පෙර කලෙක දීපංකර නම් බුදුන් වහන්සේ වැඩ වසන කාලයේ මුදුන්මාල, ධර්මපාල, ගිරිමේඛල, ඕන්කරා, එර්දි, රණකපාල, කොන්ඩමාල යනුවෙන් හඳුන්වන ලද්දා වූ බිසෝවරුන් සත් දෙනෙක් වූහ. දරුවන් නොමැති හෙයින් වඳ බිසෝවරුන් ලෙසින්ද රංගිරි කූඨයෙන් උපන් රන්වන්, රිදීවන් ශරීරවලින් යුක්ත වූ හෙයින් රිද්දි බිසෝවරුන් ලෙසින්ද හඳුන්වන ලද මෙකී බිසෝවරුන් තමන්ට දරු සම්පතක් ලබාගත හැකි ආකාරයක් ගැන සිතා හේනක් කොටා එහි කපු වපුරා එකී කපු රැගෙන නූල් කැට, එම නූල් වලින් සළුවක් වීය. එම සළුව දීපංකර බුදුන් වහන්සේට පූජා කළ තමන්ට දරුපල ලබා දෙන ලෙස ප්‍රාර්ථනය කළහ. එකී පැතුමන් බලෙන් එකී බිසෝවරුන්ගේ වඳ බව නැති වී ගොස් දරු ගැබ් පිහිටි බව කියැවේ. මෙකී වඳ බිසවුන්ට දරුවන් ලැබීම සිහිපත් කොට තමන්ට ද දරුවන් ප්‍රාර්ථනා කිරීම රිද්දියාගයේහි දී කරනු ලබන්නා වූ මූලික අභිචාරමය ක්රියාදාමයි.
මෙකී කතා පුවතට තරමක් වෙනස් කතා පුවතක්ද රට යකුම් යාගය සම්බන්ධයෙන් ශාන්තිකර්ම ඇදුරන් අතර ප්‍රචලිතය. පෙර කී පුරාවෘත්තයේ දී සඳහන් ආකාරයට බිසෝවරු සත් දෙනාටම දරුගැබ් පිළිසිඳ ගත් බවත් එම කතා පුවතේ දී නොකියවේ. එකී බිසෝවරුන් අතරින් එක් බිසවක් එනම් රිද්දි මාල බිසව ගැබ් ගත් පසු එකී දරු ගැබ විනාශ වී ගිය ඇය බලවත් දුකකට කම්පාවකට පත්ව සිටියාය. ඇයගේ දුක දුරු කර නැවැත දරු සම්පතක් ලබා ගැනීමට ශක්‍ර දෙවියන් ඇයට පිළිසරණ වී නොඉඳුල් සළුවක් විය. බුදුන් වහන්සේට පූජා කර දරු සම්පත ප්‍රාර්ථනා කරන ලෙස දන්වා සිටියේය. එසේ කළහොත් ඒකාන්ත වශයෙන්ම දරු සම්පතක් ලබා ගත හැකි වන බව ශක්‍ර දෙවියන් වෙතින් දැනගත් බිසව එය කළ යුත්තේ කෙසේ දැයි විමසා සිටියාය.
පැළලුප් නම් නුවර රන් කපු ගසක් ඇත. ඒ ගසින් කපු ඇට ගෙන උන් සිටුවා ඉන් උපන් කපු නෙළා අඹරා නූල් කැට ඉන් සළුවක් වියා ලොව්තුරා බුදුන්ට පූජා කොට දරු සම්පතක් පැතිය යුතු බව ශක්‍රයා දන්වා සිටියේය. බිසෝවරුන් ද එකී ආකාරයෙන් කටයුතු කොට කපු වගාකොට ඉන් පල නෙළා නූල් කැට එම නූලෙන් නොඉඳුල් සළුවක් වියා ලොව්තුරා බුදුන් වහන්සේට පූජා කර දරු සම්පතක් ප්‍රාර්ථනා කළ එකී පැතුම් ඉටුවී පින්බර පුත් රුවනක් වැදුවාය. රිද්දි බිසෝවරුන් පිළිබඳව හම්බන්තොට ප්‍රදේශයෙහි ජනතාව අතර ප්‍රචලිත මුඛ පරම්පරාගත කතා පුවත කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ යුතුය.
රුහුණු පුරවරයෙහි මානාවුලු පුර නමින් එක් රාජධානියක් විය. එහි රාජ්‍ය කළ කළු රජු නම් රජතුමාට වරෙක දුරු රටක සතුරු රජෙකු සමග යුධ පිණිස යෑමට සිදුවිය. සිය සෙන් සමග නැව් නැගීමට පෙර රජතුමා තමන්ගේ බිසෝවරුන් අමතන්නේ තමා යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් නැවේ කුඹ ගසෙහි සුදු කොඩියද පරාජය වුවහොත් කළු කොඩි ද දමන බව ප්‍රකාශ කර සිටියේය. යුද්ධයෙන් සතුරු රජු ජයගෙන ජයපැන් බොමින් ආපසු සිරිලක බලා එන කළු රජු තමා යුද්ධයෙන් දිනූ බව හඟවන්නට සියලුම නැව් වල සුදු කොඩි ඔසවන ලෙස තමන්ගේ කුළුපග ඇමතිවරයකුට අණ කළේය. ජය පැන් බී ඔද වැඩී සිටි ඇමතියා බිසවුන්ට විහිළුවක් කරන්නේ යැයි සිතා නැව් වරායට ලංවත්ම සුදු කොඩි වෙනුවට කළු කොඩි එසවූයේය. මාළිඟයේ සිට සී මැදුරු කවුළුවෙන් වරායට ඇදෙන නැව් දෙස නොවිසිල්ලෙන් බලා සිටි බිසෝවරුන් නැව් වල එසවූ කලු කොඩි දැක මහත් සන්තාපයට පත් වී තමන්ගේ රාජාභරණ උනා දමා වළවේ ගං ඇල්ලට පැන්නාහ. මෙතැන ආභරණ ඇල්ල ලෙසින් හඳුන්වනු ලැබේ. පසුව කළු රජු ද තමන්ගේ බිසෝවරුන්ට සිදු වූ විපතින් කම්පාවට පත්වී එකී ඇල්ලට පැන සියදිවි හානි කර ගත්තේය. මෙසේ ඇල්ලෙන් පැන මිය ගිය බිසෝවරුන් රිද්දි යකින්නියන් වූ බව ද කළු රජු කලු කුමාරයා ලෙස උපත ලද බව ජනශ්රැතියේ සඳහන්ය. මෙසේ උපන් රිද්දි බිසෝවරුන් සහ කළු කුමාරයා වෙසමුණි රජු වෙතට ගොස් ගර්භනීයන් ලෙඩ කොට පුදවාලාක්කන් ගැනීමට වරමක් ලබා ගත්තේ යැයි කියති.
මෙලෙස මාතර හා බෙන්තර සම්ප්‍රදායන් දෙකෙහිම එක් එක් වූ උපත් කතා දක්නට ඇති අතරම ජනශ්රැතියේ ද සඳහන් වේ.
ප්‍රධාන මූලාශ්රයන්
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Great article 👍
ReplyDeletegreat 💛🥂
ReplyDelete❤️👍
ReplyDeleteNiyamai
ReplyDeleteNice
ReplyDeleteBest
ReplyDeleteNiyamai...very important
ReplyDelete