Wednesday, October 21, 2020

රඟ මඩලේ රංග වස්ත්‍ර

 

ශිල්පියෙකුගේ රංගවස්ත්‍රභාරණ අයත් වන්නේ ආහාර්ය අභිනයටය. රංගවස්ත්‍රභාරණ මගින් නළුවාගේ භාහිර රූපය අලංකාර කෙරේ. චරිතයක කාල දේශ හා සමාජත්වය හා ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමට රංගවස්ත්‍රභාරණ වලට හැකි වේ.

කොහොඹා කංකාරියේ එන උඩරට වෙස් ඇඳුම් කට්ටලය සාම්ප්‍රදායික ඇඳුම් කට්ටලයකි. වෙස් ඇඳුම් කට්ටලය දුටු විගස උඩරට නර්තනය සම්ප්‍රදායේ ශිල්පියෙකු ලෙස ඕනෑම අයෙක් හඳුනා ගනී. කාලාන්තරයක් තිස්සේ පැවතෙන යම් දෙයක් වේද එය සම්ප්‍රදාය ලෙස හඳුන්වයි.දේශීය ජනයා වෙස් ඇඳුම් කට්ටලය දීර්ඝ කාලයක් තිස්සේ උඩරට නළුවාගෙ ඇඳුම බව දැන සිටියි. උඩරට නර්තනය  තාණ්ඩව නම් ලක්ෂණයෙන් යුක්ත වේ. උඩරට නර්තනයේ තාණ්ඩව ලක්ෂණය තීවූර කර ගැනීමට වෙස් ඇඳුම් කට්ටලයට හැකිවී ඇත. වෙස් ඇඳුම් කට්ටලය වනාහි මලය රජුගේ ඇඳුමේ අර්ධයක් බව විස්වාසයයි. ඒ අනුව රාජකීය තේජස මැවීමට ඉන් හැකි වී ඇත. උඩරට නර්තනයට අදාළ චලන සඳහා ඇඳුම් කට්ටලයෙන් බාධාවක් නොවීමටද ශීල්පීහු වගබලා ගෙන ඇත. එමෙන්ම චලනයන්ගෙ විචිත්‍රවය රැක ගැනීම සඳහා අවධානය යොමු කර ඇති බව පෙනේ.

සිරසේ පළදින ජටාව චෛත්‍යය ආකාරයෙන් යුක්තය. ජටාව ආධාර කොට ඒවටා කැරකෙන ජටා රැලි සුන්දර බවක් ගෙන දේ. පායිම්පතෙහි වන ගිණි සිළුමෙන් දිස් වන කැටයම්ද ශිඛා බන්ධනයෙන් සහ නෙත්තිමාලයෙහි වන කැටයම්ද චමත්කාර වේ.දෙකනෙහි තෝඩුපත් විචිත්‍ර කැටයමින් යුතු වේ. මේවා සකස් වී ඇත්තේ රිදී වර්ණයෙනි. එබැවින් යටිකයෙහි වන අනෙකුත් ඇඳුම් සමඟ මැනවින් ගැලපීමක් සිදුවේ. හඟල යටිකයෙන් පිම්බුන ස්වාභාවයක් ගෙන දේ. දෙපසෙහි වන නරු රංගන කාර්ය්‍යට දායක කර ගත හැකිය. ඒ අනුව උඩරට ශිල්පියාගෙ රංග වස්ත්‍රාභරණ හුදු ඇඳුමක් පමණක් නොව රංග කාර්ය්‍යට දායක කොට ගත හැකි ලෙස සැකසීම විශේෂත්වයයි.

වෙස් ඇඳුම් කට්ටලය සම්බන්ධයෙන් කියැවෙන සිව් පද පහත දැක්වේ.

සකසා සුදින් අරගෙන සළු තුරුල්ලා

සකසි ඒ දිගුකර එල්වති දෙවල්ලා

සකසා අඹා අරගෙන හඟල වල්ලා

අඳිනා වත දැනගනු මේ සියල්ලා

 

අඳිනා වත දැන ගන්න යක්දෙස්සනි ගරු

අඟලක් පමණ පෙති පන් සැටක් බිඳ හැරු

සතඟුල් නාඩු බව දැන ගන්න සෙසු නරු

අඳිනා වත දැන ගන්න හැම මේ සිව් නරු

 

පහතරට ඇඳුම් කට්ටල කිහිපයක් භාවිතා වේ. එයින් දෙවොල් ඇඳුම් කට්ටලය ප්‍රධානතම කට්ටලය වේ. එහි උඩුකය හැට්ට ආදියයි. දෙවොල් හැට්ටය දුටු විගස සම්ප්‍රදාය හඳුනා ගත හැකි වනවා සේම හැට්ට භාවිතය පහතරට නැටුමේ වන ලාස්‍ය ලක්ෂණ ඉස්මතු කිරීමට අවැසි වේ. ඉන් නම්‍ය වන්නේ විචිත්‍රවයට රංග වස්ත්‍රාභරණ දායක වන බවයි.

රිද්දි යාගයේ ඇඳුරා ස්ත්‍රී වේෂයෙන් සැරසේ.විශේෂයෙන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් කලාත්මක ලෙස සකසා ඇති ආභරණ එම යාගයටම අනන්‍ය වූවකි. පිරිමි ඇඳුරන් ගොක්කොළ වලින් වරලස අරුන්ගල් නලල්පට පලදී. අත් කොට හැට්ටය ඇඳ පිරුවට ඇඳ රතු පටියකින් වෙලා කරට මාල අතට වලලු පැලඳ මුහුණතෙහි වත්සුදු තවරා ගනී. මෙලෙස යාගයේ අ‍භිප්‍රේතාර්ථයට උචිත ලෙස රංග වස්ත්‍රාභරණ සකසා ගැනීමට ඇඳුරෝ සමත් වූහ.

දහඅට සන්නියේ ඇඳුරෝ වෙස් මුහුණු පලදී. කොළ අතු වස්ත්‍ර හා කළු ඇඳුම් ඇද යාග භූමියට ප්‍රවේශවත්ම සන්නියකුන් බව හැදිනගන්නේ රංග වස්ත්‍රාභරණ තුළින්ය. රෝග මූලික යක්ෂ ස්වරූපය පමණක් නොව යක්ෂා වේෂය ගෙන දෙන චලනය සඳහාද ඔවුන්ගේ ඇඳුම වැදගත් වී ඇත. 





පහන් මඩු ශාන්තිකර්මය එන නොහොත් සබරගමු ප්‍රධාන ඇඳුම් කට්ටලය වන්නේ පබළු ඇඳුම් කට්ටලයයි. පබළු මගින්ද සම්ප්‍රදාය මෙන්ම සම්ප්‍රදායේ විචිත්‍රවත් චලන සඳහාද වැදගත් වන සාධකයක් වූයේ ඇදුම් කට්ටලයයි.

 

රඟ මඩලේ රංග වස්ත්‍ර සුවිශේෂි වන කරුණ කිහිපයකි. එනම්

  • ·         ස්ත්‍රීන්ට ස්පර්ශ කිරීමට පවා තහනම් වූවක් ලෙස මෙම ඇඳුම් කට්ටල පිරිමින් පමණක් පැළඳ ගනී.
  • ·         සාම්ප්‍රදායික ඇඳුම් කට්ටල  ශාන්තිකර්ම භූමියට පැළඳ ඒමට පෙර පේවස් කරනු ලබයි.උඩරට ශාන්තිකර්මයේ හඟල යැදීම ඊට කදිම නිදසුනයි.
  • ·         බුදුන් දෙවියන් වැඩම වූ  යහන් තුල ශාන්තිකර්ම වස්ත්‍ර පවිත්‍ර කොට තබා ආශිර්වාද ලබා ගනී.
  • ·         ශාන්තිකර්ම ඇදුරෝද ඇඳුම් කට්ටල පැළදීමට පෙර මාස ගණනාවක් මුළුල්ලේ පේවස් සමාදම් වේ. පිලී ජාති නොකෑමෙන් ද කිලි තැන්වලට ද නොයමින් පවිත්‍ර වේ.
  • ·         ඇදුරා දෙහි නොහොත් නානු කහදිය හිසේ ගා ඇගේද ගල්වා ස්නානය කර පේවීම සිදු කරයි.
  • ·         එමෙන්ම ඇදුරෝ බුදුන් වැද දෙවියන් වැද ආශිර්වාද ගෙන ඇඳුම් කට්ටලය පැළද ගනී.
  • ·         සියලුම රංග වස්ත්‍ර සුදු රතු කළු නිල් වැනි පවිත්‍ර වර්ණ වලින් යුක්තය.
  • ·         ආතුරයාගේ මනසට මහත් සැහැල්ලුවක් මෙන්ම ප්‍රබල පණිවිඩයක් ලබා දීමට සමත් වේ.
  • ·         රඟ මඩලට පහන් ආලෝකයට ගැළපෙන රංග වස්ත්‍ර හා වර්ණ භාවිතය තුළ ප්‍රේක්ෂක ඇසට සමීප බවක් ලබා දීම. යනාදිය වේ.

 
 

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදී ප්‍රථම වසර

ජනසන්නි‍වේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය 

 

 

9 comments:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...