Thursday, February 18, 2021

සන්නි යකුන් යාගය

 

පහතරට සම්ප්‍රදාය හා බැඳී ශාන්තිකර්ම අතරින් යක්තොවිල් යටතට ගැනෙන ප්‍රකට ශාන්තිකර්මය සන්නි යකුමයි. මෙය වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙත් ගාලු දිස්ත්‍රික්කයෙත් ගඟ දෙපස පිහිටා ඇති පහතරට නර්තනයේ චූල සම්ප්‍රදායක් ලෙස ගැනෙන බෙන්තර සම්ප්‍රදාය ව්‍යාප්තව පවත්නා පළාත් තුළ ය. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කකයේ ඇතැම් ප්‍රදේශවල මෙකී ශාන්තිකර්මය දක්නට ඇතත් බෙන්තර සම්ප්‍රදාය හා බැඳී සන්නියකුමට වඩා යම් යම් වෙනස්කම් ඒවායේ දක්නට ඇත. මෙකී ශාන්තිකර්මය පැවැත්වීමෙන් ප්‍රධාන අරමුණ ලෙස සැලකිය හැක්කේ විවිධ රෝගාබාධ වලින් පෙළෙන රෝගීන් සුවපත් කිරීම, විශේෂ රෝග ලෙසින් සලකනු ලබන්නා වූ රෝග ආපදාවන් ද සන්නි යකුන්ගේ ඇල්ම බැල්ම වැටීම හේතුකොට ගෙන ඇතිවන පිස්සු විකාර, ඔල්මාද ආදී කොට ඇති කායික හා මානසික රෝගී විෂයෙහි මෙකී ශාන්තිකර්මය පවත්වනු ලබයි. 

පුරාවෘත්ත කතාව

සන්නි යකුම් යාගය හා බැඳී පුරාවෘත්ත කතාව ඉතාම රසවත් එකකි. එයින් කියැවෙන්නේ සන්නි යකුන්ගේ උපත් කතාවයි. දඹදිව රජ කළ සංඛපාල නම් රජුට අසුපාල නම් වූ රූමත් බිසවක් විය. ඉතා ප්‍රීතියෙන් කල් ගෙවූ මෙකී රජ බිසෝහට අයහපත් කාලයක් උදා විය. රජතුමා සිය  අසල්වැසි රටකින් යුදයට කැඳවන සන්නස් පත්‍රයක් ලදී. රජතුමා සිය අමාත්‍ය මණ්ඩලය කැඳවා කරුණු සාකච්ඡා කොට මහසෙන් පිරිවරා ගෙන යුද්ධයට ගියේය. යුදයට පිටත් වන අවස්ථාව වන විට ගැබ්ගෙන සිටි අසුපාල බිසව ඒ බව රජුට දැන්වීමට පවා අවස්ථාවක් නොලද මහත් කනස්සල්ලෙන් හා දුකෙන් පසුවූවාය. බිසවගේ දරුගැබ වැඩී මහත් දොළ දුකක් පහළ විය. මී අඔ කෑමේ බලවත් ආශාවක් සිතෙහි පහළ වූ ඇය රජතුමා නොසිටි බැවින් ඒ බව මහ අමාත්‍යවරයාට දැනුම් දුන්නාය. ඒ වකවානුවේ අඹ අවාරය වූයෙන් ඇමතිවරයා බිසවගේ දොළදුක සංසිදීමට රට පුරා පණිවිඩ යවා මී අඹ ගෙඩියක් සොයා ගැනීමට කටයුතු කළ තම රටෙන් එය සොයා ගැනීමට නොහැකි වූ තැන අසල රටකට පණිවිඩ යවා මී අඹ ගෙඩියක් සොයා ගත් ඔහු ඒ බිසව වෙතට ගෙනැවිත් දුන්නේය. මහත් ආශාවකින් එකී අඹය අනුභව කිරීමට සූදානම් වෙද්දී නොසිතූ දෙයක් සිදුවිය. බිසව ගැබ්බරව සිටි නගරයේ දූගී කාන්තාවක් ඇය ඉදිරියේ පෙනී සිට තමන්ටත් බිසවට මෙන්ම මී අඔ කෑමේ ආශාවක් පවතින බවත් එකී අඹය තමන්ටත් ලබා දෙන ලෙසත් බිසවගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියාය. බිසව සඳහා මී අඹ ගෙඩියක් සොයා රැගෙන ආ බව සැල වී ගිය එය අනුභව කිරීම බලවත් ආශාවෙන් මාළිගයට පැමිණ සිටියෙන් මී අඹ ගෙඩිය ඉල්ලා නැවත නැවතත් කන්නලව් කළාය. අඹ සොයාගත්තේ බලවත් අපහසුවකින් පැවසූ සංකපාල බිසව මාලිගයෙහි ඇති රාජභෝජන ඇති පමණින් අනුභව කරන ලෙසත් අඹයෙන් නොඉල්ලන ලෙසත් කියා සිට ඇයට කුඩා කැබැල්ලක් පවා නොදී තනිවම අනුභව කළාය. අඹය තනිවම අනුභව කළ සංඛපාල බිසව කෙරෙහි බලවත් වෛරයක් සිතේ ඇති කර ගත් එකී ස්ත්‍රිය පළි ගැනීමට ඉටා ගත්තේය. මේ අතර යුද්ධය ජයග්‍රහණය කළ සංඛපාල රජතුමා මහ පෙරහරින් මාලිගාවට සැපැත එමින් සිටියේය. බිසවගෙන් පළි ගැනීමේ ආශාවෙන් පෙළුණු ගැබ්ගත් ස්ත්‍රිය එන පෙරමඟට ගොස් ඔබතුමා යුද්ධයට ගිය අතර කාලයේදී අග බිසව මහා ඇමතියත් සමග අනියම් සම්බන්ධ කමක් ඇති කරගත් බවත් ඒ හේතුවෙන් ඇය ගැබ්ගෙන සිටින බවත් රජුට සැළ කළාය. අනපේක්ෂිත තොරතුරු වලින් බලවත් වික්ෂිප්තභාවයට පත් රජතුමා තමා පිළිගැනීමට පෙර මඟට දිව ආ බිසව ගැබ්බරව සිටි බව දැක තමාට ගතු කී කාන්තාවගේ කතාව සත්‍යයක් ලෙස සිතා කිසිදු වග විභාගයකින් තොරව තම බිසව මරා දමන ලෙසට අණ කළේය. නිදොස් බව කොතෙක් කීවත්  වධකයා ලවා ඇයට වද බෙර ගසා වීදියෙහි ඇවිද අමු සොහොනට ගෙන ගොස් ගසක එල්ලා දෙපළු කර මරා දැමීමට කටයුතු කළේය.  ඇයව අමු සොහොනට ගෙන ගොස්  පුබ්බේරිය ගසක එල්ලා දෙකට කොට කපා දැමූ විට පළුවක් ගසේ එල්ලී තිබූ අතර අනෙක් පලුව බිම පතිත විය. බිසවට බිහිවීමට සිටි කුමරුන්ගේ බල මහිමය හේතු කොට ගෙන එදින රාත්‍රිය මහත් වැසි කුණාටු ඇතිවී පුබ්බේරිය ගසේ තිබූ බිසවගේ ශරීර අර්ධය බිමට වැටී පලු දෙක එකට යාවි දරුවෙකු බිහි විය. එසේ බිහි වූ කුමරා පළමුවෙන් තම මවගේ මළ මිනිය කිරි උරා දෙවනුව මවගේ ඇග මස් කා තුන්වනුව අමු සොහොනේ මස් කා වැඩෙන්නට විය. මෙසේ වැඩෙන රාජ මුළු යක්ෂයා බලගතු ගුප්ත බල ශක්තියකින් යුක්ත තමා කවරෙක් ද තමාට මෙසේ වූයේ කවර හේතු කාරණ කොට ගෙනද යන්න විමසා බලන විට තමන්ගේ පිය රජතුමන් විසින් නිවැරදි තම මව මරා දැමූ බව දැන ඒ පිළිබඳව පිය රජුගෙන් පළි ගැනීමට සිතා ගත්තේය. එසේ සිතා විවිධ කොළ වර්ග කඩාගෙන ඒවා එකට අඹරා ගුලි කොට ගුලි දහඅටක් නිර්මාණය කළේය. බලවත් වූ විෂයෙන් යුතු වූ එකී විෂ ගුලි සකස් කිරීමෙන් කුමරු අදහස් කළේ තම පියා වස දී මරන්නට බව කියැවේ. මෙය දුටු ශක්‍ර දෙවියන් මෙකී අපරාධ වැළැක්වීමට අදිටන් කරගෙන එයට අමෘත්‍රයෙන් බිඳුවක් බැගින් එක් කරන ලද්දෙන් එකී ගුලි ඔසු ගුලි බවට පත් විය. මේ බව දැනගත් කුමාරයා ගුලි වලින් යකුන් දහඅට දෙනෙක් මැව්වේය. දහඅට සන්නි යකුන් ලෙස එතැන් පටන් හැදින්විය. සන්නි දහඅටදෙනාගේ නායකයා වූයේ රාජ මුළු කෝළ සන්නි යක්ෂයාය.

මෙකී යකුන් දහඅටදෙනා පිරිවරාගත් රාජ මුළු කෝළ සන්නි යක්ෂයා තම පිය රජුගේ රාජධානියට කඩා පැන එය විනාශ කරන්නට විය. විශාලා නුවර ඇති වූ තුම්බිය ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙන්නේ මෙසේ සන්නි යකුන් විසින් විශාලා මහනුවරට කරන ලද විනාශය බව ශාන්තිකර්ම සහ සාහිත්‍යයට අනුව පිළිගත හැකිය. මෙසේ මහා දුර්භික්ෂ ජනපද රෝගයක් අමනුෂ්‍ය බිය නිසා ඇති වූයෙන් විශාල මහනුවර විශාල වශයෙන් මිනිසුන් මිය යන්නට විය. මේ බව දැනගත් අසල්වැසි රටක රජකළ බිම්බිසාර රජතුමා විසින් බුදුන් වහන්සේ වෙත දන්වා යවන ලදී. උන් වහන්සේ විශාලා මහ නුවරට වැඩම රතන සූත්‍රය දේශනා කොට අමනුෂ්‍ය පිරිස සක්වල එතෙරට පන්නා හරින ලදී. මෙසේ යකුන් පලවා හරින අවස්ථාවේ කෝළ සන්නි යක්ෂයා අබ ඇටයක් තරම් කුඩා වේශයක් මවාගෙන ගෝම රිටක් යට සැඟව සිටි බවත් ඒ දුටු බුදුන් වහන්සේ කෝළ සන්නි යක්ෂයාද පිටසක්වලට පලවා හරින ලද බවත් කියවේ. එසේ යකුන් පලවා හැරීමේ දී බුදුන් වහන්සේගෙන් යක්ෂයින් එක් ඉල්ලීමක් කළේලු එනම් ඔවුන්ට මිනිසුන්ගෙන් දොළ පිදේනි ලබා ගැනීමේ වරමක් දිය කඩක, නාන තොටක, රත්තොටක, අමු සොහොනක ආදී තැනකදී කෙනෙකුට ඇල්මක් බැල්මක් ඇති කොට ලෙඩ කරනවා ඒ ලෙඩ මුදවා හැරීමට දොළ පිදේනක් ලබා ගැනීමේ අවස්ථාව ඒ අනුව සන්නි යකුන්ට හිමිවිය. මෙසේ සන්නි ලෙඩක යකැදුරකු කැඳවා රෝගය සුව වී තෙමසක් ඇතුළත සන්නි යකුම් යාගය කරන බවට පොරොන්දු වී ඇප නූලක් බඳිනු ලැබේ. සුව වීමෙන් පසු රෝගියා නැතහොත් ආතුරයන් වෙනුවෙන් සන්නි යකුන් යාගය පවත්වනු ලැබේ. මෙකී ශාන්ති කර්මයෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ යකුන් යක්ෂණියන් කෙරෙහි බිය ඇති කිරීම සඳහා බුදුගුණ  භාවිතයයි. එසේ හෙයින් මෙකී ශාන්තිකර්මය තුළ බෞද්ධ ආගමික සංකල්පය හා වත්පිළිවෙත් වැදගත් තැනක් ලැබී ඇති බව සැලකිය හැකිය. සන්නි යකුමෙහි පොදුවේ දක්නට ඇති නර්තනාංගයන් අතර යහන් දැක්ම, පන්දම් පද නැටීම, හැන්දෑ සමයම ආදියද  කළු යකා, රීරි යකා, සූනියම් යක්ශනිය, මරුවා, අභිමාන යකා වැනි යක්ෂ යක්ෂණියන්ගේ භූමිකා නිරූපණය පාලි දොලහක් දෙකොන විලක්කු සන්නි 18 වැනි චරිතාංග නිරූපණයක් ලිච්ඡවී නැටුම හෙවත් නර්තනාංගයක් අන්තර්ගතය. 

සන්නි යකුමේ තවත් සටහනක් සමඟින් පසුව හමුවෙමු.

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

12 comments:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...