Monday, February 15, 2021

තොවිලේ බලෙන් දරු ගැබකට රහස් පිළිවෙතක්.....

නානුමුරේ නොහොත් දොළහ පෙළපාලිය  

නානුමුරේ නොහොත් දොළහ පෙළපාලියේදී එකිනෙක අවස්ථා නිරූපණය සඳහා යොදා ගනු ලබන ගායනාත් එකී අනුකරණ විලාසයත් සඳහා යොදා ගෙන ඇති බෙර පද හැසිරවීමත් ඉතාම රසවත්ය. ආස්වාදජනකය. නානුමුරේ පෙළපාලියේදී යොදා ගන්නා ගායනා කිහිපයක් පහත දැක්වේ. 

ස්නානය

මල් විල දෝ සත් දෙන දිය කෙලින්නේ 

එමල් විලේ රැලි පිට වඩම වන්නේ 

උසන් ගොඩදී වද සීතල හරින්නේ 

ඉසන් ගොඩ විලේ සත් දෙන නාන්නේ

මෙහිදී විලට බැස වතුර නාන ආකාරය දිය දෙබෑකර කළයට දිය පුරවා හිසට වක් කර ගැනීම ඇඟපතේ කුණු අතුල්ලා ගැනීම සබන් ගෑම දත් මැදීම යනාදී අවස්ථා තාලානුරූපව වැයෙන බෙර පදයට අනුකූලව ඉදිරිපත් කෙරේ. මේ අතරට සංවාද කොටස් ද එක්ක කර ගනු ලබයි. 

බිසව්   :-  වතුර ටිකක් නාන්න ගත්තා ගුරුන්නාන්සේ දැන් ටිකක් සනීපයි ඔළුවේ තිබිච්ච බර ගතිය එහෙම අඩු වුණා. දැන් මොකද කරන්න ඕන. 

ඇදුරා :-  ඕයි කපුටු කූඩේ වගේ ඔලුව තියාගෙන ඉන්න බෑනේ. දැන් තියෙන්නේ ඔලුව පීරගන්න එකයි.

බිසව්  :-   පීරන්නේ මොකෙන්ද 

ඇදුරා :-  පනාවෙන්, ඒකට ඇත්දත් පනාවක් ගෙන්න ගන්න ඕනේ'. 

කෙසෙල් පතුරෙන් පනාවක ආකෘතියට සකස් කල රංග උපකරණය අතට ගෙන මුදාහල දිගු වරලස අවුල් හරිමින් පීරන ආකාරය බෙරයෙන් වන පද තාලය වලට අනුව ඉතා අලංකාර ලෙස නිරූපණය කෙරේ

මාලයට

එයත් බැලිමි ගල් ඝෝෂා දිය රැල්ලා 

මෙයත් බැලීිමි ගල් ඝෝෂා සෙවනැල්ලා 

බලා සිටි කලට ලියවැල සුදුවැල්ලා 

නායක බිසව් කර පලදින මල් තැල්ලා 

වළලුවලට

රනෙන් රන් වළලු අතලා පෙනේයා 

රනෙන් එරන් පුස්කොළ ලා දිනේයා 

ගනේ ගොඩැල්ලේ එනවා පෙනේයා

අනේ ටිකිරි කුමාරි හාමි නේයා 

සඳුන් ගෑම 

එරට එදේසේ සිට ගෙන ගෙනා සදුන් 

මැණික් ගලේ රන් මණ්ඩේ ලාපු සඳුන් 

අතුරු කපුරු පිනිදිය එක් කරපු සඳුන් 

බෙදාගෙන ගති සත්දෙන සුවඳ සඳුන්

අඳුන් ගෑම 

පුස්ඹ  තල තෙලෙන් ගල්වා ගෙනා අඳුන් 

මැණික් ගලේ රන් මන්ඩේ ලාපු අඳුන් 

බලා කැඩපතින් නෙත් වල ගාන අඳුන් 

බෙදාගෙන ගාති සත්දෙන සුවඳ අඳුන්

බුලත් (දළුමුර) 

ගොසින් ගෙනාවා සත් මුහුදින් එතෙර 

කපුරු හා බුලත් පිනි දියර එක් කර 

ගනරන් බබුළුවා නානුමුර කර 

උසන්ගොඩ බිසව් මේ වඩන දළුමුර

කැඩපත් 

මුනි සිට මෙලා ගයට වඩින්නේ 

මැණික් කැඩපතක් අරගෙන බලන්නේ 

අනික් තැනෙක නොගොසින් වද සිටින්නේ 

මැණික් නන් ලැබූ බිසවුනි වඩින්නේ

පෙළපාලියකින් අනෙක් පෙළපාලියට වෙනස් වීමේ දී ඊට අදාළ සංවාද කොටස් මගින් පූර්ව හැඟවීමක් කරනු ලබයි.

හිසපීරීම 

වනේ ගජන් අල්ලා ගෙන මැරුවා 

එරන් කියත් ගෙන්නා දළ කැපුවා 

ගජතුන්ගෙන් මහතුන්ගෙන් ගෙන්නාවා 

ඉසන්ගොඩ බිසව් පීරන පනාවා

හවරියට 

ඇයි සවරිය පීරා සුරතට ගන්නේ 

මල් ඔසරිය ලෙස කරවට පළදින්නේ 

තෙල් ගාලා වරලස පීරා ගන්නේ 

මල් මඳ අනඟ සොඳ නායක බිසවුන්නේ

තෙල්වලට 

ඉඳගෙන යහන පිට වැඩ ඉඳගෙන සොඳට 

එරන් කුට්ටි සහසක් ගෙන්නා ලඟට 

වරන් ලබා සැම දෙවියෝ රැස්ව සිට 

අරන් තෙල් ගාපි හිස රැළි මැකෙන්නට  

කූරුවලට 

එරන් කූරු ගෙන දකුණුට සැරසෙන්නේ 

වරන් ලබා සැම දෙවියෝ රැස් වෙන්නේ 

වරන් ලැබ මෙලොව සතදුක් මුදන්නේ 

එරන් මල් බිසව් කුරුයි පලඳින්නේ

තෝඩුවලට 

පායන සඳට ඔපවන රුසිරෙන් ජෝඩු 

ආරණ සිනිදු තෙද රැස් ගලනා තෝඩු 

පුන්සඳ සේම තෙද රැස් බලනා තෝඩු 

නායක බිසව් කර ලන්නේ රන් තෝඩු‍ෙ

මොට්ටැක්කිලි 

ඉසේ දමන මොට්ටැක්කිලි රනින් නිතින් 

මූණ බලන කැඩපතකුත් අරන් අතින් 

අපේ මෙදුක් සැළ කරනුව එතැන ගොසින් 

අසව් නඩු බලන ගිනි ජල් බිසෝ අතින්

නානුමුර මංගල්‍යය අවසානයේදී උනුනු පියන අතට ගන්නා ඇදුරා රිද්දි බිසව්ගේ නාමයෙන් ආතුරයාට සෙත් කරයි. ඉන් අනතුරුව ආරම්භ කරනුයේ කපු යක් කංකාරියයි.මෙකී නානුමුර නාට්‍යමය අංගය තුලින් එහි ආතුරයා මෙන්ම ප්‍රේක්ෂක පිරිස නැතහොත් සහභාගී වන්නන්හට යටි අරුතින් පණිවිඩයක් ගෙන එයි. එනම් දරු ගැබක් ඇතිවීමට අප්‍රසන්න ස්වභාවයක් නොවී නා පිරිසිදුව ප්‍රසන්න අයුරින් සිටිය යුතු බව හා ඒ පිළිබඳ කැමැත්තක් සිතෙහි රඳවා තබා ගත යුතුය යන්නයි. හාස්‍යජනකව මෙය ඉදිරිපත් කරන අතරම ආතුර හා ප්‍රේක්ෂක සිත් සමතයකට පත්ව තබයි. දරුවන් පිළිසිඳ ගැනීමක් සැමට සිදුනොවන බවට බියක් ඇති නොකොට ඒ සඳහා මූලික පිළිවෙත සිත් තුලට කාවද්දවයි.








(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

11 comments:

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...