Wednesday, February 3, 2021

ස්ත්‍රීියන්ට වසඟ වන කළු කුමාර දිෂ්ටිය

රට යකුම් යාගයේ දී පුද ලබන කළු කුමරු හා එකී යාගය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ ප්‍රාදේශීය වශයෙන් ගත් කල විවිධ මතිමතාන්දර පවතී. කෝට්ටේගොඩ මහතාගේ මතයට අනුව රිද්දි බිසෝවරුන්ගේ වඳභාවය ඇති කළේ කළු කුමාරයා විසිනි. කළු කුමාරයාගේ ඇතැම් උපත් කතා සලකා බලන කල එකී තර්කය අසම්පූර්ණ එකක් වන්නේ කළු කුමාරයා විසින් රිද්දි බිසව්න්ට වඳභාවය ඇති කළේ කවර හේතුවක් නිසාද යන්න පැහැදිලි නොවන හෙයිනි. රට යකුම් යාගයට යකුන් සමග කළු කුමාරයාගේ විශේෂ සම්බන්ධතාවයක් ඇතැයි ද එසේ හෙයින් රට යකුම් යාගය පැවැත්වීමේදී ඇතැමුන් විසින් කලු කුමාර බලිය අඹා ඒ වෙනුවෙන් විශේෂ පිදේනිය කැප කරනු ලබන බව සරත්චන්ද්‍ර මහතා සඳහන් කරයි. කළු කුමාරයාගේ උපත පිළිබඳව විවිධ මත ජනශ්‍රැතියෙහි දැක්වේ. ඒ පිළිබඳව නිර්මාණය වූ රසවත් කතා පුවත් රාශියක් ශාන්තිකර්ම උපත් කතා සාහිත්‍යයෙහි අන්තර්ගතය. එසේ වුවද එකී කතා වලින් වැඩි ප්‍රමාණයක් වෙතත් උපන් කතා සඳහා යොදා ගෙන ඇති හෙයින් නිශ්චිත උපත් කතාවක් ඉලක්ක කොට දැක්වීම දුෂ්කරය.




  • බස්ම නම් අසුරයා දැව් සොහොනේ අළුවලින් උපන් බව ද 

බස්ම අසුරා දැව් සොහොනේ උපන්නේ ද ඇති       දේවතා 

තොස්ව කළු වත සැරසෙමින් සිට සුරත මුගුරක් ලෙළවතා 

ලස්ස ගණනක් දුන්නු දොල පුද බලා උවදුරු             දුරලතා 

තොස්ව මෙරඟට වරෙන් සැණෙකින් සිද්ධ කළුයක් දේවතා

  •  විජය රජුට දාව ගිනි කුමාරියගේ කුසින් පිළිසිඳගත් බව ද

ගිනි කුමරියගේ කුසේ පිළිසිඳ විජය රජු හට         දාවෙතා 

එති ගොසින් හත් මුහුදු අතරින් දිවස් තෙදබල පෙන්වතා 

ගිනි ලෙසින් මුළු ලොවේ නරයන් ඇඟ වැසි ලෙඩ කරවතා 

නිති ලෙසින් ආතුරයන් රැකදෙන සිද්ධ මහා කළු දේවතා

  • කලු ගල් ඇල්ලෙන් උපන් බවද
වරෙක උපන්නයි කළුගල්       ඇල්ලේ 

සැණෙක මෙලෙක තුළ බලේ   ලවුලේ 

රුවෙක ඒ අඟනන් දැක සිත් ලොල්ලේ  

සැණෙක වරෙන් කළු යකු නර බිල්ලේ

ශාන්තිකර්ම ගීත සාහිත්‍යයෙහි දැක්වෙන පූර්වොක්ත ගායනයන්ගෙන් කියැවේ. කළු යකාගේ යාදින්නේ කියැවෙන ආකාරයට කළු යකු උපන්නේ කරඬු බානා නම් බිසවගේ කුසිනි. රට යකුම හා කලු කුමාරයාගේ සම්බන්ධතාවය ගැන කියැවෙන තවත් රසවත් තොරතුරක් ඇත. දිනක් රූමත් ස්ත්‍රියක් දිය නෑමට යන ආකාරය බලා සිටි කළු කුමරුන් ඇය කෙරෙහි ලොල් වී මිනිස් වෙසක් මවාගෙන ඇය පසු පස්සේ ගමන් ගත් බවත් එකී ගමන නොඉවසූ කාන්තාව කළු කුමරුන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණ බවත් එයින් කෝපයට පත් කළු කුමරු තමන් එතෙක් මවාගෙන සිටි මිනිස් වෙස අත්හැර යක්ෂ වෙසක් ගෙන පෙර කී කාන්තාව බිය කළ බවත් ඇය සිහි මුර්ජාව ඇද වැටුණ බවත් ඒ මොහොතේ දී ඇයගේ කුසෙහි කළු කුමරුන්ට දාව දරුවකු පිලිසිද ගත් බවත් කියවේ.

මෙකී කාන්තාවගේ රෝගයට පිළියම් කිරීමට නියමිත ඇදුරන් විමසීමේ දී ලොව්තුරා බුදුන් වහන්සේගේ නාමයට කඨින වස්ත්‍රයක් පූජා කළ යුතු බවත් දන්වා සිටියේය. එසේ කඨින වස්ත්‍රයක් පූජා කොට සුවපත් වූ බවත් කියැවේ. කළු කුමරුන් විශේෂයෙන්ම ස්ත්‍රීන් කෙරෙහි ලෝභ කරන්නකු ලෙසින් ඇතැම් තැනක දැක්වේ. 

ගොම්මන් සැන්ඳෑ අඳුර  නොවේලේ 

ඉන්ගන් තොටුපළ පැන යන වේලේ 

අඟනන් දරුපල බත් කිලි        කාලේ 

දැනගන් කළු  යකු කල ලෙඩ ආලේ

කළු යකුගේ උපත පිළිබඳ දැක්වෙන ඇතැම් තැනක ස්ත්‍රී පුරයට ගිය එක්තරා කුමාරයකු කෙරෙහි ලොල් වූ ස්ත්‍රීන් කුමාරයා බෙදාගැනීම සඳහා එකිනෙකා පොරබදා ගත් බවත් එහිදී එකී කුමරු මිය ගිය බවත් මියයන මොහොතේ ස්ත්‍රීන් කෙරෙහි කෝපයෙන් පසු වූ එකී කුමරුන් මරණින් මතු කළු කුමරු ලෙස ඉපිද ස්ත්‍රීන් කෙරෙහි උපන් වෛරයෙන් ඔවුන් වෙත බැල්ම හෙළා ලෙඩ කරවා ඔවුන්ගේ දරුපල විනාශ කරන බවත් කියැවේ. 

ලෝල වඩන කුමරු එදා ස්ත්‍රී පුරයට     යති

ආල නුරා කුමරුන් දැක අඟනුන් රුති වෙති

රාළ කියා එකින් එකා පොර අල්ලා       ගති 

දෑල වරේ කුමරු මැරී පණ චුත වී            යති  

ජයසේන කෝට්ටේගොඩ මහතා මෙකී කතා පුවතම තරමක් වෙනස් ස්වරූපයකින් ඉදිරිපත් කරයි. ගජබා රජු සමග සොලී පුරයට ගිය නීල මහා යෝධයා එහිදී ස්ත්‍රී පුරයට ගිය බවත් එහි අගනුන් ඔහු වට කර ගනිමින් තම කාම ආශාවන් ඉටුකර ගත් බවත් එකී හේතු නිසා අධික වෙහෙසටත් විඩාවට පත් ඔහු මියගොස් ස්ත්‍රීන් කෙරෙහි වෛරයෙන් උපන් බවත් එහිදී විස්තර කෙරේ. 

එනුවර සිටිනා ළදහට පුරුෂ බසක්              නැති
දෙනුවන බස් දුන් විලසට වාසෙට ලෝභ         වෙති
දෙනුවන මල් කැකුළු සේම පියවුරු පියයුරු   නලවති
අනුවණ ලද ලියෝ ඇවිත් කුමරු බදා              ගති

 
බාල තරණ අඟනුන් හට ඉවසනු බැරි    වෙති
රාළ කියා එකින් එකා පොර අල්ලා        ගති
දෑල වරේ වටකර ගෙන කුමරුන් ලෙව   කති
කෝලහලෙන් කුමරු මැරී වෛරයෙන් උපදිති

කළු කුමරුන්ගේ උත්පත්තිය පිළිබඳව කලු කුමාර යාදින්නේ කියැවෙන තොරතුර මීට වඩා වෙනස් එකකි. කළු කුමාරයා කළු කිරි අම්මගේ කුසෙන් උපන් බවත් එකී කළු කුමාරයා ඕංකාර නම් වූ බිසවගේ ඇඟ වැසුනු බවත් එයින් කියැවේ.කලු කුමාරයා පිළිබඳ විස්තර කෙරෙන උපත් ගායනා අටකොන කවි යාදිනි ආදී කොට ඇති සාම්ප්‍රදායික මූලාශ්‍රයන්හි ඔහුගේ ස්වරූපය විස්තර කර ඇත්තේ කළු වතක් ඇද කළු මල් වඩම් නවයක් ගොතා සුරතට මුගුරක් (යගදාව) සහ වමත ගිනි කබලක් දරන කළුවන් ගොනෙකු අරා සිටින ආකාරයෙනි.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

17 comments:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...