Monday, February 8, 2021

රිද්දියාගයේ පූජා විධික්‍රමය (දෙවැනි කොටස)

බෙන්තොට සම්ප්‍රදායට අනුව ශාන්තිකර්මය ආරම්භ කරන්නේ මල් යහන් වල පහන් දල්වා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුන්ට මල් යහනට වඩින්න ආරාධනා කොට මල් යහන් නැටීමෙනි. ඉන් අනතුරුව සිදුවන්නේ හැන්දෑ යාමයට පුද ලබන  කලු යකා, රීරි යකා, සූනියම් යකා සහ සන්නි යකුන් වෙනුවෙන් දොළ පුද කැප කර දීමයි. මෙහිදී පිදේනි වලට අයත් දිෂ්ටි, මන්තර, යාදිනි, උපත් කවි ආදිය කියා යකුන්ට අට කොනින් අඩ ගැසීම සිරිතයි. 

"තවද කළුනික කන්දේ කළුනික කෝවිලේ කළු මානෙල් මලේ මුදුන් මල් රේණුවේ වැඩ වාසය කරන්නාවූ සිද්ධ සීමා කළු යක්ෂණියගේ නාමයට මෙවැනි ආතුරෙන් වෙනුවෙන් සුදු හාලේ බතක් ඇතුව සත් මාළු හතක් ඇතුව....."

අටකොන තුන් මන්සල් වල වාසය කර සිට තැනි තැන 

තුට වඩවන බොජුන් සරා ඔබ හට පුද දෙමි සතොසින 

අටවිසි මුනිඳුන් බලයෙන් සලසා දෙන පුද භෝජන 

අටකොන නොසිටම යකු මෙපුද බලා එන් විගසින 

මාතර රිද්දියාගය ආරම්භ කරන්නේ සූනියම් දෙවියන්ට වීදියට ආරාධනා කර ආතුර හා යකැදුරු දෙපක්ෂය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලීමෙනි.

රහසිගත පුලිගුවක් දකුණුතට වඩින කඩුවක් 

මුඛය ලේ පොළඟෙකු ගත් සිරස සැඩපලු පසින්  

නැගී තුරග වාහනේ ඔඩ්ඩි සූනියම් දේවතා දැන් 

මම දෙන පුද නරඹා එන් දිවස් ලා සැනකින්

ඉන් අනතුරුව සැන්ඳෑ සමයමේ පුද ලබන කළු යකා, තොටුපල, රීරි යකා, සූනියම් යකා, බිල්ලේ යකා වෙත හැන්දෑ පිදේනි කැප කරදී මේ සමගම කුමාර පිදේනිය ද කැප කර දුම්මල කීල ගසා කඩතුරා ඉවත් කර කුමාර සමයම නටනු ලැබේ. මාතර ප්‍රදේශයේ දී පුද ලබන බිල්ලේ යකා බෙන්තර සම්ප්‍රදායේ දී යොදා ගනු නොලබන අතර ඒ වෙනුවට සන්නි යකා යොදා ගනු ලබයි. කුමාර සමයම නැටීමෙන් අනතුරුව සිදු කරන්නේ කුමාර පිදේනිය ආතුරයාගේ හිස මතින් වඩා කුමාර වීදිය වෙත ගෙන යෑමයි. මෙය වඩම්මනු ලබන්නේ උඩුවියන් සහිත පෙරහැරකිනි. මෙය සම්ප්‍රදායන් දෙකෙහිම අනුගමනය කරන පොදු පිළිවෙතකි. මෙකී පිදේනිය මඟුල් බෙර වාදනය සහිතව කුමාර වීදිය මුදුන්නෙහි ඇති රුක් අත්තන කරුවක තබයි. බෙන්තර ප්‍රදේශයේ දී ආතුරයා වෙනුවෙන් කළ කලස පොළොවේ ගසා බිඳීම කරනු ලබන්නේ මෙම අවස්ථාවේදීය. මින් අනතුරුව හත් පද නැටීම මාතර සාම්ප්‍රදායික රිද්දියාගයේ අනුපිළිවෙලයි. මල් පද, කුකුළු පද, අයිල පද නැටීම කර හැන්දෑ යකුන්ගේ පිදවිලි වල කවි කියා පිදවිලි පාවාදීම කරනු ලබයි. මරුරීරි යක්ෂයා හෙවත් මරුවාට පුද දෙන පැදුරේ දැපවිල්ල කරනු ලබන්නේ ඉන් අනතුරුවයි. අභිචාරමය ලක්ෂණ ඉස්මතු කොට දැක්වෙන මෙකී නර්තනාංගය සම්ප්‍රදායන් දෙකෙහිම දක්නට ඇත. 

මහ සමයම නැතහොත් රිද්දි සමයම නැටීම මීළඟට යෙදෙන පූජා විධි රටාවයි. තොරණ විස්තරය හා එක් තිස් පද පෙළපාලි වලට අයත් ගායනාවන් ඉදිරිපත් කරන ඇදුරෝ විලක්කු ගසති. අනතුරුව වියන් රෙද්ද ගෙන බණ ගසා වියන් රෙද්ද කරකැවීම කර එය මල්මඩුව උඩින් දමා දුම්මල කීල ගසනු ලබයි. මෙහිදී ගිනි සිසිල නැටීම සම්ප්‍රදායන් දෙකෙහිම පවත්වනු ලබන පූජා චාරිත්‍රයකි. මෙම අවස්ථාවේදී පිට වීදි කැප කිරීමද සිදු කරනු ලබයි.දුම්මල කීල ගැසීමෙන් සංකේතවත් කරනුයේ මහමේරු පර්වතයේ ගින්නෙන් රිද්දි බිසෝවරුන් උපන් ආකාරය සංකේතවත් කිරීමයි. මහසමයන් පෙළපාලියට අයත් නර්තනාංග සහ ගායනා ගණනාවකි. දුම්මල කන්නලව්ව හා දුම්මල පද නැටීම, විලක්කු පද, මහා කවි තාලය, ඊ ගහේ පද, බට ගහේ පද, වටයක් පද එහි ප්‍රමුඛත්වයක් හිමි කර ගනී.

මින් අනතුරුව යෙදෙන හීන්තාලම් නැටීමේදී කලාසම් පද, මල් පද, දේව පද සහ පස්ගම යකුන්ගේ පද නැටීම සිදුකෙරේ. බෙන්තර සම්ප්‍රදාය අනුව මහ සමයම නැටීමෙන් පසුව මල්ලව අඩව්ව නටා නව මාලේ පිදෙන්න ඔප්පු කිරීමත් චාමර පද නටා දොළහ පෙළපාලිය වැටීමත් කරනු ලැබේ. නානුමුරය, කපු උපත, දරුනැලවිල්ල ආදී නාට්‍යමය පෙළපාලි කරනු ලබන්නේ මෙකී දොළහ පෙළපාලි අවස්ථාවේදීය. දොළහ පෙළපාලිය නැටීමෙන් පසු කලු කුමාර සමයම නටා කළු කුමාර පිදේනිය ඔප්පු කරති. කලස පොළොවේ ගසා පොඩි කර කලු කුමාර බලිය පාවා දී පිං බෙර ගසා සෙත් කර ආරක්ෂා කර ශාන්තිකර්මයෙහි වැඩ කටයුතු අවසන් කෙරේ.

මාතර සම්ප්‍රදායේ දී හීන්තාලමෙන් පසුව කහ දියර කලස, දළුමුර, තැඹිලි, දුම්මල ආදී කොට ඇති හත්පද පෙලපාලි දක්වා කොතලෙ නැටවීම ආරම්භ කරනු ලබයි. කොතලය හා සම්බන්ධ ගායනාවල දී විස්තර කරනු ලබන්නේ රිද්දි බිසවුන්ගේ උත්පත්ති කථාවයි. මින් අනතුරුව කරනු ලබන්නේ නව මාලේ පිදේනිය හෙවත් මල් බලිය පාවා දීමයි. මෙහිදී නව මාලයට අයත් ගායනාවන් පවත්වා නව මාලේ පුද දීම පවත්වනු ලැබේ.නව මාලය පාවාදීමෙන් පසුව ඉටු කරනු ලබන අනෙක් චාරිත්‍රය වන්නේ උනුනු පියන කැප කර තොරණ හතෙන් අවසර ගෙන රිද්දි බිසවුන්ට ආරාධනා කිරීමයි. රිද්දි බිසවුන්ට ආරාධනා කිරීමෙන් අනතුරුව නානුමුරය නම් වූ රිද්දි යාගයේ විශේෂිත නාට්‍යමය අංගය ලෙස සලකන නානුමුර නැටුම ආරම්භ කරනු ලබයි. එහිදී රිද්දි බිසව් ලෙස ස්ත්‍රී විලාශයෙන් සැරසී සිටින ඇදුරා කවියෙන්, සංවාදයෙන් මෙන්ම ඉඟි, අනුකරණ හා ප්‍රකාශන මාධ්‍යයෙන් නානු ගෑම, හවරිය පැළඳීම, කූරු පැළඳීම, තෝඩු පැලදීම, වළලු පැලඳීම, තැල්ල පැලදීම, අඳුන් ගෑම, සදුන් ගෑම, දළුමුර කෑම, මොට්ටැක්කිලි පැළඳීම, කැඩපතින් මුහුණ බැලීම වැනි නානුමුර මංගල්‍යය සඳහා යොදාගනු ලබන පෙළපාලි අංග ඉදිරිපත් කරනු ලැබේ. 

බෙන්තර දොළහ පෙළපාලිය සහ මාතර නානුමුර පෙළපාලිය අතර ඇති ප්‍රධාන වෙනස්කම වන්නේ බෙන්තර දී එය පෙළපාලි දොළහකට පමණක් සීමා කර තිබීමත් මාතර ශෛලියේ දී එය අංග පහළොවක් දක්වා විකාශනය වී තිබීමත්ය. හාස්‍ය උත්පාදන නාට්‍යමය අංගයක් ලෙස එන මෙම නානුමුරය සමග තවත් සටහනකින් හමුවෙමු.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය



 

9 comments:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...