහ කළේය. එසේ වුවද මීමා බුදසිරුට වඩා ඉස්සර විය. මීමා බුදසිරුට ඇණ මරා දමන ලදී. ඔහුගේ පිරිස් ද මී මගේ ඇනුම් පහරින් මරණයට පත්විය. මෙහි පැමිණි බුදසිරුගේ මිතුරු එඬේර කුමාරයෙක් මීමා මරා බුදසිරුට පණ දෙන්නට කල්පනා කර මීමාගේ පාද සතර කුණු වශයෙන්ද, ඉණ දොළහ මැස්සේ ලී වශයෙන් ද ගෙන මැස්සක් සාදා මීමාගේ උගුරු දණ්ඩ කපා නලාවට ගෙන කිරී ඉසීමට සුනෙර ද ගෙන ඔලු කබල හැලිය වශයෙන්ද මොලේ මිරිකා කිරි ලෙසද ගෙන ඔලු කබලේ බහා මැස්සේ ගල් තුනක් තබා ළිපක් බැඳ කිරි උතුරවන්නට යද්දි කිරි ඉතිරීමට කහ නොමැති වූයෙන් කහ ටිකක් ඉල්ලා ගන්නට පත්තිනිය වෙත ගියේය.එ‍ඩේර කුමරා පත්තිනියගෙන් කහ ඉල්ලූ විට කිරි කුමාර දේවතාවා එයට විරුද්ධවී සිය අනුහස පා මිනීකිලි හරක්කිලි ආදිය නිසා කහ දීමට බැරි බව කියා කහ විලේ පනුවන් ලෑවේය. මෙහිදී පත්තිනි ඉදිරිපත් වී තමාගේ තෙද බල පණුවන් ඉවත් කර රත් ඇල් හා කහ  ද මතු කොට ගෙන දුන්නේය. නා රජු අඩු වැඩිය නා ලොවින් ගෙන දුන්නේය. අනතුරුව පේ වී රන් සැළියක් ලිප තබා කිරි උතුරුවා මලක් අතට ගෙන පළමු ඉරු දෙවිඳුට දෙවන පත්තිනි දේවියටත් ඉස තුන්වනුව මල පිරිස්ට ඉස විට සියල්ලටම නැවත පණ ලැබුවේය. මෙය මීමාගේ ඇටකටු ලං කර තබා උගේ ඇඟට ද කිරි ඉසින ලදින් නැවත පණ ආවේය. බුදසිරු කුමරු මීමාගේ පිටට පැන ඌත් සමග කැලේට ගියේය. ඉන්පසු එකී කුමරු මංගල නමින් දේවත්වයට පත්විය.

කිරිමඩු  ශාන්ති කර්මයේ දී මෙකී කතා පුවතෙහි අඩංගු සිද්ධි මාලාව නාට්‍යානුසාරයෙන් රග දක්වන අවස්ථා ඇත. කිරි මඩුවේදී කරනු ලබන ආරම්භක චාරිත්‍ර විධි බොහෝ දුරට පහන් මඩුවේ දී කරනු ලබන වත් පිළිවෙත් වලට සමාන වේ. 

  •  පහන් දැල්වීම
  •  තොටමෙට යෑම
  • දෙවියන්ගේ කවි කීම
  •  හත්පද පෙළපාළි යනාදි අංග කිරිමඩුව සඳහා පොදුවේ යොදා ගනු ලබයි. 

කිරිමඩුව සඳහා යොදා ගනු ලබන මණ්ඩපයට අමතර වශයෙන් කිරි මඩුව සඳහා විශේෂ මණ්ඩපයක් යොදාගනු ලැබේ. කිරිමඩුව යනුවෙන් හැඳින්වෙන එකී මැස්ස සාදාගනු ලබන්නේ කඳුරු කණු හතරක් සිටුවා ඒ මත මැස්සක් බැඳ ගැනීමෙනි. මැස්ස මත  පස් දමා උස් වූ වේදිකාවක් වශයෙන් සකස් කර ගනු ලබන අතර ඒ වටා ගොක් රැහැන් ඇද ගනු ලබයි.වෙනත් ශාන්තිකර්මයන්හිවලදී මෙන්ම මෙහිද තොට මට යෑම විශේෂ චාරිත්‍රයක් ලෙස ඉටුකරනු ලබයි. මෙහිදී මුළුතැන් පිසීම සඳහා අවශ්‍ය කරන ජලය වඩම්මවා ගෙන ඒමද සිදු කරනු ලබයි. මෙයින් පසු වී කොටා මංගර දෙවියන් වෙනුවෙන් මුරු තැන් පිදීම කරනු ලබන්නේ බත් හැලිය උපත ආදිය ගායනා කරමිනි. ශාන්ති කර්මයෙහි දක්නට ඇති විශේෂ අවස්ථාවන්ගෙන් එකක් නම් කිරි හැලිය ලිපේ තැබීම මෙහිදී ආතුරයා විසින් වරින් වර එකී හැලියට පොල්කිරි දැමීම කරනු ලබයි. ඉක්බිතිව කිරි හැලිය උතුරුවා කදුරු කොළ දොලහක් තබා කිරි සහ බත් දෙවියන්ට පූජා කරනු ලබයි. 

කිරි මඩුවෙහි ඇති නාට්‍යමය පෙළපාලි අතර මෙකී යාගයට සුවිශේෂ අංගයක් වන්නේ ආඬි ගුරු නැටීමයි. නාට්‍යානුසාරයෙන් හා විවිධ ස්වරූපයන්ගෙන් යුක්තව පවත්වන මෙකී ආඩිඟුරු නැටීමෙන් පසු විශේෂයෙන් සකස් කළ ගෝතඹ රොටිය නමින් හඳුන්වන රොටියකට ඇණ ඊතලයක් හෝ හෙණ්ඩුවක් දේවාභරණවල සංකේතයක් වශයෙන් ගෙන කවි ගායනා කරමින් නටනු ලැබේ. ගෝතඹ රොටිය සකස් කරනු ලබන්නේ අමු කහ විශාල ප්‍රමාණයක් ගෙන කොටා හාල් පිටි සහ පොල් පැණි ද එකට යොදා අනා එම මඩු පොලේ පසෙක බිම ශුද්ධ කොට කෙසෙල් කොළ බිම එළා ඒ මත රොටී මිශ්‍රණය අඟල් දෙකක් පමණ ඝනකමට තුනීකර වටරවුම රොටිය සදා නැවත ඒ මත කෙසෙල් කොළ එලා ඊට උඩින් දර දමා ගිනි මැලය ගසා පිච්චෙන්ට හැරීමෙනි. අවසානයේදී මුළුතැන් පුදා කපු මහතා විසින් ඉදුල් කිරීමෙන් අනතුරුව සියලු දෙනාටම කුඩා කුඩා කොටස් බෙදා දෙනු ලැබේ. කිරි ඉතිරීමෙන් පසු එම කිරි ගවගාල්, කෙත්වතු, ගේදොර ආදී සියල්ලටම ඉසීමෙන් සෞභාග්‍යය අත්පත් කර ගැනීම අපේක්ෂා කෙරේ.

(තොරතුරු ගුරුවරු , පොත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)  

ප්‍රධාන මූලාශ්‍රයන් ,

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 

 


Thursday, January 14, 2021

ස්‌ත්‍රීන්ගේ මන දොළ සපුරන කඩවර යක්‌ කංකාරිය

 
උඩරට සම්ප්‍රදායට අයත් ප්‍රධාන ශාන්තිකර්මයන් අතුරින් දැනට අභාවයට යමින් පවතින්නාවූ ශාන්තිකර්මය පවත්වන අවස්ථා විරල වුවද පූර්ණ වශයෙන්ම මෙකී ශාන්තිකර්මය අභාවයට යෑමේ තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීම වස් එකී කටයුත්තෙහි නියැලෙන ඇදුරු පරම්පරාවන් කිහිපයක් හෝ ශේෂව පැවතීම වාසනාවකි. ප්‍රාදේශීය වශයෙන් ගත් කල උඩරට සාම්ප්‍රදායික කඩවර කංකාරිය වයඹ ප්‍රදේශවලට වඩාත් සුවිශේෂ බවක් දක්නට ඇතත් උඩරට නර්තනය ප්‍රචලිත කෑගල්ල දිස්ත්‍රික්කයේද මාතර දිස්ත්‍රික්කයේ සහ නුවර කලාපයේ ද මෙකී ශාන්ති කර්මයෙහි නියැළෙන ඇදුරු පරම්පරා සිටිති.

කඩවර කංකාරියේ දී ප්‍රධාන වශයෙන් පුද ලබන කඩවර විටෙක දෙවියකු ලෙසත් විටෙක යක්ෂයකු ලෙසත් සැලකෙන්නේ විවිධ ප්‍රදේශවලට ආවේනික වූ ජනප්‍රවාද හා මුඛ පරම්පරාගත කථා අනුව ශාන්තිකර්මයේදී කියවෙන කවි යාදිනි සැහැලි ආදියෙහි අන්තර්ගත තොරතුරු අනුව කඩවර යකුන්ගෙ උපත ඔවුන්ගේ සංඛ්‍යා සහ ඔවුන් හැඳින්වීම පිළිබඳව එකිනෙකට වෙනස් තොරතුරු රාශියක් කියැවේ. උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායන් තුනට අයත් දේශීය ශාන්තිකර්මයන්හි කඩවර යකු නැතහොත් කඩවර දෙවි පුද ලබන්නෙකු වීම විශේෂ ලක්ෂණයකි.

ලක්‌දිව උඩරට ප්‍රදේශයට සුවිශේෂ වූ ගර්භ සංරක්‍ෂණ ශාන්ති කර්මය කඩවර යක්‌ කංකාරියයි. උඩරට ගැමි ජනතාවගේ ඇදහිලි විශ්වාස, ආකල්ප මෙන්ම සාරධර්ම ද ඇසුරු කරගනිමින් ප්‍රභවය ලබා ඇති මෙකී යක්‌ කංකාරිය රට යකුමෙන් පහතරට ජනතාවටත් කුමාර සමයමෙන් සබරගමු ජනතාවටත් සිදුවන්නා වූ සමාජ මෙහෙවරට සමගාමි වූ සමාජ මෙහෙවරක්‌ නිහඬව සිදුකරන බව හේතු සාධක සහිතව පෙන්වා දිය හැකිය. කඩවර හුදු ගර්භ සංරක්‍ෂණයට පමණක්‌ සීමා වූ ශාන්ති කර්මයක්‌ නොව ගැබ් ගැනීම් සිදු නොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස්‌ ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල, වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම්දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්‌ත්‍රීන් හා සම්බන්ධ වූ දහසකුත් එකක්‌ ලෙඩ රෝග හා සබැඳි යක්‌කංකාරියකි. එමෙන්ම දරු ප්‍රසූතිය පමා කිරීම, අංගවිකල දරුවන් බිහිකිරීම, බිහි වූ දරුවන් දින තුනක්‌ සත් දිනෙන් මරා දැමීම යනාදී කටයුතු ද සිදුකරන්නේ කඩවරය. උක්‌ත උවදුරුවලින් කාන්තාවන් නිදහස්‌ කර ගැනීමට කඩවරට පුද පූජා දොළ පිදේනි පුදා තුන්තිස්‌ පැයක්‌ මුළුල්ලේ අංග සම්පූර්ණව කඩවර යක්‌ කංකාරියක්‌ පැවැත්විය යුතු බව ඇදුරෝ තරයේ විශ්වාස කරති.

මධ්‍යම පළාතේ කඩවර යක්‌ කංකාරිය රීරි කඩවර, කොට කඩවර, රති කඩවර, දළ කඩවර යන යකුන්ට වෙන වෙනම දොළ පිදේනි, ගොටු කැපකොට දෙන පන්යක්‌කම, කපුයක්‌කම, නයියක්‌කම, වැදියක්‌කම, දරුයක්‌කම, බොරුයක්‌කම, මහයක්‌කම යන යක්‌කම් හතකින් පරිපූර්ණ වූ සර්ව රාත්‍රිකව පවත්වන ගර්භ සංරක්‍ෂණ පූජා කර්මයකි. ගර්භ සංරක්‍ෂණය අරබයා කන්ද උඩරට පැවැත්වෙන සොකරි නැටුම, මල් බලිය පිදීම, කිරි අම්මාවරුන්ගේ දානය, කළුකුමාර යන්ත්‍රය පැළඳීම හා විවිධ ආගමික ස්‌ථානවලට භාරහාර වීම යනාදී දහසකුත් එකක්‌ පූජා කර්ම අතර කඩවර යක්‌කංකාරියට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමිවන්නේ ප්‍රතිඵලදායක වූ වත් පිළිවෙත් රටාව හේතුවෙනි.

"කඩවර" පොදු ව්‍යවහාරයේ කඩවර යක්‌/දෙවි නමින් සැලකෙන අන්තරාවරිතිත දෙවි කෙනෙක්‌ වුවද කඩවර යක්‌ කංකාරියේදී කඩවර දෙවි නමින් පුද පෙත් ලබන්නේ සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලා කඩවරටය. පුළුටු බත් භෝජන නොබුදින කලා කඩවරට කිරිබත් ගොටුවක්‌ පුද දීමට ඇදුරන් පුරුදු වී සිටින්නේ මෙබැවිනි. දැදුරුඔය, නුවර කලාවිය පමණක්‌ නොව සමස්‌ත වැව්ගම්වාසීන්ගේම එකම ඉටුදෙවියා සෙනවිරත්න මුල්කඩවරය. දේශීය සම්භවයක්‌ ඇති එකම කඩවර දෙවියා ද වන්නේ සෙනවිරත්න මුල්කඩවරය. මොහුගේ බලපරාක්‍රමය එදා මෙන්ම අද ද කිසිදු අඩුවකින් තොරව පවත්නා බවත් ඇතැම් දිනවල කලා වැවේ වැව් ඉස්‌මත්තේ පෙනී සිටින බවත් ඇදුරෝ ප්‍රකාශ කරති. සෙනෙවිරත්න මුල්කඩවර වෙනුවෙන් සකස්‌ කළ කිරිබත් ගොටුවක්‌ පුදදීමට මොවුහු කිසිසේත් අමතක නොකරති. සෙනවිරත්න මුල්කඩවර හෙවත් කලා කඩවරට කිරිබත් ගොටුවක්‌ පුදදෙන ඇදුරෝ රීරිකඩවරට, තොටකඩවරට, රතිකඩවරට, දළකඩවරට යන කඩවර යකුන්ට පිළිවෙලින් සැන්දෑ පිදේනිය, තොටකඩවර පිදේනිය, රතිකඩවර පිදේනිය, නොමළ දත්ත පිදේනිය යන සිව්මහා පිදේනි මන්ත්‍ර දිෂ්ටියෙන් දිෂ්ටි කොට ඒ ඒ අදාළ තැන්වලට අදාළ වෙලාවට ගෙනගොස්‌ කැපකොට දෙති. එමෙන්ම හාස්‍ය හා විනෝදය, මානසික විරාමය රැගත් පන්යක්‌කම, කපුයක්‌කම, බොරුයක්‌කම, දරු යක්‌කම, වැදියක්‌කම, නයි යක්‌කම හා මහයක්‌කම යන යක්‌කම් හතක්‌ හා තංතිරිවේණා උඩැක්‌කි නැටීම් ආදී නාට්‍යමය ජවනිකා ඉදිරිපත් කිරීමටත් කංකාරියෙන් අපේක්‍ෂිත මුඛ්‍ය පරමාර්ථය වටා මෙකී සියලුම උපාංග හා චරිත සිද්ධි මෙන්ම විවිධ අවස්‌ථා ද එකට එක්‌වී එකී භූත ධාරණාවකට අනුව පෙළගැසී තිබීම ද අවධානය යොමු කළ යුතු කරුණකි. මෙවන් සියලු උපාංගවලින් සැදුම්ලත් සර්ව රාත්‍රිකව පවත්වන කඩවර යක්‌කාරියක්‌ මධ්‍යම පළාතේ හැරුණු විට වෙනත් කිසිදු ප්‍රදේශයකින් දැකගන්නට නොලැබීම ද විශේෂ කරුණකි.

ඉතාමත් සැලැස්‌මකට අනුව සකස්‌ වූ ප්‍රතිඵලදායක මෙම ශාන්ති කර්මය ආරම්භ කරන අවස්‌ථාවේදී රෝගාතුරව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් යාග මඩුවට පැමිණි කාන්තාවන් පසුදා උදෑසන ශාන්ති කර්මය අවසානයේදී එකී සියලු රෝග තත්ත්වයන්ගෙන් අත්මිදී ඉතා හොඳ සනීපයෙන් විනෝදයෙන් ඇදුරුතුමන්ට නමස්‌කාර කර යාග මඩුවෙන් සමුගනියි.

මල්වරවීම, මල්වර කිල්ල පිළිබඳ තම දූ දරුවන් නිසි පරිදි දැනුවත් නොකිරීමේ වරදින් මල්වර වන මොහොතේම ඇතිවන මල්වර කිල්ලක්‌ සමඟ වැළඳෙන කඩවර දෝෂය බොහෝ අය හඳුනාගෙන දේශීය මෙන්ම විදේශීය වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු දැකිය හැකිය. එසේ වෛද්‍ය ප්‍රතිකාර කොතෙක්‌ සිදු කළත් කඩවර දෝෂය ඉවත්වනතුරු එකී රෝගී කාන්තාවට ගැබ් ගැනමක්‌ සිදු නොවන අතර ගැබ් ගැනීමක්‌ සිදු වුවද එක්‌ මසකින් සමසකින් හෝ සත්මසකින් එකී දරු ගැබ විනාශ කර දැමීම කඩවරගේ සාමාන්‍ය ස්‌වභාවය බව මේ පිළිබඳව අවබෝධය ඇති බොහෝ පිරිස්‌ විශ්වාස කරති.

එබැවින් මෙකී ශාන්ති කර්මය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සුවිශේෂ සමාජ මෙහෙවරක්‌ කොට සැලකීම අසාධාරණ නොවන්නේය. ඒ අනුව උඩරට කඩවර යක්‌කංකාරියේ පූජා විධි රටාව පිළිබඳ අපේ සැලකිල්ල යොමු කළ යුතුය. පූජාවිධි රටාව සමයම් හතරකින් සමන්විත වෙයි. ඒ හැන්දෑ සමයම, පූර්ව මධ්‍යම සමයම, අපර මධ්‍යම සමයම හා අලුයම සමයම යනු ඒ සමයම් හතරයි. කඩවර යක්‌ කංකාරියේ සැන්දෑ සමයමට අයත් ආරම්භක කටයුත්ත වන්නේ යාග මඩුව පවිත්‍ර කිරීමයි. එහිදී කඩවර පිදේනිය හා සකස්‌ කළ පිදේනි හා කොටු සභාගත කොට, කීලපන්දම් දල්වා දුම්මල ගසා කහපැන් ඉස යාගමඩුව මැනවින් සුද්ධ පවිත්‍ර කොට දෙවියන් වැඩ සිටීමට සුදුසු තැනක්‌ බවට පත්කිරීමට ඇදුරෝ අමතක නොකරති.

සමාගම් නූල පැළඳවීම

කඩවර යක්‌ කංකාරියේ පළමුවන චාරිත්‍රය වන්නේ සමාගම් නූල පැළඳවීමයි. කංකාරිය පැවැත්වීමට දින විසිඑකකට පෙර මෙකී කටයුත්ත සිදුකළ යුතුය. මෙහි කංකාරියට අත්‍යවශ්‍ය වූ චාරිත්‍රාංගයකි. විවාහපත් ස්‌ත්‍රීන්ට වසර ගණනාවක්‌ ගතවුවද දරු ගැබ් ඇති නොවීම, ඇති වූ දරු ගැබ් මසකින් දෙකකින් ගබ්සා වී යැම, ඔක්‌කාරය, තුන්ජාමෙට වෙව්ලා උණ ගැනීම, යනාදී රෝග ලක්‍ෂණ යම් කාන්තාවකට දක්‌නට ලැබේ නම් අත්දැකීම් තුළින් පරිපූර්නයට පත් ගම්මු ඇයට නිසැක වශයෙන්ම කඩවර දෝෂය වැළඳී ඇති බව පසක්‌කෙට ගෙන කඩවර යක්‌ කංකාරියක්‌ සිදුකිරීමට අවැසි කටයුතු සම්පාදනය කරති. ප්‍රධාන ගුරුන්නාන්සේ ආතුරයාගේ නිවසට ගොස්‌ ආතුරයා හොඳින් පරීක්‍ෂා කොට ඇයට වැළඳී ඇත්තේ කඩවර දෝෂයක්‌ බව හැඳින සුදු තුන්පටේ නූලක්‌ ගෙන කඩවර යාදින්න තෙවරක්‌ කියා එම මූල ආතුරයාගේ දකුණතේ ඉහළ කොටසෙහි ගැටගසනු ලැබේ. මෙම සමාගම් නූල පැළඳීමෙන් දින විසිඑකක්‌ ගතවූ තැන ආතුරයා රෝග උපද්‍රවයෙන් නිදහස්‌ කොට දෙන ලෙසත් එසේ නිදහස්‌ කළහොත් රීරි කඩවර, තොටකඩවර, රත්කඩවර, දළ කඩවර යන කඩවර යක්‍ෂයන්ටත් සෙනවිරත්න මුල්කඩවර හා නාටහතර කකට්‌ටුවක්‌ කඩවරයින්ටත් කඩවර යක්‌ කංකාරියක්‌ පවත්වා දොළ පිදේනි පිළිගන්නා කඩවර කංකාරියක්‌ පවත්වා දොළ පිදේනි පිළිගන්වා කඩවර කංකාරියක්‌ පවත්වා දොළ පිදේනි පිළිගන්වන බවට ප්‍රතිඥ දෙති. දෙන ලද ප්‍රතිඥවේ ආකාරයටම දින විසිඑකක්‌ නොව දින හතක්‌ යැමට පෙර සිටම ප්‍රතිඵල පෙන්නුම් කරන අතර කඩවර යක්‌කංකාරියට සූදානම් වන්නේ මින් අනතුරුවයි.

කාන්තාවක්‌ මල්වර වන අවස්‌ථාවේදී තනිවුවහොත් තනිපොල පිරිකඩවර ඇයට බැල්ම හෙලා එදා සිට ඇය කැටුව වාසය කරන අතර ඇය විවාහ වුවද දරුවන් පිළිසිඳ ගැනීමට මොහු ඉඩ නොදෙයි. පිළිසිඳ ගත්තට කළලයට මාසයක්‌ දෙකක්‌ වන විට ගබ්සා කොට දමයි. තනිපොල සීරි කඩවර ඇමක්‌ ස්‌වාමිපුරුෂයා සේ හැසිරෙයි. රාත්‍රියේදී යහනට පැමිණෙන මොහු ඇය සිහිනෙන් බිය ගන්වයි. නින්ද යැමට ඉඩ නොදෙයි. එවන් කාන්තාවන්ට සමාගම් නූල පැළඳවීමේදී සාමාන්‍ය සමාගම් නූලක්‌ පැළඳවීමට වඩා වෙනස්‌ වේ. ඒ අනුව නූල්, දුම්මලතටුව, නාබර කුකුළෙක්‌ යනාදිය රැගෙන තුන්මංසලට ගොස්‌ කඩවර යාදින්න කියා දිෂ්ටි මන්ත්‍ර තියා දුම්මල කීල ගසා ඇප නූල කුකුළාගේ කකුලේ ගැටගසයි.

ඇයට වැළඳී ඇති තනිකම් දෝෂය ඉවත් කොට දරු ඵල ලබාදුනහොත් දරුවකු පිළිසිඳ තුන්මාසයක්‌ ගතවීමට පෙර කඩවර යක්‌ කංකාරියක්‌ පවත්වා තනිපොල සිරිකඩවර ඇතුළු සියලු කඩවරයින්ට දොළ පිදේනි කැපකොට දෙන බවට කන්නලව් කොට කියා සිටියි. "තනිපොල සිරිකඩවර" ඉතාමත් දරුණු යකෙකු වන බැවින් කුකුළා මරා පිදේනි කැප කොට දීම විශේෂ ලක්‍ෂණයකි. තනිපොල සිරිකඩවර කිසිවිටකවත් රැවටිය නොහැකි බියකරු යකෙකු බව ගුරුන්නාන්සේලා තරයේ විශ්වාස කරති. දින විසිඑකක්‌ ඇතුළත දොළ පිදේනි කැපකොට නොදුනහොත් රෝගියා මරණාසන්න තත්ත්වයට පත්වන බැවින් පොරොන්දු ප්‍රකාර දොළ පිදේනි පුදදීමට ගම්මු වගබලා ගනිති.

යාගමඩුව

නියමිත පරිදි දිග අඩි 30 ක්‌ හා පළල අඩි 15 ක්‌ පමණ ඉඩ ප්‍රමාණයේ යාගමඩුවක්‌ තුළ සවස 5.00 ට ආරම්භ කරන මෙම ශාන්ති කර්මය පසුවදා පෙරවරු 7.30 දක්‌වා පැවැත්වේ. කුරාලයේ හා තුන්මංසලේ හා දොළේ පිදේනි කැපකොට දීම හැරුණු කොට අනෙක්‌ සියලු යාග කටයුතු සිදුවන්නේ මෙම යාගමඩුව තුළය. අඩි හතක්‌ උස කෙසෙල් කඳක්‌ කොටස්‌ තුනකට බෙදා සකස්‌ කොටගත් අයිලය සඳුන්, භූත, බත් යන කාලි දෙවිවරුන්ට වෙන් වූවකි. ගොක්‌අතුවලින් සැරසූ "ආතුර වාසස්‌ථානය" ආතුර කාන්තාව වෙනුවෙන් සකස්‌ කොට ඇත. එක්‌ පසෙකින් පිදේනි යහනකි. එම යහන තුළ

01. සීරි කඩවර පිදේනිය

02. තොට කඩවර පිදේනිය

03. රති කඩවර පිදේනිය

04. නොමළ දත්ත පිදේනිය

05. මෝරංගල පිදේනිය

යන පිදේනි තබා ඇත. ශාන්ති කර්මය ආරම්භ කිරීමට පෙර "කුරාලය" සකස්‌ කළ යුතුය. ආතුර නිවසේ සිට යාර 300 ක්‌ දුරින් ගසක්‌ උඩ ඇත් උසට මෙම කුරාලය සවිශක්‌තිමත්ව ලී දඬු යොදා සකස්‌ කළ යුතුය. නැවුම් මැටි මුට්‌ටියකට කහ දියර යොදා අලංකාර කරන ලද "කළස" යාග මඩුවේ පසෙකින් තබා ඇත්තේ මල් කඩවරට පුද දීමට ය. මල් බුලත් තටුව ශ්‍රියා කාන්තාවට ය. මල් බුලත් හැරුණු විට කැඩපතක්‌, පනාවක්‌, හවරියක්‌ සුවඳ වර්ග මීට අයත් වේ.

ආතුරයා ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවීම

යාග මඩුව පුරා කහ දියර ඉස දුම්මල ගසා පවිත්‍ර කොට වැදියක්‌ කඩවර, අභිමාන කඩවර යන රීරි යකුගේ දෑග සවුවන්ට වෙන් වූ පරිවාර ගොටු දෙකත් රීරි කඩවර ගොටුවත් යාග මඩුවේ ආතුර වාසස්‌ථානය ළඟින් තබා මෙතෙක්‌ හිස්‌ අසුනක්‌ව පැවැති ආතුර වාසස්‌ථානයට ආතුර කාන්තාව නිවාස තුළ සිට මොට්‌ටක්‌කිලියෙන් මුහුණ වසා ප්‍රධාන යකැදුරාගේ මැදිහත්වීමෙන් ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවීමට පෙර පළමුව තෙරුවන් සිහිකොට, දෙවනුව දෙවියන් සිහිකොට, තෙවනුව යක්‍ෂයන් සිහිකොට පහන් දල්වා ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවයි.

හැන්දැ සමයම නැටීම

බුදුන්ට, දෙවියන්ට මෙන්ම යක්‍ෂයන්ටත් පහන් දල්වා නයියඩි ඇඳුමින් සැරසුණු ඇඳුරෝ උඩැක්‌කි අතට ගෙන මඟුල් බෙර වයා බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට කිසිසේත් ම අමතක නොකරති. හිසට ජටා බැඳ පිරුවට හැඳ සිලම්බු හා වළලු පැළඳ, ඇඳුරෝ මල් යහන ඉදිරිපස සිට උඩැක්‌කියෙන් මඟුල් බෙර වාදනය කරමින් මල් යහන් කවි ගයමින් සියලු දෙවියන්ට මල් යහනට ආරාධනා කරති. දෙවියන් ඉදිරියේ නැටුම් ගැයුම් පැවැත්වීමෙන් ඔවුන් සතුටට පත්වන බවත්, සතුටට පත් දෙවියෝ තමන්ට පෙරළා ආශිර්වාද කරන බවත් ගැමියෝ තදින්ම විශ්වාස කරති. එලෙස දේවාශිර්වාද ලැබෙනවාත් සමඟම මෙතෙක්‌ තිරයෙන් මුහුණ වසාගෙන සිටි ආතුර කාන්තාවගේ කඩතිර හැර දෙවියන්ට ඇයව ඉදිරිපත් කිරීම කළ යුතුය

සිරිකඩවර පිදේනිය කැපකොට දීම

දෙවියන්ගේ ආශිර්වාද ලබා ගත් ඇයව ඉදිරිපිටම හැන්දැ පිදේනිය හෙවත් සිරිකඩවර පිදේනිය සිරිකඩවරට කැප කොට දීම ආරම්භ කරති. මල්වර වන අවස්‌ථාවේදී තනි වුවහොත් රීරි කඩවර දෝෂය වැළඳේ. එබඳු කාන්තාවන්ට මෙම පිදේනිය පුද දීමෙන් රෝගය සුව වේ. සියලුම පූජා ද්‍රව්‍ය අඩංගු සිරිකඩවර පිදේනිය අභිමාන, වැදියක්‌, යන කඩවරයන් විෂයෙහි සකස්‌ කළ දොළ පිදේනි ද පන්දම් ද කුකුළා ද සමීපයට ගෙන දොළ පිදේනි භාර ගැනීමට සිරියකු ප්‍රධාන අනෙකුත් යකුන්ට අඬ ගසති.

"තෙද සීරියක්‌කු - අද කෙළි පුදට එක්‌කු

යකුගේ බල දැක්‌කු - බැස වරෙව් තෙද සිරි යක්‌කු

සීරි විල වසනා - බාර ලේ වල වෙසෙනා

සමන් දෙවි දකිනා - සිරි යකු බල පෙන්නු එදිනා

කපා රතු කුකුලන් - ඉරාලා ලේ ගොටුවන්

බැඳ මැසි කුරාලන් - මෙසේ දොළදෙන් සිරි යකුටත්


අටකොණට සමයං දීම

පැදුර යාගමඩුවේ මැද එළා පැදුර අටකොණේ බත්ගොටු අටක්‌, පහන් අටක්‌ දල්වා තබා ප්‍රධාන ගුරුන්නාන්සේ පැදුරෙන් මුනින් අතට දපා සිරිකඩවර පිදේනිය පපුව මත තබා දුම්මල කීල ගසමින් අටකොණට සමයං දෙයි. සෙසු ඇඳුරෝ උඩැක්‌කි වයමින් මෙම කටයුත්තට සහාය ලබා දෙති. අටකොණ සමයම හමාර කොට රීරිකඩවර පිදේනිය ආතුරයාගේ හිසේ සිට පාදාන්තය දක්‌වා යවමින් සෙත් පතා පිදේනිය හිසමත තබා කවි ගයමින් කුරාලය කරා ගමන් කරයි.

"අහසේ ගොසින් ඉරුයට සැඟවුණත් වරෙන්

පොළවේ ගොසින් වැලියට සැඟවුණත් වරෙන්

මහ මුහුදේ ජලයට සැඟවුණත් වරෙන්

ලෙඩ කළ දේවතා කොතැනක ගියත් වරෙන්"

කුරායල වෙත ගමන් කොට කුරාලයට නැගී එහි දපා පපුවමත පිදේනිය තබා දිෂ්ටි මන්ත්‍ර කියා දිෂ්ටි කොට, රීරි කඩවර යක්‍ෂයාට අඬගසා පුද දෙයි. සෙසු ඇඳුරෝ කුරාලයේ පාමුල සිට උඩැක්‌කි වයමින් දුම්මල කීල ගසමින් උදව් වෙති.

තොට කඩවර පිදේනිය කැපකොට දීම

ස්‌නානය කරන තොටකදී දිය කඩකදී වැඩිවියට පත් ව තනි වුවහොත් තොට කඩවර දෝෂය වැළඳේ. බොහෝ කාන්තාවන්ට මෙම දෝෂය වැළඳෙන්නේ නොසැලකිල්ල හා නොදැනුවත්කම හේතුකොට ගෙනයි. මෙම දෝෂය තිබෙනතුරා දරුවන් පිළිසඳ ගැනීමකට ඉඩ නොදෙන තොට කඩවර යකු විෂයෙහි ඉහත පිදේනිය තොටක තබා කැප කොට දීමෙන් සුව කර ගත හැකිය. හැන්දැ පිදේනිය හෙවත් රීරි කඩවර පිදේනිය කැපකොට දීමෙන් පසු රාත්‍රි ආහාරය ගෙන රාත්‍රි අටෙන් පසුව මෙම තොට කඩවර පිදේනිය කැපකොට දීම ආරම්භ කරති.

උඩරටට ආවේණික වූ නයියඩි ඇඳුමෙන් සැරසුණු ඇඳුරෝ ඉතාමත් ගරු ගාම්භීර ලෙස සභාවට පැමිණ මඟුල් බෙර වයා සෙත් කවි ගයා ආතුරයාට ආශිර්වාද කරති. පුවක්‌ මල් කිනිත්තක්‌ ගෙන තුන්පටේ නූලක්‌ ඔතා සකස්‌ කළ "පිරිත්තුව" මේ අවස්‌ථාවට විශේෂයෙන් වැදගත් වේ. කංකාරියට සහභාගි වන සියල්ලන්ටම පිරිත් නූලක්‌ ලබාදිය යුතුයි. පිරිත්තුවේ එක්‌ පැත්තක්‌ ආතුර අතේ ද, අනෙක්‌ කෙළවර අයියලයට ද සම්බන්ධ වේ.

තොට කඩවර පිදේනි කැපකොට දීමට පෙර ඇදුරෝ සභාවේ සිටින සියල්ලන්ගේම සතුට සඳහා ඉතාමත් අලංකාර ලෙස නැටුම් ඉදිරිපත් කරති. ශාන්ති කර්මය නරඹන්නන්ගේ නිද්‍රdශීලී අලස ස්‌වභාවය මෙම අලංකාර නැටුම් බැලීමෙන් ඉවත්ව යන අතරම ආතුරයාගේ රෝග උපද්‍රවයන් ද යම් තරම් දුරකට සමනය වීමක්‌ ද සිදුවේ.

තොටකඩවරට සකස්‌ කළ "නැව් පිදේනිය" සුදු පිරුවට බැඳි වතුර පිරවූ කොරහක්‌ මත තබා යාගමඩුවේ මැද තබා දිෂ්ටි මන්ත්‍ර, තොට කඩවර අස්‌න, කවි මෙහිදී ගායනා කිරීමට ඇඳුරෝ අමතක නොකරති.

තොටුපල ගලට ඇවිදින් යකු මග බැලු වා

දුටු අඟනන්ට රෑ සිහිනෙන් ලෙඩ කෙරු වා

යුතු ලෙස දෙන්ට දොබිලි ඔබට මාරු වා

තොට කඩවර දොළ ගෙන දිය පිට වැඩු වා"

මෙසේ අස්‌න හා කවි කියමින් පිදේනිය හිසමත තබා ගෙන දියකඩක්‌ දක්‌වා ගමන් කොට ප්‍රධාන ගුරුන්නාන්සේ දියමත දපා පිදේනිය පපුව මත තබා නැවත දිෂ්ටි මන්ත්‍රයෙන් මතුරා දුම්මල ගසා දිෂ්ටි කොට තොටකඩවර යකුට පිදේනිය කැප කොට දෙති.එහිදී

රන් පඬුරට

ඇප කළසට

මල් බුලත් තටුවට

පිදේනි යහනට 


රති කඩවර පිදේනිය පුදදීම

අයිලයට යාදිනි ගයා දෙවියන්ට කන්නලව් කොට දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරති. රතිකඩවර, රතිකම් කඩවර, රතිකාම කඩවර යනාදී විවිධ ස්‌වරූපයෙන් පෙනී සිටින රති කෙළියෙහි ඇලී ගැලී වාසය කරන රති කඩවර කිල්ලක්‌ දුටු සැණෙකින් දිෂ්ටි හෙළා බැල්ම හෙළා කාන්තාවන් ලෙඩ කරවන යක්‍ෂයෙකි. ග්‍රාමීය පරිසරය තුළ බොහෝ දුරට අඹුසැමියන් වශයෙන් එකතු වන්නේ නිවස තුළදී නොව වනයේදී ය. එබඳු අවස්‌ථාවලදී යම් හෙයකින් බිරිඳ මොහොතකට හෝ තනි වුවහොත් මෙම රතිකම් දෝෂයට ගොදුරු විය හැකි බව ඇඳුරන්ගේ පිළිගැනීමයි. රති කඩවරට වෙන්වූ "රතිකඩවර පිදේනිය" දිෂ්ටි මන්ත්‍ර කියා යාදිනි ගයා කුකුල් සිරි (ලේ) පිදේනියට දමා පිදේනිය ආතුරයාගේ නිවසට සමීපව ඇති "තුංමංසලක" කැප කොට පිදිය යුතුය.

දළ කඩවර පිදේනිය පුදදීම

උඩරට කඩවර යක්‌ කංකාරියේ අවසන් මහ පිදේනිය හෙවත් නොමළ දත්ත පිදේනිය පුද දෙන්නේ දළ කඩවරයට. එබැවින් එයට "දළකඩවර පිදේනිය නමින් ද, හැඳින්වෙයි. මෙම මහ පිදේනිය කැපකොට දීමට මත්තෙන් දළ රජු කළ යාගය සිහි ගන්වමින් ගිරිදේවි බලියක්‌ අඹා එය ආතුරයා ළඟින් තබා පිරිත් හූය එහි ගැටගසා යාදිනි ගයා ආතුරයාට සෙත් පැතීම ද සිදු කරති. ඉන් අනතුරුව එළඹෙන්නේ මෙම කංකාරියේ නාට්‍යමය ලක්‍ෂණ බොහොමයක්‌ අඩංගු ජවනිකා කිහිපයකි. මෙම ජවනිකා ආතුරයාගේත් රැස්‌ව සිටින අයගේත් මානසික කායික සුවයට සරිලන පරිදි දෙපැත්ත කැපෙන වචන අවස්‌ථා හා සිද්ධි වලින් අනූන කිරීමට ඇඳුරෝ වගබලා ගනිති. අයිලේ බැලීම සුවිශේෂ ජවනිකාවකි.

ඇඳුරා - මොනවද කියාපං බලන්ඩ ඔය හොඳ කාම (කෑම)

ප්‍රධාන ඇඳුරා - "අපේ හොඳ කාම තමයි ඉප්පා, කප්පා, කපරගොයා, කොරලියා

ඇඳුරා -  අඩා සිංහලයා කුදා වදලා

ප්‍රධාන ඇඳුරා - "කුදාලා කොහොමද වදන්නේ. කුදියෝ මිස. කුදියෝ නම් වදාලා ඇති කුදා  වදලා නොවෙයි පුදා වඩලා"

කාමුක රාගික හැඟීම් ජනිත කරවීම, දරුවන් වැදීම ආදිය වාචික මෙන්ම ආංගික අභිනයෙන් ද රඟ දැක්‌වීම මෙහිදී සිදුවෙන සුවිශේෂ ජවනිකා වේ. මෙකී අවස්‌ථාවලදී ඉදිරිපත් කරන සංවාද, ජවනිකා, ආතුරයාගේත් සෙසු නරඹන්නන්ගේත් හාස්‍ය රසය ජනිත කරවන අතරම ඔවුන්ගේ නිද්‍රdශීලී ස්‌වභාවය ද තුරන් කෙරේ. මනෝ විද්‍යාත්මකව සලකන විට ආතුරයාට වැළඳී ඇති රෝග උපද්‍රව මෙන්ම මානසික ආතතිය තුරන් කිරීමේ බලයක්‌ ශක්‌තියක්‌ මේ මගින් උදාවන බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

අයිලේ බැලීමෙන් පසුව එළඹෙන්නේ උඩරට මෙන්ම පහතරට ශාන්තිකර්ම අතර කඩවරයක්‌ කංකාරියට පමණක්‌ ම සීමා වූ යක්‌කම් පෙළපාලි හතක්‌ (07) ක්‌ පිළිවෙළින් වේදිකාගත කිරීමයි.

1. කපු යක්‌කම, 2. පන් යක්‌කම, 3. බොරු යක්‌කම, 4 දරු යක්‌කම, 5 නයි යක්‌කම, 6. වැදි යක්‌කම, 7 මහ යක්‌කම යනුවෙන් ඒවා වේදිකාව මත දිග හැරේ. මෙකී සියලු යක්‌කම් කඩවර යක්‌කංකාරියටම ආවේණික වූ ජවනිකාවලින් අනූන කිරීමට අපේ කඩවර ඇඳුරෝ පොහොසත් වෙති. එමෙන්ම තංතිරියට, උඩැක්‌කියට, වීනාවට, කවි ගායනා කොට ඒ ඒ අංංශ වෙන වෙනම රඟ දැක්‌වීම ද විශේෂ ලක්‍ෂණයකි.

නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ දළ කඩවර පිදේනිය (- යක්‌කම් ජවනිකා වශයෙන් ඉදිරිපත් කොට අවසානයේදී දළ කඩවරට සකස්‌ කළ ගැබ් හැටකින් (60) සමන්විත වූ මෙම මහ පිදේනිය දළ කඩවර අස්‌න දිෂ්ටි මන්ත්‍ර ගායනා කොට සැරපරුෂ දළ කඩවරට වෙන් වූ අට කොණට සමයංදීම/ පැදුරේ දපා සමයං දීම හමාර කොට රීරි පුදා ආතුර නිවසේ සමීපයේ ඇතෙක්‌ උසට සකස්‌ කොට ඇති කුරාලය වෙත ගොස්‌ කුරාලයේ දපා පිදේනිය බඩ මත තබා දිෂ්ටි මන්ත්‍ර ගයා පිදේනිය කැප කොට දෙයි.

නොමළ දත්ත පිදේනිය/ මහ පිදේනිය/ කැපකොට දීමෙන් අනතුරුව ආරම්භයේ පටන් අවසාන මොහොත දක්‌වා වේදිකාවට ගෙන්වා ගත් සියලුම භෞතික සම්පත් වලට කවි ගායනා කොට කඩා ඉවත් කළ යුතුය. ඒ අනුව අයිලය කඩන්නට කවි කියා අයිලය කඩා ඉවත් කෙරේ.

මෙම එක්‌ එක්‌ ජවනිකා අවසානයේ ආතුරයාට ආවඩා "ආයුබෝවේවාෘ රෝග නිවාරණය වේවායි කියා සෙත් පැතීමට ඇදුරෝ කිසිසේත්ම අමතක නොකරති. හෝරා කිහිපයක්‌ තිස්‌සේ පවත්වන මෙම යක්‌කම් පෙළපාලි නාට්‍යමය ලක්‍ෂණවලින් පරිපූර්ණ වේ. උඩැක්‌කි තංතිරි වේණා වැයීම්වල අන්තර්ගත සංවාද මෙන්ම කවි ගායනා, කාමුක, රාගික හැඟීම් උද්දීපනය වන සේ රචනා වී ඇත. ඒවා යක්‌ කංකාරියෙන් අපේක්‍ෂිත මුඛ්‍යාර්ථය හා සෘජුවම බද්ධ වේ. කායිකව සිදුවන අබල දුබලතාවලට මානසිකව සිදුවන විපර්යාසයන් සෘජුවම බලපායි. දරුවන් නැතිවීමෙන් ආතුර මානසිකත්වයෙන් පසුවන කාන්තාවන්ට මෙමගින් සිදුවන්නේ සුවිශාල වූ අස්‌වැසිල්ලකි.

සභා ගැබේ සිටින යකැදුරන් සමඟ එකතුව සතුටින් සිනා මුසු මුහුණින් කල්ගත කරන ආතුර කාන්තාව තමන්ට මානසිකව කායිකව පවතින රෝග උපද්‍රවයන් අමතක කර දැමීම, තුරන් කර ගැනීම, අගය කළ යුතු අපේ අවධානයව යොමු කළ යුතු කරුණකි. තංතිරිවාදනය නම් වූ ජවනිකාව මේ සඳහා දිය හැකි කදිම නිදසුනකි. තංතිරියෙන් පයෝධරයන් සංකේතවත් වේ. පයෝධර කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ට ද වින්දනයක්‌ ගෙන දෙන ප්‍රියජනක ශාරීරික අංගයකි.

"අඟනන් රඟ බැස පැන අතරායා

තනවන තනනම් රණ තිස රාය

විලසින් දනුයෙන් දෙවි අස රායා

ගී උන් මන්මත් කරවන රායා"

(මයුර සංදේශය - 61 පිටුව)

තංතිරිය අතට ගත් ප්‍රධාන ඇදුරා එය අතගාමින් පද්දමින් උඩ දමමින් ආතුර කාන්තාවට සමීප කරමින් පයෝධර ගැන කියෑවෙන කවි කියමින් මනරම් වූ නර්තනයක යෙදෙයි. හෝරා කිහිපයක්‌ ඇය ලබන වින්දනය දරුඵල ලබනු වස්‌ බෙහෙවින් ම හේතු සාධක වේ. ආතුර කාන්තාව දරුවකු ලැබීමට හැකි මානසික ශක්‍යතාවක්‌ ඇති කාන්තාවක්‌ බවට පත් කරවීම මෙහි එන සෑම යක්‌කම් පෙළපාලියකම මූලිකම අරමුණයි. එකී අරමුණ බෙහෙවින්ම සාර්ථක වන බව ශාන්තිකර්ම ගණනාවක්‌ සියෑසින් දුටු අපේ අදහසයි. දරු යක්‌කම, නයි යක්‌කම, පන් යක්‌කම මේ සඳහා දිය හැකි ප්‍රබල සාක්‍ෂියන් ය.

දරුඵල නැති කාන්තාවන්ට නූතන සමාජයේ අත්වන ඉරණම ගැන කල්පනා කරන විටත්, දරුඵල නැති කාන්තාවන්ගේ මානසිකත්වය ගැන සිතන විටත් මෙවන් ශාන්තිකර්ම තුළින් සිදුවන මානසික ශක්‌තිය මිල කළ නොහැකි බව සඳහන් කළ යුතුයව. දොස්‌ පරොස්‌ මැද කනස්‌සල්ලෙන් පසුවන ආතුර කාන්තාව දරු යක්‌කමේදී තම සුරතට දරුවකු ලැබීව, දරුවා නැලවීම, කිරි පෙවීම ඇය ලබන භාග්‍යයකි. දැන් ඇයට දරුවකු ලැබී ඇත. ඈ සතුටින් කවි ගීත ගයන්නේ එබැවිනි. මවක්‌ වීමෙන් ඇය ලබන සතුට ඇය මුළු සභා ගැබටම කෑ මොර දී පවසන්නීය.

මෙයින් බලන විට ශාන්ති කර්ම හුදු විනෝදය සපයන සංදර්ශන පමණක්‌ නොව කායික මානසික රෝග සංසිදුවන ප්‍රබල ශක්‌තියක්‌ ඇති මහා ඔසුවක්‌ ලෙස සැලකීම වඩාත් සුදුසු වේ. උඩරට කඩවර යක්‌කංකාරිය ද උඩරට පමණක්‌ නොව සමස්‌ත ලාංකේය කාන්තා පරපුරේම මනදොළ පුරවාලිය හැකි මහෞෂධයක්‌ ලෙස නම් කළ හැකිය.

(තොරතුරු ගුරුවරු , පොත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)  

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 




දොස් දුරලන පහන් මඩු ශාන්ති කර්ම



 

මෙකී පහන්මඩුව පැවැත්වීමට ඉදිකළ මඩුව සඳහා යොදා ගත්තේ යැයි කියන දිග පළල ප්‍රමාණය අනෙකුත් මඩු ශාන්තිකර්ම සඳහා යොදා ගත් ප්‍රමාණය හා සමාන වේ. දිගින් සැට රියන සහ පුළුලෙන් තිස් රියනක්, තලව්වේ උස පස් රියන යන ප්‍රමාණය උඩරට පහතරට සබරගමු යන සෑම ශාන්තිකර්මයක් සඳහාම පොදු වූවකි.

මෙකී මඩුව ඉඳී, තල්, පොල්, පුවක්, තැඹිලි, ලේනතැරි, දෝතලු යන පස්වලු වලින් අලංකාර කළ යුතුය. පත්තිනි දේවිය වෙනුවෙන් ඉදිකරන පත්තිනි තොරණ මෙහි ප්‍රධාන සැරසිල්ලයි. මෙය පත්තිනි මාලය ලෙස ද හැඳින්වේ. මෙකී තොරණ කොත් පහකින්, වාහල්කඩ තුනකින් යුක්ත වන අතර තොරණ දෙපසෙහි කිදුරු මුහුණු දෙකක් සහ ඇත් වාහන දෙකක් ද නිර්මාණය කළ යුතු වේ.  මහල 7කින් සමන්විත වීම තවත් විශේෂ ලක්ෂණයකි.
මීට අමතර වශයෙන් දෙවොල් දෙවියන් සඳහා තොරණක් ද, විෂ්ණු, සමන්, කතරගම, දැඩිමුණ්ඩ යන දෙවිවරුන්ට මල් යහන් හතරක් ද ඉදි කරයි. මීට අමතරව තෙල් මඩුව ද තැනිය යුතුය. දේවාලයෙන් දේවාභරණ වැඩමවා තැන්පත් කර තැබීම සඳහා මාලිගාවක හැඩය පත්තිරිප්පුව නම් කුටියක් ඉදිකිරීම ද මෙහි ලක්ෂණයකි. පහන් මඩුවේ පුදපූජා රටාවන් මෙකී ශාන්තිකර්ම මඩුවේ මේ ආකාරයට පෙළ ගැස්විය හැකියි. 

කප් සිටුවීම    

පහන් මඩුව කරවන ස්ථානයේ කප් සිටුවීම මූලික අංගයයි. අනික ශාන්ති කර්මවලදී මෙන්ම කිරි ගසකින් අත්තක් කපාගෙන ශාන්ති කර්මය කරනු ලබන ස්ථානය පිරිසිදු කර සුවඳ දුම් ගල්වා කප් සිටුවීම කරනු ලබයි. රාති‍්‍ර කාලයේදී සුබ නැකතින් කප් කණුව සිටුවා පත්තිනි දෙවියන් වෙනුවෙන් මඟුල් බෙර වයා කෝල්මුර ගායනා කර කොතලය, සළුපාලිය නැටීම ද චාරිත‍්‍ර ලෙස කරනු ලබයි.

මඩු පේ කිරීම

කප් සිටුවීමෙන් තෙමසක් තුළ මඩුව තනා පේකිරීම මඩු පේ කිරීම ලෙස හැඳින්වේ. මඩු පේ කිරීමේදී කපු මහතා ප‍්‍රධාන යක් ඇඳුරන් කහ දියරින් ස්නානය කොට පිරිසිදු වී මඩු පේ කිරීමේ කාර්යයෙහි නියැළෙයි. මෙහිදී මල් බුලත් තටුව තනා මඩුව මැද තබා මල් පහන් පඬුරු තබා සඳුන් දුම් ගල්වා පංචශීලයෙහි පිහිටුවන කපු මහතා ප‍්‍රමුඛ යක් ඇඳුරන් දේවාශිර්වාදය පතා තෝත‍්‍ර සිදුකරනු ලබයි. මඟුල් බෙර වාදනය කර කෝල්මුර ගයා පෙළපාලි නැටීම කරනු ලබයි. කෝල්පාඩුව, හත්පද පෙලපාලි ඇතුළු නර්තන අංග නටනු ලබයි. අනතුරුව යහන් කවි කියා දෙවියන්ට පිංදී මඩුපේ කිරීම හමාර කිරීම චාරිත‍්‍රයයි.

මිල්ල කැපීම

පහන්මඩුව  මඩුව නැටීමේදී කරනු ලබන ප්‍රථම චාරිත්‍රය වන්නේ මිල්ල කැපීමයි. පහන් මඩු යාගයේ දී කරනු ලබන ගිනි පෑගීම සඳහා යොදා ගනු ලබන්නේ මිල්ල නමැති දැව විශේෂයයි. මෙය ශක්තිමත් අරටු සහිත දැව විශේෂයක් වන හෙයින් එහි අඟුරු කිීරි නොනිමි බොහෝ වේලාවක් පවත්වා ගත හැකි වේ පැරණි චාරිත්‍ර සිහිපත් කිරීමට අද ඒ සඳහා මිල්ල ගසකින් අතු කැබැල්ලක් කපා පෙරහැරින් වඩම්මවා ගෙන අවුත් මැලය දල්වන විට එයට යෙදීම සිරිතකි. මෙය පහතරට දෙවොල් මඩු යාගය‍ෙදී කරනු ලබන චාරිත්‍රයකි. 

තෙල්මේ නැටීම

තෙල්මේ නැටීම මීලඟට ඉදිරිපත් කරනු ලබන විශේෂ නර්තනයකි. දෙවියන්ගේ නාමයට තෙල් මෙහෙවර කිරීම තෙල්මෙ නැටුමෙන්  ඉටුකර ගැනීමට අපේක්ෂා කරන අරමුණ වේ. නිවස තුළ සිදගත් තෙල් පෙරහරෙන් වඩම්මවා ගෙන විත් ප්‍රධාන ඇදුරා ඇතුළු සියලු දෙනාම තෙල් ගොටු වලට ගෙන පහන් දල්වා පත්තිනි දෙවියන් ඇතුළු සතරවරම් දෙවිවරුන් හා සපිරිවාර දෙවිවරුන්ගේ විස්තර ඇතුලත් කවි ගායනා කොට තෙල් ගොටු යහන්වල තැන්පත් කෙරේ. නර්තනය සඳහා විශේෂ තට්ටුවක් ඉදි කරනු ලැබේ. එය හඳුන්වන්නේ තෙල්මෙ තටුව යනුවෙනි. තටුවේ පහන් දල්වා පහන් අතට ගෙන පත්තිනි තොරණ මල් පැළවල පහන් දල්වා තෙල් මල් පුදා දෙවියන් ගෙන් අවසර ගෙන තෙල් වැඩම වීමට අවසර ගනිති.


 

තොටමෙට යාම

මෙකී අවස්ථාව තොට පේ කිරීම යනුවෙන් ද හැඳින්වෙයි. මෙහිදී ප්‍රධාන අරමුණ වන්නේ පහන් මඩු ශාන්තිකර්මයට සහභාගි වන සියලුම ශිල්පීන් තොටක් නැතහොත් දිය කඩක් වෙත ගොස් හිස් සෝදා නා පිරිසිදු වීම තොට මට යෑමේ දී ඒ සඳහා විශේෂයෙන් සකස් කළ මල් බුලත් තට්ටුවක් ගෙන් යෑම සිරිතයි. තොට මේ තට්ටුව නමින් හැඳින්වෙන මෙකී කටුවෙහි බුලත් 12ක්, පඬුරු 12, පහන් වැටි 12ක් ආදියෙන් යුක්ත ය.  තොට මේ තට්ටුව රැගෙන ගොස් එය දියකඩිත්ත ලඟ තබා යාතිකා කර පැන් කලයක් රැගෙන පෙරහැරින් වඩම්මවා ගෙන එනු ලබයි.  මෙම පැන් කලය දෙවොල් තොරණේ  කප අසලින් තබනු ලබන අතර ගිනි පෑගීමේදී මැලයේ ගිනි සිසිල් කිරීම සඳහා යොදා ගනු ලබයි.

දේවාභරණ වැඩම වීම

මෙහිදී කරනු ලබන්නේ පත්තිනි දෙවියන්ගේ සළඹ පත්තිනි තොරණ වෙත වැඩම කිරීමයි. පත්තිරිප්පුවට සුවඳ දුම් අල්ලා සක් පිඹ මඟුල් බෙර වයා පත්තිනි සළඹ හිස මත තබා පෙරහරෙන් වැඩම කරගෙන විත් පත්තිනි තොරණ තැන්පත් කර තබනු ලබයි.

පහන්දැල්වීම

පත්තිනි තොරණට දේවාභරණ වැඩම වීමෙන් පසුුව සිදු කරනු ලබන්නේ දෙවියන් වෙනුවෙන් පහන් දල්වා පහන් මාලාවක් පුද කිරීමයි. මෙහිදී ශාන්තිකර්මයට සහභාගිවන සියලුම ශිල්පීන් තෙරුවන් නමැද තුරුණුවන් සරණ ගොස් අනතුරුව යහන්වල පහන් දල්වා දෙවියන්ගෙන් අවසර ගෙන ශාන්තිකර්මය පැවැත්වීමට සඳහා භූමි දෙවියන්ගෙන් අවසර ගැනීම සිදු කරයි.

දළුමුරපිදීම 

එක් එක් දෙවියන්ගේ නාමයට වෙන් වෙන් වශයෙන් කවි කියා දලු මුර පදය නටා දළුමුර පූජා කිරීම සිදු කරයි. දෙවොල් දෙවියන් දළුමුර පීදීමෙන් පසු දළුමුර පිදීම අවසන් කරයි.  

මඟුල්බෙර

දළු මුර පිදීමෙන් අනතුරුව පත්තිනි තොරණ ඉදිරියේ දෙපෙළ සැදෙන දවුල් වාදකයෝ මගුල්බෙර වාදනයේ යෙදීම කරනු ලබයි. මගුල් බෙරවාදනයට පෙර බුදු ගුණ ගී ගයා එදා ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේ්‍ ඉදිරියේ පවත්වන්නට යෙදුනා යැයි කියනු ලබන්නා වූ මංගල භේරි වාදනය සිහිපත්කොට මගුල් බර වාදනය ආරම්භ කරනු ලැබේ.

යහන් නැටීම

විෂ්ණු දෙවියන්ගෙන් ආරම්භ කොට දෙවියන්ගේ ගුණ සමුදායන් බල මහිමයන් සහ ඔවුන් ගැන විස්තර කියවෙන කවි ගායනා කරමින් එකී ගායනයන්ගේ තාල රටාවට අනුව නර්තනයේ යෙදෙමින් කරනු ලබන මල් යහන් නැටීම ඉතා දර්ශනීය නර්තන අංගයකි. මෙහිදී සමන්, කතරගම, නාථ, පත්තිනි ආදී දෙවිවරුන් වෙනුවෙන් මල් යහන් කවි ගායනයත් මල් යහන් නැටීමත් සිදු කෙරේ. 

මඩුපුරය

මල්යහන් ලැබීමෙන් අනතුරුව පවත්වන්නෙ පහන් මඩු ශාන්තිකර්මයේ උපත් කථාවත් පත්තිනි දෙවියන්ගේ උපත් කතාවත් කියවෙන ගායන අවස්ථාවකි. පත්තිනි දෙවියන්ගේ උපත් 12 ගැන කියවෙන ගායනාවලින් අනතුරුව සේරමානන් රජුගේ කතා පුවත ආරම්භ වේ.

තොරන දැක්වීම

සේරමාන රජුටවන් රෝගය සුවපත් කිරීම සඳහා කල ශාන්තිකර්මය සිහිපත් කරමින් එකී ගායනයෙහි තොරණ සකස් කර තිබූ ආකාරය මෙහිදී විස්තර කෙරේ.

තොරණ යක්කම

තොරණ පිළිබඳ විස්තරයක් වන මෙහිදී බෙරකරු සහ අඳුරු අතර කෙරෙන හාස්‍යජනක සංවාදයන්ගෙන් යුක්ත නාට්‍යානුසාර ක්‍රමවේදයක් යොදා ගනිමින් පහන් මඩු මංගල්‍යයට අවශ්‍ය පොල් සහල් ආදිය රත් කරගත් ආකාරය සිට කතා පුවත ගොඩනඟා තොරණ විස්තරයක් ආරම්භ කරයි. මෙම අවස්ථාවේදී තොරණ කඩතුරාවකින් මුවා කර තිබීම විශේෂ ලක්ෂණයකි. මෙකී පූජා රටාව අවසානයේදී තොරණෙහි කඩතුරාව ඉවත් කර එකී කඩතුරාව අතින් ගෙන සළු සලා ආශිර්වාද ගායනය කර අඩු කෝල් පදය නටා එය හමාර කරයි. 

බිසෝකප සිටුවීම 

සේරමාන රජතුමාගේ බිසවගේ නාමයෙන් සිදුවන හෙයින් මෙය බිසෝකප ලෙස හඳුන්වන බව කියති. කෙසෙල් කොටයකින් සකස් කර ගොක්කොල ගසා මුදුන් පොල් මලකින් සැරසූ විට කප මඩුව තුළට වඩම්මවා රැස්ව සිටින පිරිසට අතගසා පත්තිනි තොරණ ඉදිරිපිට සිටුවනු ලබන්නේ දී බුලත් දොලහ හා පඬුරු දොලහ තැබීමේ චාරිත්‍ර ඉටු කරනු ලැබේ. මෙකී කප ආතුරයා ලවා සිටුවීම විශේෂ ලක්ෂණයකි.

මඩු බැසීම 

තොරණ යාගයෙන් සහ බිසෝ කප සිටුවීම පසු ශාන්තිකර්මය විශේෂ අවස්ථාවක් ලෙස සැලකෙන ශාස්ත්‍රීය පද කොටස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව මීළඟට ආරම්භ වේ. මෙහිදී කෝල්පාඩුව මුදුන් තාල යහන් දැක්ම සහ හත් පද පෙළපාලි නැටීම කරනු ලැබේ. පහන්මඩුව හත් පද පෙලපාලිය සඳහා අඟුරු දුම්මල, කළත්, කෙණ්ඩි, පොල් ගෙඩිය. මාළු ගෙඩිය, සළු, දළුමුර යන අංග අන්තර්ගතය. 

පොත්කඩේ පාලිය

පහන් මඩුවේ එන නාට්‍යමය පෙළපාලි අංගයකි. පොත් කඩ යනු සුදු රෙද්දක දවටන ලද බුලත් හුරුල්ලකි. මෙහිදී බෙරකරු සහ ඇදුරු අතර සංවාදයක් මගින් නරඹන්නන් තුළ හාස්‍ය රසය ඇති කරනු ලබයි. මෙය දළුමුර උපත දැක්වීම සඳහා කරන ලබන පූර්ව රංගයක් ලෙස සැලකේ.
නිරිත දිගට දළුමුර ඉත්තේ         - නාගවල්ලි දළුමුර හට     ගත්තේ
සුවඳ සඳුන් ඉස්සර කර ගත්තේ - සිද්ද පතිනි දළුමුර කැප ගත්තේ

කාලපන්දම් ගස සිටුවීම

කාලපන්දම් ගස මඩුවට වඩා උසින් සිටින සේ සකස් කරගත් පුවක් ගසක් නිර්මාණය කරගනී. කාලපන්දම් ගස අලංකාර ලෙස සරසා එයින් ගොක් රැහැන් හතරක් සතරවරම් දෙවිවරුන්ට හා විෂ්ණු සමන් කතරගම යන දෙවිවරුන්ගේ යහන්වලට සම්බන්ධ කෙරේ. කාලපන්දම් ගස සිටුවීමට මඩුවේ හරි මැද වළක් හාරා කපුවා අත ඇති පන්දම පුවක් ගසේ මුදුනේ ගසා කපු පත්තිනිවරුන් විසින් සියලු දෙවු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් වඳුරු රෝග වසංගත රෝග දුරු වේවා යැයි සිතා කාලපන්දම් ගස සිටවනු ලැබේ. 

මල් මඩු පුරය මල්වර ගැසීම 

පහන් මඩුවට අයත් විශේෂ අංගයක් ලෙස හැඳින්විය හැකිය. මල් මඩුපුරය රංග හා පූජා භාණ්ඩයක් ලෙස තැඹිලි මල යොදාගනිමින් කරන පෙළපාලි අංගයකි. මඩු භූමිය මධ්‍යයේ පිරුයට එලු ආසනයක තැන්පත් කර ඇති මල වටා යමින් මල් මඩුපුරේ ට අයත් කවි ගායනා කරති. මෙහිදී පත්තිනි තොරණෙහි සහ දෙවොල් තොරණෙහි පෙර තැන්පත් කර තිබූ පොල්ල අතට ගන්නා ඇදුරෝ පළමුව එය හිසමත තබා ගොස් යහනේ තබා නැවත එකී මල් රැගෙන නර්තනයට සැරසී මෙහිදී ප්‍රථමයෙන් වට්ටම් පද නටා මල් පුද පුරනු ලැබේ. මෙහිදී මළ නැටීම ජේෂ්ඨත්වය අනුව කරනු ලබන ක්‍රියාවකි. මල් පද අවසානයේ දී කරනු ලබන මල් වරම් ගැසීම සුවිශේෂී කටයුත්තකි. මෙහි දී මල් වරම් ගැසීමේ යෙදෙන ශිල්පියා පත්තිනි තොරණ ඉදිරිපිට දුම්මල වරමක් ගනී. මෙසේ දුම්මල වරම ගැනීමෙන් පසු මල් අස්නෙහි තබා ඇති මල ගෙන එයින් හිසට ගසා ගනී. පොල් මලෙහි සියලුම ඇට ගැලවී විසිවී ගොස් තටු පමණක් ඉතිරිවන කරනු ලබන මෙම කාර්යය ඉතා උද්වේගකර අවස්ථාවකි.

හලං පාවා දීම 

මෙම අවස්ථාව පහන් මඩු යාගයේ එන ඉතා සුවිශේෂී අවස්ථාවකි. පත්තිනි දේවියගේ ආභරණ ලෙස සලකනු සළඹ දෙඅත්හි පැලඳ ගන්නා කපු පත්තිනි දෙයක් උඩට ඔසවා සොලවමින් පත්තිනි තොරණ සිට දෙවොල් තොරණ වෙතට යයි. පත්තිනි දේවිය ලෙස සැරසී කරනු ලබන මෙකී චාරිත්‍රයන් ප්‍රදේශය සියලු වස් දොස් දුරු වී බව බෝග සරුසාර වී වසංගත රෝගයන් ධූරින්භූත වි සෙතක් ලැබෙන බවට විශ්වාස කෙරේ.

අඹ විදමන

පහන් මඩුවේ එන අඹ විදමනද හාස්‍ය උපදවන සංවාදශීලී රංගනයකි. පත්තිනි උපත දැක්වෙන මෙම පෙළපාලියේදී පඬිපුර පඬි රජ්ජුරුවන්ගේ මගුල් උයනේ පිහිටි අඹ ගසක සැදුන සුවිශේෂී වූ අඹ පලය නෙළා ගැනීම ශක‍්‍රදේවේන්ද්‍රයා මහලූ වේශයක් දරාගෙන කුදුවූ ශරීරයෙන් යුතුව සැරයටි වාරුවෙන් අඹ උයනට පැමිණෙයි. දුනු හී පිටේ එල්ලාගෙන කුණුකෙළ පෙරාගෙන බරවා රෝගය සැදුණු, අයෙකු මෙන් කුදු වී සිටින මහල්ලාට දවුල් වාදකයා අමතනුයේ සීයේ, ආතේ, මුත්තේ යනුවෙනි. මෙයින් මහල්ලා කෝපයට පත් වේ. මහල්ලා එයට සීයේ, දෙසීයේ ආදී වශයෙන් පිළිතුරු දෙයි. මෙවැනි රසවත් දෙබස් මාලාවකින් පසුව අඹ විදීම සිදු කරයි.

කුරුම්බර පිදීම

දෙවොල් දෙවියන් සමඟ මෙරටට පැමිණෙන පිරිස කුරුම්බරයන් ලෙස හඳුන්වයි. පහන් මඩු ශාන්ති කර්මයේදී කුරුම්බර පිදීමද සිදු වේ. අයිලය පිටුපස සාදන ලද තටුවක කුරුම්බර පිදීම සිදු කරයි.

 අටක් දහම් සමයම් කෙළ ඇවිදිති

 තුටක් වඩන මහ මෙරගල සොලවති

 සැටක් කෝටි බුදුවර අණ අදහති

 සැටක් කුරුම්බර යකු මෙපුදට එති

 බ‍්‍රහ්මාසුර දැවූ සොහොනේ අළුවලින් උපන් යක්ෂ කොට්ඨාසයක් බව ද පැවසේ.

දෙවොල් ගොඩබැසීම

පහන් මඩුවේ දෙවොල් ගොඩබැසීම විචිත‍්‍ර වූ පෙළපාලියකි. මෙහිදී යක් ඇඳුරන් සහ බෙරකරුවන් අතර සංවාදය හාස්‍ය රසයෙන් යුතු වෙයි.දෙවොල් තොරණ පිටුපස සිට පන්දම් අතැතිව දුම්මල කීරි ගසමින් දෙපළ සැබැවින් දෙවොල් නැටුම් ඉදිරිපත්කරයි. දෙවොල් නැටුම ඊට අදාළ ගායන වාදන සමග ඉදිරිපත් කරනු ලබන අතර දෙවොල් දෙවියන්ගේ ගොඩබැසීම එයින් නිරූපණය කෙරේ. ඉන් අනතුරුව එයට සම්බන්ධ වන්නේ දෙවල් යක්කම මෙහිදී දෙවොල් දෙවියන්ගේ ගොඩබැසීම පිළිබඳ සංවාදාත්මක රංගනයක් ඉදිරිපත් කරනු ලබයි. 

පන්දම් පද  නැටීම

දෙවොල් ගොඩ බැසීමෙන් පසුව කරන පන්දම් පද  නැටීම දෙවොල් පන්දම් පද යනුවෙන් හඳුන්වන අතර දල්වා ඇති ගිනි ගොඩෙන් පන්දම් දල්වා ගන්නා ඇදුරෝ පන්දම් අතැතිව නර්තනයේ යෙදෙති. මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ එක් එක් ඇදුරා වෙන් වෙන් වශයෙන් පද කොටස් නර්තනය කිරීම. එක් අයෙකු නටන පදය වෙනත් අයෙකු විසින් නටන නොලැබෙන අතර අතිශයින් ම ශාස්ත්‍රීය ලක්ෂණවලින් යුත් පද සමූහයක් මෙහි දී ඉදිරිපත් කරනු ලබයි.

අසුර යක්කම

මෙයද යක්කම් පෙළපාලියකි. ඊශ්වර දැහැන ලබා ගැනීමට බස්ම අසුරයා ඊශ්වර විමානය ඉදිරියේ ඉදිකටු උඩ ඉඳ තපස් දම් පිරූ ආකාරය අනතුරුව ඊශ්වර දැහැන ලබා ගෙන එයින් තම අතට මතුරා ඊශ්වරයා නැසීමට ඔහු පසුපස දිව ගිය ආකාරයත් විෂ්ණු දෙවියන් කාන්තා රුවක් මවාගෙන බස්ම අසුර යන මග ඔංචිල්ලා පදිමින් සිට ඔහු අසලට ගෙන තමා අත්හැර නොයන ලෙස නළලේ අතගසා අසුරා පොළඹවාගෙන තමා අතට මතුල මන්ත්‍රයෙන් තමාම අලු වීමට සලස්වා ඊශ්වර දෙවියන් බේරාගත් කතා පුවත මෙකී අසුර යක්කම ඉදිරිපත් කරයි. එය අවසන් කරන්නේ මේ බස්ම නම් අසුරයා ඊශ්වරයාගේ ගිනි සලා මන්තරය ගුරුන්ට ශබ්ද බලන්න ඕනේ කියා මේ රූපශ්‍රීය දැකලා අන්ධ වෙලා ගිනි සලා මන්ත්‍රය තමන්ගේ ම හිස මත තියාගෙන පිච්චිලා ගිය ආකාරයයි ඒ කියවුනේ කියා අනතුරුව සෙත් ශාන්ති කරයි. 

මරා ඉපැද්දීම  

මෙය ද නාට්‍යමය පෙළපාලි අවස්ථාවකි. පා ලඟට පත්තිනි දේවිය විසින් නැවත පණ ලබා දුන් පුවත කියාපෑම මෙයින් ඉදිරිපත් කරන ලදී. ඇතැම් තැන්වල මෙය රාමා මැරීම ලෙසද හඳුන්වයි. පහන් මඩු යාගයෙහි අවසන් නාට්‍යමය පෙළපාලි ලෙස සැලකිය හැකි මෙකී මරා ඉපැද්දීමේ දී කියන කතා පුවතින් වෙළඳ හෙට්ටියෙකු සහ රාමා නම් පුද්ගලයකු තුළ සිදුවන සිද්ධි මාලාවක් මගින් ඉතාමත් රසවත් කතා පුවතක් නිර්මාණයය කරයි

ගිනි පෑගීම

පහන් මඩුවේ අවසාන චාරිත‍්‍රය වන්නේ ගිනිපෑගීමයි. දෙවොල් දෙවි ගොඩ බැසීමේදී පත්තිනි දේවතාවිය විසින් දෙවොල් දෙවිවරු ගොඩ බැසීම වළකණු සඳහා ගිනි කඳු හතක් මැවීමේ පුවත සිහිපත් කරමින් ගිනි පෑගීම සිදුකරනු ලබයි. අවසානයේ තොටමෙන් ගෙන එනු ලබන පැන් කළයෙන් පැන් ඉස ගිනි සිසිල් කිරීම කර ගිනි පෑගීමේ චාරිත‍්‍රය නිම කරයි.

මේ ආකාරයට පහන් මඩුව ශාන්තිකර්මයේ එන අභිචාර විධි පෙළගැස්විය හැකිය.

(තොරතුරු ගුරුවරු , පොත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)  

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 

 

 


Saturday, January 2, 2021

පහන් මඩුවේ පුරාවෘත්තය

පහන් මඩුව සබරගමු සම්ප‍්‍රදායේ ප‍්‍රචලිත ශාන්ති කර්මයකි. මෙහි විශේෂත්වය පත්තිනි දෙවියන්ගේ දේවාභරණ වැඩමවා ගෙන ශාන්ති කර්මය කරන ගමේ සෑම නිවසකට යෑමයි. මෙහිදී සෑම නිවසකම පහන් පැලක් තනා පහනක් දැල්වීම චාරිත‍්‍රයකි.පත්තිනි දේවතාවිය මුල්කොටගෙන පවත්වනු ලබන මෙම ශාන්ති කර්මයේදී දේවාභරණ වැඩම වන මඟ දෙපස පහනක් දල්වා මාර්ගය ආලෝකවත් කිරීම ද කරයි. පහන් මඩුව අවසන් වී දින හතක් යනතුරු නිවෙස්වල පහන් දැල්වීම ද සුවිශේෂී කරුණකි.

පතිවත සුරැකි කන්නගී කුමරියගේ ස්වාමි පුරුෂයා වූ කෝවලාන් හෙවත් පාළඟ කුමරු පඬිපුර පඩි රජු විසින් මරා දැමීමෙන් පසු ඊට පළිගැනීමක් ලෙසින් කන්නගී සිය පියවුරක් කඩා පලොවේ ගසයි. එම සාපයෙන් පඬිපුර ගිනිබත් වීමෙන් පසු පත්තිනිය සිය ප‍්‍රාර්ථනා බලයෙන් ගිනිබත් වූ පඬිපුරයට මල්වැහි වස්සවා කිරි උතුරවා සෞභාග්‍යය උදා කළ බව පුරාවෘතයේ පැවසේ. එම සිදුවීම සිහිපත් කර කරනු ලබන ශාන්ති කර්ම මාලාවේ එක් ශාන්ති කර්මයක් ලෙසට පහන් මඩු ශාන්ති කර්මය පැවැත්වේ. (සිංහල නර්තන කලාව මඩු තෝත‍්‍ර - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක)

දෙවොල් මඩු ශාන්ති කර්මයේ මෙන්ම පහන් මඩු ශාන්ති කර්මයේ සේරිමාන් රජ පුවත මුල්ව ඇත. කාවේරි නුවර සේරිමාන් රජු නිදි යහනට ගිය අවස්ථාවේ ගෝනෙකුගේ හඬින් බියට පත් වේ. මෙම සිදුවීමෙන් නින්දෙන් අවදි වූ රජුට තද කේන්තියක් ඇති වේ. රජුට ඇති වූ එම කේන්තිය නිසා රජු එම ගෝනා මරා දැමීමට පියවර ගනියි. ගෝනා රජු කෙරෙහි වෛරයෙන් රජතුමාගේ මඟුල් උයනේ වූ පොකුණක මැඩියෙක් වී උපත ලබයි. රජුගෙන් පලිගැනීමට සිතමින් සිටි මැඩියා රජු පොකුණ ළඟට පැමිණ මානෙල් මලක් කඩා සිඹ ගන්නා මොහොතේ මානෙල් මලෙහි සැඟවී සිටි මැඩියා රජුගේ නාසයෙන් හිස්කබල තුළට රිංගයි. මේ හේතුවෙන් මහත් හිසරුදාවක් ඇති වන රජුගේ එම හිසරුදාව දුරු කිරීමට පහන් යාගය කළ බව පුරාවෘතයේ පවතී. (ශාන්ති කර්ම සහ අභිචාර විධි ඥානසිරි පීරිස්.)

 ‘‘පත්වැහැලිය නැතැයි සිතා පත්වුනිති සිරස රෝග

 ගෙන්නා පඬිපුර බමුණන් සිව්වේදය නිපුන යාග

 රං වළලූත් ගජහිස පිය රන්මිණිමුතු දෙමින් තෑග

 නංවා තුන් දවස් පතා කරවයි ඉඩ නොහැර යාග’’

සක්දෙව් රජු විසින් උපක‍්‍රමයෙන් සේරිමාන් රජුගේ මොළයට රිංගූ මැඩියා ඉවත් කළ බවත් රජතුමා එයින් මහත් සතුටට පත්ව පත්තිනි දෙවියන් වෙනුවෙන් පහන් මඩු යාගය කළ බවත් පුරාවෘත්තයේ පැවසේ.

පහන් මඩුව සැකසීමේදී වෙනත් ශාන්ති කර්ම සඳහා සාදන ලද මඩු ආකාරයටම පහන් මඩුව ඉදිකරනු ලබන අතර මෙහිදී පත්තිනි දෙවියන් වෙනුවෙන් පත්තිනි තොරණ හෙවත් පත්තිනි මාලිගය ඉදිකිරීම විශේෂත්වයකි.පහන් මඩුවේ පුරාවෘතයට අනුව ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම, බව භෝග සම්පත් ආරක්ෂා කර ගැනීම, පත්තිනි, කතරගම, විෂ්ණු සමන් දේවාශිර්වාදය ලබා ගැනීම මෙම පහන් මඩු ශාන්ති කර්මය කිරීමේ අපේක්ෂාවයි.

පහන් මඩු ශාන්තිකර්මයේ අභිචාර විධි ඇතුලත් පුළුල් සටහනක් සමගින් පසුව හමුවෙමු.

(තොරතුරු ගුරුවරු හා පොත්පත් ඇසුරෙනි. අඩුපාඩු ඇත්තම් සදහන් කරන්න.)

 

ඩබ්.ඒ්.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදී ප්‍රථම වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


සබරගමු සම්ප්‍රදාය හා බැඳුණු ශාන්තිකර්ම

සබරගමු සම්ප්‍රදාය හා බැඳුණු මඩු ශාන්තිකර්ම සහ යක්තොවිල් රාශියක් ඇත. අතීතයේ දී පැවතුණේ යැයි සඳහන් ඇතැම් ශාන්තිකර්ම අද දකින්නට පවා නැත. එසේ සමහරක් ශාන්තිකර්ම අභාවිත තත්ත්වයට පත්ව ඇතිවාක් මෙන්ම තවත්  ශාන්තිකර්ම අනෙකුත් ප්‍රාදේශීය ශාන්තිකර්ම වල අංග ලක්ෂණ හා සම් මිශ්‍රණය වී මූලික ස්වරූපයෙන් බොහෝ දුරට වෙනස් වී ඇත. කෙසේ වෙතත් අද්‍යතනයේ වුවද සබරගමු සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම අභාවයට යා නොදී රැක ගැනීමට සමත් දක්ෂ ශිල්ප පරම්පරාවන් කිහිපයක් හෝ එකී කාර්යයෙහි ප්‍රායෝගිකව නියැලී සිටීම ජාතියේ වාසනාවකි.

සම්ප්‍රදායික යාතු කර්මයේ අන්තර්ගත යාතුකර්ම ප්‍රධාන වශයෙන් කොටස් තුනකි. එනම්,

  • දෙවියන් වෙනුවෙන් පවත්වා මඩු ශාන්ති ශාන්තිකර්ම  
  • යකුන් වෙනුවෙන් පවත්වන තොවිල් ශාන්තිකර්ම
  • ග්‍රහ දෙවියන් මුල් කරගෙන පවත්වන බලි ශාන්ති ශාන්තිකර්ම වේ.


දෙවියන් උදෙසා නැතහොත් දෙවියන් මුල්කොට ගෙන පවත්වන මඩු ශාන්තිකර්ම නම්,
 

  • පහන් මඩු
  • කිරි මඩු
  • දානේ මඩු
  • හැල්ලුම් මඩු
  • පිදුම් මඩු
  • දෙවොල් මඩු
  • ගී මඩු
  • ගිනි මඩු
  • පූජා මඩු
  • ගම්මඩු
  • මංගල මඩු
  • දෙහි මඩු
  • ගරා මඩු 
එකී මඩු ශාන්ති ශාන්තිකර්ම අතර දක්නට ඇත. මේ අතරින් පහන් මඩුව සහ කිරි මඩුව වඩාත් ප්‍රචලිත ශාන්තිකර්ම ලෙස හැඳින්විය හැකියි.

 යකුන් උදෙසා පවත්වන ශාන්තිකර්ම ලෙස ,
 

  • සන්නි යකුම
  • රීරි මරු සමයම
  • කළුකුමාර සමයම
  • ඉර මුදුන් සමයම
  • කුමාර සමයම
  • දරහැව තොවිල්
  • සූනියම් මඩුව
  • බිල්ලේ සමයම
  • කඩවර සමයම
  • කළු වැදි සමයම
  • මහ සොහොන් සමයම යනාදියයි.

ග්‍රහයන් උදෙසා පවත්වන තොවිල් ලෙස බලි ශාන්ති ශාන්තිකර්ම වර්ග 35කි. මේවා අඹන බලි, සැරසිලි බලි හා කඩබලි යනුවෙන් තුන් වැදෑරුම් වෙයි. මෙකී ශාන්තිකර්ම අතරින් වඩාත් ප්‍රචලිතව පවතින ශාන්තිකර්ම කිහිපයක් සමඟින් පසුව හමුවෙමු. 

පීරිස් ඥානසිරි:ශාන්තිකර්ම සහ අභිචාර විධි:වාසනා ප්‍රකාශකයෝ:දංකොටුව,2006

ඩබ්.ඒ්.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදී ප්‍රථම වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Saturday, December 12, 2020

සබරගමු නර්තන කලාව හැදින්වීම

සබරගමු නර්තන සම්ප්‍රදාය යනුවෙන් හැදින්වෙන්නේ එ නමින්ම ව්‍යවහාරිත ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාප්තව පවත්නා එම ප්‍රදේශයටම ආවේණික වූ නර්තන කලා සම්ප්‍රදායයි. ඇතැම් තැන්හිදී සපරගමු නර්තන සම්ප්‍රදාය ලෙසද භාවිත වේ. එ බැවින් සබරගමු නැටුම් කලාවේ ඓතිහාසික පසුබිම සෙවීමේ දී රාවණා අධිරාජ්‍යයා තෙක්වූ දිගු යටගියාවකට යා යුතු වේ. සිව් හෙළය පාලනය කල රාවණ රජු අපේ වංශ කථා ඉතිහාසයට එක් වී ඇත්තේ ප්‍රබල රණශූරයෙකු වශයෙන් ම නොව, නාට්‍යකරණයේ අති දක්ෂ නැටුම් ශිල්පියෙකු ලෙසිනි.රාවණයන්ගේ ගිරි රාජධානි හතකින් යුත් ලංකා රාජ්‍යයේ ඉන්ද්‍රගිරිය හා චන්ද්‍රගිරිය සබරගමුවට අයත් වේ.සාහිත්‍යයට අනුව රාවණ රාජදේවිය සබරගමු දෙවගනකි. ඇයගේ වැඩිවියට පත්වීමේ දෝශයක් දුරුකර ගැනීමට කරන ලද සමයම් තෝත්‍රයක් පිළිබඳ පුවත සබරගමු නැටුමට ඉතා වැදගත් එකකි. 

සමස්ත වශයෙන් ගත් කල ප්‍රධාන නැටුම් මාත්‍රා 5ක් ඊට පදනම් වී ඇති බව පෙනේ.


1.    මුල් මාත්‍රය හෝ ගමන් මාත්‍රය

2.    සින්දු මාත්‍රය

3.    පට්ටුතල් මාත්‍රය

4.    යක් පද මාත්‍රය

5.    යාදිනි මාත්‍රය යි.

ඇතැම් විට මෙම මාත්‍රා 5 වෙනුවට වෙනත්  සංඥානාම ද ව්‍යවහාරයේ පවතී.

යුගයෙන් යුගය විවිධ සංස්කෘතික නැටුම්වලට ලක් වූ අපේ හෙළ නැටුම් කලාව සබරගමු, උඩරට, පහතරට, වශයෙන් සම්ප්‍රදායන් ත්‍රිත්වයකට බෙදී තිබුණ ද, මේ සියල්ලක්ම එක ම සිංහල නැටුම් කලාවේ අංගෝපාංගයන් ලෙස සැලකීය.අත්පා හැසිරවීම පිළිබඳ වෙනස්කම්, ගායනා කරන නාදමාලා පිළිබඳ වෙනස්කම්, වාද්‍ය භාණ්ඩ හා වාදන ක්‍රම පිළිබඳ වෙනස්කම්, ශාස්ත්‍රීය හා ජන ශ්‍රැති ආශ්‍රිත වෙනස්කම් ආදිය ප්‍රායෝගික වශයෙන් පවතින බාහිර ලක්ෂණ හා සංගත වූ මූලික විවිධත්වයන් වශයෙන් සැලකිය යුතු අතර, ශාස්ත්‍රීය වෙනස්කම් වශයෙන් පවතින සිද්ධාන්ත මූලධර්ම න්‍යායාංග, රීති  වැනි ශාස්ත්‍රීය කරුණු මත පවතින වෙනස්කම් ද දැකිය හැකිය .නැටුම් ශිල්පය හදාරන ආධුනිකයාගේ යෝග්‍යතා සරඹ, නම්‍යතා සරඹ වශයෙන් සැලකෙයි. මෙයින් පසු ශිෂ්‍යයා යොමු කෙරෙන්නේ නැටුමට අවශ්‍ය හරඹ පදවලට ය. ඒවා දණ්ඩි හරඹ වශයෙන් දොළසකුත්, මණ්ඩි හරඹ වශයෙන් දොළසකුත්, දොඹින පද වශයෙන් තවත් දොළසකුත් යනුවෙන් හරඹ පද 36ක් සබරගමු සම්ප්‍රදායට ආවේනිකව පවතී.
 

සමස්ත සබරගමු නාද මාලාව ඡන්දස් රීත අනුව ම ක්‍රියාත්මක වන්නකි. එ අනුව සියලු ම නාදමාලා ප්‍රධාන කොටස් තුනකට වෙන් කොට දක්වයි.එම නාද මාලා තුළ සිව්පද විරිත, විලම්බු විරිත හා සිංහ විරිත වශයෙන් සබරගමු ගුරුකුලවල භාවිතයේ පවතී.සබරගමු බලි ශාන්තිකර්මයට මෙය විශේෂිතය.මෙම විරිත් තුනට අයත් නොවන වැදි ගීත, කමත් ගී සහ ජන ක්‍රීඩා සම්බන්ධ ගීත ද සබරගමු ජනසංගීතය තුල දක්නට ලැබේ. සබරගමු සම්ප්‍රදායට ආවේණික වර්තමාන වාද්‍ය භාණ්ඩය දවුලයි.අතීතයේ පටාව නම් භාණ්ඩයක් භාවිත කල බව සදහන් වෙතත් දැනට දක්නට නොලැබේ .එහෙත් සබරගමු දවුල සෙසු දවුල්වලට වඩා විශාලත්වයෙන් යුතුය.

අද වන විට මෙම නර්තන කලාව සබරගමු ප්‍රදේශයට පමණක් සීමා වී තිබුණ ද ලංකාවේ පැරණිතම සිංහල නර්තන කලා ශිල්පය සබරගමු නර්තන කලාව බව විද්වත් මතයයි.කෙම්මුර යාගය, යකුන් පිදීම, කඩවර සමයම වැනි දැනට ඉතා දුර්ලභ ලෙස ශේෂව පවතින අති පැරණි පිදවිලි ක්‍රම හා ඊට අනුගත වූ නර්තනාංග සහිත පුරාවෘත්තයේ සලකා බලන විට ද, ඉන්පසු විකාශනයට පත් වී ඇති කුමාර සමයම, ගොපලු සමයම, තුන්සමයම, දැරහැව, හූනියම් මඩුව, මහසොහොන් සමයම හා දහඅට සන්නි වැනි සමයම් පිළිබඳ වූ පුරාවෘත්ත හා අංග ශෛලීන් ගැනද  සලකා බලන විට ලාංකික සිව් හෙළයන්ට පමණක් සීමා වූ පිදැවිලි හා සමයම් ස්තෝත්‍ර ක්‍රම සම්බන්ධ ගායන හා නැටුම් අංග සබරගමු නර්තන ඉතිහාසයේ හා විකාශනයේ මග සලකුණු ලෙස පිළිගත හැකිය.සබරගමු නර්තනයටද මූලය වී ඇත්තේ යකුන් සහ දෙවියන් විශයෙහි පැවැත්වෙන ශාන්තිකර්මයන්ය. මෙහි ප්‍රධාන ශාන්තිකර්මය පහන් මඩුවයි.

මෙවන් පිදැවිලි හා ශාන්තියන් පිළිබද පුළුල් සටහනකින් පසුව හමුවෙමු.

(තොරතුරු ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න) 

ඩබ්.ඒ්.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදී ප්‍රථම වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


 

 


 
 

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...