Wednesday, December 22, 2021

පහතරට බෙරයේ වගතුග


සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක බෙරය හෝ යක් බෙරය, දෙවොල් බෙරය ආදී නම් රාශියකින් හදුන්වනු ලබන මෙම බෙරය පොල්, කිතුල්, ඇහැල, කොහොඹ ආදි දැව වලින් සාදා ගනී. එහෙත් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ කිතුල්, තල් හෝ පොල් ලීයෙන් සාදන බෙරයය.

පහතරට බෙරයේ දිග ද උඩරට බෙරයේ කදේ දිගට සමානය. එනම් තුන් වියත් තුන්ගුලකි. මෙම බෙරයේ කට හෙවත් බෙර ඇස දෙපැත්ත එක හා සමාන විෂ්කම්භයෙන් යුක්තය.එය එක් වියත් තුන්ගුලකි. බෙර කදේ අලංකාරය සදහාත්, ආරක්ෂාව සදහාත් ඇතමෙක් කද වටේට රිදී හෝ තඹ පතුරු සවි කරනු ලැබේ. මෙම බෙරයේ ඇස හෙවත් තට්ටුව සදහා ගනු ලබන්නේ හරක් බොක්කය. මෙය කිරි බොක්ක නමින් හදුන්වනු ලැබේ. දෙපැත්තටම එක හා සමාන සිවියක් ගත්තද දෙපැත්තේ ශබ්ද මාධූර්යය එකිනෙකට වෙනස්ය. මෙයින් එක් පැත්තක් ඇසක හයි පැත්ත යනුවෙන් වාදකයින් විසින් ව්‍යවහාර කරනු ලැබේ. පහතරට බෙරයේ ඇස හෙවත් තට්ටුව දැමීම සදහා ගැටිවැල එක බැගින් යොදා ගනු ලැබේ. බෙර ඇස මත එලන ලද / පොගවන ලද හරක් බොක්ක ගැටි වැල මත තබා නූල් වලින් බදිනු ලබන්නේ රැලි නොවැටෙන පරිදිය.

ඉන් පසු කැපුම් හම ඒ මත බහා වරපටි වලින් ඇද නිසියාකාරව සකස් කර ගනු ලැබේ. වරපට ඇද ගැනීම සදහා තුරන් සිදුරු 12ක් හා 14ක් පමණ කපා ගන්නා අතර ඒ මත උඩ යට සිටින සේ ඔතා ගනු ලබන්නේ වරපටකි. මෙය කුඩළුවර නමින් හදුන්වනු ලැබේ. (මේවා උඩරට බෙරයේ කොකුවර නමින් හදුන්වනු ලබයි) මේ අතරින් ලනුවක් සේ ඔතනු ලබන්නේ වෙනිවරය. මෙය වෙනිවර කැරැල්ල යනුවෙන් හදුන්වනු ලැබේ. එම කැපුම් හම වෙනිවර කැරැල්ල හා කැපුම් හම එකට ගත් කල හදුන්වන්නේ හැක්ම නමිනි. ඉන්පසු කන්වරය යොදා ගන්නා අතර පහතරට බෙරයේ වරපට අගල් 1/4 පමණ පළලකින් යුත්ත බව සැලකුව මනාය. එහි දිග සාමාන්‍යයෙන් බඹ හතක් බව සැලකුව කියති. කන්වරයට සවි කර ගන්නා ඉන බදින  ලනුව සදහා බොහෝ විට රෙදි වලින් ඝනකම සිටින සේ මසා ගන්නා ලද පටියක් වර්තමානයේ බොහෝ බෙරකරුවන් භාවිත කරනු පෙනේ. 

පහතරට බෙරයේ කැපුම් හම සාමාන්‍යයෙන් කුඩා බවක් විද්‍යාමාන වේ. කුඩා යනුවෙන් අදහස් කෙරෙන්නේ බෙර ඇස මතුපිට එහි ඇති පළල කෙරෙහි අවදානය යොමු කිරීමෙනි.උඩරට බෙරයක කැපුම් හම (බෙර ඇස මත) අගලක් පමණ  පළල වන නමුත් පහතරට බෙරයේ කැපුම් හම අගල් භාගයක් පමණ පළලට පවත්නා බව සලකනු වටී. 

ශාන්තිකර්ම සදහා බෙර වාදනය කිරීම ප්‍රධාන වශයෙන් පහතරට ප්‍රදේශයේ සිදුවේ. යක් තොවිල්, දේව තොවිල් හා බලි තොවිල් ඒ අතර ප්‍රධාන වේ. පහතරට ශාන්තිකර්ම වලදී මෙන්ම පිරිත් පිංකම් වලදී, නාට්‍ය වලදී, නර්තන වලදීද ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගනුයේ මෙම පහතරට බෙරයයි. පහතරට බෙරය නොහොත් යක් බෙරය වැඩි වශයෙන් මාතර බෙන්තර හා රයිගම් කෝරලය වශයෙන් යන ප්‍රදේශ වල භාවිතා කෙරේ.

පහතරට බෙර වාදනයේ්දී සතර බීජාක්ෂර වාදනය වන අයුරු

තත් - බෙරයේ හයි තට්ටුව මැදට මදක් තම සිරුර පැත්තට බර වන සේ අල්ලේ ඇගිලි ආශ්‍රිත කොටසින් (අත්ලේ මුල් කොටස ගැටියට සම්බන්ධව) තැලීමෙන් තත්  හඩ උපදවා ගත හැකිය. මීට අමතරව ගුම්,  ගු, දොම් ගත් වැනි අක්ෂරයන්ද මතු කෙරෙන්නේ හයි තට්ටුව ආශ්‍රයෙනි.

දිත් - සුරල් පැත්තේ හඩ විහිදීමත් නොවන සේ ගැටිය අසලට මාපටගිල්ල හැර අනෙකුත් ඇගිලි එකතු කොට හඩ වැසීමෙන් දිත් හඩ උපදවයි.

තොං - හයිතට්ටුවට වැදෙන පහර මූලික වන සේ දෙපසින් ම එකවර වාදනය කිරීමෙන් තොං අක්ෂරය උපදීයි.

නං - ඇගිලි මූලික වන සේ සුරල් තට්ටුවේ ගැටියට ඇගිලි වැදුණු පසු අත ඉවතට යාමට සැලැස්වීමෙන් නං හඩ උපදවා ගත හැකිය.

මීට අමතරව අනෙකුත් අක්ෂරයන් උපදින ආකාරය පිලිබද දැන ගැනීම අවශ්‍ය වේ. ගුම්, ගු, දොං, ගත්, තා යන අක්ෂරයන් බෙරයේ හයිතට්ටුව මගින් උපදීයි. විශේෂයෙන්  තොං යන බීජාක්ෂරය මතු වන ආකාරයට ගුම්, ගු, දොං යන අක්ෂර මතු කර ගත හැකිය. ග අක්ෂරය ද හයිතට්ටුවේ තරමක් මැදට වැදීමෙන් උපදවා ගත හැකිය. සුරල් තට්ටුව මුල් කර ගෙන දී, ද, දෙ, ත, ට  යන අක්ෂරයන් උපදි. විශේ්ෂයෙන් සුරල් පද වාදනය කෙරෙන්නේ හයිතට්ටුව මූලික කරගෙන ය. බීජාක්ෂර හා අනෙකුත් අක්ෂරයෙන් උපදින ස්ථාන පිළිබද ප්‍රායෝගික පුහුණුව ඔස්සේ සරල බෙර පද වාදනය කිරීමට හැකි වේ.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න) 

බෙර උපතේ වත ගොත , ගැටබෙරයේ කතාව  පෙර ලිපි බලන්න.


ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි. 

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි දෙවන වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

                                                                                                                                   කැලණිය විශ්වවිද්‍යාලය

Saturday, September 25, 2021

ගැට බෙරයේ කතාව


උඩරට බෙරය හෙවත් ගැට බෙරය දීර්ඝ කාලයක සිට ලංකාවේ වාදන භාණ්ඩ අතර ප්‍රමුඛස්ථානයක් ගත් ආතත භාණ්ඩයක් වේ. උඩරට නර්තනයේදී භාවිතා වන මෙම බෙරය දේශීය සංගීතයේ දී වැදගත් සංගීත භාණ්ඩයකි. උඩරට නැටුම් සම්ප්‍රදායේ දී සුවිශේෂීව භාවිතා වන නිසාත්, උඩරට නැටුම් ඉතිහාසයට උරුමකම් කියන නිසාත් මෙයට උඩරට බෙරය යන නාමය භාවිතා කරයි. ගැටබෙරය හෝ උඩරට බෙරය නමින් හඳුන්වනු ලබන්නේ උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය ලෙසයි. ඉතිහාසයේදී මෙන්ම අද ද උඩරට නැටුම සඳහා ගැටබෙරය මහත් සේවයක්‌ කරයි. ථූපවංශය, දඹදෙණි අස්‌න, සද්ධර්මාලංකාරය ආදී ග්‍රන්ථ කීපයක සඳහන් වන බෙර සංඛ්‍යාව අති විශාලය. සිංහල යුද්ධ හමුදාවේ ගැටබෙරය ද ඇතුළත් වන මෙම බෙර සියල්ලම වාදනය කළ බව ඉහත කී ග්‍රන්ථ සාක්‌කි දරයි. 

''තවද නිසාන, තම්මැට, දවුල්, ලොහො දවුල්, ජින දවුල්, තප්පු තලප්පු, මහ බෙර, ලොහ බෙර, පටා බෙර, එකැස් බෙර, පනා බෙර, ගැට බෙර,  පොකුරු බෙර, මිහිගු බෙර, නාද බෙර, වයන බෙර, බුරුල් බෙර, මිහිරි කුට්ටම්..........''

                                                                                                                       ( දඔදෙණි අස්නෙහි දැක්වෙන)

''භෘංගවීණා, නකුලවීණා, දද්දර වීණා, බ්‍රහ්ම වීණා, කයිතාලම්, රසුතාලම්, සමුත්තාලම්, දැදුරු බෙර, පනා බෙර,ගැටබෙර, රෝද බෙර, මහ බෙර, එකැස් බෙර, ලොහො බෙර, තලප්පර, විරන්දම්, තම්මැට්ට, නිසාන............''

                                                                                                                               (ථූපවංශයෙහි දැක්වෙන)

මෙහි කඳ මැද ගෙඩියක්/ ගැටයක්/ බඩක්/ පුහුලක් මෙන් විශේෂ වූ තත්ත්වයක් ඇති හෙයින් පූර්වෝක්ත හැදින්වීමේ සංඥා නාම භාවිතා කරන බව පෙනේ. ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ බොහෝ කටයුතුවලට නක්ෂත්‍රය සම්බන්ධය. ඒ අනුව බලන විට බෙරය සකස් කිරීමද ඔවුන් නැකත් චාරිත්‍ර අනුව සිදු කළ කාර්යයක් බව අමතක නොකළ යුතු වේ. උත්‍රසල හා පුනාවාස නැකතින් බෙර සෑදීම සඳහා අවශ්‍ය ගස කපන අතර හෙණ යෝගයෙන් වාද්‍ය භාණ්ඩ සෑදීමෙන් එහි මනා ශබ්ද මාධූර්යයක් ලබා ගැනීමට හැකි බව ද විශ්වාස කෙරේ. මෙම හෝරාව ඉතා දුර්ලභ හෝරාවක් වන අතර එය ඇසල මස බුද දිනට යෙදෙන පුර පසළොස්වක දින පුවසල නැකතේ බුධ හෝරාව තුළ යෙදෙන බව කියති.

ගන්සූරිය, වරකා, ඇසල, හල්මිල්ල යන ලී වර්ග පෙර සෑදීමට ගනු ලැබේ. ලී වර්ග ඉතා ඝන අරටු සහිත දැව වීම බෙර ශබ්ද උත්පාදනයේදී මහත් පිටුවහලක් වන බව කියති. බෙරයක කදක දිග තුන්වියත් තුන්ගුලකි. බෙර ඇස විග්ගුස්සකි. බෙර කට දෙක එකිනෙකට වෙනස්ය. වම් බෙර ඇසට (කටට) වඩා දකුණු බෙර ඇස (කට) ඉතා සුළු ප්‍රමාණයක් කුඩා ලෙස සකස් කිරීම චාරිත්‍රයකි. බෙර කටේ ඝණකම අඟල් භාගයකට තරමක් අඩුවිය යුතුය. මෙය සහල් ඇට දෙකක දිග යැයි කියති. එහෙත් ඒ කුමන සහල් ඇට වර්ගයක් දැයි කිව නොහැකි ය. බෙර කට තරමක් රවුම් ආකාරයකට සිටින ලෙස මැදිය යුතු අතර බෙර කට වටේට අඩ ඉර කැපිය යුතුය. අඩ ඉර බෙර කට හරි මැදින් කපා ගත යුතු අතර එය දශම එකකට වඩා සුළු ප්‍රමාණයක් පළලින් අඩු වූ ඉතා සිහින් රේඛාවක් බව සැලකිය යුතුය. 

වරපට
බෙරයේ දෙපස ඇති හම (තට්ටුව) තද කිරීම හා බුරුල් කිරීම සඳහා එම තට්ටු බෙර කඳට සවි කර තැබීම සඳහා වරපට උපයෝගී වේ. පදම් කළ හරක් හම් වලින් අඟල් භාගයක් පමණ පළල පටි කපා ගෙන වරපට සාදා ගන්නා අතර එහි දිග සත්බඹ සත් වියතක් වන බව කියති. සාමාන්‍යයෙන් වරපට කපා ගෙයි වහලයේ එක් කෙලවරක සිට අනෙක් කෙළවරට ඇද බැඳ තබාගෙන හෝ දුරක ඇති ගස් දෙකක් බැඳ තබා පදම් කර ගැනීම සිරිතය.

වෙනිවර
වෙනිවර යනු එකට වෙලා ඇති සිහින් හම් ගෙතුමකි. බෙර ගැටිය සකස් කරගැනීමට අවශ්‍ය වන වෙනිවර හරක් හම් හෝ මුව හම් වලින් ඉරටුවක ඝණකමට කපා තැබීමෙන් පසු රවුම් වැලක් ලණුවක් මෙන් සකස් කරගන්නා ලද්දකි. වෙනිවර කැරැල්ල කැපුම් හමට සම්බන්ධ කොට ඇති කොකුවර හා සම්බන්ධ වේ.

කැපුම් හම
බෙර ඇසට උඩින් එහි ආරක්ෂාවට මෙන් යොදා ඇති කැපුම් හම හරක් හම් හෝ මුව හම් වලින් තරමක් ශක්තිමත් ලෙස යොදාගනු ලැබේ. කැපුම් හමට ඉල්ලුම් මුදු දහයක් කපා එහි කොකුවර අදිනු ලැබේ. මෙම ඉල්ලුම් මුදු තුරන් හෝ තව් යනුවෙන් ද හැඳින්වේ. 

ගැටි වැල
බෙර තට්ටුව හම කන්දට හිරවී තැබීමට ගැටිවැල උපයෝගී වේ. වම් බෙර ඇසට ගැටිවැල එකක්ද දකුණු බෙර ඇසට ගැටිවැල් දෙකක් ද භාවිතා කෙරේ. බෙර කටේ වට ප්‍රමාණයට සකස් කරගන්නා ගැටිවැල නිසා බෙර තට්ටුව හා බෙර කද අතර මනා සබඳතාවක් ඇති වේ. ගැටිවැල් සඳහා කිරිදිවැල් හෝ කුකුලල වැල් ගනු ලැබේ. එහෙත් වර්තමානයේ වේවැල් හා බට පතුරු ද යොදා ගත්තද ඒවා ඒ සඳහා සුදුසු අමුද්‍රව්‍ය නොවන බව සැලකිය යුතුය. 

කන්වර
බෙර ලනුව හෙවත් බෙරය ඉගේ රඳවා ගැනීමට යොදන ලනුව බෙරය හා සම්බන්ධ කරන්නේ කන්වරය විසිනි. කන්වර වූ කලී බෙරයේ දෙපස බෙර ගැටිය තුළට සම්බන්ධ කෙරෙන හම්වලින් සාදාගන්නා කාදුවක් නොඑසේ නම් ගාංචුවකි. 

කයිපුඩු වලල්ල
බෙරයේ දකුණු ඇසට සම්බන්ධ කන්වරට යා කෙරෙන කයිපුඩු වළල්ල පිත්තලයෙන් සාදන ලද එක්තරා ආකාරයේ ගිගිරි වළල්ලකි. වාදකයා බෙරය වයද්දී කයිපුඩු වළල්ලේ අත වැදීම නිසා මතු වන හඬ වාදනයේ රසය තීව්‍ර කරනු ලැබේ. බෙරයේ වම් ඇසට පදම් කළ හරක් හම්‍ හෝ මුව හම් භාවිතා කෙරෙන අතර දකුණු ඇසට දුම්මල ගස් සහිත කැළෑ ආශ්‍රිත වඳුරන්ගේ හම් යොදනු ලැබේ. එහෙත් වර්තමානයේ ඒ සඳහා රිලා හම් තලගොයි හම් හා එළු හම් ද භාවිත කරති. එසේ වුව හොඳ වදුරු හමකින් නගින ශබ්ද මාධූර්යය වෙනත් හමකින් යෙදූ බෙරයකින් මතු වෙතැයි කිව නොහැකිය.

බෙර කඳ, බෙර ගැටය/ පුහුල, දකුණු ඇස, වම් ඇස (තට්ටුව), ගැටිවැල, කොකුවර, කැපුම් හම, වෙනිවර කැරැල්ල, කන්වරය, වරපට, කයිපුඩු වළල්ල, බෙර ලනුව හා සුරත් තට්ටුව බෙරයකට අයත් කොටස් ලෙස නම් කළ හැකිය. 

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
 බෙර උපතේ වතගොත පෙර ලිපියකි බලන්න.

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි දෙවන වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Saturday, April 17, 2021

මහසොහොන් සමයමේ පූජා විධි රටාව

අනෙකුත් සියලුම ශාන්තිකර්මයන්හි දීමෙන්ම මෙහිදීද ආතුරයා ආතුර පන්දලට කැඳවීමෙන් අනතුරුවව සූනියම් දේවතාවුන්ට සූනියම් පිදේනියට පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබේ. සූනියම් දෙවියන්ට සහ හතරවරන් දෙවිවරුන්ට විලක්කු පහන් දල්වා බත් අයිලයක් හා හඳුන් මල් බුලත් පිදීමෙන් ශාන්තිකර්මය ආරම්භ කරයි. බෞද්ධ සංස්කෘතික ලක්ෂණයන්ට මුල්තැන දෙමින් සූනියම් දෙවියන්ට ආරාධනා කිරීමට පෙර තෙරුවන් සරණ යෑම සිරිතකි. හැන්දෑ පිදේනි දිෂ්ටි කිරීම් මීළඟට කෙරෙන කටයුත්තයි. මෙහිදී කළු යකා රීරි යකා සූනියම් යකා සහ බිල්ල යකා යනුවෙන් පුදදීම කරනු ලබයි. ඇතැම් අවස්ථාවලදී සූනියම් යකා වෙනුවට මහසෝනා වෙනුවෙන් පේ බත් දෙනු ලබන අවස්ථාද ඇත. පිදවිලි කැපකිරීමේදී කළු යකා විශේෂිතව සලකනු ලබන අතර එකී යක්ෂයා වෙනුවෙන් පුළුටු පිදීමක් කරනු නොලැබේ. පලා රොටි විලඳ සඳුන් මල් බුලත් ආදී දේවලින් පමණ කළු යකු පිදීමේ ඔහු අනෙක් යකුන්ට වඩා උසස් ගණයක යක්ෂයකු ලෙස සලකනු ලබයි. අනෙක් යකුන්ට මෙන් කළු යකුට අවතාර ද නැත. එකී යක්ෂයා වෙනුවට අදාළ දිස්ටි මන්ත්‍ර සන්න සැහැලි ආදියත් උපත් කවි ගායනා කොට සිරස පාද ගායනය ආතුරයාට සෙත්පතා ආතුර දොස් දුරු කිරීම මෙහිදී කරනු ලැබේ. රීරි යකා බිල්ලේ යකා හෝ මහසොනා පුලුටු යකුන් ලෙස සැලකෙන බැවින් ඔවුන්ට පුදදීමේදී පුළුටු වර්ගද යොදා ගනු ලැබේ. මෙකී යකුන්ගෙන් ගායනා අවසන් කොට එක් එක් යක්ෂයාට අදාළව සිරස පාද ගායනයක්ද කරනු ලැබේ. මෙසේ එකී පිදවිලි කැප කර දීමෙන් පසු අවමංගල්ලේ පිදේනිය කටයුතු ආරම්භ කරනු ලබයි. 

රීරි යකා වෙන්වෙන් කරනු ලබන අට මංගල්ලේ පිදේනිය කැප කරදීමේදී පැදුරේ දැපවිල්ල කරනු ලැබේ. මෙහිදී ඇදුරා පන් විලට ගොස් පන් උදුරා ගන්නා ආකාරයත් රටා යොදා පැදුරක් වියන ආකාරයත් අනුකරණාත්මකව නිරූපණය කෙරේ. මෙකී අනුකරණාත්මක අවස්ථාවේදී පැදුරු උපතේ කවි ගායනය කිරීම සිරිතයි. පැදුරේ දැපීමේදී රීරි යක්ෂයාට අට කොනේ කවි කියා ආරාධනය කිරීම සම්ප්‍රදායයි. පැදුරේ දැපීමේදී පැදුර සමයම් කිරීම විශේෂ අංගයකි. පැදුරේ දිගාවෙන ඇදුරා අට දිසාවට දුම්මල කීල ගසමින් සමයන් පද අනුව පන්දම් කරකවයි. අනතුරුව එකී පැදුර මත අටමංගල පිදේනිය දෙනු ලැබේ. කඩතුරා රෙද්දෙන් හිස සිට පාදාන්තය දක්වා සියොළඟ වසා ගන්නා යකදුරා උඩුකුරුව වැතිර සිට දිෂ්ටි මන්ත්‍ර කියයි. යකැදුරාගේ පපුව මත අයිල තුනක් එක් අතකට ඊගස සහ අනෙක් අතට වස්දණ්ඩ ගෙන කුකුළා පාමුල තබා ගෙන දිස්ටි මන්ත්‍ර කියා රීරි යකාගේ හෙවත් මරුවාගේ උපත් කවි ගායනය කරනු ලැබේ. රීරි යකාගේ සිරසපාද ගායනයෙන් අනතුරුව ඊගස යොදා ගෙන ආතුර ශාන්තිය කරනු ලබයි. ආතුරයා අතින් මල් බුලත් ලබාගෙන ඊ ගසින් ආතුරයාගේ හිස සිට දෙපතුල තෙක් පිරිමැද ඊ ගසෙන් කුකුළාට තට්ටු කරයි. එයින් අදහස් කරන්නේ ආතුර දෙස කුකුළාට පැවරීමකි. මෙය අභිචාර ක්‍රමයකි. පපුව මත තබා තිබූ අයිලය රීරි යකාගේ කත්‍රික්කය මත තබාගෙන පුරාල පලයට ගෙන යනු ලැබේ.

මින් අනතුරුව වීදී කැප කිරීම ආරම්භ කෙරේ. මෙහිදී මුළු තොරණ හතරට මැද පංච මැස්සේ සිව්කොනට සහ මධ්‍යයටත් සඳුන් මල් බුලත් සහිත අයිල නමයක් පුදා විලක්කු නමයක් දල්වා සිව්වරම් දෙවියන්ගේ තොරණ හතරට පංච මැස්සේ වට අයිල හතරටත් මහසෝන් බලියටත් විලක්කු ගසා මල් සදුන් පුදා මංගර දෙවියන් වෙනුවෙන් පහනක් දල්වා වස්දණ්ඩ සහ ඊ ගහ අතට ගෙන දිස්ටි මන්ත්‍ර කීමේදී අතරතුර යක් නලාව හෙවත් වස්දණ්ඩ පිඹීම කරනු ලැබේ. මෙහිදී නැගෙන බෙරයේ ගිගුම් හඬත් වස්දණ්ඩ නාදයත් දිස්ටි මන්ත්‍ර ජප කරන හඬත් එක් වූ කල අද්භූත පරිසරයක් නිතතින්ම නිර්මාණය වේ.මෙසේ මහ සොහොන් විදියට සඳුන් මල් බුලත් පිදීම ආලෝක කිරීම හා කැප කිරීම අනතුරුව මඟුල් බෙර වාදනයත් තොරණ විස්තර ගායනා කිරීමත් සිදුකෙරේ. අනෙකුත් පහතරට ශාන්තිකර්ම වලදී කරනු ලබන්නා වූ සමයං නැටුම් අවස්ථා හා සලකා බලන කල මහා සොහොන් සමයමට අයත් පද නැටීමේදී අවස්ථාව වඩාත් ප්‍රබලත්වයක් දක්වයි. සමයමට අයත් සමයන් පද නටා අටකොන සිටින්නා වූ සමයන් යකුන්ට විලක්කු කැප කර දීම සිරිතයි. 

 කුකුළාගේ පිදේනිය දීම දුම්මල කන්නලව්ව හා මහා යාදින්න ඉදිරිපත් කිරීමත් මෙහිදී කරනු ලබන අවශේෂ පූජා විධීන් වේ. මහසොහොන් අවතාරය රංග භූමිය වෙත කැඳවීම මෙකී යාගය ප්‍රබලතම හා උච්චතම අවස්ථා වලින් එකකි. එකී භූමිකාව සබයට කැඳවීමට ප්‍රථමයෙන් මහසෝනාගේ උපත් කවි ගායනය කරනු ලබයි. කවි ගායනය කරනු ලබන්නේ එකී චරිතය භයානකත්වය ඉස්මතු කර පෙන්වන ආකාරයේ හඬකිනි.

නමින් පෙර සිරිතා - කුම්භකාරිගේ උපතා
එතැන් සිට පැවතා - කියන් මහසෝනාගේ උපතා

වලස් මුහුණකින් සහ දිගු කෙස් වැටියකින් යුත් මහසොහොන් අවතාරය සබේට පැමිණෙන්නේ අතිශය බිහිසුණු විලාසයකිනි. වෙස් මුහුණු බැඳ පද කිහිපයක් නැටීමෙන් අනතුරුව එකී මුහුණටම දෙකොන විලක්කුව බැද නැටීම කරනු ලැබේ. ආරපොත හෙට්ටිගේ මහතා සහ හක්මන නන්දෝරිස් මහතා සමග කළ සාකච්ඡාවක් පාදක සටහන් ලෙස දක්වන ජයසේන කෝට්ටේගොඩ මහතා අතීතයේදී මෙසේ වලස් මුහුණ බැඳ නැටීමක් නොකරන ලද බව පෙන්වා දෙයි. 

සමයන් පද තුන නැටීමෙන් මෙකී සමයන් අවසන් වන අතර ඇතැම් ඇදුරන් මෙහිදී දුම්මල කබලට අයත් පද ඊගහට අයත් පදත් පස්ගම පද නැටීමත් කරනු ලබයි. වෙනත් ගුරුකුලයක ඇඳුරන් හාත බඹුරා නැටීම කරන්නේ මහසොහොන් කුරුම්බර අතර ඇති සම්බන්ධතාවය අනුව යැයි විශ්වාසයක් පවතී. මංගර පෙළපාලියේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ මධ්‍යම රාත්‍රියේය. ප්‍රථමයෙන් අඟුරු දුම්මල කහ දියර කොතලය කලස තැඹිලි සහ උල කහ ගෙඩිය සමග බුලත් දෙකක් හා පඳුරු දෙකක් රැගෙන පෙළපාලි දක්වනු ලැබේ. මංගර දෙවියන්ගේ පෙළපාලිය නාට්‍යමය ලක්ෂණ වලින් පරිපූර්ණ වූ අවස්ථාවකි. මෙම අවස්ථාව ඇතැම් පොත්පත් වල දොළහ පෙළපාලිය ලෙස හඳුන්වා ඇත. එය වූ කලී මංගර දෙවියන් වෙනුවෙන් වස්තු දොලහක් පූජා කිරීමක් ලෙස එහිදී විස්තර කරයි. දොළහ පෙළපාලි යන වචනය මාතර ශාන්තිකර්ම සම්ප්‍රදාය තුළ දී ව්‍යවහාරයක් නැත. එසේම මෙහිදී ඉදිරිපත් කරන පෙළපාලි අංග දෙවොල් මඩුවේ දී හෝ රට යකුමේ දී ඉදිරිපත් කරන ලද දොළහ පෙළපාලිය නොවේ. දෙවොල් මඩුවේ 12 පෙළපාලියේදී යොදා ගන්නා ඇතැම් අවස්ථා හා අනෙකුත් අංග මෙහිදී ද යොදාගනු ලබන බව දක්නට ඇතත් එකී දොළහ පෙළපාලිය සහ මහසොහොන් සමයමේ දොළහ පෙළපාලිය ඇතැමුන් හඳුන්වන පෙළපාලි කොටස් එකක්ම නොවේ. මෙහිදී සම්පූර්ණ වශයෙන් ගත් කළ පෙළපාලි දොළහක් නොව දහසයක් ඇති බව පෙන්වා දෙන කෝට්ටේගොඩ මහතා සඳහන් කරන්නේ පෙළපාලි අංග දාසයකින් දොළහ වෙන් කොට ගෙන අනෙකුත් පෙළපාලි අංග නොසලකා හැර දොළහ පෙළපාලිය ලෙස නම් කිරීම අර්ථ ශුන්‍ය කාර්යක් බවත් කෝට්ටේගොඩ මහතා ඉදිරිපත් කරන මංගල පෙළපාලි සොළස මෙසේය.

සන්නස් කීම
කුඩ ඇල්ලීම
කොඩි ඇල්ලීම
සේසත් ඇල්ලීම
දවුල් වාදනය
තම්මැට්ටම් වාදනය
නලා වාදනය
කොම්බු වාදනය
හොරණෑ වාදනය
තල් අතු එල්ලීම
අත් මානං කෙළිය දැක්වීම
ලී කෙළියක් දැක්වීම
වීණා වාදනයක් දැක්වීම
ඇත් බන්ධනය
මී නිබන්ධනය
කළු වැදි තීන්දුව
මෙකී පෙළපාලිවල එන අත් මනං කෙළිය පැරණි ක්‍රීඩාවක ස්වරූපය අපට සිහි ගන්වයි. මෙහිදී කරන දෙහි ගෙඩි උඩ දැමීම සුලබා වල්ලිය නර්තනය දී කරනු ලබන පන්දු උඩ දැමීම හා සමානත්වයක් පෙන්නුම් කරයි. මහසොහොන් සමයමේ මෙකී මංගල පෙළපාලි වලට සීමා වූ කළු වැදි තීන්දුවේ කුකුලකු දඩයම් කර එකී බිල්ල ගමේ මුලාදෑනියාටත් වීදානේටත් දුනු හි සාදන බාස්ට බෙදිය යුතු බව දක්වා පෙළපාලිය අවසන් කරයි. මෙහිදී කියවෙන ඇතැම් සංවාද සහ කියැවෙන අරුත උඩරට කොහොඹා කංකාරිය ඌරා යක්කමේ ඌරා විද එම කොටස් 18 බෙදීමේ අවස්ථා තරමක් සමානත්වයක් දක්වන බව මුදියන්සේ දිසානායක මහතා පවසයි. 

පෙළපාලියෙන් පසු අළුයම්යාමේ පුද ලබන යකුන් සඳහා පිදේනි දීම සිදු කෙරේ. මහසෝනාට අයිල දහයක පිදේනියක්ද සූනියම් යකාට අයිල දහයක පිදේනියක්ද කැප කර දිය යුතුය. මහසෝනාගේ අයිල දහයෙන් නමයක් තොරණ නමයට පූජා කර ඉතිරි අයිලය මෝලන් ගරවාගේ නාමයට කැපකර පංච මැස්ස පාමුල තැබීම සිරිතයි. දරහැව පිදේනිය දීම ද විශේෂ අවස්ථාවකි. දරහැව හෙවත් මිනී මැස්ස මත දපන ඇදුරා රෝගියා වෙනුවට තමාගේ ජීවිතය ගන්නා ලෙස ඉල්ලා සිටි. මෙහිදී යකදුරාත් සමග දරහැව ඔසවා ගන්නා පිරිස හඬමින් වැළපෙමින් මළමිනියක් ගෙන යන්නාක් මෙන් ඇදුරා සහිත දරහැව අමු සොහොන වෙතට රැගෙන යයි. මහසොහොන් සමයමේ දී දක්නට ලැබෙන ප්‍රබල අභිචාර කර්මයකි. 

මීළඟට ඇත්තේ අවතාර ඉගිල්ලීමත් දෙකොන විලක්කු සහිතව නටන මෙකී අවස්ථාවේදී යකදුරා කිසියම් ආවේශ ගත තත්වෙකට පත් වේ. එය කරනු ලබන්නේ දුම්මල වරමක් ගැනීමෙනි. රාක්ෂ පද සහ සමයන් පද වලට අයත් පද කිහිපයක් නටා නිවසෙහි සෑම අහුමුළු වලටම දිව යමින් දුම්මල කීල ගසයි. එසේ දුම්මල කීල ගැසීමෙන් අපේක්ෂා කරන්නේ නිවසේ තැන තැන සැඟවී ඇතැයි සිතන අවතාර එලියට පන්නා දැමීමයි. එසේ එලියට ගනු ලබන අවතාර පිට කරවා උළුවස්සට තබා දෙහි කපා හිර කරනු ලබයි. මෙය පූර්ණ වශයෙන්ම අභිචාර ක්‍රමයකි. මෙසේ අවේශයෙන් දුම්මල කීල ගසමින් තැන් තැන දුව ඇදුරා විටක වීදිය වෙතටත් විටෙක ආතුරයා වෙතටත් දුව යයි. ඊ ගහ අතට ගෙන එය ඇදුරයාගේ හිස සිට දෙපා තෙක් ස්පර්ශ කර දුම්මල කීල ගසා ආතුරයා ආරක්ෂා කර කුකුළා සහ ඊරි හැළියක් ගෙන කීල ගසමින් පුරාලය වෙත දුව යයි. පුරාලයේදී කුකුලාගෙන් පිහාටු කිහිපයක් ගල්වා පන්දමට අල්ලා පුළුස්සා පුළුටු පිදීමක් කරනු ලබයි.

මෙම අවස්ථාවේදී ඇදුරා ඉදිරිපත් කරනු ලබන රංගය අති මානුෂික ස්වරූපයක් පෙන්නුම් කරයි. මහසොහොන් සමයමේ දැක්වෙන බොහෝ අභිචාර විධීන් නතර මෙය කැපීපෙනෙන අවස්ථාවකි. අමෂ්‍යයන් සූර්යය ලෝකයට බියක් දක්වන බව ජනශ්‍රුතියේහි කියැවේ. මෙහිදී දුම්මල ගැසීමෙන් සිදු කරන්නේ අමනුෂ්‍යයන් බිය කොට පලවා හැරීමයි. සන්නි යකා වෙනුවෙන් ගොටු වට්ටිය කැප කර දීම මීළඟට සිදු කෙරේ. ඉන් අනතුරුව සිදු කරන්නේ පාලි නැටීමයි. පාලි නැටීමෙන් අදහස් කරන්නේ සන්නි යකාට ආරාධනා කිරීමයි. ඒ සඳහා මාතර ප්‍රදේශයේදී පන්දම් පාලිය, සළු පාලිය, කෙණ්ඩි පාලිය, කලස් පාලිය, තැඹිලි පාලිය, අඟුරු දුම්මල පාලිය, දළුමුර පාලිය සහ බිල්ලේ පාලිය (කුකුල් පාළිය) යන පාලි අට පමණක් කරනු ලැබේ. ඉන් අනතුරුව කරනු ලබන සන්නිය නැටීමේදී වැදි සන්නියෙන් ආරම්භ කර බීත සන්නිය, ගුල්ම සන්නිය වැන සන්නි කීපයක් නටා දේව සන්නියෙන් අවසන් කරනු ලබයි.  

මීළඟට සිදු කෙරෙන විශේෂ චාරිත්‍ර වන්නේ මහසෝන් පාලිය පාවාදීමයි. මෙහිදී ආතුරයා ඉදිරියට වඩම්මවා ඊට අදාළ දොල පුදා විලක්කු දල්වා දුම්මල කීල ගැසීම කරනු ලැබේ. ඒ අතට රත් මල් පොකුරක් සහිත නූලක ගැට ගසා ඇති දෙහි ගෙඩියක් දී පිරිත් හුයට අයත් කියමන් කියා බලි යාගය ආරම්භ කෙරේ. අනතුරුව කඩතුරාවක් ඇද ආතුරයාගේ බලිය වෙන් කොට බලිය පවරා දීමේ කටයුත්ත කරනු ලබයි. කඩතුරාව හැර බලයේ කවි කියා අත ඇති දෙහි ගෙඩිය නියගින් සිදුරු කොට තුන් වරක් සිඹ බලියට ගැසීමෙන් පසු ආතුරයා අතින් පඬුරු මල් බුලත් ගෙන ආතුරයාට සෙත්කොට සිරසපාද කවි කියා දොස් නිවාරණය කර බලියේ වැඩ අවසන් කෙරේ. අවසානයේදී ආතුරයා ආරක්ෂා කර නූල් බැඳ ඊ ගහ අතට දී රංචාගොඩ පදය නටා දෙවියන්ට පින් දී පින් බෙර ගසා ශාන්තිකර්මය කටයුතු නිමාවට පත් කෙරේ. 

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

 



Thursday, March 18, 2021

මහසොහොන් සමයමේ සැරසිලි

මහසොහොන් සමයම සඳහා යොදා ගන්නා සැරසිලි අතර ප්‍රධානත්වයක් ගනු ලබන්නේ පංච මැස්ස හෙවත් මහසොන් වීදියයි. එකී පංච මැස්ස අයිල හතරක් තොරණ හතරක් සහ දොරටු හතරකින් යුක්තව සැරසීම සාම්ප්‍රදායික පිළිවෙලයි. මෙකී සැරසිල්ල නැතහොත් මල්මඩුව සැරසීමට පෙර සඳුන් කිරි පැන් ඉස බිම පිරිසුදු කර ගැනීම කළ යුතුය. ගැබ් 64 කින් යුක්ත වන ලෙස සකස් කරන මෙම සැරසිල්ලෙහි මුළු තොරණ සතර , සතරවරම් දෙවියන්ටද, අයිල සතර සොහොන් අට දෙනාට ද (මහසොහොන් , අමුසොහොන්, ලේ සොහොන් , ජය සොහොන් , මිනී සොහොන් , කඩවර සොහොන් , ගොපලු සොහොන් , පූළුටු සෙහොන්) මැද මංගර දෙවියන්ටද පුද කෙරේ.එහි මංග්‍ර හැලිය එල්ලා තබනු ලැබේ. එහි මංගර දෙවියන් වෙනුවෙන් පූජා භාණ්ඩ ඇතුළත්ය. මහ සොහොන් වීදියට අමතරව එක් පසෙකින් සූනියම් වීදියක් නැතහොත් පිල්ලු වීදීයක් ඉදි කරනු ලැබේ. මෙකී සැරසිල්ල අනෙකුත් යක්තොවිල් වලදී මෙන් සූනියම් දේවතාවුන්ට ආරාධනා කිරීම සඳහා යොදා ගැනේ. රිද්දි යාගයේදී මෙන් මිනිස් කරවටක් පමණ උසට සකස් කරගනු ලබන කත්තිරික්ක හතරක් ද මෙකී සැරසිලි වලට අයත් ය. මින් එක් කත්තිරික්කයක් කළු කොඩියකින් සහ මල්වඩම සැරසීමට ඇතැම් ඇදුරෝ පුරුදුව සිටිති. මිනී පෙට්ටියක ආකාරයෙන් සකස් කරන ලද අවමංගල්‍ය පිදේන්න මහසොහොන් සමයමේ යාගයට අයත් විශේෂ සැරසිල්ලකි. මෙහිදී නව පොළකට පිදිය හැකි අයිල නවයකින් යුක්ත වන ආකාරයෙන් මෙකී සැරසිල්ල සකසා ඇත. දරහැව සැරසිල්ල කෙසෙල් කඳන් දෙකකට ශක්තිමත් ලී යොදා අමුණා ගොක් තෝඩු යෙදීමෙන් සකස් කර ගන්නා ලද්දකි. මීට අමතර වශයෙන් කපාල කූඩුවක් ද 18 පාලි තොරණක් ද මෙකී සැරසිලි වලට අයත්ය. මෙකී සැරසිලිවලට අමතර වශයෙන් ප්‍රේත තටුවක් හා මල් බුලත් තටුවක් ද ඉදිකෙර්. 

මහසොහොන් සමයෙහි සැරසිලි අතරින් විශේෂ සැලකිල්ලක් වන්නේ මහසොහොන් බලියයි. ඒ සඳහා සකස් කළ බලි මස මත වලස් මුහුණකින් යුක්ත මෙකී බලිය නිර්මාණය කර වර්ණ ගන්වනු ලැබේ. ගලා බසින ඇලක දොලක ගංගාවක මිනිස් හිසට උඩින් සිටින සේ පොල් පරාල වැනි ශක්තිමත් ලී යොදා පරාලයක් බැඳීම මෙහිදී කරනු ලබන තවත් කටයුත්තකි. මෙකී යාගයේ දී යොදා ගනු ලබන රංග උපකරණ හා රංග භාණ්ඩ රාශියකි. කුඩය, කොඩිය, සේසත, වීණාව, කඩිප්පු, දවුල, තල්පත, හොරණෑව, කොම්බුව, ඇත් හිස, මී මගේ හිස යනාදී වූ එකී රංග භාණ්ඩ ගොක්කොල, කෙසෙල් පතුරු, කෙසෙල් බඩ, ඉරටු ආදිය යොදාගෙන සකස් කරනු ලබන්නකි. මෙකී සැරසිලි කලාකරුවන්ගෙන් නිර්මාණාත්මක හැකියාව පැහැදිලි කරන අපූර්වතම නිර්මාණයන් ය.






(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
මහසොහොන් සමයමේ වගතුග පෙර ලිපියකි බලන්න.

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

 

 

Friday, March 12, 2021

මහසොහොන් සමයමේ වගතුග

 

ලංකාවේ පහතරට නර්තනය ව්‍යාප්තව පවතින නිරිතදිග සහ දකුණු මුහුදුබඩ ප්‍රදේශයන්ගෙන් දකුණු ප්‍රදේශයේ මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්ට පමනණක් ආවේණිකව පවත්වන්නා වූ ශාන්ති කර්මයක් ලෙස මහසොහොන් සමයම හඳුන්වා දිය හැකිය. බෙන්තර පළාතේ හෝ රයිගම පවත්නා ශාන්තිකර්ම අතර මහසොහොන් යක්ෂයා වෙනුවෙන් පවත්වනු ලබන විශේෂිත ශාන්තිකර්මයක් දක්නට නැතත් බෙන්තර සාම්ප්‍රදායික සන්නියකුම් යාගයේ දී දෙකොන විලක්කු නටනු ලබන්නේ මහසොහොන් යක්ශයා වෙනුවෙනි. මාතර සම්ප්‍රදායට අනුව භූත කර්මයන්හි නියැලෙන ඇදුරන්ගේ මතය වී ඇත්තේ සන්නි යකා සහ මහසොහොන් යක්ශයා එකම මඩුවක දී පුද පූජා නොගන්නා බවත් මාතර සම්ප්‍රදායට අනුව මහසොහොන් යක්ශයා ඉතාමත් බලසම්පන්න ආතුරයන් කෙරෙහි මහත් විපත් පමුණුවන්නා වූ යක්ෂයෙකි. මහා සුමනාට බියවීම, මහසොහොනා ගැසීම්, අවතාර කරවීම වැනි විශ්වාස පොදුවේ ගත් කල පහතරට නර්තනය ප්‍රචලිත ප්‍රදේශ වල පමණක් නොව අනෙකුත් ප්‍රාදේශීය ප්‍රදේශවල ද ගැමි ජනතාව අතර ප්‍රචලිත විය. එසේ වූ හෙයින් මහසොහොන් යක්ශයා හා බැඳී ශාන්තිකර්ම අනෙකුත් පහතරට ශාන්තිකර්මයන්හි ප්‍රචලිතව නොපැවැත්වීමට හේතු අපැහැදිලිය.

මාතර ප්‍රදේශයේ පිළිගැනීම් වලට අනුව මහසොහොන් සමයම කරනු ලබන්නේ සුව කළ  නොහැකි හැකි මාරාන්තික රෝගී අවස්ථාවකදීය. මහසොහොනා විසින් කරනු ලබන ලෙඩ විවිධ ස්වභාවයෙන් යුක්තය. ඇතැම් විටක පාළු වෙල් එලියක අමු සොහොනක් අසල වැනි ස්ථානයක මැරී වැටී සිටින පුද්ගලයින් මහසොහොනාගෙ පහර දීමෙන් මිය යන බවට ගැන විස්ශ්වාසයක් ඇත. ඔවුන්ගේ පිටෙහි අතුල් පහර වැදී ඇති බවත්, නිල්පාටින් ඉස්මතු වී පෙනෙන බවත්, විශ්වාසයක් මහසොහොන් යක්ෂයා බිය වීමෙන් පසුව ඔල්මාදයෙන්  තැන තැන දුව ඇවිදීම, දිය තත්ත්ව (අධික පිපාසය) ඇති වන බව පිළිගැනීමයි. ඇතැම් විටක මහසොහොන් යක්ෂයා ලෙසද මහසොහොන් දේවතාවා ලෙසද හැඳින්වේ. මහසෝන් යක්ෂයා නමින් හැඳින්වෙන්නේ ඔහු සොහොනෙහි ඉපිද සොහොන් වල හැසිරෙමින් මළමිනී අනුභව කරතියි යන විශ්වාසයක් ඇති නිසා යැයි මහාචාර්ය සරත්චන්ද්‍ර මහතා පවසයි. යක්ෂයින් සත් ලක්ෂයකට අධිපති යැයි හදුන්වනු ලබන්නාවූ බලි රුප වල අඹා ඇත්තේ වලස් මුහුණකින් සහ හැඩපලු ගෙතුනු කෙස් වැටියකින් ද එක් අතකින් ගත් හෙල්ලක් ඇති අනෙක් අතින් ගත් ඇත්තකුගේ  ලේ උරා බොන බොහෝ උස් මහත් කෙනෙකු ලෙස ලෙසිනි. 

සඳ ඇති රාත්‍රියක ගැවසෙන්නේ යැයි විශ්වාස කරන මෙකී යක්ෂයා සුදු වතින් සැරසී ඌරු වාහනයක නැගී සිටින බවද කියති.

පාට සුදුයි  සියොළඟ මහ සොහොනා 

රෑට පෙනෙයි හැඩ කැඩපත් සේ මූණා 

මෙසේ වූ මහසොහොන් යක්ශයා පිළිබඳ බොහෝ උපත් කතා ඇත.

කෝලම් මඩුවෙහි දී දැක්වෙන ගෝඨයිම්බර කතා පුවතෙන් රඟ දක්වා පෙන්වන්නේ එකී මහ සොහොන් උපත් කතාවයි. ක්‍රි ව 6 වන ශතවර්ෂයේ දී ලියන ලදැයි සැලකෙන සද්ධර්මාලංකාරයේත් මෙකී මහ සොහොන් උප්පත්තිය නොහොත් ගෝඨයිම්බර කතාව සඳහන් කර ඇත. විජිතපුර සටන ජයගත් දුටුගැමූණු රජතුමාට ඒ සදහා බෙහෙවින් උදව් කල ගෝඨයිම්බර එකී ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රීති උත්සවයක්  සංවිධානය කලේය.  එකී ප්‍රීති උත්සවය පවත්වන අවස්ථාවේදී අරිට්ඨ පබ්බතයෙහි වාසය කළ ජයසේන නම් යක්ෂයා තවත් යක්ෂ පිරිසක් සමග තම්බපණ්ණි සුසානයේ පැවති යක්ෂ සමාගමකට සහභාගිවීමට යද්දි ගෝඨයිම්බරගේ උත්සවය හාත්පස බලන කල ගෝඨයිම්බරගේ රූමත් බිරිඳ දැක ඈ කෙරෙහි සිත් ඇති වී ඇයට ආවේද ආවේශ විය. මෙවිට ඇය සිහිසුන් වී කටින් පෙන දමා ඇද වැටුණේ මේ පිළිබඳව තතු සොයන ගෝඨයිම්බර යෝධයා මෙම යක්ෂ උවදුරක් බව දැන ඔහුට වහාම පෙනී සිට තමන් හා යුදයට එන ලෙසට අභියෝග කළේය. ඉන්පසු දොදෙනා අතර යුද්ධයක් ආරම්භ විය. යක්ෂයා ගර්ජනා කරමින් දුව ආ විට ගෝඨයිම්බර අහසට පැන වම් පයේ සුළැඟිල්ලෙන් ගසූ කළ හිස කඳෙන් ගැලවී අට ඉස්බක් දුර විසිවී ගොස් වැටුණි. මෙහිදී සෙනසුරා ඉදිරිපත් වී වලසකුගේ හිස කපා ගෙනවුත් යක්ෂයාට බද්ධ කළේය. මෙකී කතා පුවතට බොහෝ දුරට සමාන වූ ඇතැම් කරුණු අතින් මීට වඩා වෙනස් ලක්ෂණ ඇති කතා පුවත් ද ජන වහරේ ඇත.

දුටුගැමුණුරජතුමා  දසමහා යෝධයන් අතරින් ගෝඨයිම්බර සහ ජයසේන නම් යෝධයින් දෙදෙනෙකු සිටි බවත් ගෝඨයිම්බර විවාහ ගිවිසගෙන සිටි කාන්තාව කෙරෙහි ජයසේන යෝධයාද කැමැත්තෙන් සිටි නමුත් ඔහුට තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වූ බවත් ගෝඨයිම්බර සහ එකී කුමරිය අතර විවාහ මංගල දිනයේදී සුරා මතින් ජයසේන යෝධයා ඇයට නොමනා ලෙස විහිළු තහළු කරමින් අනියත යෝජනා ඉදිරිපත් කළ විට එයින් නොසතුටට පත් ඇය ඒ පිළිබඳ ගෝඨයිම්බර නම් වූ තමන්ගේ ස්වාමිපුරුෂයාට දැන්වූ බවත් ගෝඨයිම්බර සහ එකී කුමරිය අතර දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම දුර දිග නියම කොට අමු සොහොනකදී සටන් කළ බවත් එකී සොහොන් සටනේදී ගෝඨයිම්බර යෝධයා අට ඉස්බක් අහසට පැන නැගී වම්පස සුළැඟිල්ලෙන් දුන් පහරින් ජයසේන යෝධයාගේ හිස ගැලවී බිම වැටුණු කල පොළොව පලාගෙන ගොස් අගාධයකට වැටුණු බවත් මේ දුටු සක්දෙවිඳු ජයසේන කෙරෙහි අනුකම්පා කොට වහා හිසක් සවි කොට ජයසේන යෝධයාට පණ දෙන ලෙස දැන්වූ විට කාට වූ නමුත් කරදරයක් කර සතුටු වන සෙනසුරා වලස් හිසක් කපා ගෙන විත් මුහුණ පිටුපසට සිටින සේ සවි කළ බවත් එසේ අමු සොහොනේ දී උපන් හෙයින් ජයසේන මහාසොහොනා වූ බවත් එකී ජන කතාවෙහි සඳහන් ය. 

ක්‍රි. පූ. දෙවැනි සියවසේ දී තම්බපන්නී සොහොන් බිමේ සිදු වූ මෙකී සිද්ධිය ආර්ය ජන ප්‍රධානියෙකු සහ අනාර්ය ජන ප්‍රධානියෙකු අතර සිදුවූ සංග්‍රාමයක් සංකේතවත් කරන්නේ යැයි ද ගෝඨයිම්බර යනු හුදු මිථ්‍යා ප්‍රබන්ධයක් නොව ලංකාවේ ඓතිහාසික වශයෙන් ජීවත් වූ සත්‍ය චරිතයක් බව ද මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා සඳහන් කරයි. ඇතැම් ශාන්තිකර්ම ගායනා වල දැක්වෙන ආකාරයට මහසොහොනාට නෙත් තුනකි. අත් හතරකි. මහසොහොනාට නෙත් තුනකැයි සැලකෙන්නේ ඊශ්වර අවතාරයක් වන බැවිනි. ඌරු වාහනයේ නැගී සමයම් බලයි. සුදු වතක් ඇන්ඳේ වූවද ශරීර වර්ණය නිල්ය. 

අත් හතරයි තුන්නෙත් බබල වන්නේ 

නිල් පාටයි සියොළඟ කුරිරු වැන්නේ 

ඌරා පිට නැග සමයන් බලන්නේ 

මහසේනේ යකු කල ලෙඩ හරින්නේ

තවත් කතාවක කියැවෙන්නේ බස්ම අසුරයා දැව් සොහොනේ අළුවලින් උපන් බවයි. 

බස්ම අසුරයා අළු වුණු අගුරෙන් 

යක්ෂ රකුසු මහ සොහොනේ මැවෙමින් 

නික්ම ගොසින් හිම වනයට වදිමින් 

දක්වමි මහසොහොනගෙ හැටි සොල්මන්‍

දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන් අතර සේන හෙවත් මහ සෝන නමින්ම යෝධයෙක් සිටි බවත්, රාජාවලිය සෝමන නමින්ද, මහා වංශය මහා සොහොන නමින් ද මෙකී යෝධ හදුන්වන ඇති බවත් කෝට්ටේගොඩ මහතා සඳහන් කරයි. එය පෙර සඳහන් කළ ජනවහරේ සඳහන් තොරතුරු සනාථ කරවන්නකි,  මහා සොහොනාගේ උපත පිළිබඳ දැක්වෙන තොරතුරු ද අනෙකුත් උපත් කතාවන් සේම ව්‍යාකූලතාවයෙන් යුක්තය. මහසොහොන් උපතේ එක් එන කවෙකට අනුව රජුට දාව ගජ කුම්භකාරියගේ කුසින් උපන් බව කියවේ.

සෝමල රජුන් හට ජාතක වෙමින් එම විට 

ගජකුම්භකාරිට උපන් කුමරෙක් මහත් බල කොට 

මේ ආකාරයට මහසොහොන් සමයමේ උපත් කතා හදුන්වා දිය හැකි අතර තවත් කොටසකින් හමු වෙමු.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

 

Tuesday, February 23, 2021

සන්නි දහඅටේ කතාව

 


පාලි දොළහට අමතරව සන්නි දහ අටක්ද මෙම සන්නි යකුමේ පුරාවෘත්තයේ සදහන් වේ. ඒ අනුව සන්නි දහ අට යනු කිසියම් රෝග දහ අටක් සංකේතවත් කිරීම උදෙසා නිරූපිත සංකේත චරිත විශේෂයකි. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව වා පිත් සෙම් දෝෂ සහගත තත්ත්වයට පත්වීම කරණ කොටගෙන ඇති වන්නා වූ විවිධ සන්නි රෝගයන් රාශියක් ඇත. රංග භූමියට පිවිසෙන නොයෙක් චරිත සඳහා එකී භූමිකාව ද නැතහොත් චරිතයෙහි ගති ස්වභාවයට අනුකූල වන්නා වූ වර්ණයන්ගෙන් යුක්ත රංගවස්ත්‍රාභරණ ද එකී චරිතය භාවමය ලක්ෂණ ඉතා සියුම් ලෙස ප්‍රකාශ කරන්නට සමත් වන්නා වූ වෙස්මුහුණු ද යොදාගෙන ඇති ආකාරය නම් අපූරුය. එකී වෙස්මුහුණු වලින් ප්‍රකාශ වන බව ස්ථිතික වුවද යම් අවස්ථාවල සැබෑ මූහුණකින් ප්‍රකාශ කළ හැකි ප්‍රමාණයට වඩා එය ප්‍රබල ය. එකී චරිත නිරූපණයේ දී සහාය කර ගනු ලබන රංග භාණ්ඩයන්ද එකී රංග භාණ්ඩ හසුරුවමින් රංගනයේ යෙදීමට උචිත වන්නාවූ තාලානුකූල සහ රිද්මයානුකූල බෙර වාදනයන්ද නරඹන්නන් රස ගැන්වීමෙහි හා සිනා ගැන්වීමේ සමත් වන්නා වූ සංවාදයත් ද අවස්ථාවෝචිත ගායනයන් ද නිශ්ශබ්ද අනුකරණයන්ද සන්නි යකුම් යාගයෙහි ඇති නාට්‍යමය ලක්ෂණ උද්දීපනය කිරීමෙහි සමත් ය. අනෙකුත් ශාන්තිකර්ම හා සංසන්දනාත්මකව බැලීමේදී සන්නියකුම අංග සම්පූර්ණ නාට්‍ය කෝෂ්ටාගාරයක් ලෙස හැඳින්වීම නිවැරදිය.

සන්නි යකුම් යාගයෙහි අන්තර්ගත වන්නාවූ සන්නියකුම් දහඅට දෙනාට කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රාදේශීය වශයෙන් වී ව්‍යාප්තව ඇති ගුරුකුල අතර පොදු එකගතාවයක් නැත. ඇතැම් සම්ප්‍රදායන් වල අන්තර්ගත නොවන සන්නි වෙනත් ප්‍රාදේශීය ව්‍යවහාරයකදී භාවිත කෙරේ. එසේ වුවද ඔවුන්ගේ සංඛ්‍යාව දහ අටක් වන බව හා එකී චරිත ඉදිරිපත් කිරීමේදී සන්නිය විසින් ඇති කරනු ලබන්නා වූ රෝගය නැතහොත් ව්‍යාධියෙන් ස්වභාවය චරිතයේදී අනුකරණය කොට පෙන්වන බව පිළිබඳව නම් කිසිදු මතභේදයක් නැත.  කණ සන්නිය - කණය (අන්ධය) ගොළු සන්නිය - ගොළුය බිහිරි සන්නිය - බිහිරිය ඇතැම් සන්නියකට පාචනය ඇති අතර තවකෙකුට ඇත්තේ වමනයයි.මෙහි පහත දක්වා ඇත්තේ ගුරුකුල වැඩි ගණනක් විසින් යොදා ගනු ලබන්නා වූ සන්නියකුම් දහඅට දෙනාගේ නාමාවලියයි.

භූත සන්නිය 

අභූත සන්නිය 

අමුක්කු සන්නිය 

වෙඩි සන්නිය 

වාත සන්නිය 

කණ සන්නිය 

පිත් සන්නිය 

බිහිරි සන්නිය 

ගොළු සන්නිය 

මූරුතු සන්නිය 

දෙමළ සන්නිය 

නාග සන්නිය 

කොර සන්නිය 

ගිනිජල් සන්නිය 

ගුල්ම සන්නිය 

සිතල සන්නිය 

දේව සන්නිය 

කෝල සන්නිය 

ඇතැම් පරම්පරාවල සෙලෙස්ම සන්නිය උදර සන්නිය යනාදි වශයෙන් ඇති සන්නි නැටුම් ද මෙකී සන්නි දහඅටට අන්තර්ගත කරයි. මෙකී සන්නි දහඅටම ශාන්තිකර්මයක දී දක්නට ලැබෙන්නේ නම් ඒ කලාතුරකිනි. එසේ හෙයින් ඇතැම් සන්නි නැටුම් නාමික වශයෙන් පමණක් දැක්වෙන අතර ප්‍රායෝගික වශයෙන් ව්‍යවහාරයේ නොපවතින බවත් පෙනේ. අද්‍යතනයේදී  මෙකී සන්නි දහඅටම එක් වරෙක වේදිකාවට ගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ මීගම කේ. ඇස්. ප්‍රනාන්දු නැමැති කලාකරුවාටය. සන්නි යකුන් දහඅටදෙනා අතරින් වඩාත්ම බලසම්පන්න යක්ෂයා ලෙස සලකන්නේ කෝළ සන්නි යක්ෂයායි. සන්නි නැටුම් යාගයේ සියලුම සන්නි රංග භූමියට පැමිණෙන්නේ අනතුරුව අවසන් වරට සභාවට එන්නේ මෙකී කෝළ සන්නි යක්ෂයාය.

 


කෝළ සන්නි යක්ෂයා සිරිලකට පැමිණි පුවත ඉතාමත් චමත්කාරජනක ලෙස නාට්‍යානුසාරයෙන් සන්නි යකුම් යාගයේදී රඟ දක්වනු ලැබේ. කෝළ සන්නි යක්ෂයාගේ පැමිණීම වළක්වන නාථ සහ සමන් දෙවිදුන්ගේ අණසක පිට කඩවත් හෙවත් මුරපොළක් පිහිටුවා තිබූ බවත් එකී කඩවත මුර කිරීමට දෙවියන්ගේ අණ ලත් හේවාරාල නමින් හඳුන්වන මුරකරුවන් දෙදෙනෙකු වූ බවත් පැවසෙන පුවත මෙකී ශාන්තිකර්මයේදී නාට්‍යානුසාරයෙන් නිරූපනය කෙරේ. කඩවත සංකේත කිරීමට කතිරයක ස්වරූපයට මෝල් ගස් දෙකක් හරස් කර ගත් අතෝරකරුවන් දෙදෙනෙකු සිටින අතර කෝළ සන්නි යක්ෂයා ලෙස වෙස්වලා ගත් ඇදුරා පැමිණේ.  යක්ෂයා කඩවතෙන් ඇතුළු වීමට තැත් කරන විට හේවායන් ඔහුගේ ගමන වළක්වයි. තමන්ගේ බලය ප්‍රදර්ශනය කරමින් යක්ශයා  එතනින් ඇතුළුවීමට උත්සාහ ගනී.

එසේ කළ නොහැකි වූ තැන චාටු කතා බහෙන් ද විවිධ කෑම බීම ආදිය ලබාදීමට උත්සාහ කිරීම මගින්ද අල්ලස් දීමෙන් ද කඩවතින් පැන ගැනීමට උපාය මාර්ග යොදයි. මෙකී අවස්ථාවේ දී යොදා ගනු ලබන යාගයන් මෙන්ම සංවාදයන් ද හාස්‍ය රසයෙන් අනූනය. මෙසේ කෙසෙල් ගෙඩි ආප්ප කැවුම් ආදී දේ පමණක් නොව අරක්කුද දීමෙන් පවා හේවායන් පොළඹවා ගැනීමට නොහැකි වූ තැන කෝළ සන්නි යක්ෂයා තමා කවුරුන් ද යන්න හඳුන්වා දී තමන්ට කැමති පරිදි කවර හෝ ස්ථානයකට යන්නට එන්නට බුදුන් වහන්සේ අවසරයක් ලබාදී ඇති බව පවසයි. එවිට හේවායන් කියන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේගෙන් සන්නස් පත්‍රයක් රැගෙන එන ලෙසයි. මහත් සතුටින් දුව යන යක්ෂයා සන්නස ලෙස සැලසෙන පුස්කොළ පත් ඉරුවක් ගෙනැවිත් මුරපොළට දික් කරයි. එය නොපිළිගන්නා හේවායො එය ගෞරව සහිතව පිළිගැන්විය යුතු බව ප්‍රකාශ කරයි. එවිට කරන්නේ එකී සන්නස දණහිස උරහිස නාසය ආදී විවිධ ශරීරාංග මත තබා එය පිළිගන්නට උත්සාහ කරයි. කවර ආකාරයකින්වත් පිළිනොගන්නා හේවායෝ එය හිස මත තබා වඩම්මවාගෙන පිළිගැන් වූ පසු ඒ පිළිගනිති. ඉන් අනතුරුව සංදේශය දිගහැර ආඩම්බර ලීලාවෙන් කියවන්නට පටන් ගනී. මොහොතකින් ඉකිගසා හඬයි.  හඬන්නේ බුදුන්වහන්සේ කෝල සන්නි යක්ෂයාට මනුෂ්‍ය ලෝකෙට යන්නට වරම් දී තිබුණත් නරබිලි ගැනීම තහනම් කොට ඇති හෙයිනි.එකී සන්නසට අනුව කෝල සන්නි යක්ෂයාට අවසර දී ඇත්තේ ලෙඩ රෝගවලින් පෙළෙන රෝගීන්ගෙන් දොළ පුදගෙන ඔවුන් සුවපත් කිරීම පමණකි. මෙහිදී යක්ෂයන් මෙල්ලවෙයි. 

ඉන් අනතුරුව කඩවත අස් කොට කෝල සන්නි යක්ෂයාට ඇතුළුවීමට අවසර දෙනු ලැබේ. ආතුරයා වෙත යන යක්ෂය ආතුරයාට සෙත් පතා ඔහු වෙතින් දොල පුද ලබා ගනියි. ආතුරයා විසින් දොල වශයෙන් පුද ලබන බත් කැවුම් පලතුරු ආදී දේ ඔහු ඉන හැඩය ඇති ගොටු වලටත් හිසේ ඔටුනටත් දමනු ලැබේ. කුකුළාද යක්ෂයාගේ ඇගෙහීම දවටනු ලැබේ. ඉන් අනතුරුව කෝළ සන්නි යක්ෂයා දුම්මල ගසමින් නර්තනයේ යෙදේ. කෝල සන්නියේ රංග වස්ත්‍රාභරණ අනෙකුත් සන්නි යකුන්ගෙ ඇඳුම් පැළඳුම් වලට වෙනස් ස්වරූපයක් ගනියි. ඉනවටා පිදේනි තටුවක ආකෘතියට අනුව කෙසෙල් පතුරු වලින් කළ ඉන හැඩයක්ද හිසට විශේෂ ඔටුන්නක්ද පලදිනු ලැබේ. දොළ පිදේනි ආදිය දමන්නේ මෙකී තටුවටය. පසුව එකී දොලපිදේනි ආදියත් සමග තටුව මුදාහරිනු ලබයි. 

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 


Sunday, February 21, 2021

පාලි නැටීම

සන්නි යකුම් යාගයේ දී දක්නට ඇති තවත් විශේෂ අවස්ථාවක් නම් පාලි නැටීමයි. දහඅට සන්නිය නැටීමේදී ප්‍රාදේශීය වශයෙන් දක්නට ඇති ඇතැම් විවිධත්වයන් හේතු කොට ගෙන පාලි වල මෙන්ම සන්නි වලද නාමයන් පිළිබඳ පොදු එකගතාවයක් නැත. ඇතැම් ප්‍රදේශ වලදී යොදා ගනු ලබන පාලි තවත් ප්‍රදේශයක දී යොදා ගනු නොලබන බව පෙනේ. ඇතැම් විටෙක නොදැනුවත්කමත් අවිචාරයත් හේතු කොට ගෙන සන්නි ලෙස සලකා පාලිත් පාලි ලෙස සලකා සන්නිත් නටන අවස්ථා විරල නොවේ. බෙන්තර සාම්ප්‍රදායික සන්නි යකුම් යාගයේ දී පාලි දොලහක් ඉදිරිපත් කරනු ලබයි. එනම්

පන්දම් පාලිය 

ධූප පාලිය (අඟුරු දුම්මල)

කෙණ්ඩි පාලිය 

කලස් පාලිය 

තැඹිලි පාලිය 

කුකුල් පාලිය 

බිල්ලේ පාලිය 

මාළු පාලිය (පුහුල් පාලිය)

දළුමුර පාලිය 

සළු පාලිය 

කඩු පාලිය 

දුනු පාලිය 

මුගුරු පාළිය 

යන ගුරුකුල හා ප්‍රාදේශීය ප්‍රභේදයන්ට අනුව මෙකී පාලි දොලහ පිළිබඳව පොදු එකඟතාවයක් දක්නට නැත. ඇතැම් ප්‍රාදේශීය ව්‍යවහාරයන්හිදී පෙර දක්වා ඇති ඇතැම් පාලි නැටුම් වෙනුවට වැදියක් පාලිය තුවක්කු පාලිය අතු පාලිය වැනි පාලි යොදා ගන්නා අවස්ථා දක්නට ඇත. මාතර සම්ප්‍රදායට අනුව පාලි දහ අටක් පිළිබඳව ඔවුන් නම් කරත් ඒ බව සනාථ වීමට මෙතෙක් කරුණු හෙළි වී නොමැති බව හා එය සන්නි දහඅටම වන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වන බව මීගම සරණිස ගුරුතුමාගේ පරපුරෙහි ප්‍රවීණ ශිල්පියකු වන විද්‍යාරත්න ප්‍රනාන්දු පෙන්වා දෙයි.පාලි නැටීම වූ කලී සන්නි යකුනට රඟමඩලට පැමිණෙන ලෙස ආරාධනය කරනු ලබන්නාවූ පූර්ව රංගයකි. බෙන්තර සාම්ප්‍රදායික සන්නි යකුම් යාගය පිළිබඳව හසළ දැනුමක් ඇති මීගම කේ ඇස් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ සන්නි පැමිණීමට පෙර ඒ සඳහා දොලහ පෙළපාලියෙන් කෙරෙන බවයි. 

ඇතැම් තැනක පාලි යනු සන්නි යකුන්ගේ පිරිවර යකුන් කොටසක් ලෙසට ද සඳහන්ය. පාලි නැටීමේදී ඊට අදාළ ගායනා සහ සංවාදාත්මකව ඉදිරිපත් කරනු ලබන හාස්‍ය රසය මුසු දෙබස් කණ්ඩායන් මගින් සන්නි යකුම් වලදී සිදු කරනු ලබන්නාක් මෙන් කිසියම් තොරතුරු සමූහයක් ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය කරනු ලබයි. රංග කාර්යය තීව්‍ර කිරීම සඳහා රංග උපකරණ භාවිත කරනු ලබන අතර එකී රංග උපකරණයන් පිළිබඳව උපත් කතා පමණක් නොව ඒ හා බැඳීි වෙනත් තොරතුරු ද උක්ත සංවාද වලට අන්තර්ගතය.

අන්දම් කරුවලේ සොහොනේ සිටින්නේ 

අන්දමකින් රෑ හීනෙන් පෙනෙන්නේ 

රන්දම් යගදාව ගෙන කරකවන්නේ 

පන්දම් පාලියට සන්නිය වරෙන්නේ


 


 

 

 

 

 

පාප රුදුරු පව් කළ යකු අසන්නේ 

කීප වරක් අමු සොහොනේ උපන්නේ 

පාපයකින් මව් ඇඟ මස් බුදින්නේ 

දූප පාලියට සන්නිය වරෙන්නේ

 

එන්න විශාලා නුවරින් ගොසින්නේ

දෙන්ඩ මේ කෙලි පුද වෙන සරසන්නේ 

උන්ට ඒ අට විසි මුනි අණ දරන්නෙ 

කෙණ්ඩි පාලියට සන්නිය වරෙන්නේ

 

වලස් ගවරු අල්ලා ලේ උරන්නේ 

නොලස් වමින් රෑ සිහිනෙන් පෙනෙන්නේ 

සලස්ව පස් විසි මුනි අත දරන්නේ 

කලස් පාලියට සන්නිය වරෙන්නේ

 

උපන් තිනෙත් සුත සිරස කිරුළයෙන

මෙතුන් ලොවේ සතහට කරුණාවෙන

එරන් තැඹිලි පාලිය දැක නොලසින 

වරෙන් සන්නි යකු දහඅට විගසින


 

 


 

 

 

 

 

බිල්ල බලා සමයමේ කෙලින්නේ 

බිල්ල දෙකොණ අල්ලා සැරසෙන්නේ 

බිල්ල මරා පළුවක් ඉල්ලන්නේ 

බිල්ලේ පාලියට සන්නිය වරෙන්නනේ

 
යාළු කමක් බැඳලා ලෙඩ කරන්නේ 

පාළු ගමක් මැදදී ලෙඩ කරන්නේ

ගෝළු සිනා දැක කුල්මත් කරන්නේ 

මාළු පාලියට සන්නිය වරෙන්නේ

 
බලන් අප මුනිඳු අනුහස් දරණ යකා 

ඇළක් දොළක් ලඟදි ලෙඩ කරන යකා 

මෙලක් සනෙන්  දුන් දොල පුද ලබන යකා 

බුලත් පාලියට බැස වර සන්නි යකා

 

සෙතට පළමු  මහ බඹු සළු සලන්නේ 

සෙතට පැමිණි සක් රජු සළු සලන්නේ 

සතට පැමිණි හැම වස් දොස් හරින්නේ 

දසට සන්නි සළු සැලුමට වරෙන්නේ 


 
 

 

 

 

 

අරන් කඩුව හිස වට කරකවන යකා 

නරන් දැක්පු සැණෙකින් නෙත් රවන යකා 

සුරන් මෙමරු අනුහස් බලයෙන් නොයෙකා

වරෙන් මෙරඟ බැස තෙද කඩු පාලි යකා

 
බින්නේ මායමට පව් කළ යකුන්නේ

එන්නේ දිව කුරු මුනිඳුගෙන්නේ

පැන්නේ විසල් පුරයට තද රොසින්නේ 

දුන්නේ පාලියට සන්නිය වරෙන්නේ


අඳුරු රඟමඩලයට බැස තොසින්නේ 

රුදුරු යකුන් හට කෙළි පුද දෙසන්නේ 

සොඳුරු මෙඅප මුනිඳුගෙ අනුහසින්නේ 

මුගුරු පාලියට සන්නිය වරෙන්නේ

 

මෙලෙස පාලි දොලස රඟමඩලට පිවිසේ.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Saturday, February 20, 2021

සන්නි යකුම් යාගයේ පුද පූජා රටාව

මෙම ශාන්තිකර්මයෙහි බෙන්තර සම්ප්‍රදාය සහ මාතර සම්ප්‍රදාය යනුවෙන් ප්‍රභේදයන් දෙකක් පවතී. ඇතැම් අය විසින් කොළඹ සම්ප්‍රදාය වශයෙන් හඳුන්වන තුන්වන සම්ප්‍රදායක්ද ඇතැයි දක්වනු ලබතත් එය පෙර කී මාතර හා බෙන්තර සම්ප්‍රදායන්ගෙන් රයිගම ප්‍රදේශයට ආවේනික වූ දෙවොල්මඩු ශාන්තිකර්මය ද ඇතැම් අංග ලක්ෂණ හා කොටස් උපුටා ගනු ලැබුවා වූ සංකර හා සංකීර්ණ එකක් ලෙස පෙනේ. බෙන්තර සම්ප්‍රදායට අනුව පවත්වනු ලබන්නාවු සන්නි යකුම් යාගයේ දී තුණුරුවන් හා සතරවරම් දෙවියන් වෙනුවෙන් මලක්ද අස්නක්ද ශාන්ති වීදිය යනුවෙන් හඳුන්වන තවත් විශේෂ වීදියක්ද කපාල පිදේන නැතහොත් සන්නි කූඩුව යනුවෙන් හඳුන්වන විශේෂ සැළසිල්ලක් ද අනෙකුත් යකුන් යක්ෂනියන් සඳහා පිදේනි ද ඉදි කරනු ලබයි.ශාන්තිකර්මය ආරම්භයේ දී තුනුරුවන් ප්‍රධාන කොට ඇති සතර වරම් දෙවියන් උදෙසා වූ මල් යහන් පහන් දල්වා කවි ස්තෝත්‍ර ආදිය ගායනා කිරීමෙන් අනතුරුව යකුන්ගේ නාමයට භූත කර්ම විධීන් හා දිෂ්ටි මන්ත්‍ර කිීම සිදුකෙරේ. මෙය රතිකාම යක්ෂ යක්ෂණියන් සඳහා කරනු ලබන්නා වූ විශේෂ නර්තන වෙසෙසකි. ඉන් අනතුරුව යහන් දැක්ම නටා පන්දම් දීම සිදුකෙරේ. පන්දම් පද නැටීම නැතහොත් පන්දම් ගැසීමෙන් මෙහිදී සිදුකරන විශේෂ අංගයකි. පන්දම් පද හතක් වශයෙන් දැක්වේ. එකී පන්දම් පද හා එයට නියමිත ඉරට්ටි නැටීමෙන් අනතුරුව ආතුර අඩව්ව නැටීම සම්ප්‍රදායයි. මින් අනතුරුව සිදු කෙරෙන්නේ හැන්ඳෑ සමයට අධිගෘහිත වන්නාවූ සියලු යකුන් යක්ෂණියන්ගේ නාමයට කවි ගායනා කිරීමයි. කළු යකා රීරි යකා සූනියම් යක්ශනිය අභිමාන යකා මරුවා ආදී චරිත්‍ර රඟමඩලට පිවිසීමෙන් අනතුරුව ලිච්ඡවී නැටුම ඉදිරිපත් කරනු ලැබේ. කවි ගායනය කරමින් නටන මෙකී නර්තනයේ දී නළුවන් තමන්ගේ උපරිම දක්ෂතාව පෙන්නුම් කිරීමට උත්සාහ කරති.

මීළඟට රඟමඩලට පැමිනෙන්නේ පාලි නැටුම් ය. පාලි නැටීම සන්නි යකුන් රග මඩලට කැඳවීමේ පූර්ව රංගනයක් නැතහොත් ආරාධනයක් ලෙස සැළකිය හැකිය. ඉන් අනතුරුව කලු කුමාර සමයමත් දෙකොන විලක්කු නැටීමත් සිදුකෙරේ. දෙකොන විලක්කු නැටීම මහ සොහොන් සමයම නැටීම ලෙසද හඳුන්වනු ලබයි. ඉන් අනතුරුව සන්නි යකුන්ගේ භූමිකා නිරූපණය හා ඊට අදාල නර්තන සඳහා රඟමඬල වෙන් වේ. අවසානයේදී පැමිණෙන්නේ කෝළ සන්නි යක්ෂයාය. කෝල සන්නි යක්ෂයා පුද පඬුරු ලබා ගැනීමෙන් අනතුරුව දෙවියන්ගෙ කවි කියා පිං බෙර ගසා ශාන්තිකර්මය නිම කරනු ලැබේ. මෙහිදී මාතර සාම්ප්‍රදායික සන්නි ඇඳුම් පැලදුම් වලින් පමණක් නොව ඇතැම් පෙළපාලි සහ චාරිත්‍ර විධීන්ගෙන් ද බෙන්තර සම්ප්‍රදායට වඩා වෙනස් වේ. බෙන්තර සම්ප්‍රදායේ දී ප්‍රධාන නර්තන අංගයක් කොට සලකනු ලබන ලිච්ඡවී නැතහොත් කුමාර පෙළපාලිය මාතර සාම්ප්‍රදායික සන්නි යකුමේ දී දක්නට නැත.


(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
සන්නියකුන් යාගය පෙර ලිපියකි බලන්න.

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Thursday, February 18, 2021

සන්නි යකුන් යාගය

 

පහතරට සම්ප්‍රදාය හා බැඳී ශාන්තිකර්ම අතරින් යක්තොවිල් යටතට ගැනෙන ප්‍රකට ශාන්තිකර්මය සන්නි යකුමයි. මෙය වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙත් ගාලු දිස්ත්‍රික්කයෙත් ගඟ දෙපස පිහිටා ඇති පහතරට නර්තනයේ චූල සම්ප්‍රදායක් ලෙස ගැනෙන බෙන්තර සම්ප්‍රදාය ව්‍යාප්තව පවත්නා පළාත් තුළ ය. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කකයේ ඇතැම් ප්‍රදේශවල මෙකී ශාන්තිකර්මය දක්නට ඇතත් බෙන්තර සම්ප්‍රදාය හා බැඳී සන්නියකුමට වඩා යම් යම් වෙනස්කම් ඒවායේ දක්නට ඇත. මෙකී ශාන්තිකර්මය පැවැත්වීමෙන් ප්‍රධාන අරමුණ ලෙස සැලකිය හැක්කේ විවිධ රෝගාබාධ වලින් පෙළෙන රෝගීන් සුවපත් කිරීම, විශේෂ රෝග ලෙසින් සලකනු ලබන්නා වූ රෝග ආපදාවන් ද සන්නි යකුන්ගේ ඇල්ම බැල්ම වැටීම හේතුකොට ගෙන ඇතිවන පිස්සු විකාර, ඔල්මාද ආදී කොට ඇති කායික හා මානසික රෝගී විෂයෙහි මෙකී ශාන්තිකර්මය පවත්වනු ලබයි. 

පුරාවෘත්ත කතාව

සන්නි යකුම් යාගය හා බැඳී පුරාවෘත්ත කතාව ඉතාම රසවත් එකකි. එයින් කියැවෙන්නේ සන්නි යකුන්ගේ උපත් කතාවයි. දඹදිව රජ කළ සංඛපාල නම් රජුට අසුපාල නම් වූ රූමත් බිසවක් විය. ඉතා ප්‍රීතියෙන් කල් ගෙවූ මෙකී රජ බිසෝහට අයහපත් කාලයක් උදා විය. රජතුමා සිය  අසල්වැසි රටකින් යුදයට කැඳවන සන්නස් පත්‍රයක් ලදී. රජතුමා සිය අමාත්‍ය මණ්ඩලය කැඳවා කරුණු සාකච්ඡා කොට මහසෙන් පිරිවරා ගෙන යුද්ධයට ගියේය. යුදයට පිටත් වන අවස්ථාව වන විට ගැබ්ගෙන සිටි අසුපාල බිසව ඒ බව රජුට දැන්වීමට පවා අවස්ථාවක් නොලද මහත් කනස්සල්ලෙන් හා දුකෙන් පසුවූවාය. බිසවගේ දරුගැබ වැඩී මහත් දොළ දුකක් පහළ විය. මී අඔ කෑමේ බලවත් ආශාවක් සිතෙහි පහළ වූ ඇය රජතුමා නොසිටි බැවින් ඒ බව මහ අමාත්‍යවරයාට දැනුම් දුන්නාය. ඒ වකවානුවේ අඹ අවාරය වූයෙන් ඇමතිවරයා බිසවගේ දොළදුක සංසිදීමට රට පුරා පණිවිඩ යවා මී අඹ ගෙඩියක් සොයා ගැනීමට කටයුතු කළ තම රටෙන් එය සොයා ගැනීමට නොහැකි වූ තැන අසල රටකට පණිවිඩ යවා මී අඹ ගෙඩියක් සොයා ගත් ඔහු ඒ බිසව වෙතට ගෙනැවිත් දුන්නේය. මහත් ආශාවකින් එකී අඹය අනුභව කිරීමට සූදානම් වෙද්දී නොසිතූ දෙයක් සිදුවිය. බිසව ගැබ්බරව සිටි නගරයේ දූගී කාන්තාවක් ඇය ඉදිරියේ පෙනී සිට තමන්ටත් බිසවට මෙන්ම මී අඔ කෑමේ ආශාවක් පවතින බවත් එකී අඹය තමන්ටත් ලබා දෙන ලෙසත් බිසවගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියාය. බිසව සඳහා මී අඹ ගෙඩියක් සොයා රැගෙන ආ බව සැල වී ගිය එය අනුභව කිරීම බලවත් ආශාවෙන් මාළිගයට පැමිණ සිටියෙන් මී අඹ ගෙඩිය ඉල්ලා නැවත නැවතත් කන්නලව් කළාය. අඹ සොයාගත්තේ බලවත් අපහසුවකින් පැවසූ සංකපාල බිසව මාලිගයෙහි ඇති රාජභෝජන ඇති පමණින් අනුභව කරන ලෙසත් අඹයෙන් නොඉල්ලන ලෙසත් කියා සිට ඇයට කුඩා කැබැල්ලක් පවා නොදී තනිවම අනුභව කළාය. අඹය තනිවම අනුභව කළ සංඛපාල බිසව කෙරෙහි බලවත් වෛරයක් සිතේ ඇති කර ගත් එකී ස්ත්‍රිය පළි ගැනීමට ඉටා ගත්තේය. මේ අතර යුද්ධය ජයග්‍රහණය කළ සංඛපාල රජතුමා මහ පෙරහරින් මාලිගාවට සැපැත එමින් සිටියේය. බිසවගෙන් පළි ගැනීමේ ආශාවෙන් පෙළුණු ගැබ්ගත් ස්ත්‍රිය එන පෙරමඟට ගොස් ඔබතුමා යුද්ධයට ගිය අතර කාලයේදී අග බිසව මහා ඇමතියත් සමග අනියම් සම්බන්ධ කමක් ඇති කරගත් බවත් ඒ හේතුවෙන් ඇය ගැබ්ගෙන සිටින බවත් රජුට සැළ කළාය. අනපේක්ෂිත තොරතුරු වලින් බලවත් වික්ෂිප්තභාවයට පත් රජතුමා තමා පිළිගැනීමට පෙර මඟට දිව ආ බිසව ගැබ්බරව සිටි බව දැක තමාට ගතු කී කාන්තාවගේ කතාව සත්‍යයක් ලෙස සිතා කිසිදු වග විභාගයකින් තොරව තම බිසව මරා දමන ලෙසට අණ කළේය. නිදොස් බව කොතෙක් කීවත්  වධකයා ලවා ඇයට වද බෙර ගසා වීදියෙහි ඇවිද අමු සොහොනට ගෙන ගොස් ගසක එල්ලා දෙපළු කර මරා දැමීමට කටයුතු කළේය.  ඇයව අමු සොහොනට ගෙන ගොස්  පුබ්බේරිය ගසක එල්ලා දෙකට කොට කපා දැමූ විට පළුවක් ගසේ එල්ලී තිබූ අතර අනෙක් පලුව බිම පතිත විය. බිසවට බිහිවීමට සිටි කුමරුන්ගේ බල මහිමය හේතු කොට ගෙන එදින රාත්‍රිය මහත් වැසි කුණාටු ඇතිවී පුබ්බේරිය ගසේ තිබූ බිසවගේ ශරීර අර්ධය බිමට වැටී පලු දෙක එකට යාවි දරුවෙකු බිහි විය. එසේ බිහි වූ කුමරා පළමුවෙන් තම මවගේ මළ මිනිය කිරි උරා දෙවනුව මවගේ ඇග මස් කා තුන්වනුව අමු සොහොනේ මස් කා වැඩෙන්නට විය. මෙසේ වැඩෙන රාජ මුළු යක්ෂයා බලගතු ගුප්ත බල ශක්තියකින් යුක්ත තමා කවරෙක් ද තමාට මෙසේ වූයේ කවර හේතු කාරණ කොට ගෙනද යන්න විමසා බලන විට තමන්ගේ පිය රජතුමන් විසින් නිවැරදි තම මව මරා දැමූ බව දැන ඒ පිළිබඳව පිය රජුගෙන් පළි ගැනීමට සිතා ගත්තේය. එසේ සිතා විවිධ කොළ වර්ග කඩාගෙන ඒවා එකට අඹරා ගුලි කොට ගුලි දහඅටක් නිර්මාණය කළේය. බලවත් වූ විෂයෙන් යුතු වූ එකී විෂ ගුලි සකස් කිරීමෙන් කුමරු අදහස් කළේ තම පියා වස දී මරන්නට බව කියැවේ. මෙය දුටු ශක්‍ර දෙවියන් මෙකී අපරාධ වැළැක්වීමට අදිටන් කරගෙන එයට අමෘත්‍රයෙන් බිඳුවක් බැගින් එක් කරන ලද්දෙන් එකී ගුලි ඔසු ගුලි බවට පත් විය. මේ බව දැනගත් කුමාරයා ගුලි වලින් යකුන් දහඅට දෙනෙක් මැව්වේය. දහඅට සන්නි යකුන් ලෙස එතැන් පටන් හැදින්විය. සන්නි දහඅටදෙනාගේ නායකයා වූයේ රාජ මුළු කෝළ සන්නි යක්ෂයාය.

මෙකී යකුන් දහඅටදෙනා පිරිවරාගත් රාජ මුළු කෝළ සන්නි යක්ෂයා තම පිය රජුගේ රාජධානියට කඩා පැන එය විනාශ කරන්නට විය. විශාලා නුවර ඇති වූ තුම්බිය ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙන්නේ මෙසේ සන්නි යකුන් විසින් විශාලා මහනුවරට කරන ලද විනාශය බව ශාන්තිකර්ම සහ සාහිත්‍යයට අනුව පිළිගත හැකිය. මෙසේ මහා දුර්භික්ෂ ජනපද රෝගයක් අමනුෂ්‍ය බිය නිසා ඇති වූයෙන් විශාල මහනුවර විශාල වශයෙන් මිනිසුන් මිය යන්නට විය. මේ බව දැනගත් අසල්වැසි රටක රජකළ බිම්බිසාර රජතුමා විසින් බුදුන් වහන්සේ වෙත දන්වා යවන ලදී. උන් වහන්සේ විශාලා මහ නුවරට වැඩම රතන සූත්‍රය දේශනා කොට අමනුෂ්‍ය පිරිස සක්වල එතෙරට පන්නා හරින ලදී. මෙසේ යකුන් පලවා හරින අවස්ථාවේ කෝළ සන්නි යක්ෂයා අබ ඇටයක් තරම් කුඩා වේශයක් මවාගෙන ගෝම රිටක් යට සැඟව සිටි බවත් ඒ දුටු බුදුන් වහන්සේ කෝළ සන්නි යක්ෂයාද පිටසක්වලට පලවා හරින ලද බවත් කියවේ. එසේ යකුන් පලවා හැරීමේ දී බුදුන් වහන්සේගෙන් යක්ෂයින් එක් ඉල්ලීමක් කළේලු එනම් ඔවුන්ට මිනිසුන්ගෙන් දොළ පිදේනි ලබා ගැනීමේ වරමක් දිය කඩක, නාන තොටක, රත්තොටක, අමු සොහොනක ආදී තැනකදී කෙනෙකුට ඇල්මක් බැල්මක් ඇති කොට ලෙඩ කරනවා ඒ ලෙඩ මුදවා හැරීමට දොළ පිදේනක් ලබා ගැනීමේ අවස්ථාව ඒ අනුව සන්නි යකුන්ට හිමිවිය. මෙසේ සන්නි ලෙඩක යකැදුරකු කැඳවා රෝගය සුව වී තෙමසක් ඇතුළත සන්නි යකුම් යාගය කරන බවට පොරොන්දු වී ඇප නූලක් බඳිනු ලැබේ. සුව වීමෙන් පසු රෝගියා නැතහොත් ආතුරයන් වෙනුවෙන් සන්නි යකුන් යාගය පවත්වනු ලැබේ. මෙකී ශාන්ති කර්මයෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ යකුන් යක්ෂණියන් කෙරෙහි බිය ඇති කිරීම සඳහා බුදුගුණ  භාවිතයයි. එසේ හෙයින් මෙකී ශාන්තිකර්මය තුළ බෞද්ධ ආගමික සංකල්පය හා වත්පිළිවෙත් වැදගත් තැනක් ලැබී ඇති බව සැලකිය හැකිය. සන්නි යකුමෙහි පොදුවේ දක්නට ඇති නර්තනාංගයන් අතර යහන් දැක්ම, පන්දම් පද නැටීම, හැන්දෑ සමයම ආදියද  කළු යකා, රීරි යකා, සූනියම් යක්ශනිය, මරුවා, අභිමාන යකා වැනි යක්ෂ යක්ෂණියන්ගේ භූමිකා නිරූපණය පාලි දොලහක් දෙකොන විලක්කු සන්නි 18 වැනි චරිතාංග නිරූපණයක් ලිච්ඡවී නැටුම හෙවත් නර්තනාංගයක් අන්තර්ගතය. 

සන්නි යකුමේ තවත් සටහනක් සමඟින් පසුව හමුවෙමු.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Tuesday, February 16, 2021

කපු යක්කංකාරි හා දරු නැලවිල්ල

 

 

 

 

 

 

 

 

 කපු යක්කංකාරිය

කපු යක් කංකාරියේ දී නොඉඳුල් පැදුරක් අවශ්‍ය බවත් විලකට ගොස් පන් උදුරා වූත් පැදුරක් වියා ගත යුතු බවත් යකැදුරන් අතර කෙරෙන සංවාද මගින් ප්‍රකාශ කරයි. 

ඇදුරා - හේන් කොටනවා වගේ වැඩක් තනියෙන් කරන්න බැහැ. ඒ වගේම පැදුරකුත් හොයා ගන්න ඕනේ. ඊට කලින් පන් හොයා  ගන්න ඕනේ. වැදගත් විලකින් පන් හොයා ගන්න ඕනේ. විළක් ළඟට අපි වගේ අය තනියම යන්න හොඳ නෑ ඒ නිසා මිනිහෙක් හොයා ගන්න ඕනේ. (මෙහිදී සභාවෙන් කවර හෝ පිරිමියෙකු ඇදුරා තම සහයකයා ලෙස තෝරාගනී.)

ගුරුන්නාන්සේ - පන් නෙලන්න කොහෙටද යන්නේ 

ඇදුරා - ඉර හද පාන විලට යමු. 

ගුරුන්නාන්සේ -  පන් උගුල්ලන්න යනකොට මොනවද ගෙනියන්නේ 

ඇදුරා  - දෙල් තම්බල මුලක් බැඳගෙන යනවා. එහෙනම් අපි පන් උගුලන්න යමු.

පැදුරේ කවි 

ඉර හඳ පාන විල කොතැනද තුන් හිරියා 

ඉර හද පාන විල මෙතැනයි තුන්හිරියා  

පන්නම් කරන අඟනෝ කාටත් පිරියා 

මට පැදුරකට පන් දෙනවාද තුන්හිරියා


අහුරු අල්ලමින් අගමුල තනාගෙන 

දෙපේළියේ පන් මැඳලා තබාගෙන

සිව් මුලෙන් එක් මුල්ලක් පුරාගෙන 

පැදුරක් වියමි මේ මුළු තුන් ලොව වටින

 

සිනාසිලා දත් පොඩි මැදලා රුවට 

සෙනේ සිතින් කීවේ තම හිමියාට

විලේ පන් කපති අගනො ගොස් එවිට 

මමත් බොලේ යන්නම් පන් කපන්නට

 

සත් මසකට පසු දරුවා පිළිසිඳලා 

චිත්‍ර රුවින් ළමැදේ ගෝමර ඉසිලා

ගස්සාවයි පන්විල කැපුවොත් බැසලා 

එපා යන්ඩ කී මගෙ හිමි මට බැනලා

මෙහිදී පැදුරක් වියන ආකාරය අනුකරණාත්මක ස්වරූපයෙන් නිරූපණය කර පෙන්වීමත් ඒ අනුව රංගනයේ යෙදීම මගින් ඉතා විචිත්‍ර ආකාරයෙන් අංගසම්පූර්ණ නාට්‍යමය අවස්ථාවක් නිරූපණය  කෙරේ.

කජු ඇට ගෙනෙන්නට රන්මාල නුවරට යෑම, නැකත් බැලීම, හේන් එළිපෙහෙළි කිරීම, කජු බිංදු ඉසීම, කපු නෙලීම, වේලීම, ඇට ඇරීම, වෙල්ලියෙන් කපු කිරීම, පුළුල් වියළීම, කපු කැටීම, වලු පෙට්ටියේ ඇසිරීම, රොද්දෙන් ප‍ෙලීම, අඹරා ගැනීම, ඉද්දෙන් නූල් කැටීම, වවුන්නෙන් වැක්කිරීම, කැඳ ගා වේලා මඩුලු ගැසීම, සළුව වියා ගැනීම, කැද නිල්ලා ඇවිලීම ලොවුතුරා බුදුන්ට පූජා කිරීම, බුලත් කා නැගිට යෑම වැනි අවස්ථා රාශියක් කපුවක් කංකාරිය තුළ අන්තර්ගත වේ. ශාන්තිකර්මයේ නියැළුන ශිල්පීන්ටත් එකී නිර්මාණකරණයේ යෙදුණ අපේ මුතුන් මිත්තන්ටත් මෙම කාර්යය පිළිබදව කවර නිපුණතාවක් පැවතියේ ද යන්න හඳුනා ගැනීමට මෙය කදිම අවස්ථාවකි. මෙකී කපු යක් කංකාරියේ දී පෙළපාලි විසිහතරක් අන්තර්ගත බව ජයසේන කෝට්ටේගොඩ මහතා පෙන්වා දෙයි. 

බෙන්තර පළාතේ දී කෙරෙන රට යකුමේ කංකාරි දරුනැලවිල්ල ඉදිරිපත් කරතත් මාතර රිද්දි යාගයේෙ දී දළුමුර උපත කියා දළු මුර පිදීම සිදු කරනු ලබයි. මෙය රිද්දි යාගයේ දී දක්නට ඇති විශේෂත්වයක් වන්නේ මල්මඩුව උඩ එල්ලා ඇති දළුමුර මිටිය කඩාගැනීම වරමකින් කරනු ලබන්නක් වන බැවිනි. ඉන් අනතුරුව කිසියම් ආවේගයකට පත්වන ඇදුරා දළුමුර නෙලාගැනීම කරන්නේ එකී ආවේශගත ලක්ෂණය ප්‍රදර්ශනය කරමිනි. දළුමුර නෙළා ගැනීමේ අවස්ථාව එසේ ආවේශ ස්වරූපයකින් ඉදිරිපත් කිරීමේදී ඇදුරාගේ ගත සලිතව වෙව්ලන්නට පටන් ගනියි. දෝතින් දළුමුර ගත් ඇදුරා පැදුරක දපවයි. ඔහුගේ ගත සලිත වීමේ වේගයත් දැත් දෙපා වල දරදඬු ස්වභාවයක් පහව යන්නේ කහදියර මතුරා ඉසීමෙන් එකී අවස්ථාව ස්ත්‍රියකගේ කුසෙහි දරු ගැබ් පිහිටීම සංකේත කොටසක් වන බව ඒ අවස්ථාවේදී කරනු ලබන ගායනාවන් ගෙන් පැහැදිලි වේ.

හාමිනේ අහන්නේ දරුගැබ් බිහිව එන්නෙ 

දළුමුර පුදන්නේ ගෙනා දලු මුර ඔප්පු දෙන්නෙ

දළුමුර සහ දරු ප්‍රසූතිය අතර ඇති සමාජ සම්බන්ධතාව පෙන්වා දෙන මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා සඳහන් කරන්නේ දළු මුර පිදීම අවස්ථාව දරුගැබ් පිහිටීම සංකේත කොට දක්වන බවයි.

දරු නැලවිල්ල
 
දරු නැලවිල්ල වූ කලී මෙකී ශාන්තිකර්මයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ කූටප්‍රාප්තියයි. මෙහිදී ඉදිරිපත් කරන ගායන රූපණ නර්තන හා සංවාද සියල්ලක්ම කැටි කොට ගත් කල්හි ප්‍රබල මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමක අංග ලක්ෂණයන්ගෙන් පරිපූර්ණය. දරුවන් කෙරෙහි කාන්තාවන් තුල ඇතිවන්නා වූ දැඩි ස්නේහය දරු සම්පත් පිහිටීම කෙරෙහි මානසිකව බලපාන එක් සාධකයක් ලෙස බොහෝ දෙනා පිළිගනිති. මෙහිදී කරනු ලබන්නා වූ විවිධ අවස්ථා නිරූපණයන් හා ඒ හා බැඳුණු අභිචාර විධීන් මගින් දරු සෙනෙහස ජනිත කරවීමට ප්‍රබල උත්සාහයක් ගනු ලබයි. 

"තමාට දරුඵල ලැබිය හැකිය" යන මානසික පිළිගැනීම හෝ මානසික ශක්තිය නොමැති වීමත්, දරුවන් පිලිසිද ගැනීම පිළිබඳව ඇතැම් කාන්තාවන් තුළ පවත්නා අනියත බියත් දරු පිළිසිඳ ගැනීම් වැලැක්වීම සහ ගබ්සා වීම කෙරෙහි බලපාන මානසික සාධකයන් ලෙස මනෝ වෛද්‍යවරුන් විසින් හඳුනා ගෙන තිබේ. යහපත් මානසික තත්ත්වයන් සමනය කොට දරුපල අපේක්ෂිත කාන්තාවගේ මනස ශක්තිමත් කිරීම මෙමගින් ඉටුකරනු ලබන කාර්යයකි. දරු නැළවිල්ලේදී දොඩනු ලබන ආදර වදන්, සිප ගැනීම් ආදී කොට ඇති දරු සෙනෙහස දක්වන ඉරියව් දරු සුරතල් පෙන්වීමට නෑවීම, කැවීම, පෙවීම වැනි එකී ආකෘතික දරුවා සහාය කොට කරනු ලබන්නා වූ විවිධාකාර චලන සහ ඉරියව් දරුපල අපේක්ෂිත කාන්තාව අතට එකී දඬුරුව පැවරීම වැනි අභිචාරාත්මක ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ක්‍රියාකාරකම් පෙර දැක්වූ අරමුණු ඉටුකර ගැනීමට යොදාගනු ලබන ක්‍රියාමාර්ගයන් වේ. මෙහිදී යොදා ගනු ලබන සංවාදයන්ද එකී අරමුණු සනාථ කොට දක්වයි. 

ඇඳුරා - හොඳයි ගුරුන්නාන්සේ මම එහෙනම් කිරි අම්මලා හත් දෙනෙකුට දානයක් දෙන විදියට නැද්ද ඒක නෙවෙයි ගුරුන්නාන්සේ මොකද මට මේ විදිහට එන්න කිව්වේ. මම ඔබ හොයාගෙනමයි ආවේ'.

ගුරුන්නාන්සේ - දරුවන් නැති කෙනෙකුට සෙත් කිරීමට දරුවන් ලැබුණු කෙනෙක් සෙත්පාල යෑම පරම්පරාගතව එන ක්‍රමයක් නොවැ. එදා දීපංකර බුදුන් දවසෙ පන්සීයක් කුමාරිකාවන් අතරේ දරුවන් නැති ශෝකයෙන් හිටපු වඳ බිසවුන්ට දරුවන් ඇති වුනාම වුණු විදියෙ සන්තෝෂයක් තවත් නැතැයි කියලා කියනවා. අපත් අද මේ කරන්නේ ඒකයි. ඔයි ගෙනාපු දරු පැටියා මේ ස්ත්‍රී පාත්‍රයාගේ අතට වඩම්මල තෑගිබෝග අරන් ඒ අයගේ හිත් හොඳ කරලා යන්නයි කියන්නයි මම එන්න කිව්වේ.

මෙසේ රට යකුමේදී කරනු ලබන නිරූපණයන් දරු ගැබක්ද පිළිසි ගැන්වීම සඳහාත් දාරකෝප්පත්ති පහසුව සඳහාත් ලෝකයේ වෙන නොයෙක් රටවල කරන අභිචාර කර්මවලට සමාන වූවක් බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා පෙන්වා දෙයි.  දරු නැලවිල්ලෙන් පසුව කරනු ලබන්නේ චාමර නැටීමයි.  මෙහිදී රිද්දි පිදේනිය පාවාදීමත් රොඩි බිසවුන්ගේ උපත කියා කුල්ලේ පිදේනියට අයත් වතාවත් ඉටු කිරීමත් සිදුවේ. රිද්දි බිසවුන්ට පිං පෙත් ලබා දෙන්නේ රිද්දි පිදේනිය පාවාදීම මගිනි.

මින් අනතුරුව සිදු කරන්නේ සන්නි හෝ පාලි නැටීමයි. මෙසේ නැටීමක් කළ යුතු වන්නේ අදාළ ආතුරයා කෙරෙහි එකී දෝෂ ඇත්නම් පමණක් වුවද ආතුර පක්ෂයේ අවශ්‍යතා මත පාලි නැටීම රිද්දි යාගයෙහි දී කරනු ලබන සාමාන්‍ය පෙලපාලි අංගයකි අංගයක් ලෙස අද්‍යතනයෙහි සංවිධානය වී ඇත. මෙහිදී සිදු කරනු ලබන සන්නි පිදේනි ඔප්පු දීමෙන් පසු මහ කළු කුමාර සමයම නැටීම සහ අවතාර ඉගිල්ලීම කරනු ලබයි. අවසානයේදී කළු කුමාර බලිය පාවා දී පිං බෙර ගැසීමෙන් මාතර සාම්ප්‍රදායික රිද්දි යාගය නිමාවට පත්වේ.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

Monday, February 15, 2021

තොවිලේ බලෙන් දරු ගැබකට රහස් පිළිවෙතක්.....

නානුමුරේ නොහොත් දොළහ පෙළපාලිය  

නානුමුරේ නොහොත් දොළහ පෙළපාලියේදී එකිනෙක අවස්ථා නිරූපණය සඳහා යොදා ගනු ලබන ගායනාත් එකී අනුකරණ විලාසයත් සඳහා යොදා ගෙන ඇති බෙර පද හැසිරවීමත් ඉතාම රසවත්ය. ආස්වාදජනකය. නානුමුරේ පෙළපාලියේදී යොදා ගන්නා ගායනා කිහිපයක් පහත දැක්වේ. 

ස්නානය

මල් විල දෝ සත් දෙන දිය කෙලින්නේ 

එමල් විලේ රැලි පිට වඩම වන්නේ 

උසන් ගොඩදී වද සීතල හරින්නේ 

ඉසන් ගොඩ විලේ සත් දෙන නාන්නේ

මෙහිදී විලට බැස වතුර නාන ආකාරය දිය දෙබෑකර කළයට දිය පුරවා හිසට වක් කර ගැනීම ඇඟපතේ කුණු අතුල්ලා ගැනීම සබන් ගෑම දත් මැදීම යනාදී අවස්ථා තාලානුරූපව වැයෙන බෙර පදයට අනුකූලව ඉදිරිපත් කෙරේ. මේ අතරට සංවාද කොටස් ද එක්ක කර ගනු ලබයි. 

බිසව්   :-  වතුර ටිකක් නාන්න ගත්තා ගුරුන්නාන්සේ දැන් ටිකක් සනීපයි ඔළුවේ තිබිච්ච බර ගතිය එහෙම අඩු වුණා. දැන් මොකද කරන්න ඕන. 

ඇදුරා :-  ඕයි කපුටු කූඩේ වගේ ඔලුව තියාගෙන ඉන්න බෑනේ. දැන් තියෙන්නේ ඔලුව පීරගන්න එකයි.

බිසව්  :-   පීරන්නේ මොකෙන්ද 

ඇදුරා :-  පනාවෙන්, ඒකට ඇත්දත් පනාවක් ගෙන්න ගන්න ඕනේ'. 

කෙසෙල් පතුරෙන් පනාවක ආකෘතියට සකස් කල රංග උපකරණය අතට ගෙන මුදාහල දිගු වරලස අවුල් හරිමින් පීරන ආකාරය බෙරයෙන් වන පද තාලය වලට අනුව ඉතා අලංකාර ලෙස නිරූපණය කෙරේ

මාලයට

එයත් බැලිමි ගල් ඝෝෂා දිය රැල්ලා 

මෙයත් බැලීිමි ගල් ඝෝෂා සෙවනැල්ලා 

බලා සිටි කලට ලියවැල සුදුවැල්ලා 

නායක බිසව් කර පලදින මල් තැල්ලා 

වළලුවලට

රනෙන් රන් වළලු අතලා පෙනේයා 

රනෙන් එරන් පුස්කොළ ලා දිනේයා 

ගනේ ගොඩැල්ලේ එනවා පෙනේයා

අනේ ටිකිරි කුමාරි හාමි නේයා 

සඳුන් ගෑම 

එරට එදේසේ සිට ගෙන ගෙනා සදුන් 

මැණික් ගලේ රන් මණ්ඩේ ලාපු සඳුන් 

අතුරු කපුරු පිනිදිය එක් කරපු සඳුන් 

බෙදාගෙන ගති සත්දෙන සුවඳ සඳුන්

අඳුන් ගෑම 

පුස්ඹ  තල තෙලෙන් ගල්වා ගෙනා අඳුන් 

මැණික් ගලේ රන් මන්ඩේ ලාපු අඳුන් 

බලා කැඩපතින් නෙත් වල ගාන අඳුන් 

බෙදාගෙන ගාති සත්දෙන සුවඳ අඳුන්

බුලත් (දළුමුර) 

ගොසින් ගෙනාවා සත් මුහුදින් එතෙර 

කපුරු හා බුලත් පිනි දියර එක් කර 

ගනරන් බබුළුවා නානුමුර කර 

උසන්ගොඩ බිසව් මේ වඩන දළුමුර

කැඩපත් 

මුනි සිට මෙලා ගයට වඩින්නේ 

මැණික් කැඩපතක් අරගෙන බලන්නේ 

අනික් තැනෙක නොගොසින් වද සිටින්නේ 

මැණික් නන් ලැබූ බිසවුනි වඩින්නේ

පෙළපාලියකින් අනෙක් පෙළපාලියට වෙනස් වීමේ දී ඊට අදාළ සංවාද කොටස් මගින් පූර්ව හැඟවීමක් කරනු ලබයි.

හිසපීරීම 

වනේ ගජන් අල්ලා ගෙන මැරුවා 

එරන් කියත් ගෙන්නා දළ කැපුවා 

ගජතුන්ගෙන් මහතුන්ගෙන් ගෙන්නාවා 

ඉසන්ගොඩ බිසව් පීරන පනාවා

හවරියට 

ඇයි සවරිය පීරා සුරතට ගන්නේ 

මල් ඔසරිය ලෙස කරවට පළදින්නේ 

තෙල් ගාලා වරලස පීරා ගන්නේ 

මල් මඳ අනඟ සොඳ නායක බිසවුන්නේ

තෙල්වලට 

ඉඳගෙන යහන පිට වැඩ ඉඳගෙන සොඳට 

එරන් කුට්ටි සහසක් ගෙන්නා ලඟට 

වරන් ලබා සැම දෙවියෝ රැස්ව සිට 

අරන් තෙල් ගාපි හිස රැළි මැකෙන්නට  

කූරුවලට 

එරන් කූරු ගෙන දකුණුට සැරසෙන්නේ 

වරන් ලබා සැම දෙවියෝ රැස් වෙන්නේ 

වරන් ලැබ මෙලොව සතදුක් මුදන්නේ 

එරන් මල් බිසව් කුරුයි පලඳින්නේ

තෝඩුවලට 

පායන සඳට ඔපවන රුසිරෙන් ජෝඩු 

ආරණ සිනිදු තෙද රැස් ගලනා තෝඩු 

පුන්සඳ සේම තෙද රැස් බලනා තෝඩු 

නායක බිසව් කර ලන්නේ රන් තෝඩු‍ෙ

මොට්ටැක්කිලි 

ඉසේ දමන මොට්ටැක්කිලි රනින් නිතින් 

මූණ බලන කැඩපතකුත් අරන් අතින් 

අපේ මෙදුක් සැළ කරනුව එතැන ගොසින් 

අසව් නඩු බලන ගිනි ජල් බිසෝ අතින්

නානුමුර මංගල්‍යය අවසානයේදී උනුනු පියන අතට ගන්නා ඇදුරා රිද්දි බිසව්ගේ නාමයෙන් ආතුරයාට සෙත් කරයි. ඉන් අනතුරුව ආරම්භ කරනුයේ කපු යක් කංකාරියයි.මෙකී නානුමුර නාට්‍යමය අංගය තුලින් එහි ආතුරයා මෙන්ම ප්‍රේක්ෂක පිරිස නැතහොත් සහභාගී වන්නන්හට යටි අරුතින් පණිවිඩයක් ගෙන එයි. එනම් දරු ගැබක් ඇතිවීමට අප්‍රසන්න ස්වභාවයක් නොවී නා පිරිසිදුව ප්‍රසන්න අයුරින් සිටිය යුතු බව හා ඒ පිළිබඳ කැමැත්තක් සිතෙහි රඳවා තබා ගත යුතුය යන්නයි. හාස්‍යජනකව මෙය ඉදිරිපත් කරන අතරම ආතුර හා ප්‍රේක්ෂක සිත් සමතයකට පත්ව තබයි. දරුවන් පිළිසිඳ ගැනීමක් සැමට සිදුනොවන බවට බියක් ඇති නොකොට ඒ සඳහා මූලික පිළිවෙත සිත් තුලට කාවද්දවයි.








(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

Monday, February 8, 2021

රිද්දියාගයේ පූජා විධික්‍රමය (දෙවැනි කොටස)

බෙන්තොට සම්ප්‍රදායට අනුව ශාන්තිකර්මය ආරම්භ කරන්නේ මල් යහන් වල පහන් දල්වා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුන්ට මල් යහනට වඩින්න ආරාධනා කොට මල් යහන් නැටීමෙනි. ඉන් අනතුරුව සිදුවන්නේ හැන්දෑ යාමයට පුද ලබන  කලු යකා, රීරි යකා, සූනියම් යකා සහ සන්නි යකුන් වෙනුවෙන් දොළ පුද කැප කර දීමයි. මෙහිදී පිදේනි වලට අයත් දිෂ්ටි, මන්තර, යාදිනි, උපත් කවි ආදිය කියා යකුන්ට අට කොනින් අඩ ගැසීම සිරිතයි. 

"තවද කළුනික කන්දේ කළුනික කෝවිලේ කළු මානෙල් මලේ මුදුන් මල් රේණුවේ වැඩ වාසය කරන්නාවූ සිද්ධ සීමා කළු යක්ෂණියගේ නාමයට මෙවැනි ආතුරෙන් වෙනුවෙන් සුදු හාලේ බතක් ඇතුව සත් මාළු හතක් ඇතුව....."

අටකොන තුන් මන්සල් වල වාසය කර සිට තැනි තැන 

තුට වඩවන බොජුන් සරා ඔබ හට පුද දෙමි සතොසින 

අටවිසි මුනිඳුන් බලයෙන් සලසා දෙන පුද භෝජන 

අටකොන නොසිටම යකු මෙපුද බලා එන් විගසින 

මාතර රිද්දියාගය ආරම්භ කරන්නේ සූනියම් දෙවියන්ට වීදියට ආරාධනා කර ආතුර හා යකැදුරු දෙපක්ෂය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලීමෙනි.

රහසිගත පුලිගුවක් දකුණුතට වඩින කඩුවක් 

මුඛය ලේ පොළඟෙකු ගත් සිරස සැඩපලු පසින්  

නැගී තුරග වාහනේ ඔඩ්ඩි සූනියම් දේවතා දැන් 

මම දෙන පුද නරඹා එන් දිවස් ලා සැනකින්

ඉන් අනතුරුව සැන්ඳෑ සමයමේ පුද ලබන කළු යකා, තොටුපල, රීරි යකා, සූනියම් යකා, බිල්ලේ යකා වෙත හැන්දෑ පිදේනි කැප කරදී මේ සමගම කුමාර පිදේනිය ද කැප කර දුම්මල කීල ගසා කඩතුරා ඉවත් කර කුමාර සමයම නටනු ලැබේ. මාතර ප්‍රදේශයේ දී පුද ලබන බිල්ලේ යකා බෙන්තර සම්ප්‍රදායේ දී යොදා ගනු නොලබන අතර ඒ වෙනුවට සන්නි යකා යොදා ගනු ලබයි. කුමාර සමයම නැටීමෙන් අනතුරුව සිදු කරන්නේ කුමාර පිදේනිය ආතුරයාගේ හිස මතින් වඩා කුමාර වීදිය වෙත ගෙන යෑමයි. මෙය වඩම්මනු ලබන්නේ උඩුවියන් සහිත පෙරහැරකිනි. මෙය සම්ප්‍රදායන් දෙකෙහිම අනුගමනය කරන පොදු පිළිවෙතකි. මෙකී පිදේනිය මඟුල් බෙර වාදනය සහිතව කුමාර වීදිය මුදුන්නෙහි ඇති රුක් අත්තන කරුවක තබයි. බෙන්තර ප්‍රදේශයේ දී ආතුරයා වෙනුවෙන් කළ කලස පොළොවේ ගසා බිඳීම කරනු ලබන්නේ මෙම අවස්ථාවේදීය. මින් අනතුරුව හත් පද නැටීම මාතර සාම්ප්‍රදායික රිද්දියාගයේ අනුපිළිවෙලයි. මල් පද, කුකුළු පද, අයිල පද නැටීම කර හැන්දෑ යකුන්ගේ පිදවිලි වල කවි කියා පිදවිලි පාවාදීම කරනු ලබයි. මරුරීරි යක්ෂයා හෙවත් මරුවාට පුද දෙන පැදුරේ දැපවිල්ල කරනු ලබන්නේ ඉන් අනතුරුවයි. අභිචාරමය ලක්ෂණ ඉස්මතු කොට දැක්වෙන මෙකී නර්තනාංගය සම්ප්‍රදායන් දෙකෙහිම දක්නට ඇත. 

මහ සමයම නැතහොත් රිද්දි සමයම නැටීම මීළඟට යෙදෙන පූජා විධි රටාවයි. තොරණ විස්තරය හා එක් තිස් පද පෙළපාලි වලට අයත් ගායනාවන් ඉදිරිපත් කරන ඇදුරෝ විලක්කු ගසති. අනතුරුව වියන් රෙද්ද ගෙන බණ ගසා වියන් රෙද්ද කරකැවීම කර එය මල්මඩුව උඩින් දමා දුම්මල කීල ගසනු ලබයි. මෙහිදී ගිනි සිසිල නැටීම සම්ප්‍රදායන් දෙකෙහිම පවත්වනු ලබන පූජා චාරිත්‍රයකි. මෙම අවස්ථාවේදී පිට වීදි කැප කිරීමද සිදු කරනු ලබයි.දුම්මල කීල ගැසීමෙන් සංකේතවත් කරනුයේ මහමේරු පර්වතයේ ගින්නෙන් රිද්දි බිසෝවරුන් උපන් ආකාරය සංකේතවත් කිරීමයි. මහසමයන් පෙළපාලියට අයත් නර්තනාංග සහ ගායනා ගණනාවකි. දුම්මල කන්නලව්ව හා දුම්මල පද නැටීම, විලක්කු පද, මහා කවි තාලය, ඊ ගහේ පද, බට ගහේ පද, වටයක් පද එහි ප්‍රමුඛත්වයක් හිමි කර ගනී.

මින් අනතුරුව යෙදෙන හීන්තාලම් නැටීමේදී කලාසම් පද, මල් පද, දේව පද සහ පස්ගම යකුන්ගේ පද නැටීම සිදුකෙරේ. බෙන්තර සම්ප්‍රදාය අනුව මහ සමයම නැටීමෙන් පසුව මල්ලව අඩව්ව නටා නව මාලේ පිදෙන්න ඔප්පු කිරීමත් චාමර පද නටා දොළහ පෙළපාලිය වැටීමත් කරනු ලැබේ. නානුමුරය, කපු උපත, දරුනැලවිල්ල ආදී නාට්‍යමය පෙළපාලි කරනු ලබන්නේ මෙකී දොළහ පෙළපාලි අවස්ථාවේදීය. දොළහ පෙළපාලිය නැටීමෙන් පසු කලු කුමාර සමයම නටා කළු කුමාර පිදේනිය ඔප්පු කරති. කලස පොළොවේ ගසා පොඩි කර කලු කුමාර බලිය පාවා දී පිං බෙර ගසා සෙත් කර ආරක්ෂා කර ශාන්තිකර්මයෙහි වැඩ කටයුතු අවසන් කෙරේ.

මාතර සම්ප්‍රදායේ දී හීන්තාලමෙන් පසුව කහ දියර කලස, දළුමුර, තැඹිලි, දුම්මල ආදී කොට ඇති හත්පද පෙලපාලි දක්වා කොතලෙ නැටවීම ආරම්භ කරනු ලබයි. කොතලය හා සම්බන්ධ ගායනාවල දී විස්තර කරනු ලබන්නේ රිද්දි බිසවුන්ගේ උත්පත්ති කථාවයි. මින් අනතුරුව කරනු ලබන්නේ නව මාලේ පිදේනිය හෙවත් මල් බලිය පාවා දීමයි. මෙහිදී නව මාලයට අයත් ගායනාවන් පවත්වා නව මාලේ පුද දීම පවත්වනු ලැබේ.නව මාලය පාවාදීමෙන් පසුව ඉටු කරනු ලබන අනෙක් චාරිත්‍රය වන්නේ උනුනු පියන කැප කර තොරණ හතෙන් අවසර ගෙන රිද්දි බිසවුන්ට ආරාධනා කිරීමයි. රිද්දි බිසවුන්ට ආරාධනා කිරීමෙන් අනතුරුව නානුමුරය නම් වූ රිද්දි යාගයේ විශේෂිත නාට්‍යමය අංගය ලෙස සලකන නානුමුර නැටුම ආරම්භ කරනු ලබයි. එහිදී රිද්දි බිසව් ලෙස ස්ත්‍රී විලාශයෙන් සැරසී සිටින ඇදුරා කවියෙන්, සංවාදයෙන් මෙන්ම ඉඟි, අනුකරණ හා ප්‍රකාශන මාධ්‍යයෙන් නානු ගෑම, හවරිය පැළඳීම, කූරු පැළඳීම, තෝඩු පැලදීම, වළලු පැලඳීම, තැල්ල පැලදීම, අඳුන් ගෑම, සදුන් ගෑම, දළුමුර කෑම, මොට්ටැක්කිලි පැළඳීම, කැඩපතින් මුහුණ බැලීම වැනි නානුමුර මංගල්‍යය සඳහා යොදාගනු ලබන පෙළපාලි අංග ඉදිරිපත් කරනු ලැබේ. 

බෙන්තර දොළහ පෙළපාලිය සහ මාතර නානුමුර පෙළපාලිය අතර ඇති ප්‍රධාන වෙනස්කම වන්නේ බෙන්තර දී එය පෙළපාලි දොළහකට පමණක් සීමා කර තිබීමත් මාතර ශෛලියේ දී එය අංග පහළොවක් දක්වා විකාශනය වී තිබීමත්ය. හාස්‍ය උත්පාදන නාට්‍යමය අංගයක් ලෙස එන මෙම නානුමුරය සමග තවත් සටහනකින් හමුවෙමු.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය



 

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...