Friday, February 5, 2021

රිද්දියාගයේ පූජා විධික්‍රමය (පළමු කොටස)

රට යකුම් නොහොත් රිද්දියාගය දී පුද ලබන අවශේෂ යක්ෂ කොට්ඨාශ ගණනාවක් ද ඇත. අනෙකුත් පහතරට ශාන්තිකර්මවලදී පුද ලබන රීරි යකා, මහසොහොන් යක්ෂයා, තොට යකා, සූනියම් යකුන් වැනි යකුන් ද බිල්ලේ යකා වැනි ඇතැම් ප්‍රාදේශීය ව්‍යවහාර අනුව පුද ලබන යක්ෂ යක්ෂනියන්ද රට යකුම හා සම්බන්ධ වේ. මීට පෙර සදහන් කලාක් මෙන් ප්‍රාදේශීය විෂමතාවයන් හා ගුරුකුල ප්‍රභේද කොටගෙන බෙන්තර සහ මාතර යන ප්‍රභේදයන් දෙකෙහි පුද ලබන්නා වූ යක්ෂ යක්ෂණියන් ද සැරසිලි ක්‍රම හා ඒ හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍රයන්ගේ අනුපිළිවෙලහිද සමානාත්මතාවක් දක්නට නැත. බෙන්තර සම්ප්‍රදාය රට යකුමේ එන දොළහ පෙළපාලිය යනුවෙන් හැඳින්වෙන නර්තනාංගය මාතර සම්ප්‍රදායික රිද්දි යාගයේ දී හඳුන්වන්නේ නානුමුරය වශයෙනි. මාතර සම්ප්‍රදායේ දී ප්‍රධාන යක්ෂයෙකු ලෙස සලකා බිල්ලේ යකාට පිදවිලි දෙතත් බෙන්තර සම්ප්‍රදායේ දී එවැනි යක්ෂයකු පිළිබඳව තොරතුරු සඳහන් නොවේ. මාතර සම්ප්‍රදායේ විශේෂ අභිචාරමය අංගයක් ලෙස සලකා බිසවුන් සඳහා වෙන්කර දෙන පිදෙන්න බෙන්තර සම්ප්‍රදායේ දී දෙවොල් කුරුම්බර පිදේනිය කැප කිරීම සහ කුමාර සමයම නැටීම කරන ලබන නමුත් මාතර රිද්දි පිදේනිය කැප කර දීම සහ කුල්ලේ පිදේනිය ඔප්පු කිරීම දක්නට ඇත. සම්ප්‍රදායන් දෙක අතරෙහි කැපී පෙනෙන ප්‍රධාන වෙනස්කම ලෙස සැලකිය හැක්කේ මාතර සම්ප්‍රදායේ දී සන්නි පිදේනි ඔප්පු කිරීම, පාවාදීම සහ සන්නි නැටීම ශාන්තිකර්මයේ අවසාන භාගයේ දී ඊට අදාළ විශේෂ යාතුකර්ම අංගයක් ලෙස සලකා පවත්වනු ලැබීමයි. බෙන්තර සම්ප්‍රදායේ එසේ සන්නි සහ පාලි නැටීමක් කරනු නොලබයි. මෙසේ අවසාන භාගයේ දී කරනු ලබන සන්නි සහ පාලි නැටීම් එකී ශාන්තිකර්මයට මෑතකදී එකතු වූ අංගයක් ලෙස ඇතැමුන් සලකති. කෙසේ වෙතත් අධ්‍යතනයේ දී එය මාතර සාම්ප්‍රදායික රිද්දි යාගයේ අනිවාර්ය අංගයක් බවට පත්වී ඇත. 

රට යකුම නොහොත් රිද්දි යාගයෙහි දී උක්ත සම්ප්‍රදායන් දෙකෙහි ඉදිරිපත් වනු ලබන ගායනාවන් අතර ද ඇතැම් පරස්පරතා අසමානතා දක්නට ඇත. මාතර සම්ප්‍රදායෙහි දී විශේෂ අවධානයක් දක්වා ගායනය කරනු ලබන රට යකුන්ගේ උප්පත්ති කතාව අන්තර්ගත රන්ගිරි කූඨයේ කවි වලට බෙන්තර සම්ප්‍රදායේ දී එතරම් අවධානයක් දක්වා නැත. රට යකුම් යාගයේ සැරසිලි කලාවන්හි දීද බෙන්තර සහ මාතර පළාත්හි සම්ප්‍රදායන් තුළ ඇති ඇතැම් වෙනස්කම් පැහැදිලිවම ප්‍රදර්ශනය වෙයි. මෙකී ශාන්තිකර්මයෙහි ප්‍රධාන වීදි මණ්ඩපය ලෙස හැඳින්විය හැක්කේ මල් මඩුවයි. භාවිතයේ පහසුව සඳහා මල් මඩුව යන පදය ව්‍යවහාරයෙහි යෙදුන ද මෙකී සැරසිල්ල හඳුන්වන නාමය වන්නේ "නව මල් පාය" යන්නයි. රට යකුම් වීදිය ලෙස බෙන්තර පළාතේද රිද්දි යාග මණ්ඩපය ලෙස මාතර පළාතේද හඳුන්වන සැරසිල්ල තොරණ හතකින් යුක්තය. එකී තොරණ හත රිද්දි බිසව් හත් දෙනා වෙනුවෙනි. එකී සැරසිල්ලෙහි මුදුන් තොරණ ඉදිකර ඇත්තේ රිද්දි බිසව් සත්දෙනා අතර නායක බිසව් ලෙස සලකනු ලබන මුදුන් මාල බිසවුන් වෙනුවෙනි. ඒ නිසා කත්තිරික්ක හතරක් හා සූනියම් දේවතාවා වෙනුවෙන් සූනියම් වීදිය නොහොත් පිල්ලු වීදියක් ද මාතර සම්ප්‍රදායට අනුව ඉදි කරනු ලබයි. බෙන්තර ප්‍රදේශයේ දී හැන්දෑ පිදේනි තැබීම සඳහා පිදේනි මැස්සක් ද, දෙවියන්ගේ කටයුතු සඳහා දේව යහනක් ද සැකසීම සාමාන්‍ය සිරිතයි. අලුයම යාමයේදී පුද ලබන සන්නි යකා වෙනුවෙන් කපාල කූඩුවක්, දහඅට පාලි තොරණද, ආතුරයාගේ රෝග ලක්ෂණ අනුව දරහැවක් ද, ප්‍රේත තටුව ද කුමාර සමයම සඳහා අවශ්‍ය වීදි මණ්ඩපයක් ද සකස් කරනු ලබයි. වට කුමාර වීදිය ලෙස හඳුන්වන්නේ කුමාර සමයම සඳහා ඉදිකරනු ලබන එකී මණ්ඩපයයි. නෑඹිලියක සකසන කුමාර පිදේනිය ද, රීරි හැලිය සමඟ සකසන රීරි පිදේනිය ද, සන්නි කළු කුමාර පිදේනියත් මල් බුලත් තටුව සහ උනුනු පියනත්, නව ගැබේ මල් බලියත් අවශේෂ සැරසිලිවලට අයත්ය. රට යකුම් යාගය තරම් රංග භාණ්ඩ නොහොත් රංග උපකරණ භාවිතයට ගන්නා වෙනත් පහතරට ශාන්තිකර්මයක් නොමැති තරම්ය. නානුමුර නැටුමේදී යොදා ගන්නා විවිධ උපකරණ කපු යක් කංකාරියේ දී එකී අවස්ථා පැහැදිලි කිරීමට උපයෝගි කොට ගන්නා කපු ගස, කපු කටින යන්ත්‍රය, ඉද්ද, රොද්ද, වලුපත, වෙල්ලි, නඩාව, නඩාව, වලුකුරු, වවුන්න ආදී රංග භාණ්ඩ සියල්ලම පාහේ කෙසෙල් බඩයෙන්, කෙසෙල් පතුරෙන් සහ ගොක්කොලයෙන් නිර්මාණය කරගන්නා ලද ඉතාම අලංකාර කලාත්මක නිර්මාණයන් වේ. සාම්ප්‍රදායික චිත්‍ර කලාව සහ මූර්ති කලාවේ දක්ෂතාවය පිලිබිඹු කරන කලු කුමාර බලිය රිද්දියාගයහි සැරසිලි අතර දක්නට ඇති කලාත්මක නිර්මාණයකි. මෙකී ශාන්තිකර්මයන්හි පුද පූජා රටාව ද එකී ප්‍රාදේශීය ව්‍යවහාරයන් අනුව පැවතගෙන එන අනන්‍යතා ලක්ෂණ වලින් යුක්තය.

බෙන්තර පළාතේ දී කතක් ගැබ්බර වීමෙන් පසු ඇගේ ස්වාමි පුරුෂයා විසින් කලසක් වෙන්කර තැබීම මගින් රට යකුම් යාගයක් සිදුකරන බවට පොරොන්දුවක් හෙවත් ඇපයක් වීම සිරිතකි. මෙකී කලස වෙන් කිරීමේ දී ඒ සඳහා සුදුසු යකැදුරකු ගෙන්වා අදාළ පූජා භාණ්ඩ නැවුම් කලස කට දමා ඊට සුදුසු ස්ථානයක එය තැන්පත් කර තබනු ලබයි. බොහෝ විට කරනු ලබන පිළිවෙත වන්නේ පේ කළ කලස ගෙයි වහලයේ එල්ලා තැබීමයි. මාතර ප්‍රදේශයේ දී මෙකී පූර්ව චාරිත්‍රය ඉටු කරනු ලබන්නේ "ඇප නූල" බැදීමෙනි. නිශ්චිත කාලවකවානුවක් ඇතුළත අදාළ ශාන්තිකර්මය පවත්වනු ලබන බවට පොරොන්දු වීමත් එකී පොරොන්දු ප්‍රකාර අදාල ආතුර පක්ෂය ආරක්ෂා කර දීමත් මෙකී ඇප නූල් බැඳීම සහතික කෙරේ. රෝගියාගේ ස්වභාවය අනුව යාගයෙහි ස්වභාවය සහ ඊට අදාළ වන පුද පූජා රටාව ද ඇතැම් වෙනස්කම් සිදු කරනු ලැබේ. 

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


11 comments:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...