''තවද නිසාන, තම්මැට, දවුල්, ලොහො දවුල්, ජින දවුල්, තප්පු තලප්පු, මහ බෙර, ලොහ බෙර, පටා බෙර, එකැස් බෙර, පනා බෙර, ගැට බෙර, පොකුරු බෙර, මිහිගු බෙර, නාද බෙර, වයන බෙර, බුරුල් බෙර, මිහිරි කුට්ටම්..........''
( දඔදෙණි අස්නෙහි දැක්වෙන)
''භෘංගවීණා, නකුලවීණා, දද්දර වීණා, බ්‍රහ්ම වීණා, කයිතාලම්, රසුතාලම්, සමුත්තාලම්, දැදුරු බෙර, පනා බෙර,ගැටබෙර, රෝද බෙර, මහ බෙර, එකැස් බෙර, ලොහො බෙර, තලප්පර, විරන්දම්, තම්මැට්ට, නිසාන............''
(ථූපවංශයෙහි දැක්වෙන)
මෙහි කඳ මැද ගෙඩියක්/ ගැටයක්/ බඩක්/ පුහුලක් මෙන් විශේෂ වූ තත්ත්වයක් ඇති හෙයින් පූර්වෝක්ත හැදින්වීමේ සංඥා නාම භාවිතා කරන බව පෙනේ. ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ බොහෝ කටයුතුවලට නක්ෂත්‍රය සම්බන්ධය. ඒ අනුව බලන විට බෙරය සකස් කිරීමද ඔවුන් නැකත් චාරිත්‍ර අනුව සිදු කළ කාර්යයක් බව අමතක නොකළ යුතු වේ. උත්‍රසල හා පුනාවාස නැකතින් බෙර සෑදීම සඳහා අවශ්‍ය ගස කපන අතර හෙණ යෝගයෙන් වාද්‍ය භාණ්ඩ සෑදීමෙන් එහි මනා ශබ්ද මාධූර්යයක් ලබා ගැනීමට හැකි බව ද විශ්වාස කෙරේ. මෙම හෝරාව ඉතා දුර්ලභ හෝරාවක් වන අතර එය ඇසල මස බුද දිනට යෙදෙන පුර පසළොස්වක දින පුවසල නැකතේ බුධ හෝරාව තුළ යෙදෙන බව කියති.
ගන්සූරිය, වරකා, ඇසල, හල්මිල්ල යන ලී වර්ග පෙර සෑදීමට ගනු ලැබේ. ලී වර්ග ඉතා ඝන අරටු සහිත දැව වීම බෙර ශබ්ද උත්පාදනයේදී මහත් පිටුවහලක් වන බව කියති. බෙරයක කදක දිග තුන්වියත් තුන්ගුලකි. බෙර ඇස විග්ගුස්සකි. බෙර කට දෙක එකිනෙකට වෙනස්ය. වම් බෙර ඇසට (කටට) වඩා දකුණු බෙර ඇස (කට) ඉතා සුළු ප්‍රමාණයක් කුඩා ලෙස සකස් කිරීම චාරිත්‍රයකි. බෙර කටේ ඝණකම අඟල් භාගයකට තරමක් අඩුවිය යුතුය. මෙය සහල් ඇට දෙකක දිග යැයි කියති. එහෙත් ඒ කුමන සහල් ඇට වර්ගයක් දැයි කිව නොහැකි ය. බෙර කට තරමක් රවුම් ආකාරයකට සිටින ලෙස මැදිය යුතු අතර බෙර කට වටේට අඩ ඉර කැපිය යුතුය. අඩ ඉර බෙර කට හරි මැදින් කපා ගත යුතු අතර එය දශම එකකට වඩා සුළු ප්‍රමාණයක් පළලින් අඩු වූ ඉතා සිහින් රේඛාවක් බව සැලකිය යුතුය.
වරපට
බෙරයේ දෙපස ඇති හම (තට්ටුව) තද කිරීම හා බුරුල් කිරීම සඳහා එම තට්ටු බෙර කඳට සවි කර තැබීම සඳහා වරපට උපයෝගී වේ. පදම් කළ හරක් හම් වලින් අඟල් භාගයක් පමණ පළල පටි කපා ගෙන වරපට සාදා ගන්නා අතර එහි දිග සත්බඹ සත් වියතක් වන බව කියති. සාමාන්‍යයෙන් වරපට කපා ගෙයි වහලයේ එක් කෙලවරක සිට අනෙක් කෙළවරට ඇද බැඳ තබාගෙන හෝ දුරක ඇති ගස් දෙකක් බැඳ තබා පදම් කර ගැනීම සිරිතය.
වෙනිවර
වෙනිවර යනු එකට වෙලා ඇති සිහින් හම් ගෙතුමකි. බෙර ගැටිය සකස් කරගැනීමට අවශ්‍ය වන වෙනිවර හරක් හම් හෝ මුව හම් වලින් ඉරටුවක ඝණකමට කපා තැබීමෙන් පසු රවුම් වැලක් ලණුවක් මෙන් සකස් කරගන්නා ලද්දකි. වෙනිවර කැරැල්ල කැපුම් හමට සම්බන්ධ කොට ඇති කොකුවර හා සම්බන්ධ වේ.
කැපුම් හම
බෙර ඇසට උඩින් එහි ආරක්ෂාවට මෙන් යොදා ඇති කැපුම් හම හරක් හම් හෝ මුව හම් වලින් තරමක් ශක්තිමත් ලෙස යොදාගනු ලැබේ. කැපුම් හමට ඉල්ලුම් මුදු දහයක් කපා එහි කොකුවර අදිනු ලැබේ. මෙම ඉල්ලුම් මුදු තුරන් හෝ තව් යනුවෙන් ද හැඳින්වේ.
ගැටි වැල
බෙර තට්ටුව හම කන්දට හිරවී තැබීමට ගැටිවැල උපයෝගී වේ. වම් බෙර ඇසට ගැටිවැල එකක්ද දකුණු බෙර ඇසට ගැටිවැල් දෙකක් ද භාවිතා කෙරේ. බෙර කටේ වට ප්‍රමාණයට සකස් කරගන්නා ගැටිවැල නිසා බෙර තට්ටුව හා බෙර කද අතර මනා සබඳතාවක් ඇති වේ. ගැටිවැල් සඳහා කිරිදිවැල් හෝ කුකුලල වැල් ගනු ලැබේ. එහෙත් වර්තමානයේ වේවැල් හා බට පතුරු ද යොදා ගත්තද ඒවා ඒ සඳහා සුදුසු අමුද්‍රව්‍ය නොවන බව සැලකිය යුතුය.
කන්වර
බෙර ලනුව හෙවත් බෙරය ඉගේ රඳවා ගැනීමට යොදන ලනුව බෙරය හා සම්බන්ධ කරන්නේ කන්වරය විසිනි. කන්වර වූ කලී බෙරයේ දෙපස බෙර ගැටිය තුළට සම්බන්ධ කෙරෙන හම්වලින් සාදාගන්නා කාදුවක් නොඑසේ නම් ගාංචුවකි.
කයිපුඩු වලල්ල
බෙරයේ දකුණු ඇසට සම්බන්ධ කන්වරට යා කෙරෙන කයිපුඩු වළල්ල පිත්තලයෙන් සාදන ලද එක්තරා ආකාරයේ ගිගිරි වළල්ලකි. වාදකයා බෙරය වයද්දී කයිපුඩු වළල්ලේ අත වැදීම නිසා මතු වන හඬ වාදනයේ රසය තීව්‍ර කරනු ලැබේ. බෙරයේ වම් ඇසට පදම් කළ හරක් හම් හෝ මුව හම් භාවිතා කෙරෙන අතර දකුණු ඇසට දුම්මල ගස් සහිත කැළෑ ආශ්‍රිත වඳුරන්ගේ හම් යොදනු ලැබේ. එහෙත් වර්තමානයේ ඒ සඳහා රිලා හම් තලගොයි හම් හා එළු හම් ද භාවිත කරති. එසේ වුව හොඳ වදුරු හමකින් නගින ශබ්ද මාධූර්යය වෙනත් හමකින් යෙදූ බෙරයකින් මතු වෙතැයි කිව නොහැකිය.
බෙර කඳ, බෙර ගැටය/ පුහුල, දකුණු ඇස, වම් ඇස (තට්ටුව), ගැටිවැල, කොකුවර, කැපුම් හම, වෙනිවර කැරැල්ල, කන්වරය, වරපට, කයිපුඩු වළල්ල, බෙර ලනුව හා සුරත් තට්ටුව බෙරයකට අයත් කොටස් ලෙස නම් කළ හැකිය.
ප්‍රධාන මූලාශ්‍රයන්
දිසානායක මුදියන්සේ: සිංහල නර්තන කලාව: ඇස් ගොඩගේ සහ ප්‍රකාශකයෝ: කොළඹ 10; 1995
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි දෙවන වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය