පාලි දොළහට අමතරව සන්නි දහ අටක්ද මෙම සන්නි යකුමේ පුරාවෘත්තයේ සදහන් වේ. ඒ අනුව සන්නි දහ අට යනු කිසියම් රෝග දහ අටක් සංකේතවත් කිරීම උදෙසා නිරූපිත සංකේත චරිත විශේෂයකි. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව වා පිත් සෙම් දෝෂ සහගත තත්ත්වයට පත්වීම කරණ කොටගෙන ඇති වන්නා වූ විවිධ සන්නි රෝගයන් රාශියක් ඇත. රංග භූමියට පිවිසෙන නොයෙක් චරිත සඳහා එකී භූමිකාව ද නැතහොත් චරිතයෙහි ගති ස්වභාවයට අනුකූල වන්නා වූ වර්ණයන්ගෙන් යුක්ත රංගවස්ත්‍රාභරණ ද එකී චරිතය භාවමය ලක්ෂණ ඉතා සියුම් ලෙස ප්‍රකාශ කරන්නට සමත් වන්නා වූ වෙස්මුහුණු ද යොදාගෙන ඇති ආකාරය නම් අපූරුය. එකී වෙස්මුහුණු වලින් ප්‍රකාශ වන බව ස්ථිතික වුවද යම් අවස්ථාවල සැබෑ මූහුණකින් ප්‍රකාශ කළ හැකි ප්‍රමාණයට වඩා එය ප්‍රබල ය. එකී චරිත නිරූපණයේ දී සහාය කර ගනු ලබන රංග භාණ්ඩයන්ද එකී රංග භාණ්ඩ හසුරුවමින් රංගනයේ යෙදීමට උචිත වන්නාවූ තාලානුකූල සහ රිද්මයානුකූල බෙර වාදනයන්ද නරඹන්නන් රස ගැන්වීමෙහි හා සිනා ගැන්වීමේ සමත් වන්නා වූ සංවාදයත් ද අවස්ථාවෝචිත ගායනයන් ද නිශ්ශබ්ද අනුකරණයන්ද සන්නි යකුම් යාගයෙහි ඇති නාට්‍යමය ලක්ෂණ උද්දීපනය කිරීමෙහි සමත් ය. අනෙකුත් ශාන්තිකර්ම හා සංසන්දනාත්මකව බැලීමේදී සන්නියකුම අංග සම්පූර්ණ නාට්‍ය කෝෂ්ටාගාරයක් ලෙස හැඳින්වීම නිවැරදිය.
සන්නි යකුම් යාගයෙහි අන්තර්ගත වන්නාවූ සන්නියකුම් දහඅට දෙනාට කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රාදේශීය වශයෙන් වී ව්‍යාප්තව ඇති ගුරුකුල අතර පොදු එකගතාවයක් නැත. ඇතැම් සම්ප්‍රදායන් වල අන්තර්ගත නොවන සන්නි වෙනත් ප්‍රාදේශීය ව්‍යවහාරයකදී භාවිත කෙරේ. එසේ වුවද ඔවුන්ගේ සංඛ්‍යාව දහ අටක් වන බව හා එකී චරිත ඉදිරිපත් කිරීමේදී සන්නිය විසින් ඇති කරනු ලබන්නා වූ රෝගය නැතහොත් ව්‍යාධියෙන් ස්වභාවය චරිතයේදී අනුකරණය කොට පෙන්වන බව පිළිබඳව නම් කිසිදු මතභේදයක් නැත. කණ සන්නිය - කණය (අන්ධය) ගොළු සන්නිය - ගොළුය බිහිරි සන්නිය - බිහිරිය ඇතැම් සන්නියකට පාචනය ඇති අතර තවකෙකුට ඇත්තේ වමනයයි.මෙහි පහත දක්වා ඇත්තේ ගුරුකුල වැඩි ගණනක් විසින් යොදා ගනු ලබන්නා වූ සන්නියකුම් දහඅට දෙනාගේ නාමාවලියයි.
භූත සන්නිය
අභූත සන්නිය
අමුක්කු සන්නිය
වෙඩි සන්නිය
වාත සන්නිය
කණ සන්නිය
පිත් සන්නිය
බිහිරි සන්නිය
ගොළු සන්නිය
මූරුතු සන්නිය
දෙමළ සන්නිය
නාග සන්නිය
කොර සන්නිය
ගිනිජල් සන්නිය
ගුල්ම සන්නිය
සිතල සන්නිය
දේව සන්නිය
කෝල සන්නිය
ඇතැම් පරම්පරාවල සෙලෙස්ම සන්නිය උදර සන්නිය යනාදි වශයෙන් ඇති සන්නි නැටුම් ද මෙකී සන්නි දහඅටට අන්තර්ගත කරයි. මෙකී සන්නි දහඅටම ශාන්තිකර්මයක දී දක්නට ලැබෙන්නේ නම් ඒ කලාතුරකිනි. එසේ හෙයින් ඇතැම් සන්නි නැටුම් නාමික වශයෙන් පමණක් දැක්වෙන අතර ප්‍රායෝගික වශයෙන් ව්‍යවහාරයේ නොපවතින බවත් පෙනේ. අද්‍යතනයේදී මෙකී සන්නි දහඅටම එක් වරෙක වේදිකාවට ගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ මීගම කේ. ඇස්. ප්‍රනාන්දු නැමැති කලාකරුවාටය. සන්නි යකුන් දහඅටදෙනා අතරින් වඩාත්ම බලසම්පන්න යක්ෂයා ලෙස සලකන්නේ කෝළ සන්නි යක්ෂයායි. සන්නි නැටුම් යාගයේ සියලුම සන්නි රංග භූමියට පැමිණෙන්නේ අනතුරුව අවසන් වරට සභාවට එන්නේ මෙකී කෝළ සන්නි යක්ෂයාය.
කෝළ සන්නි යක්ෂයා සිරිලකට පැමිණි පුවත ඉතාමත් චමත්කාරජනක ලෙස නාට්‍යානුසාරයෙන් සන්නි යකුම් යාගයේදී රඟ දක්වනු ලැබේ. කෝළ සන්නි යක්ෂයාගේ පැමිණීම වළක්වන නාථ සහ සමන් දෙවිදුන්ගේ අණසක පිට කඩවත් හෙවත් මුරපොළක් පිහිටුවා තිබූ බවත් එකී කඩවත මුර කිරීමට දෙවියන්ගේ අණ ලත් හේවාරාල නමින් හඳුන්වන මුරකරුවන් දෙදෙනෙකු වූ බවත් පැවසෙන පුවත මෙකී ශාන්තිකර්මයේදී නාට්‍යානුසාරයෙන් නිරූපනය කෙරේ. කඩවත සංකේත කිරීමට කතිරයක ස්වරූපයට මෝල් ගස් දෙකක් හරස් කර ගත් අතෝරකරුවන් දෙදෙනෙකු සිටින අතර කෝළ සන්නි යක්ෂයා ලෙස වෙස්වලා ගත් ඇදුරා පැමිණේ. යක්ෂයා කඩවතෙන් ඇතුළු වීමට තැත් කරන විට හේවායන් ඔහුගේ ගමන වළක්වයි. තමන්ගේ බලය ප්‍රදර්ශනය කරමින් යක්ශයා එතනින් ඇතුළුවීමට උත්සාහ ගනී.
එසේ කළ නොහැකි වූ තැන චාටු කතා බහෙන් ද විවිධ කෑම බීම ආදිය ලබාදීමට උත්සාහ කිරීම මගින්ද අල්ලස් දීමෙන් ද කඩවතින් පැන ගැනීමට උපාය මාර්ග යොදයි. මෙකී අවස්ථාවේ දී යොදා ගනු ලබන යාගයන් මෙන්ම සංවාදයන් ද හාස්‍ය රසයෙන් අනූනය. මෙසේ කෙසෙල් ගෙඩි ආප්ප කැවුම් ආදී දේ පමණක් නොව අරක්කුද දීමෙන් පවා හේවායන් පොළඹවා ගැනීමට නොහැකි වූ තැන කෝළ සන්නි යක්ෂයා තමා කවුරුන් ද යන්න හඳුන්වා දී තමන්ට කැමති පරිදි කවර හෝ ස්ථානයකට යන්නට එන්නට බුදුන් වහන්සේ අවසරයක් ලබාදී ඇති බව පවසයි. එවිට හේවායන් කියන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේගෙන් සන්නස් පත්‍රයක් රැගෙන එන ලෙසයි. මහත් සතුටින් දුව යන යක්ෂයා සන්නස ලෙස සැලසෙන පුස්කොළ පත් ඉරුවක් ගෙනැවිත් මුරපොළට දික් කරයි. එය නොපිළිගන්නා හේවායො එය ගෞරව සහිතව පිළිගැන්විය යුතු බව ප්‍රකාශ කරයි. එවිට කරන්නේ එකී සන්නස දණහිස උරහිස නාසය ආදී විවිධ ශරීරාංග මත තබා එය පිළිගන්නට උත්සාහ කරයි. කවර ආකාරයකින්වත් පිළිනොගන්නා හේවායෝ එය හිස මත තබා වඩම්මවාගෙන පිළිගැන් වූ පසු ඒ පිළිගනිති. ඉන් අනතුරුව සංදේශය දිගහැර ආඩම්බර ලීලාවෙන් කියවන්නට පටන් ගනී. මොහොතකින් ඉකිගසා හඬයි. හඬන්නේ බුදුන්වහන්සේ කෝල සන්නි යක්ෂයාට මනුෂ්‍ය ලෝකෙට යන්නට වරම් දී තිබුණත් නරබිලි ගැනීම තහනම් කොට ඇති හෙයිනි.එකී සන්නසට අනුව කෝල සන්නි යක්ෂයාට අවසර දී ඇත්තේ ලෙඩ රෝගවලින් පෙළෙන රෝගීන්ගෙන් දොළ පුදගෙන ඔවුන් සුවපත් කිරීම පමණකි. මෙහිදී යක්ෂයන් මෙල්ලවෙයි.
ඉන් අනතුරුව කඩවත අස් කොට කෝල සන්නි යක්ෂයාට ඇතුළුවීමට අවසර දෙනු ලැබේ. ආතුරයා වෙත යන යක්ෂය ආතුරයාට සෙත් පතා ඔහු වෙතින් දොල පුද ලබා ගනියි. ආතුරයා විසින් දොල වශයෙන් පුද ලබන බත් කැවුම් පලතුරු ආදී දේ ඔහු ඉන හැඩය ඇති ගොටු වලටත් හිසේ ඔටුනටත් දමනු ලැබේ. කුකුළාද යක්ෂයාගේ ඇගෙහීම දවටනු ලැබේ. ඉන් අනතුරුව කෝළ සන්නි යක්ෂයා දුම්මල ගසමින් නර්තනයේ යෙදේ. කෝල සන්නියේ රංග වස්ත්‍රාභරණ අනෙකුත් සන්නි යකුන්ගෙ ඇඳුම් පැළඳුම් වලට වෙනස් ස්වරූපයක් ගනියි. ඉනවටා පිදේනි තටුවක ආකෘතියට අනුව කෙසෙල් පතුරු වලින් කළ ඉන හැඩයක්ද හිසට විශේෂ ඔටුන්නක්ද පලදිනු ලැබේ. දොළ පිදේනි ආදිය දමන්නේ මෙකී තටුවටය. පසුව එකී දොලපිදේනි ආදියත් සමග තටුව මුදාහරිනු ලබයි.
ප්‍රධාන මූලාශ්‍රයන්
පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006
ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදි ප්‍රථම වසර
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය