Saturday, April 17, 2021

මහසොහොන් සමයමේ පූජා විධි රටාව

අනෙකුත් සියලුම ශාන්තිකර්මයන්හි දීමෙන්ම මෙහිදීද ආතුරයා ආතුර පන්දලට කැඳවීමෙන් අනතුරුවව සූනියම් දේවතාවුන්ට සූනියම් පිදේනියට පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබේ. සූනියම් දෙවියන්ට සහ හතරවරන් දෙවිවරුන්ට විලක්කු පහන් දල්වා බත් අයිලයක් හා හඳුන් මල් බුලත් පිදීමෙන් ශාන්තිකර්මය ආරම්භ කරයි. බෞද්ධ සංස්කෘතික ලක්ෂණයන්ට මුල්තැන දෙමින් සූනියම් දෙවියන්ට ආරාධනා කිරීමට පෙර තෙරුවන් සරණ යෑම සිරිතකි. හැන්දෑ පිදේනි දිෂ්ටි කිරීම් මීළඟට කෙරෙන කටයුත්තයි. මෙහිදී කළු යකා රීරි යකා සූනියම් යකා සහ බිල්ල යකා යනුවෙන් පුදදීම කරනු ලබයි. ඇතැම් අවස්ථාවලදී සූනියම් යකා වෙනුවට මහසෝනා වෙනුවෙන් පේ බත් දෙනු ලබන අවස්ථාද ඇත. පිදවිලි කැපකිරීමේදී කළු යකා විශේෂිතව සලකනු ලබන අතර එකී යක්ෂයා වෙනුවෙන් පුළුටු පිදීමක් කරනු නොලැබේ. පලා රොටි විලඳ සඳුන් මල් බුලත් ආදී දේවලින් පමණ කළු යකු පිදීමේ ඔහු අනෙක් යකුන්ට වඩා උසස් ගණයක යක්ෂයකු ලෙස සලකනු ලබයි. අනෙක් යකුන්ට මෙන් කළු යකුට අවතාර ද නැත. එකී යක්ෂයා වෙනුවට අදාළ දිස්ටි මන්ත්‍ර සන්න සැහැලි ආදියත් උපත් කවි ගායනා කොට සිරස පාද ගායනය ආතුරයාට සෙත්පතා ආතුර දොස් දුරු කිරීම මෙහිදී කරනු ලැබේ. රීරි යකා බිල්ලේ යකා හෝ මහසොනා පුලුටු යකුන් ලෙස සැලකෙන බැවින් ඔවුන්ට පුදදීමේදී පුළුටු වර්ගද යොදා ගනු ලැබේ. මෙකී යකුන්ගෙන් ගායනා අවසන් කොට එක් එක් යක්ෂයාට අදාළව සිරස පාද ගායනයක්ද කරනු ලැබේ. මෙසේ එකී පිදවිලි කැප කර දීමෙන් පසු අවමංගල්ලේ පිදේනිය කටයුතු ආරම්භ කරනු ලබයි. 

රීරි යකා වෙන්වෙන් කරනු ලබන අට මංගල්ලේ පිදේනිය කැප කරදීමේදී පැදුරේ දැපවිල්ල කරනු ලැබේ. මෙහිදී ඇදුරා පන් විලට ගොස් පන් උදුරා ගන්නා ආකාරයත් රටා යොදා පැදුරක් වියන ආකාරයත් අනුකරණාත්මකව නිරූපණය කෙරේ. මෙකී අනුකරණාත්මක අවස්ථාවේදී පැදුරු උපතේ කවි ගායනය කිරීම සිරිතයි. පැදුරේ දැපීමේදී රීරි යක්ෂයාට අට කොනේ කවි කියා ආරාධනය කිරීම සම්ප්‍රදායයි. පැදුරේ දැපීමේදී පැදුර සමයම් කිරීම විශේෂ අංගයකි. පැදුරේ දිගාවෙන ඇදුරා අට දිසාවට දුම්මල කීල ගසමින් සමයන් පද අනුව පන්දම් කරකවයි. අනතුරුව එකී පැදුර මත අටමංගල පිදේනිය දෙනු ලැබේ. කඩතුරා රෙද්දෙන් හිස සිට පාදාන්තය දක්වා සියොළඟ වසා ගන්නා යකදුරා උඩුකුරුව වැතිර සිට දිෂ්ටි මන්ත්‍ර කියයි. යකැදුරාගේ පපුව මත අයිල තුනක් එක් අතකට ඊගස සහ අනෙක් අතට වස්දණ්ඩ ගෙන කුකුළා පාමුල තබා ගෙන දිස්ටි මන්ත්‍ර කියා රීරි යකාගේ හෙවත් මරුවාගේ උපත් කවි ගායනය කරනු ලැබේ. රීරි යකාගේ සිරසපාද ගායනයෙන් අනතුරුව ඊගස යොදා ගෙන ආතුර ශාන්තිය කරනු ලබයි. ආතුරයා අතින් මල් බුලත් ලබාගෙන ඊ ගසින් ආතුරයාගේ හිස සිට දෙපතුල තෙක් පිරිමැද ඊ ගසෙන් කුකුළාට තට්ටු කරයි. එයින් අදහස් කරන්නේ ආතුර දෙස කුකුළාට පැවරීමකි. මෙය අභිචාර ක්‍රමයකි. පපුව මත තබා තිබූ අයිලය රීරි යකාගේ කත්‍රික්කය මත තබාගෙන පුරාල පලයට ගෙන යනු ලැබේ.

මින් අනතුරුව වීදී කැප කිරීම ආරම්භ කෙරේ. මෙහිදී මුළු තොරණ හතරට මැද පංච මැස්සේ සිව්කොනට සහ මධ්‍යයටත් සඳුන් මල් බුලත් සහිත අයිල නමයක් පුදා විලක්කු නමයක් දල්වා සිව්වරම් දෙවියන්ගේ තොරණ හතරට පංච මැස්සේ වට අයිල හතරටත් මහසෝන් බලියටත් විලක්කු ගසා මල් සදුන් පුදා මංගර දෙවියන් වෙනුවෙන් පහනක් දල්වා වස්දණ්ඩ සහ ඊ ගහ අතට ගෙන දිස්ටි මන්ත්‍ර කීමේදී අතරතුර යක් නලාව හෙවත් වස්දණ්ඩ පිඹීම කරනු ලැබේ. මෙහිදී නැගෙන බෙරයේ ගිගුම් හඬත් වස්දණ්ඩ නාදයත් දිස්ටි මන්ත්‍ර ජප කරන හඬත් එක් වූ කල අද්භූත පරිසරයක් නිතතින්ම නිර්මාණය වේ.මෙසේ මහ සොහොන් විදියට සඳුන් මල් බුලත් පිදීම ආලෝක කිරීම හා කැප කිරීම අනතුරුව මඟුල් බෙර වාදනයත් තොරණ විස්තර ගායනා කිරීමත් සිදුකෙරේ. අනෙකුත් පහතරට ශාන්තිකර්ම වලදී කරනු ලබන්නා වූ සමයං නැටුම් අවස්ථා හා සලකා බලන කල මහා සොහොන් සමයමට අයත් පද නැටීමේදී අවස්ථාව වඩාත් ප්‍රබලත්වයක් දක්වයි. සමයමට අයත් සමයන් පද නටා අටකොන සිටින්නා වූ සමයන් යකුන්ට විලක්කු කැප කර දීම සිරිතයි. 

 කුකුළාගේ පිදේනිය දීම දුම්මල කන්නලව්ව හා මහා යාදින්න ඉදිරිපත් කිරීමත් මෙහිදී කරනු ලබන අවශේෂ පූජා විධීන් වේ. මහසොහොන් අවතාරය රංග භූමිය වෙත කැඳවීම මෙකී යාගය ප්‍රබලතම හා උච්චතම අවස්ථා වලින් එකකි. එකී භූමිකාව සබයට කැඳවීමට ප්‍රථමයෙන් මහසෝනාගේ උපත් කවි ගායනය කරනු ලබයි. කවි ගායනය කරනු ලබන්නේ එකී චරිතය භයානකත්වය ඉස්මතු කර පෙන්වන ආකාරයේ හඬකිනි.

නමින් පෙර සිරිතා - කුම්භකාරිගේ උපතා
එතැන් සිට පැවතා - කියන් මහසෝනාගේ උපතා

වලස් මුහුණකින් සහ දිගු කෙස් වැටියකින් යුත් මහසොහොන් අවතාරය සබේට පැමිණෙන්නේ අතිශය බිහිසුණු විලාසයකිනි. වෙස් මුහුණු බැඳ පද කිහිපයක් නැටීමෙන් අනතුරුව එකී මුහුණටම දෙකොන විලක්කුව බැද නැටීම කරනු ලැබේ. ආරපොත හෙට්ටිගේ මහතා සහ හක්මන නන්දෝරිස් මහතා සමග කළ සාකච්ඡාවක් පාදක සටහන් ලෙස දක්වන ජයසේන කෝට්ටේගොඩ මහතා අතීතයේදී මෙසේ වලස් මුහුණ බැඳ නැටීමක් නොකරන ලද බව පෙන්වා දෙයි. 

සමයන් පද තුන නැටීමෙන් මෙකී සමයන් අවසන් වන අතර ඇතැම් ඇදුරන් මෙහිදී දුම්මල කබලට අයත් පද ඊගහට අයත් පදත් පස්ගම පද නැටීමත් කරනු ලබයි. වෙනත් ගුරුකුලයක ඇඳුරන් හාත බඹුරා නැටීම කරන්නේ මහසොහොන් කුරුම්බර අතර ඇති සම්බන්ධතාවය අනුව යැයි විශ්වාසයක් පවතී. මංගර පෙළපාලියේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ මධ්‍යම රාත්‍රියේය. ප්‍රථමයෙන් අඟුරු දුම්මල කහ දියර කොතලය කලස තැඹිලි සහ උල කහ ගෙඩිය සමග බුලත් දෙකක් හා පඳුරු දෙකක් රැගෙන පෙළපාලි දක්වනු ලැබේ. මංගර දෙවියන්ගේ පෙළපාලිය නාට්‍යමය ලක්ෂණ වලින් පරිපූර්ණ වූ අවස්ථාවකි. මෙම අවස්ථාව ඇතැම් පොත්පත් වල දොළහ පෙළපාලිය ලෙස හඳුන්වා ඇත. එය වූ කලී මංගර දෙවියන් වෙනුවෙන් වස්තු දොලහක් පූජා කිරීමක් ලෙස එහිදී විස්තර කරයි. දොළහ පෙළපාලි යන වචනය මාතර ශාන්තිකර්ම සම්ප්‍රදාය තුළ දී ව්‍යවහාරයක් නැත. එසේම මෙහිදී ඉදිරිපත් කරන පෙළපාලි අංග දෙවොල් මඩුවේ දී හෝ රට යකුමේ දී ඉදිරිපත් කරන ලද දොළහ පෙළපාලිය නොවේ. දෙවොල් මඩුවේ 12 පෙළපාලියේදී යොදා ගන්නා ඇතැම් අවස්ථා හා අනෙකුත් අංග මෙහිදී ද යොදාගනු ලබන බව දක්නට ඇතත් එකී දොළහ පෙළපාලිය සහ මහසොහොන් සමයමේ දොළහ පෙළපාලිය ඇතැමුන් හඳුන්වන පෙළපාලි කොටස් එකක්ම නොවේ. මෙහිදී සම්පූර්ණ වශයෙන් ගත් කළ පෙළපාලි දොළහක් නොව දහසයක් ඇති බව පෙන්වා දෙන කෝට්ටේගොඩ මහතා සඳහන් කරන්නේ පෙළපාලි අංග දාසයකින් දොළහ වෙන් කොට ගෙන අනෙකුත් පෙළපාලි අංග නොසලකා හැර දොළහ පෙළපාලිය ලෙස නම් කිරීම අර්ථ ශුන්‍ය කාර්යක් බවත් කෝට්ටේගොඩ මහතා ඉදිරිපත් කරන මංගල පෙළපාලි සොළස මෙසේය.

සන්නස් කීම
කුඩ ඇල්ලීම
කොඩි ඇල්ලීම
සේසත් ඇල්ලීම
දවුල් වාදනය
තම්මැට්ටම් වාදනය
නලා වාදනය
කොම්බු වාදනය
හොරණෑ වාදනය
තල් අතු එල්ලීම
අත් මානං කෙළිය දැක්වීම
ලී කෙළියක් දැක්වීම
වීණා වාදනයක් දැක්වීම
ඇත් බන්ධනය
මී නිබන්ධනය
කළු වැදි තීන්දුව
මෙකී පෙළපාලිවල එන අත් මනං කෙළිය පැරණි ක්‍රීඩාවක ස්වරූපය අපට සිහි ගන්වයි. මෙහිදී කරන දෙහි ගෙඩි උඩ දැමීම සුලබා වල්ලිය නර්තනය දී කරනු ලබන පන්දු උඩ දැමීම හා සමානත්වයක් පෙන්නුම් කරයි. මහසොහොන් සමයමේ මෙකී මංගල පෙළපාලි වලට සීමා වූ කළු වැදි තීන්දුවේ කුකුලකු දඩයම් කර එකී බිල්ල ගමේ මුලාදෑනියාටත් වීදානේටත් දුනු හි සාදන බාස්ට බෙදිය යුතු බව දක්වා පෙළපාලිය අවසන් කරයි. මෙහිදී කියවෙන ඇතැම් සංවාද සහ කියැවෙන අරුත උඩරට කොහොඹා කංකාරිය ඌරා යක්කමේ ඌරා විද එම කොටස් 18 බෙදීමේ අවස්ථා තරමක් සමානත්වයක් දක්වන බව මුදියන්සේ දිසානායක මහතා පවසයි. 

පෙළපාලියෙන් පසු අළුයම්යාමේ පුද ලබන යකුන් සඳහා පිදේනි දීම සිදු කෙරේ. මහසෝනාට අයිල දහයක පිදේනියක්ද සූනියම් යකාට අයිල දහයක පිදේනියක්ද කැප කර දිය යුතුය. මහසෝනාගේ අයිල දහයෙන් නමයක් තොරණ නමයට පූජා කර ඉතිරි අයිලය මෝලන් ගරවාගේ නාමයට කැපකර පංච මැස්ස පාමුල තැබීම සිරිතයි. දරහැව පිදේනිය දීම ද විශේෂ අවස්ථාවකි. දරහැව හෙවත් මිනී මැස්ස මත දපන ඇදුරා රෝගියා වෙනුවට තමාගේ ජීවිතය ගන්නා ලෙස ඉල්ලා සිටි. මෙහිදී යකදුරාත් සමග දරහැව ඔසවා ගන්නා පිරිස හඬමින් වැළපෙමින් මළමිනියක් ගෙන යන්නාක් මෙන් ඇදුරා සහිත දරහැව අමු සොහොන වෙතට රැගෙන යයි. මහසොහොන් සමයමේ දී දක්නට ලැබෙන ප්‍රබල අභිචාර කර්මයකි. 

මීළඟට ඇත්තේ අවතාර ඉගිල්ලීමත් දෙකොන විලක්කු සහිතව නටන මෙකී අවස්ථාවේදී යකදුරා කිසියම් ආවේශ ගත තත්වෙකට පත් වේ. එය කරනු ලබන්නේ දුම්මල වරමක් ගැනීමෙනි. රාක්ෂ පද සහ සමයන් පද වලට අයත් පද කිහිපයක් නටා නිවසෙහි සෑම අහුමුළු වලටම දිව යමින් දුම්මල කීල ගසයි. එසේ දුම්මල කීල ගැසීමෙන් අපේක්ෂා කරන්නේ නිවසේ තැන තැන සැඟවී ඇතැයි සිතන අවතාර එලියට පන්නා දැමීමයි. එසේ එලියට ගනු ලබන අවතාර පිට කරවා උළුවස්සට තබා දෙහි කපා හිර කරනු ලබයි. මෙය පූර්ණ වශයෙන්ම අභිචාර ක්‍රමයකි. මෙසේ අවේශයෙන් දුම්මල කීල ගසමින් තැන් තැන දුව ඇදුරා විටක වීදිය වෙතටත් විටෙක ආතුරයා වෙතටත් දුව යයි. ඊ ගහ අතට ගෙන එය ඇදුරයාගේ හිස සිට දෙපා තෙක් ස්පර්ශ කර දුම්මල කීල ගසා ආතුරයා ආරක්ෂා කර කුකුළා සහ ඊරි හැළියක් ගෙන කීල ගසමින් පුරාලය වෙත දුව යයි. පුරාලයේදී කුකුලාගෙන් පිහාටු කිහිපයක් ගල්වා පන්දමට අල්ලා පුළුස්සා පුළුටු පිදීමක් කරනු ලබයි.

මෙම අවස්ථාවේදී ඇදුරා ඉදිරිපත් කරනු ලබන රංගය අති මානුෂික ස්වරූපයක් පෙන්නුම් කරයි. මහසොහොන් සමයමේ දැක්වෙන බොහෝ අභිචාර විධීන් නතර මෙය කැපීපෙනෙන අවස්ථාවකි. අමෂ්‍යයන් සූර්යය ලෝකයට බියක් දක්වන බව ජනශ්‍රුතියේහි කියැවේ. මෙහිදී දුම්මල ගැසීමෙන් සිදු කරන්නේ අමනුෂ්‍යයන් බිය කොට පලවා හැරීමයි. සන්නි යකා වෙනුවෙන් ගොටු වට්ටිය කැප කර දීම මීළඟට සිදු කෙරේ. ඉන් අනතුරුව සිදු කරන්නේ පාලි නැටීමයි. පාලි නැටීමෙන් අදහස් කරන්නේ සන්නි යකාට ආරාධනා කිරීමයි. ඒ සඳහා මාතර ප්‍රදේශයේදී පන්දම් පාලිය, සළු පාලිය, කෙණ්ඩි පාලිය, කලස් පාලිය, තැඹිලි පාලිය, අඟුරු දුම්මල පාලිය, දළුමුර පාලිය සහ බිල්ලේ පාලිය (කුකුල් පාළිය) යන පාලි අට පමණක් කරනු ලැබේ. ඉන් අනතුරුව කරනු ලබන සන්නිය නැටීමේදී වැදි සන්නියෙන් ආරම්භ කර බීත සන්නිය, ගුල්ම සන්නිය වැන සන්නි කීපයක් නටා දේව සන්නියෙන් අවසන් කරනු ලබයි.  

මීළඟට සිදු කෙරෙන විශේෂ චාරිත්‍ර වන්නේ මහසෝන් පාලිය පාවාදීමයි. මෙහිදී ආතුරයා ඉදිරියට වඩම්මවා ඊට අදාළ දොල පුදා විලක්කු දල්වා දුම්මල කීල ගැසීම කරනු ලැබේ. ඒ අතට රත් මල් පොකුරක් සහිත නූලක ගැට ගසා ඇති දෙහි ගෙඩියක් දී පිරිත් හුයට අයත් කියමන් කියා බලි යාගය ආරම්භ කෙරේ. අනතුරුව කඩතුරාවක් ඇද ආතුරයාගේ බලිය වෙන් කොට බලිය පවරා දීමේ කටයුත්ත කරනු ලබයි. කඩතුරාව හැර බලයේ කවි කියා අත ඇති දෙහි ගෙඩිය නියගින් සිදුරු කොට තුන් වරක් සිඹ බලියට ගැසීමෙන් පසු ආතුරයා අතින් පඬුරු මල් බුලත් ගෙන ආතුරයාට සෙත්කොට සිරසපාද කවි කියා දොස් නිවාරණය කර බලියේ වැඩ අවසන් කෙරේ. අවසානයේදී ආතුරයා ආරක්ෂා කර නූල් බැඳ ඊ ගහ අතට දී රංචාගොඩ පදය නටා දෙවියන්ට පින් දී පින් බෙර ගසා ශාන්තිකර්මය කටයුතු නිමාවට පත් කෙරේ. 

(තොරතුරු , ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)

ප්‍රධාන මූලාශ්‍රයන්

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

 



පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...