Friday, October 16, 2020

 

වඩිග පුර දේසෙන් -  සත්දෙන බමුණෝ ඇවිදින්

කල වඩිග පටුනෙන් - එදා බිසවට යාග කරමින්................

 

 

 

 

සිංහල ශබ්ද කෝෂයෙහි ග්‍රහ අපල දුරු කිරීම සඳහා කරනු ලබන යාග විධිය නැතහොත් මන්ත්‍ර ගුරුකම් ආදියෙන් කරනු ලබන සෙත් සැලසීමේ ක්‍රියාවලිය ශාන්තිකර්මයක් ලෙස හදුන්වා දිය හැකිය. පහතරට ප්‍රදේශ වල ප්‍රචලිතව පවත්නා ශාන්තිකර්ම අතර අභිචාර කර්ම බහුල වූවත් සූනියම් යක්ෂයා, සූනියම් දේවතාවා ප්‍රධාන වූවත් යක් තොවිල් ක්‍රමය සූනියම් යාගයයි.සූනියම් කැපිල්ල, සූනියම, වින ශාන්තිය, මැණික්පාල ශාන්තිය, ඔඩ්ඩිස යාගය ආදී විවිධ නාමයන්ගෙන් මෙම ශාන්ති කර්මය හදුන්වයි.

සූනියම් යාගයේ එන ප්‍රධාන ම නාට්‍යය පෙළපාලියක් ලෙස වඩිග පටුන හදුන්වා දිය හැකිය. වඩිග පටුනේ ඇදුරා බමුණු වේෂයකින් සැරසේ. බමුණා සිංහල බස නොදන්නා බවත් අගවයි. විවිධ භාෂා වලින් බෙර වාදකයා සමග අදහස් ප්‍රකාශ කර ගනියි. මෙහිදී වැරදී ආකාරයේ පරිවර්තන ආදියෙන් හාස්‍යජනක බවත් ඇති කරවයි. වඩිග බමුණා අභ්‍යන්තර හා භාහිර යන දෙයාකාරයෙන්ම සමාරෝප වේ. බමුණාගෙ අතෙහි පොතක් ද කුඩයක් ද ඇත. තලප්පාව බැඳ, කණ්නාඩි කුට්ටමක් පැළඳ, පූන නූලක් ද කරවටා දාගෙන, ගවුම් ඇඳ රැවුල් පැළඳ බමුණු වේෂයකින් යාග භූමියට පැමිණේ.


ඇදුරා වීදිය පිටුපස සිට මතු වී එක්තරා මුද්‍රාවක් පා නික්ම යයි. අනතුරුව කෙටි කවි ගායනා කරමින් යාග භූමියට පැමිණේ. පාත්‍රයා හදුන්වා දීමට ද කෙටි කවි භාවිත කරන අතර අනතුරුව සංවාද ආදිය ඉදිරිපත් කෙරේ.

බමුණා         - මේ මනුස්සානං ලංකා දොරටු භාසං නත්ථි

ඇදුරා           - ඔන්න ඔය දොර මුල්ලෙන් අයින් වෙයල්ලා 

ගුරුන්නාන්සේ- දොඩවන භාෂාවක් නැද්ද කියලයි අහන්නේ  

වඩිග පටුන මෙම යාගයේ එන ප්‍රේක්ෂක සිත් ගන්නා නැටුමකි. පහතරට නැටුමේ පවත්නා විවිධ සරල කවි තාලයන්ගෙන් සමන්විත නැටුම් කොටසක් මේ සඳහා යොදා ගෙන ඇත.මැණික්පාල බිසවට වසවර්ති මාරයා විසින් කරන ලද සූනියම දුරු කිරීමට වඩිග රටින් බමුණන් පැමණි බවත් ඔවුන් එම රෝගය දුරු කල බවත් පුරාවෘත්ත වල සඳහන් වේ. එදා ඒ බමුණන්ගේ පැමිණීම අනුකරණය කොට සිහිපත් කරමින් වඩිග පටුන මේ ශාන්තිකර්මය හා සම්බන්ධ වේ.

වඩිග පටුන කීපයක් ඇත. වඩිගයන් යනු වඩිග දේශයෙන් පැමිණි බමුණන් කොටසකි. වඩිග දේශයේ ප්‍රාන්තයක වඩිග රටේ උපන් බමුණන් විසින් ලියන ලද පොත්වලට පටුන යැයි යකැදුරෝ කියති. මේවා රාම වඩිග පටුන දෙමළ වඩිග පටුන දේව වඩිග පටුන ගිනි වඩිග පටුන යනුවෙන් කිහිපයකි. මේවායේ ද්‍රවිඩ භාෂාවෙන් පබැදුණු මන්ත්‍ර, ශ්ලෝක ආරාධනා ආදිය ඇතත් වර්තමානයේ  වඩිග පටුන නැටීමට පමණක් සීමා වී තිබේ. වඩිග පටුනට එන යකැදුරෝ පාලි භාෂාවෙන් කථා කරති. මෙම කතාවේ එන දෙබසක අර්ථ විවරණ තුන් ආකාරයකින් සිදු වේ. ඒ

1 බමුණා යමක් පාලියෙන් කීම

2 බෙරකරුවා එය සිනහවට ලක් කිරීම

3 තුන්වැන්නෙක් එය සිංහලයට නැගීම වශයෙනි,

සූනියම් යාගයේ එන නැටුම් අංගයක් වූ මෙම නැටුම හා සමාන වෙනත් නැටුමක් සිංහල නැටුම් අතර දක්නට නොමැත.

රාම වඩිග පටුනට අයත් කවි

වඩිග පුර දේසන       - සත් දෙන බමුණ  ඇවිදින

පෙර වඩිග පටුනෙන - එදා නිරිඳුට යාග කළ දින

 

ගුරු කලිගු භාසෙන  - කට්ටඩි දෙමළ    භාෂෙන

ගුරුලාසි භාසෙන      - එදා යාගය ක‍ළෝ මෙලෙසින

 

පෙර කීම දෙමළෙන   - එළු කර සංස්කෘතයෙන

කිවි බ්‍රහ්ම භාෂෙන    - වඩිග බාසෙන් කිව්ව මෙලෙසින

 

නරලොව රකින්නට   - දෙවියෝ උපත සැදූවිට

වඩිගපුර දේසෙට        - වනයි මේ ලෙස බමුණ කුලයට

 

දෙමල වඩිග පටුනට අයත් කවි

කල්ලු දෙමල දේසයෙනා - සැට රියනක් ගල් ගුහායෙනා

ඇතුන් පිටට පැන නැගුනා - මෙරට වැඩියෙ මෙම පටුනා

 

කෙම්මුර දින බලා ගෙනේ - පොතු පට්ටා ඇඳ ගන්නේ

සුදු රිදියෙන් පහන ගෙනේ - පුදා පොතට වැඳ බැතිනේ

 

දේව වඩිග පටුනට අයත් කවි

ඉර සදේ දෙවියෝ - සක්වල තුනේ දෙවියෝ

නව ග්‍රහ දෙවියෝ - වඩිග පටුනෙන් අසන් දෙවියෝ

 

යෝගී බමුණු සත්දෙන සිටගෙන පේවී

පේනු රජුට කල අන වින දොස   දුරුවා

මාත්‍රා ශනිට සිය ගත වින සලිත   වෙවී

ඇසුව වඩිග පටුනේ කවි සියලු        දෙවී

 

වඩිග පටුනෙහි පද කීපයක් සහ ඊට අදාළ ගායනා කිහිපයක් පහත දැක්වේ.

දොංත ගතං ගත් දෙගත් ගතකු දොං

සත් බඹ රිසිවර ගෙන සිට ගෙන

විෂ්ණු මහේෂ්වර සිට         ගෙන

සතර වරම් දෙවි සිට          ගෙන

වඩිග පටුන කවි              පවසන

 

දෙගත් ගතකු දොං 

දිලෙන නොගිලි කිරණ විලසින්

අනෙක භරණින් පලදිනා

දෙඅත කරවට රුදාෂ්ඨක වැල්

සිරස ජටිලය බදිමිනා

 

ඉහත දැක්වූ ආකාරයට සූනියම් යාගයේ වඩිග පටුන පෙළපාලිය සූනියම් යාගයේ විචිත්‍රවයට ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීමටත් ආතුර මනසට ප්‍රබල මනෝ චිකිත්සාවක් ඇති කිරීමට හැකි වූ පෙළපාලියක් බව හදුන්වා දිය හැකිය.  

 

 

1 comment:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...