මෙකී පහන්මඩුව පැවැත්වීමට ඉදිකළ මඩුව සඳහා යොදා ගත්තේ යැයි කියන දිග පළල
ප්‍රමාණය අනෙකුත් මඩු ශාන්තිකර්ම සඳහා යොදා ගත් ප්‍රමාණය හා සමාන වේ.
දිගින් සැට රියන සහ පුළුලෙන් තිස් රියනක්, තලව්වේ උස පස් රියන යන ප්‍රමාණය
උඩරට පහතරට සබරගමු යන සෑම ශාන්තිකර්මයක් සඳහාම පොදු වූවකි.
මෙකී මඩුව ඉඳී, තල්, පොල්, පුවක්, තැඹිලි, ලේනතැරි, දෝතලු යන පස්වලු වලින් අලංකාර කළ යුතුය. පත්තිනි දේවිය වෙනුවෙන් ඉදිකරන පත්තිනි තොරණ මෙහි ප්‍රධාන සැරසිල්ලයි. මෙය පත්තිනි මාලය ලෙස ද හැඳින්වේ. මෙකී තොරණ කොත් පහකින්, වාහල්කඩ තුනකින් යුක්ත වන අතර තොරණ දෙපසෙහි කිදුරු මුහුණු දෙකක් සහ ඇත් වාහන දෙකක් ද නිර්මාණය කළ යුතු වේ. මහල 7කින් සමන්විත වීම තවත් විශේෂ ලක්ෂණයකි.
මීට අමතර වශයෙන් දෙවොල් දෙවියන් සඳහා තොරණක් ද, විෂ්ණු, සමන්, කතරගම, දැඩිමුණ්ඩ යන දෙවිවරුන්ට මල් යහන් හතරක් ද ඉදි කරයි. මීට අමතරව තෙල් මඩුව ද තැනිය යුතුය. දේවාලයෙන් දේවාභරණ වැඩමවා තැන්පත් කර තැබීම සඳහා මාලිගාවක හැඩය පත්තිරිප්පුව නම් කුටියක් ඉදිකිරීම ද මෙහි ලක්ෂණයකි. පහන් මඩුවේ පුදපූජා රටාවන් මෙකී ශාන්තිකර්ම මඩුවේ මේ ආකාරයට පෙළ ගැස්විය හැකියි.
කප් සිටුවීම
පහන් මඩුව කරවන ස්ථානයේ කප් සිටුවීම මූලික අංගයයි. අනික ශාන්ති කර්මවලදී මෙන්ම කිරි ගසකින් අත්තක් කපාගෙන ශාන්ති කර්මය කරනු ලබන ස්ථානය පිරිසිදු කර සුවඳ දුම් ගල්වා කප් සිටුවීම කරනු ලබයි. රාති‍්‍ර කාලයේදී සුබ නැකතින් කප් කණුව සිටුවා පත්තිනි දෙවියන් වෙනුවෙන් මඟුල් බෙර වයා කෝල්මුර ගායනා කර කොතලය, සළුපාලිය නැටීම ද චාරිත‍්‍ර ලෙස කරනු ලබයි.
මඩු පේ කිරීම
කප් සිටුවීමෙන් තෙමසක් තුළ මඩුව තනා පේකිරීම මඩු පේ කිරීම ලෙස හැඳින්වේ. මඩු පේ කිරීමේදී කපු මහතා ප‍්‍රධාන යක් ඇඳුරන් කහ දියරින් ස්නානය කොට පිරිසිදු වී මඩු පේ කිරීමේ කාර්යයෙහි නියැළෙයි. මෙහිදී මල් බුලත් තටුව තනා මඩුව මැද තබා මල් පහන් පඬුරු තබා සඳුන් දුම් ගල්වා පංචශීලයෙහි පිහිටුවන කපු මහතා ප‍්‍රමුඛ යක් ඇඳුරන් දේවාශිර්වාදය පතා තෝත‍්‍ර සිදුකරනු ලබයි. මඟුල් බෙර වාදනය කර කෝල්මුර ගයා පෙළපාලි නැටීම කරනු ලබයි. කෝල්පාඩුව, හත්පද පෙලපාලි ඇතුළු නර්තන අංග නටනු ලබයි. අනතුරුව යහන් කවි කියා දෙවියන්ට පිංදී මඩුපේ කිරීම හමාර කිරීම චාරිත‍්‍රයයි.
මිල්ල කැපීම
පහන්මඩුව මඩුව නැටීමේදී කරනු ලබන ප්‍රථම චාරිත්‍රය වන්නේ මිල්ල කැපීමයි. පහන් මඩු යාගයේ දී කරනු ලබන ගිනි පෑගීම සඳහා යොදා ගනු ලබන්නේ මිල්ල නමැති දැව විශේෂයයි. මෙය ශක්තිමත් අරටු සහිත දැව විශේෂයක් වන හෙයින් එහි අඟුරු කිීරි නොනිමි බොහෝ වේලාවක් පවත්වා ගත හැකි වේ පැරණි චාරිත්‍ර සිහිපත් කිරීමට අද ඒ සඳහා මිල්ල ගසකින් අතු කැබැල්ලක් කපා පෙරහැරින් වඩම්මවා ගෙන අවුත් මැලය දල්වන විට එයට යෙදීම සිරිතකි. මෙය පහතරට දෙවොල් මඩු යාගයෙදී කරනු ලබන චාරිත්‍රයකි.
තෙල්මේ නැටීම
තෙල්මේ නැටීම මීලඟට ඉදිරිපත් කරනු ලබන විශේෂ නර්තනයකි. දෙවියන්ගේ නාමයට තෙල් මෙහෙවර කිරීම තෙල්මෙ නැටුමෙන් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන අරමුණ වේ. නිවස තුළ සිදගත් තෙල් පෙරහරෙන් වඩම්මවා ගෙන විත් ප්‍රධාන ඇදුරා ඇතුළු සියලු දෙනාම තෙල් ගොටු වලට ගෙන පහන් දල්වා පත්තිනි දෙවියන් ඇතුළු සතරවරම් දෙවිවරුන් හා සපිරිවාර දෙවිවරුන්ගේ විස්තර ඇතුලත් කවි ගායනා කොට තෙල් ගොටු යහන්වල තැන්පත් කෙරේ. නර්තනය සඳහා විශේෂ තට්ටුවක් ඉදි කරනු ලැබේ. එය හඳුන්වන්නේ තෙල්මෙ තටුව යනුවෙනි. තටුවේ පහන් දල්වා පහන් අතට ගෙන පත්තිනි තොරණ මල් පැළවල පහන් දල්වා තෙල් මල් පුදා දෙවියන් ගෙන් අවසර ගෙන තෙල් වැඩම වීමට අවසර ගනිති.
තොටමෙට යාම
මෙකී අවස්ථාව තොට පේ කිරීම යනුවෙන් ද හැඳින්වෙයි. මෙහිදී ප්‍රධාන අරමුණ වන්නේ පහන් මඩු ශාන්තිකර්මයට සහභාගි වන සියලුම ශිල්පීන් තොටක් නැතහොත් දිය කඩක් වෙත ගොස් හිස් සෝදා නා පිරිසිදු වීම තොට මට යෑමේ දී ඒ සඳහා විශේෂයෙන් සකස් කළ මල් බුලත් තට්ටුවක් ගෙන් යෑම සිරිතයි. තොට මේ තට්ටුව නමින් හැඳින්වෙන මෙකී කටුවෙහි බුලත් 12ක්, පඬුරු 12, පහන් වැටි 12ක් ආදියෙන් යුක්ත ය. තොට මේ තට්ටුව රැගෙන ගොස් එය දියකඩිත්ත ලඟ තබා යාතිකා කර පැන් කලයක් රැගෙන පෙරහැරින් වඩම්මවා ගෙන එනු ලබයි. මෙම පැන් කලය දෙවොල් තොරණේ කප අසලින් තබනු ලබන අතර ගිනි පෑගීමේදී මැලයේ ගිනි සිසිල් කිරීම සඳහා යොදා ගනු ලබයි.
දේවාභරණ වැඩම වීම
මෙහිදී කරනු ලබන්නේ පත්තිනි දෙවියන්ගේ සළඹ පත්තිනි තොරණ වෙත වැඩම කිරීමයි. පත්තිරිප්පුවට සුවඳ දුම් අල්ලා සක් පිඹ මඟුල් බෙර වයා පත්තිනි සළඹ හිස මත තබා පෙරහරෙන් වැඩම කරගෙන විත් පත්තිනි තොරණ තැන්පත් කර තබනු ලබයි.
පහන්දැල්වීම
පත්තිනි තොරණට දේවාභරණ වැඩම වීමෙන් පසුුව සිදු කරනු ලබන්නේ දෙවියන් වෙනුවෙන් පහන් දල්වා පහන් මාලාවක් පුද කිරීමයි. මෙහිදී ශාන්තිකර්මයට සහභාගිවන සියලුම ශිල්පීන් තෙරුවන් නමැද තුරුණුවන් සරණ ගොස් අනතුරුව යහන්වල පහන් දල්වා දෙවියන්ගෙන් අවසර ගෙන ශාන්තිකර්මය පැවැත්වීමට සඳහා භූමි දෙවියන්ගෙන් අවසර ගැනීම සිදු කරයි.
දළුමුරපිදීම
එක් එක් දෙවියන්ගේ නාමයට වෙන් වෙන් වශයෙන් කවි කියා දලු මුර පදය නටා දළුමුර පූජා කිරීම සිදු කරයි. දෙවොල් දෙවියන් දළුමුර පීදීමෙන් පසු දළුමුර පිදීම අවසන් කරයි.
මඟුල්බෙර
දළු මුර පිදීමෙන් අනතුරුව පත්තිනි තොරණ ඉදිරියේ දෙපෙළ සැදෙන දවුල් වාදකයෝ මගුල්බෙර වාදනයේ යෙදීම කරනු ලබයි. මගුල් බෙරවාදනයට පෙර බුදු ගුණ ගී ගයා එදා ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේ් ඉදිරියේ පවත්වන්නට යෙදුනා යැයි කියනු ලබන්නා වූ මංගල භේරි වාදනය සිහිපත්කොට මගුල් බර වාදනය ආරම්භ කරනු ලැබේ.
යහන් නැටීම
විෂ්ණු දෙවියන්ගෙන් ආරම්භ කොට දෙවියන්ගේ ගුණ සමුදායන් බල මහිමයන් සහ ඔවුන් ගැන විස්තර කියවෙන කවි ගායනා කරමින් එකී ගායනයන්ගේ තාල රටාවට අනුව නර්තනයේ යෙදෙමින් කරනු ලබන මල් යහන් නැටීම ඉතා දර්ශනීය නර්තන අංගයකි. මෙහිදී සමන්, කතරගම, නාථ, පත්තිනි ආදී දෙවිවරුන් වෙනුවෙන් මල් යහන් කවි ගායනයත් මල් යහන් නැටීමත් සිදු කෙරේ.
මඩුපුරය
මල්යහන් ලැබීමෙන් අනතුරුව පවත්වන්නෙ පහන් මඩු ශාන්තිකර්මයේ උපත් කථාවත් පත්තිනි දෙවියන්ගේ උපත් කතාවත් කියවෙන ගායන අවස්ථාවකි. පත්තිනි දෙවියන්ගේ උපත් 12 ගැන කියවෙන ගායනාවලින් අනතුරුව සේරමානන් රජුගේ කතා පුවත ආරම්භ වේ.
තොරන දැක්වීම
සේරමාන රජුටවන් රෝගය සුවපත් කිරීම සඳහා කල ශාන්තිකර්මය සිහිපත් කරමින් එකී ගායනයෙහි තොරණ සකස් කර තිබූ ආකාරය මෙහිදී විස්තර කෙරේ.
තොරණ යක්කම
තොරණ පිළිබඳ විස්තරයක් වන මෙහිදී බෙරකරු සහ අඳුරු අතර කෙරෙන හාස්‍යජනක සංවාදයන්ගෙන් යුක්ත නාට්‍යානුසාර ක්‍රමවේදයක් යොදා ගනිමින් පහන් මඩු මංගල්‍යයට අවශ්‍ය පොල් සහල් ආදිය රත් කරගත් ආකාරය සිට කතා පුවත ගොඩනඟා තොරණ විස්තරයක් ආරම්භ කරයි. මෙම අවස්ථාවේදී තොරණ කඩතුරාවකින් මුවා කර තිබීම විශේෂ ලක්ෂණයකි. මෙකී පූජා රටාව අවසානයේදී තොරණෙහි කඩතුරාව ඉවත් කර එකී කඩතුරාව අතින් ගෙන සළු සලා ආශිර්වාද ගායනය කර අඩු කෝල් පදය නටා එය හමාර කරයි.
බිසෝකප සිටුවීම
සේරමාන රජතුමාගේ බිසවගේ නාමයෙන් සිදුවන හෙයින් මෙය බිසෝකප ලෙස හඳුන්වන බව කියති. කෙසෙල් කොටයකින් සකස් කර ගොක්කොල ගසා මුදුන් පොල් මලකින් සැරසූ විට කප මඩුව තුළට වඩම්මවා රැස්ව සිටින පිරිසට අතගසා පත්තිනි තොරණ ඉදිරිපිට සිටුවනු ලබන්නේ දී බුලත් දොලහ හා පඬුරු දොලහ තැබීමේ චාරිත්‍ර ඉටු කරනු ලැබේ. මෙකී කප ආතුරයා ලවා සිටුවීම විශේෂ ලක්ෂණයකි.
මඩු බැසීම
තොරණ යාගයෙන් සහ බිසෝ කප සිටුවීම පසු ශාන්තිකර්මය විශේෂ අවස්ථාවක් ලෙස සැලකෙන ශාස්ත්‍රීය පද කොටස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව මීළඟට ආරම්භ වේ. මෙහිදී කෝල්පාඩුව මුදුන් තාල යහන් දැක්ම සහ හත් පද පෙළපාලි නැටීම කරනු ලැබේ. පහන්මඩුව හත් පද පෙලපාලිය සඳහා අඟුරු දුම්මල, කළත්, කෙණ්ඩි, පොල් ගෙඩිය. මාළු ගෙඩිය, සළු, දළුමුර යන අංග අන්තර්ගතය.
පොත්කඩේ පාලිය
පහන් මඩුවේ එන නාට්‍යමය පෙළපාලි අංගයකි. පොත් කඩ යනු සුදු රෙද්දක දවටන ලද බුලත් හුරුල්ලකි. මෙහිදී බෙරකරු සහ ඇදුරු අතර සංවාදයක් මගින් නරඹන්නන් තුළ හාස්‍ය රසය ඇති කරනු ලබයි. මෙය දළුමුර උපත දැක්වීම සඳහා කරන ලබන පූර්ව රංගයක් ලෙස සැලකේ.
නිරිත දිගට දළුමුර ඉත්තේ - නාගවල්ලි දළුමුර හට ගත්තේ
සුවඳ සඳුන් ඉස්සර කර ගත්තේ - සිද්ද පතිනි දළුමුර කැප ගත්තේ
කාලපන්දම් ගස සිටුවීම
කාලපන්දම් ගස මඩුවට වඩා උසින් සිටින සේ සකස් කරගත් පුවක් ගසක් නිර්මාණය කරගනී. කාලපන්දම් ගස අලංකාර ලෙස සරසා එයින් ගොක් රැහැන් හතරක් සතරවරම් දෙවිවරුන්ට හා විෂ්ණු සමන් කතරගම යන දෙවිවරුන්ගේ යහන්වලට සම්බන්ධ කෙරේ. කාලපන්දම් ගස සිටුවීමට මඩුවේ හරි මැද වළක් හාරා කපුවා අත ඇති පන්දම පුවක් ගසේ මුදුනේ ගසා කපු පත්තිනිවරුන් විසින් සියලු දෙවු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් වඳුරු රෝග වසංගත රෝග දුරු වේවා යැයි සිතා කාලපන්දම් ගස සිටවනු ලැබේ.
මල් මඩු පුරය මල්වර ගැසීම
පහන් මඩුවට අයත් විශේෂ අංගයක් ලෙස හැඳින්විය හැකිය. මල් මඩුපුරය රංග හා පූජා භාණ්ඩයක් ලෙස තැඹිලි මල යොදාගනිමින් කරන පෙළපාලි අංගයකි. මඩු භූමිය මධ්‍යයේ පිරුයට එලු ආසනයක තැන්පත් කර ඇති මල වටා යමින් මල් මඩුපුරේ ට අයත් කවි ගායනා කරති. මෙහිදී පත්තිනි තොරණෙහි සහ දෙවොල් තොරණෙහි පෙර තැන්පත් කර තිබූ පොල්ල අතට ගන්නා ඇදුරෝ පළමුව එය හිසමත තබා ගොස් යහනේ තබා නැවත එකී මල් රැගෙන නර්තනයට සැරසී මෙහිදී ප්‍රථමයෙන් වට්ටම් පද නටා මල් පුද පුරනු ලැබේ. මෙහිදී මළ නැටීම ජේෂ්ඨත්වය අනුව කරනු ලබන ක්‍රියාවකි. මල් පද අවසානයේ දී කරනු ලබන මල් වරම් ගැසීම සුවිශේෂී කටයුත්තකි. මෙහි දී මල් වරම් ගැසීමේ යෙදෙන ශිල්පියා පත්තිනි තොරණ ඉදිරිපිට දුම්මල වරමක් ගනී. මෙසේ දුම්මල වරම ගැනීමෙන් පසු මල් අස්නෙහි තබා ඇති මල ගෙන එයින් හිසට ගසා ගනී. පොල් මලෙහි සියලුම ඇට ගැලවී විසිවී ගොස් තටු පමණක් ඉතිරිවන කරනු ලබන මෙම කාර්යය ඉතා උද්වේගකර අවස්ථාවකි.
හලං පාවා දීම
මෙම අවස්ථාව පහන් මඩු යාගයේ එන ඉතා සුවිශේෂී අවස්ථාවකි. පත්තිනි දේවියගේ ආභරණ ලෙස සලකනු සළඹ දෙඅත්හි පැලඳ ගන්නා කපු පත්තිනි දෙයක් උඩට ඔසවා සොලවමින් පත්තිනි තොරණ සිට දෙවොල් තොරණ වෙතට යයි. පත්තිනි දේවිය ලෙස සැරසී කරනු ලබන මෙකී චාරිත්‍රයන් ප්‍රදේශය සියලු වස් දොස් දුරු වී බව බෝග සරුසාර වී වසංගත රෝගයන් ධූරින්භූත වි සෙතක් ලැබෙන බවට විශ්වාස කෙරේ.
අඹ විදමන
පහන් මඩුවේ එන අඹ විදමනද හාස්‍ය උපදවන සංවාදශීලී රංගනයකි. පත්තිනි උපත දැක්වෙන මෙම පෙළපාලියේදී පඬිපුර පඬි රජ්ජුරුවන්ගේ මගුල් උයනේ පිහිටි අඹ ගසක සැදුන සුවිශේෂී වූ අඹ පලය නෙළා ගැනීම ශක‍්‍රදේවේන්ද්‍රයා මහලූ වේශයක් දරාගෙන කුදුවූ ශරීරයෙන් යුතුව සැරයටි වාරුවෙන් අඹ උයනට පැමිණෙයි. දුනු හී පිටේ එල්ලාගෙන කුණුකෙළ පෙරාගෙන බරවා රෝගය සැදුණු, අයෙකු මෙන් කුදු වී සිටින මහල්ලාට දවුල් වාදකයා අමතනුයේ සීයේ, ආතේ, මුත්තේ යනුවෙනි. මෙයින් මහල්ලා කෝපයට පත් වේ. මහල්ලා එයට සීයේ, දෙසීයේ ආදී වශයෙන් පිළිතුරු දෙයි. මෙවැනි රසවත් දෙබස් මාලාවකින් පසුව අඹ විදීම සිදු කරයි.
කුරුම්බර පිදීම
දෙවොල් දෙවියන් සමඟ මෙරටට පැමිණෙන පිරිස කුරුම්බරයන් ලෙස හඳුන්වයි. පහන් මඩු ශාන්ති කර්මයේදී කුරුම්බර පිදීමද සිදු වේ. අයිලය පිටුපස සාදන ලද තටුවක කුරුම්බර පිදීම සිදු කරයි.
අටක් දහම් සමයම් කෙළ ඇවිදිති
තුටක් වඩන මහ මෙරගල සොලවති
සැටක් කෝටි බුදුවර අණ අදහති
සැටක් කුරුම්බර යකු මෙපුදට එති
බ‍්‍රහ්මාසුර දැවූ සොහොනේ අළුවලින් උපන් යක්ෂ කොට්ඨාසයක් බව ද පැවසේ.
දෙවොල් ගොඩබැසීම
පහන් මඩුවේ දෙවොල් ගොඩබැසීම විචිත‍්‍ර වූ පෙළපාලියකි. මෙහිදී යක් ඇඳුරන් සහ බෙරකරුවන් අතර සංවාදය හාස්‍ය රසයෙන් යුතු වෙයි.දෙවොල් තොරණ පිටුපස සිට පන්දම් අතැතිව දුම්මල කීරි ගසමින් දෙපළ සැබැවින් දෙවොල් නැටුම් ඉදිරිපත්කරයි. දෙවොල් නැටුම ඊට අදාළ ගායන වාදන සමග ඉදිරිපත් කරනු ලබන අතර දෙවොල් දෙවියන්ගේ ගොඩබැසීම එයින් නිරූපණය කෙරේ. ඉන් අනතුරුව එයට සම්බන්ධ වන්නේ දෙවල් යක්කම මෙහිදී දෙවොල් දෙවියන්ගේ ගොඩබැසීම පිළිබඳ සංවාදාත්මක රංගනයක් ඉදිරිපත් කරනු ලබයි.
පන්දම් පද නැටීම
දෙවොල් ගොඩ බැසීමෙන් පසුව කරන පන්දම් පද නැටීම දෙවොල් පන්දම් පද යනුවෙන් හඳුන්වන අතර දල්වා ඇති ගිනි ගොඩෙන් පන්දම් දල්වා ගන්නා ඇදුරෝ පන්දම් අතැතිව නර්තනයේ යෙදෙති. මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ එක් එක් ඇදුරා වෙන් වෙන් වශයෙන් පද කොටස් නර්තනය කිරීම. එක් අයෙකු නටන පදය වෙනත් අයෙකු විසින් නටන නොලැබෙන අතර අතිශයින් ම ශාස්ත්‍රීය ලක්ෂණවලින් යුත් පද සමූහයක් මෙහි දී ඉදිරිපත් කරනු ලබයි.
අසුර යක්කමමෙයද යක්කම් පෙළපාලියකි. ඊශ්වර දැහැන ලබා ගැනීමට බස්ම අසුරයා ඊශ්වර විමානය ඉදිරියේ ඉදිකටු උඩ ඉඳ තපස් දම් පිරූ ආකාරය අනතුරුව ඊශ්වර දැහැන ලබා ගෙන එයින් තම අතට මතුරා ඊශ්වරයා නැසීමට ඔහු පසුපස දිව ගිය ආකාරයත් විෂ්ණු දෙවියන් කාන්තා රුවක් මවාගෙන බස්ම අසුර යන මග ඔංචිල්ලා පදිමින් සිට ඔහු අසලට ගෙන තමා අත්හැර නොයන ලෙස නළලේ අතගසා අසුරා පොළඹවාගෙන තමා අතට මතුල මන්ත්‍රයෙන් තමාම අලු වීමට සලස්වා ඊශ්වර දෙවියන් බේරාගත් කතා පුවත මෙකී අසුර යක්කම ඉදිරිපත් කරයි. එය අවසන් කරන්නේ මේ බස්ම නම් අසුරයා ඊශ්වරයාගේ ගිනි සලා මන්තරය ගුරුන්ට ශබ්ද බලන්න ඕනේ කියා මේ රූපශ්‍රීය දැකලා අන්ධ වෙලා ගිනි සලා මන්ත්‍රය තමන්ගේ ම හිස මත තියාගෙන පිච්චිලා ගිය ආකාරයයි ඒ කියවුනේ කියා අනතුරුව සෙත් ශාන්ති කරයි.
මරා ඉපැද්දීම
මෙය ද නාට්‍යමය පෙළපාලි අවස්ථාවකි. පා ලඟට පත්තිනි දේවිය විසින් නැවත පණ ලබා දුන් පුවත කියාපෑම මෙයින් ඉදිරිපත් කරන ලදී. ඇතැම් තැන්වල මෙය රාමා මැරීම ලෙසද හඳුන්වයි. පහන් මඩු යාගයෙහි අවසන් නාට්‍යමය පෙළපාලි ලෙස සැලකිය හැකි මෙකී මරා ඉපැද්දීමේ දී කියන කතා පුවතින් වෙළඳ හෙට්ටියෙකු සහ රාමා නම් පුද්ගලයකු තුළ සිදුවන සිද්ධි මාලාවක් මගින් ඉතාමත් රසවත් කතා පුවතක් නිර්මාණයය කරයි
ගිනි පෑගීම
පහන් මඩුවේ අවසාන චාරිත‍්‍රය වන්නේ ගිනිපෑගීමයි. දෙවොල් දෙවි ගොඩ බැසීමේදී පත්තිනි දේවතාවිය විසින් දෙවොල් දෙවිවරු ගොඩ බැසීම වළකණු සඳහා ගිනි කඳු හතක් මැවීමේ පුවත සිහිපත් කරමින් ගිනි පෑගීම සිදුකරනු ලබයි. අවසානයේ තොටමෙන් ගෙන එනු ලබන පැන් කළයෙන් පැන් ඉස ගිනි සිසිල් කිරීම කර ගිනි පෑගීමේ චාරිත‍්‍රය නිම කරයි.
මේ ආකාරයට පහන් මඩුව ශාන්තිකර්මයේ එන අභිචාර විධි පෙළගැස්විය හැකිය.
(තොරතුරු ගුරුවරු , පොත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
ප්‍රධාන මූලාශ්‍රයන්
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment