Thursday, March 18, 2021

මහසොහොන් සමයමේ සැරසිලි

මහසොහොන් සමයම සඳහා යොදා ගන්නා සැරසිලි අතර ප්‍රධානත්වයක් ගනු ලබන්නේ පංච මැස්ස හෙවත් මහසොන් වීදියයි. එකී පංච මැස්ස අයිල හතරක් තොරණ හතරක් සහ දොරටු හතරකින් යුක්තව සැරසීම සාම්ප්‍රදායික පිළිවෙලයි. මෙකී සැරසිල්ල නැතහොත් මල්මඩුව සැරසීමට පෙර සඳුන් කිරි පැන් ඉස බිම පිරිසුදු කර ගැනීම කළ යුතුය. ගැබ් 64 කින් යුක්ත වන ලෙස සකස් කරන මෙම සැරසිල්ලෙහි මුළු තොරණ සතර , සතරවරම් දෙවියන්ටද, අයිල සතර සොහොන් අට දෙනාට ද (මහසොහොන් , අමුසොහොන්, ලේ සොහොන් , ජය සොහොන් , මිනී සොහොන් , කඩවර සොහොන් , ගොපලු සොහොන් , පූළුටු සෙහොන්) මැද මංගර දෙවියන්ටද පුද කෙරේ.එහි මංග්‍ර හැලිය එල්ලා තබනු ලැබේ. එහි මංගර දෙවියන් වෙනුවෙන් පූජා භාණ්ඩ ඇතුළත්ය. මහ සොහොන් වීදියට අමතරව එක් පසෙකින් සූනියම් වීදියක් නැතහොත් පිල්ලු වීදීයක් ඉදි කරනු ලැබේ. මෙකී සැරසිල්ල අනෙකුත් යක්තොවිල් වලදී මෙන් සූනියම් දේවතාවුන්ට ආරාධනා කිරීම සඳහා යොදා ගැනේ. රිද්දි යාගයේදී මෙන් මිනිස් කරවටක් පමණ උසට සකස් කරගනු ලබන කත්තිරික්ක හතරක් ද මෙකී සැරසිලි වලට අයත් ය. මින් එක් කත්තිරික්කයක් කළු කොඩියකින් සහ මල්වඩම සැරසීමට ඇතැම් ඇදුරෝ පුරුදුව සිටිති. මිනී පෙට්ටියක ආකාරයෙන් සකස් කරන ලද අවමංගල්‍ය පිදේන්න මහසොහොන් සමයමේ යාගයට අයත් විශේෂ සැරසිල්ලකි. මෙහිදී නව පොළකට පිදිය හැකි අයිල නවයකින් යුක්ත වන ආකාරයෙන් මෙකී සැරසිල්ල සකසා ඇත. දරහැව සැරසිල්ල කෙසෙල් කඳන් දෙකකට ශක්තිමත් ලී යොදා අමුණා ගොක් තෝඩු යෙදීමෙන් සකස් කර ගන්නා ලද්දකි. මීට අමතර වශයෙන් කපාල කූඩුවක් ද 18 පාලි තොරණක් ද මෙකී සැරසිලි වලට අයත්ය. මෙකී සැරසිලිවලට අමතර වශයෙන් ප්‍රේත තටුවක් හා මල් බුලත් තටුවක් ද ඉදිකෙර්. 

මහසොහොන් සමයෙහි සැරසිලි අතරින් විශේෂ සැලකිල්ලක් වන්නේ මහසොහොන් බලියයි. ඒ සඳහා සකස් කළ බලි මස මත වලස් මුහුණකින් යුක්ත මෙකී බලිය නිර්මාණය කර වර්ණ ගන්වනු ලැබේ. ගලා බසින ඇලක දොලක ගංගාවක මිනිස් හිසට උඩින් සිටින සේ පොල් පරාල වැනි ශක්තිමත් ලී යොදා පරාලයක් බැඳීම මෙහිදී කරනු ලබන තවත් කටයුත්තකි. මෙකී යාගයේ දී යොදා ගනු ලබන රංග උපකරණ හා රංග භාණ්ඩ රාශියකි. කුඩය, කොඩිය, සේසත, වීණාව, කඩිප්පු, දවුල, තල්පත, හොරණෑව, කොම්බුව, ඇත් හිස, මී මගේ හිස යනාදී වූ එකී රංග භාණ්ඩ ගොක්කොල, කෙසෙල් පතුරු, කෙසෙල් බඩ, ඉරටු ආදිය යොදාගෙන සකස් කරනු ලබන්නකි. මෙකී සැරසිලි කලාකරුවන්ගෙන් නිර්මාණාත්මක හැකියාව පැහැදිලි කරන අපූර්වතම නිර්මාණයන් ය.






(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)
මහසොහොන් සමයමේ වගතුග පෙර ලිපියකි බලන්න.

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

 

 

6 comments:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...