Saturday, December 12, 2020

සබරගමු නර්තන කලාව හැදින්වීම

සබරගමු නර්තන සම්ප්‍රදාය යනුවෙන් හැදින්වෙන්නේ එ නමින්ම ව්‍යවහාරිත ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාප්තව පවත්නා එම ප්‍රදේශයටම ආවේණික වූ නර්තන කලා සම්ප්‍රදායයි. ඇතැම් තැන්හිදී සපරගමු නර්තන සම්ප්‍රදාය ලෙසද භාවිත වේ. එ බැවින් සබරගමු නැටුම් කලාවේ ඓතිහාසික පසුබිම සෙවීමේ දී රාවණා අධිරාජ්‍යයා තෙක්වූ දිගු යටගියාවකට යා යුතු වේ. සිව් හෙළය පාලනය කල රාවණ රජු අපේ වංශ කථා ඉතිහාසයට එක් වී ඇත්තේ ප්‍රබල රණශූරයෙකු වශයෙන් ම නොව, නාට්‍යකරණයේ අති දක්ෂ නැටුම් ශිල්පියෙකු ලෙසිනි.රාවණයන්ගේ ගිරි රාජධානි හතකින් යුත් ලංකා රාජ්‍යයේ ඉන්ද්‍රගිරිය හා චන්ද්‍රගිරිය සබරගමුවට අයත් වේ.සාහිත්‍යයට අනුව රාවණ රාජදේවිය සබරගමු දෙවගනකි. ඇයගේ වැඩිවියට පත්වීමේ දෝශයක් දුරුකර ගැනීමට කරන ලද සමයම් තෝත්‍රයක් පිළිබඳ පුවත සබරගමු නැටුමට ඉතා වැදගත් එකකි. 

සමස්ත වශයෙන් ගත් කල ප්‍රධාන නැටුම් මාත්‍රා 5ක් ඊට පදනම් වී ඇති බව පෙනේ.


1.    මුල් මාත්‍රය හෝ ගමන් මාත්‍රය

2.    සින්දු මාත්‍රය

3.    පට්ටුතල් මාත්‍රය

4.    යක් පද මාත්‍රය

5.    යාදිනි මාත්‍රය යි.

ඇතැම් විට මෙම මාත්‍රා 5 වෙනුවට වෙනත්  සංඥානාම ද ව්‍යවහාරයේ පවතී.

යුගයෙන් යුගය විවිධ සංස්කෘතික නැටුම්වලට ලක් වූ අපේ හෙළ නැටුම් කලාව සබරගමු, උඩරට, පහතරට, වශයෙන් සම්ප්‍රදායන් ත්‍රිත්වයකට බෙදී තිබුණ ද, මේ සියල්ලක්ම එක ම සිංහල නැටුම් කලාවේ අංගෝපාංගයන් ලෙස සැලකීය.අත්පා හැසිරවීම පිළිබඳ වෙනස්කම්, ගායනා කරන නාදමාලා පිළිබඳ වෙනස්කම්, වාද්‍ය භාණ්ඩ හා වාදන ක්‍රම පිළිබඳ වෙනස්කම්, ශාස්ත්‍රීය හා ජන ශ්‍රැති ආශ්‍රිත වෙනස්කම් ආදිය ප්‍රායෝගික වශයෙන් පවතින බාහිර ලක්ෂණ හා සංගත වූ මූලික විවිධත්වයන් වශයෙන් සැලකිය යුතු අතර, ශාස්ත්‍රීය වෙනස්කම් වශයෙන් පවතින සිද්ධාන්ත මූලධර්ම න්‍යායාංග, රීති  වැනි ශාස්ත්‍රීය කරුණු මත පවතින වෙනස්කම් ද දැකිය හැකිය .නැටුම් ශිල්පය හදාරන ආධුනිකයාගේ යෝග්‍යතා සරඹ, නම්‍යතා සරඹ වශයෙන් සැලකෙයි. මෙයින් පසු ශිෂ්‍යයා යොමු කෙරෙන්නේ නැටුමට අවශ්‍ය හරඹ පදවලට ය. ඒවා දණ්ඩි හරඹ වශයෙන් දොළසකුත්, මණ්ඩි හරඹ වශයෙන් දොළසකුත්, දොඹින පද වශයෙන් තවත් දොළසකුත් යනුවෙන් හරඹ පද 36ක් සබරගමු සම්ප්‍රදායට ආවේනිකව පවතී.
 

සමස්ත සබරගමු නාද මාලාව ඡන්දස් රීත අනුව ම ක්‍රියාත්මක වන්නකි. එ අනුව සියලු ම නාදමාලා ප්‍රධාන කොටස් තුනකට වෙන් කොට දක්වයි.එම නාද මාලා තුළ සිව්පද විරිත, විලම්බු විරිත හා සිංහ විරිත වශයෙන් සබරගමු ගුරුකුලවල භාවිතයේ පවතී.සබරගමු බලි ශාන්තිකර්මයට මෙය විශේෂිතය.මෙම විරිත් තුනට අයත් නොවන වැදි ගීත, කමත් ගී සහ ජන ක්‍රීඩා සම්බන්ධ ගීත ද සබරගමු ජනසංගීතය තුල දක්නට ලැබේ. සබරගමු සම්ප්‍රදායට ආවේණික වර්තමාන වාද්‍ය භාණ්ඩය දවුලයි.අතීතයේ පටාව නම් භාණ්ඩයක් භාවිත කල බව සදහන් වෙතත් දැනට දක්නට නොලැබේ .එහෙත් සබරගමු දවුල සෙසු දවුල්වලට වඩා විශාලත්වයෙන් යුතුය.

අද වන විට මෙම නර්තන කලාව සබරගමු ප්‍රදේශයට පමණක් සීමා වී තිබුණ ද ලංකාවේ පැරණිතම සිංහල නර්තන කලා ශිල්පය සබරගමු නර්තන කලාව බව විද්වත් මතයයි.කෙම්මුර යාගය, යකුන් පිදීම, කඩවර සමයම වැනි දැනට ඉතා දුර්ලභ ලෙස ශේෂව පවතින අති පැරණි පිදවිලි ක්‍රම හා ඊට අනුගත වූ නර්තනාංග සහිත පුරාවෘත්තයේ සලකා බලන විට ද, ඉන්පසු විකාශනයට පත් වී ඇති කුමාර සමයම, ගොපලු සමයම, තුන්සමයම, දැරහැව, හූනියම් මඩුව, මහසොහොන් සමයම හා දහඅට සන්නි වැනි සමයම් පිළිබඳ වූ පුරාවෘත්ත හා අංග ශෛලීන් ගැනද  සලකා බලන විට ලාංකික සිව් හෙළයන්ට පමණක් සීමා වූ පිදැවිලි හා සමයම් ස්තෝත්‍ර ක්‍රම සම්බන්ධ ගායන හා නැටුම් අංග සබරගමු නර්තන ඉතිහාසයේ හා විකාශනයේ මග සලකුණු ලෙස පිළිගත හැකිය.සබරගමු නර්තනයටද මූලය වී ඇත්තේ යකුන් සහ දෙවියන් විශයෙහි පැවැත්වෙන ශාන්තිකර්මයන්ය. මෙහි ප්‍රධාන ශාන්තිකර්මය පහන් මඩුවයි.

මෙවන් පිදැවිලි හා ශාන්තියන් පිළිබද පුළුල් සටහනකින් පසුව හමුවෙමු.

(තොරතුරු ගුරුවරු හා පොත්පත් ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න) 

ඩබ්.ඒ්.එම්.එස්.එන්.ජයවර්ධන
විශේෂවේදී ප්‍රථම වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


 

 


 
 

දොවොල් මඩු ශාන්තිකර්මය

පහතරට නර්තන සම්ප්‍රදාය හා බැදුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි. ලංකාවේ පළමු දෙවොල් මඩු ශාන්ති කර්මය රුවන්වැල්ල ප්‍රදේශයේදී ඉන්දියාවෙන් පැමිනි සේරමාන නම් රජ කෙනෙකු විසින් පවත්වන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි. පුරාතනයේ සිට තම අස්වැන්න නෙලා ගත් ගොවිජනතාව සෞභාග්‍යය, යහපත, සශ්‍රීකත්වය පතා මඩු ශාන්තිකර්මය පවත්වනු ලැබේ. කමතක් එලිමහන් භූමිය වැවි තාවුල්ලක් හෝ වෙනත් ඕනෑම පොදු ස්ථානයක මඩු ශාන්තිකර්මය පැවැත්වූහ. දේවාලයක් ආශිතව වසරක් පාසා පවත්වනු ලබන දෙවොල් මඩු ශාන්තිකර්මය තුල දක්නට ලැබෙන සියළු පුද සිරිත් මෙහිදී දක්නට ලැබේ. පත්තිනි දෙවියන් මුල් කරගෙන පවත්වනු ලබන මඩු ශාන්තිකර්මයකි. මෙහිදී ආරම්භක ඉතිහාසය දෙවොල් මඩු ශාන්තිකර්මයේ ඉතිහාසයම වෙයි.එය මෙසේය..............

තොට මෙට යාම හෙවත් නානුමුරය

දින තුනක පටන් මස් මාංශ වලින් තොරව ඇදුරන් මඩු පේ කිරීමෙන් පසු දෙවොල් මඩුව පැවැත්වීම ඇරඹෙන්නේ නානුමුරය සදහා තෙටඹෙට යාමෙනි. පස්වරු තුනට පෙර කපු මහතා ඇතුළු මඩු යාග ඇදුරන් නා පිරිසිදු වීම සදහා ගංතොටක්, ඇලක්, දොලක්,(දියබස්නාවක්) වෙත යයි. හිස සේදීම නානු ගෑමෙන් සිදු කෙරෙයි. මෙහිදී ප්‍රධාන කපු මහතා ප්‍රධාන වශයෙන් පිරිසිදු විය යුතුය.

දිවුල්, නුග, කලාදුරු, නෙල්ලි, කොල වර්ග යුෂ, දෙහි, සදුන්, කපුරු, කහ මුසුකල ජලයෙන් නානු සාදා ගනු ලබයි. හිස් සෝදා නා පිරුවට ඇද යාගයට සූදානම් වීම ඇදුරු චාරිත්‍රයකි. තොටඹේ සහ තොටඹේ යනුවෙන් දැක්වෙන මෙම වචන දෙකම අර්ථවත්ය. තොටඹේ දි කරන මෙහෙය හෝ තොටඹේදී වතුරට කරන පූජාව යයි යන දෙකෙන්ම අර්ථ ගත හැකිය. අඹ යනු ජල යන අර්ථය වේ. වටතිර ඇද හදුන් කිරි පැන් කලයක් තබා එයද තොටඹේ හැටියට සලකනු ලබයි.

මේ අයුරින්ද තොටඹේ විස්තර වෙයි

ලක් හිමි නැසූ තරහට කල                   වාදනය

ගෙත්මකවා පඩිපුර ගිනිලු                    තෙදින

සිත් පහදවා ගපසට වැඩි                  අනුහසින

සත්පත්තිනි දෙවි තොටඹෙට වරම්         දෙන

මිල්ල කැපීම

රග මඩුවෙන් පිටස්තර පිහිටි මිල්ල ගසක් සොයා එම ගස වටා ගොක් රෑන් ඇද එහි සිටි රුක් දෙවියාට වෙනත් ගසකට යන්න ආරාධනා කර ගසට හදුන් කිරි පැන් සුවද ඉස පසුව යාග ඇදුරන් කැති පොරෝ ගෙන බෙර සක්තුරු ඇතිව උඩු වියන් ඇතිව පෙරහරින් රංග භූමියට පැමින දෙවොල් දෙවියන්ගේ මල් අස්නේ තැන්පත් කරනු ලැබේ. මිල්ල කැපීමට යාම මේ අයුරින් විදහා දැක්විය හැකිය.

කැලේ ගොසින් අමු මිල්ල කපන්                      නේ

කැලේ වටට උඩු වියන් බදින්                            නේ

රැලේ පුළුන් ලෙස දුම විහිදෙන්                         නේ

මලේ මහිම බල දෙවොල් යකුන්                       නේ

මෙම මිල්ල කැපීමේ චාරිත්‍රය ගිනි පෑගීම සදහා කරන අතර දෙවොල් සත් කට්ටුව මෙලකට වැඩමවීම වැලැක්වීමට මැවූ ගිනි මැල හත සිහි ගැන්වීම උදෙසා කරනු ලබයි. ස්වර්ණ කුදුප්පර දේශයේ සිට දෙවොල් සත් කට්ටුව නැව් නැගී එන විට තද කුණාටුවකින් නැව විනාශ වීමෙන් මුහුදුමනි මේඛලාව මවා දුන් ගල් පහුරක නැගී මෙලකට ගොඩබැසීමට ආවේය. එහිදී යාපනය, පුත්තලම, මීගමුව, මොරටුව, පානදුර, වැලිගම, උණවටුන යන පලාත් වලින් ගොඩ බැසීමට උත්සාහ කලත් එම පලාත්වල දෙවිවරු ඉඩ දී නොමැති අතර සීනි ගමට ගොඩ බසින්නේම යැයි සිතා ආ විට පත්තිනි දේවිය දෙවොල් දේවියන්ගේ බලය බලන් නැයි ගමනට බාදා කරමින් වටේට වූ මිල්ල කැලයට ගිනි තැබීය. එදා කතරගම දෙවියන්ගේ අණසක සිහිපත් කරගෙන ගින්න තරණය කරගෙන ආ දෙවොල් දෙවියන් ගිනි නිවූ බව සිහිපත් කරමින් අද ගිනි පෑගීම සිදු කරයි. ඒ සදහා මිල්ල කපා ගෙනවුත් වෙනත් දර සමග දමා ගිනි අවුලවා පාගනු ලබයි.

ගිණි පැගීම සහ පන්දම් දීම

පත්තිනි දේවියගේ දොලොස්වරක් ඉපදීම වෙනුවෙන් පන්දම් 12ක් පූජා කිරීම මෙහිදී සිදුවෙයි. එය පත්තිනි වෙනුවෙන් සහ දෙවොල් දෙවියන් වෙනු‍වෙන් සකස් කර තොරනේ පන්දම් ගැසීමෙන් මෙම භාරය ඔප්පු කරයි. කපු මහතා ආවේශ වී එම පන්දම් කපු මහතා විසින් නිවා දමයි. ඒ අතර ආතුරයින්ට පේන දැකීමට ඉඩ සලස්වනු ලබයි. මෙහිදී පේන කිරීමට පෙර ගිනි පෑගීම කල යුතු අතර මෙය දෙවියන් දෙදෙනෙකු සදහා කරන කාර්යයක් වෙයි. පත්තිනි සහ දෙවොල් දෙවියන් සදහා එකවර පූජා පවත්වන එකම අවස්ථාව මෙය වෙයි. මෙහිදී පත්තිනි දෙවියන් වෙනුවෙන් පන්දම් දෙලහ දීමද දෙවොල් දෙවියන් වෙනුවෙන් ගිනි පෑගිමද සිදුකරයි.



 

බිසෝ කප සිටුවීම

දෙවොල් මඩු පුරාවෘතයේ එන පරිදි එදා චෝර රට සේරමනා රජුට හට ගත් හිසේ රෝගය සුවකිරීමට ලක්දිවට පැමින ප්‍රථම මඩු පූජාව පැවැත්වීය. එහිදී එම රජුගේ බිසව විසින් පත්තිනි දෙවියන් ට පූජාව පිනිස කපක් සිටුවන ලදී. මෙය මුල්වරට රුවන්වැල්ලේ සිදු විය. වියත් හතරකුත් අගල් හතරක් පමණ දිගට කෙසෙල් කොටයක් ගෙන මුදුනට පොල්මලක් පුවක් මලක් ගැටගසා කැටයම් කල ගොක්කොළ වලින් සරසා කහදිය සුවද දුම් දී මඩුව ඉදිරිපිට සකසන ලද ආසනයක් මත තබනු ලබයි. ඉන් පසු ශිල්පීන් බෙරවාදනයෙන් නර්ථනයෙන් හා කවිගායනයෙන් එයට ආචාර දක්වයි. පසුව එක් ශිල්පියෙකු සංවාද ශීලීව දෙවොල් මඩුවේ පුරා වෘතය කියා නර්ථන කටයුතු කර බිසෝකපට ආචාරකොට එය අතට ගෙන සභාවට එන ලදී. එහිදී සභවේ අය එයට පඩුරු එකතු කරමින් ආචාර කරයි. පසුව නැවතත් බිසෝකප ආසනය මත තබා නොනවත්වා නැටුම් සහ බෙර වාදනය සිදු කරයි. මේ අතර එක් ශිල්පියෙකු බිසෝකප දෑතින් ගෙන ප්‍රධාන යහනටත් අවශේෂ යහන්වලටත් නර්ථනයන් සමග පේ කරවා අවසානයේ ප්‍රධාන යහන අභියස (දේව යහන) ඇති වලක බිසෝකප සිටුවයි.

අතීතයේ බිසෝකපට සදුන් කදක් යොදාගෙන ඇති අතර අද එයට කෙසෙල් කදක් යොදා ගනී. එහිදී සිදු කරන කවි ගායනා මෙසේය,

සොලී පුරෙහි මල                     රට

සේරමානම් රජුගෙ            සිරසට

රෝගයක් වන්                           විට

එරජ සෙත් සහ ඇවිත්  මෙලකට

 

දෙවිදු හට                           බැතිනී

පුද පඩුරු දෙන                  ලෙසිනී

රග මඩුව                            සදමිනී

බිසෝකප සිටවුවේ     මෙලෙසිනී



පූනාව පේ කිරීම

පූනාවෙන් අදහස් කරන්නේ වස් දොස් දුරු කිරීමයි. සියලුම වස් දොස් පූනාවට එක්කර ශාන්තිකර්මය අවසානයේ දී දිය කඩිත්තක් වෙත ගොස් වසු පැටවකුගේ හිසේ ගසා පූනාව බිදීම සම්මතයි.එයින් සියලුම වස් දොස් දුරු වී සෙත් ශාන්තිය ලැබෙන බවට ඇත්තේ බලවත් විස්වාසයකි.

තෙල් වැඩම වීම

දෙවොල් මඩු යාගයට අයත් සියළුම තෙල් නෙයිදුල්ව සිද එම තෙල් උඩු වියන් යටින් පාවඩ පිටින් ගෙනවුත් තැන්පත් කිරීමයි. මෙයට සමහර පලාත්වල විශේෂ නැනක් ලැබේ. එසේ තෙල් වැඩම වීමේදී මෙවැනි කවි ගායනා කරනු ලබයි.

දහම් සරණ ලොව් තුරු මුනි සරනේ

සමන් විභීෂණ දෙවියන්        වරුනේ

මලෙන් උපන් පත්තිනි දෙවි  සරනේ

කියම් මෙපුද දෙන සැම දෙවි වරුනේ

 

බාලා ගෙඩියක් නෙලනා තෙල්              සිද

සාලා ඇති මල් පුදමින්                       නිවරද

වේලාසන ඇදුරෙක් පේ වී                        ඉද

මේ යාගය දැන ගත හොත්             නිවැරද

 

තොස්ව යහන් සරසා ගති             මෙතැනේ

අස්න සදුන් සුවදින් පුද                      දෙන්නේ

හස්ත නාථ දෙවිදුට                        වදිමින්නේ

විෂ්ණු දෙවියො තෙල්මල් පිං              ගන්නේ

 

රාත්‍රී පහන් දැල්වීම

මඩු ශාන්ති කර්මයේදී දෙවියන් උදෙසා නොනිමෙන ආලෝකයක් ලබාදීම මෙමගින් අදහස් කරයි. මෙම පහන් දැල්වීම පත්තිනි හා දෙවොල් දෙවියන් ප්‍රධාන සියළුම දෙවියන් වෙනුවෙන් කරනු ලබයි. මෙහිදී ආතුරයින් හට ශාන්තියක් ලබා දෙස් කන්නලව් කරමින් පහන් දැල්වීම සිදු කරයි.

කාල පන්දම්

මෙය සිදුකරන විට හැන්දෑ සමයමේ මැද කොටස විය හැකිය. රියන් 11 ක් පමණ උසැති පුවක් ගසක් පිරිසිදු කොටගෙන මුදුනේ පුවක්මලක්ද විශාල පන්දමක්ද ගසදා දල්වා බෙර සක්හඩ මැද ඔසවති. එය සතර වටේට ගොක්කොල වලින් කන්වැල (දම් වැල්) සාදා මෙය දෙවොල් දෙවියන්ගේ යහන ඉදිරිපිට සිටුවයි. මෙහිදී නියිමිත බෙර පද ඉරට්ටේ කිහිපයක් නටනු ලැබේ. මෙය එදා සිට තකරගම දෙවි නාමයට කරගෙන එන අතර සමහර ප්‍රදේශ වල දෙවොල් දේවතාවටද තවත් සමහර ප්‍රදේශවල දැඩිමුණ්ඩ දේවතාවන් වෙනුවෙන්ද සිදු කරනු ලබයි.

පුරාවෘත්තය වශයෙන් දෙවොල් දෙවියන්ගේ නැවේ කුඹ ගස මුදුනේ වටිනා මැණිකක් තිබුන බවද එහි බලයෙන් සියළුම දොස් දුරුවන බවද සැලකේ. දුටුගැමුණු රජුගේ ජයග්‍රහනය හේතු කොටගෙන කතරගම දෙවියන්ගේ දේව මන්දිරය එදා ආලෝකමත් කරදීම සිහිපත් කිරීමත් මෙම කාල පන්දම් පූජාවෙන් ඉටුවන බව තවත් මතයකි.

දැන් තෙද බල කද              කුමරු

වන් උවදුරු හැරපු              දුරු

සිහාසන බලෙහි                 ගරු

වත් දොස ඉස් මුදුන            හරු

 

උතුම් කන්ද කුමරිදු             නේ

රුවන් දුන්නු අනුහසි           නේ

සවන් දෙකද මුඛ               තුලිනේ

මෙවන් දෝෂ දුර හරි          නේ

   




තොරන් යාගය

දෙවොල් මඩුවේ රග මඩල සරසන ප්‍රධාන මලසුන තොරණ වේ. මේ පත්තිනි දෙවියන්ගේ පූජාසනය වේ, මෙය මකර තොරණ ලෙස නම් කරති. මේ තොරණට සිංහල චිත්‍ර මූර්ති කලාවේ දැක්වෙන මකර රූපාවලිය කරන නිසා එසේ නම් කර ඇත. රඹ පතුරු ගොක් කොල කැටයමින් සරසන මෙහි උස හත්රියනක් විය යුතු බැව් නියම කෙරේ. කොත් පහකින් යුත් මෙහි මාලා කර්ම ලතා කර්ම ආදියෙන් විසිතුරුය. හංස, ගිරා, පරෙවි, කේසර, වටුවන් ආදී රූප ඇද ඇත. කඩු පලස් අත ඇති රජ රූප දෙකක්ද සිතුවමි කර ඇත. රජ රූප දෙක සෙන්තවාත් සහ ගජබාරජ වරුන්ගේ විය හැක.

ප්‍රථම කොට ඇදුරන් රගමඩලට විත් කඩතුරාවකින් වසා ඇති තොරණ අභියස සිට තොරණ විස්තර කරන ශ්ලෝක ගායනා කරනු ලැබේ.

ගජේන්ද්‍ර වන්දං                        කෘක පාද සිංහම්

වරාහ කර්ණට                         හෘද මත්ස්‍ය දේහම්

හරාල දස්තට                           භද්‍ර මන්ත්‍ර නේත්‍රම්

විචිත්‍ර පත්‍රම්                              මකර ස්වරූපම්

පසුව කඩතිරය විවෘත කරයි. පළමුව නර්ථන ශිල්පීන් ඒ සදහා තම නැටුම් ඉදිරිපත් කර ආචාර කරයි. පසුව යහන විවෘත කර එම තිරය රැගෙන ගීතිකා කියමින් නර්ථන කරයි. ඒ සමග කවි ගායනයේ ආතුරයින්ට සෙත් පැතීම සිදුකරයි.

තොරණ දුටු දෙරනේ                                ඈත් පෙර දවසකී

භරණ ගැලවූ විලසේ                         රෝග දුර හල පුවතකී

ආතුර හට මෙසේ                                      තොත් කර ගීයකි

රකින් තිස්වා දහස් සැමිනේ මේත් පත්තිනි සෙත් කිරීමකි

 

තොරන් යාගයට අයත් වන කවි කිහිපයක් මෙසේද වෙයි.

පොරණ කුලයට නැමැති රජ කුලයට            පොරණ

දෙරණ කුල නැමැති සක් බඹ සුර                 නරණා

කරණ ලෙසින් සත හට පැවැතිය                 පොරණ

කරනු රජ කුලට රන් තොරන                     මකරින

 

ගත් උස සත් වියත් සාගල් සිව්                අගුලා

මෙත් වට ප්‍රථල සවියක් අගුල            තුග ගුලා

මෙත් දත බදින රඹ පත තොරන     නිම කලා

යුත්තෙද පත්තිනියන් හට තොරණු මුල් කලා

 


මල් යහන් දීම

මඩු ශාන්ති කර්මයට ප්‍රධාන දේවාආරාධනා කිරීම මෙහිදී සිදුවෙයි. මෙය කෝලම් මුර කිරීම ලෙසද හදුන්වනු ලබයි. මෙහිදී දෙවියන්ගේ ගුන හා බලපරාක්‍රමය ගායනා කරනු ලබයි. දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පැතීමේ පෙල පාලි අංගයක් ලෙසද දැක්විය හැක. දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමට මල් පහන් සුවද දුම් යහන් මත තබනු ලැබේ. පැයක කාලයක් නැටුම් හා කවි ගායනා යහන් ඉදිරියේ සිදු කරනු ලබයි. බෙර වාදනයද අඛන්ඩව සිදුවේ. ශිල්පීන් දෙදෙනෙකු මාරුවෙන් මාරුවට හා එකවර කවිගායනා කිරීම හා නැටුම් ඉදිරිපත් කරයි.එම කවි ගායනා මෙසේය,

සාර බර චන්ඩ මහ භද්‍රා                       කල්පයට

නෑර අටවිසි මුණි ගුණ ලැබ                       සතුට

නෑර මේ ආතුර වස් දොස්                     මුදන්නට

බාර දෙමි පහන් මුර                             දෙවියන්ට

 

රැස්ව නොයෙකුත් සව් සතන් වෙත පිහිට කරුණා  කරවතා

කොස්ව හීලය වරුන පාටින් ගරුඩ වාහනයෙන්             යතා

තොස්ව කෙලි පුද බාරගන්නට වරම් ලැබ පූරුවෙ           පතා

අස්නයට වැඩ විෂ්ණු දෙවියනි මෙපුද ලැබ කරුණා          වෙතා

 


හලඹ පාවාදීම

මඩු භූමියට වැඩම්මවන ලද හලඹ කපු මහතා විසින් යහන් මත් තැන්පත් කිරීම හලඹ පාවා දීමයි. මෙහිදී පත්තිනි ආභරණ රැගත් කපු මහතා ඉදිරියෙන් සිටිද්දී අනෙක් කපුමහතුන් කව් සන්න ගායනා කරමින් සක් පිඹිමින් වැඩම්මවන ලද හලඹ පත්තිනි හාමි නොහොත් පත්තිනි නටන කපු මහතා විසින් යහ් මතට වඩම්මවනු ලබයි. පත්තිනි නැටීම අතරතුර සිදු කරන මෙම ක්‍රියාවෙන් පසු අනෙක් යහන් වලටද හලඹ වඩම්මවන අතර පත්ත්නි නැටීමේ අවසානයේදී පත්තිනි යහනේ ඇති හලඹ රැගෙන ආතුරයින්ට සෙත් පැතීම සිදුකරයි. මෙහිදී ගායනා කරන කවි කිහිපයක් මෙසේය.

ඉස සෝදා සුදු වැලි ඇතිරිලි            ලන්නේ

බෝ හෝසේ වියන් වට තිර      අල්ලන්නේ

ගසති දවුල් බෙර වැත්ති          තොසින්නේ

හිසපිට තබමින් හළඹ             ගෙනෙන්නේ

 

අදමෙරලා                   මඩුවට

මිණි සළඹ       වැඩමවන්නට

මිහිකත් අතින්                තුට

ගනිමි අවසර  වැඩමවන්නට

 

අල්ලා දඩු වියන්

දෙපස චාමර සලමින්

සුවද දුම් දෙවමින්

වියනට වැඩ පත්තිනි සාමින්

 



පත්තිනි නැටීම හා දේවාභරණ වැඩම වීම

දේවාභරණ නොහොත් හලඹ හෙප්පුවක බහා තොරණට වඩම්වන්නේ ප්‍රධාන කපු මහතා විසිනි. පසුව කහ දියරෙන් සෝදා දුම් අල්ලා පිරුවටයකින් ඔතා රග මඩලේ ඉදි කර ඇති පූජාසනයක තැන්පත් කරයි. කපු මහතා රතු වන් හැට්ටයකින් සහ තනි වර්ණ සාරියක් ඇද මාල, වලලු, තෝඩු පැලද ස්ත්‍රී වේශයෙන් සැරසෙති. පත්තිනි නටන කපු මහතා අතින්ද නානු මුර කරන ලද හලඹ වඩම්මවනු ලබයි. වර්ථමානයේදී පත්තිනි හාමි විසින් හලඹ නානු මුර කිරීමද සිදු කරයි. හලඹ වැඩම වීමෙන් පසු පත්ත්නි නැටීම සිදු කරයි. මෙහිදී කවි ගායනය සහ බෙර වාදනය සිදු කරයි. මෙහිදී අතුරා ඇති පාවඩ මත පමනක් නැටීම පත්තිනි නටන කපුමහතා වගබලා ගනී.

 



මගුල් බෙර වාදනය

තෙල්මේ නැටීමට ප්‍රථමයෙන් මගුල් බෙර වාදනයට බෙරවාදක ශිල්පීන් එයට නියමිත ඇදුමෙන් සැරසෙයි. මෙහිදී යාග ශාන්තිය හා සම්බන්ද සියළු බෙරකරුවන් විසින් තම බෙර වාදනය කරමින් දෙවියන් ප්‍රධාන තෙරුවන්ගෙන් ද සභාවෙන්ද අවසර ගනු ලැබේ. ගායනය, නර්ථනය, යන අංග තුනම ඔවුන් විසින්ම කරනු ලැබේ.

ඉ‍නෙහි බෙර බැද කාලාන්විතව කරනු ලබන මේ රංගනය නරඹන්නන්ට මහත් ආස්වාදයක් ලබාදෙයි. දස මරුන් පරදා එදා බෝ මුලේදී සිදුහත් තවුසන් බුද්ධත්වය ලැබූ වෙලේ බුධ මගුල යනුවෙන් සක්‍ර දෙව් පුත් කල බෙර වාදනය මේ අවස්ථාවේදී සිහිපත් කෙරේ. මේ යාගාංගය වෙනුවෙන් අඩුම වශයෙන් පැය එකහමාරක දෙකක කාලයක් ගතවේ. හලඹ පාවාදීමෙන් පසු දෙවියන්ට කරන තේවාවක් ලෙසද බෙර වාදනය කිරීම සලකයි.

ගන්දබ්බානං දේවානං

සබ්බේදේවා සමග්ගියා

කත්වාන පංච තුරියේන

සන්තුට්ටේ පීති මනාසො

 

සුගන්දම් මුණිදුට

නමකල පද තුනක් ඇත

මුදුනක් තබා හිස

ගසම් පළමුව වදින තුන් අත

තෙල්මේ නැටීම

ශාස්ත්‍රීය නැටුම් අංගනයක් ඇතුලත් විසිතුරු නර්ථන අංගයකි. නොයිදුල්ව සිදගත් තෙල් වලින් දොලහ දෙවියන්ට පහන්දල්වා මෙම යාගය සිදුකෙරෙති.  තෙල්මේ තටුවනමින් යුතු පුද අසුන රගමඩලට ගෙනවිත් රංග භූමිය මැද තබන ලද පුටුවක් මත තබයි. එහි විලක්කු, බුලත්, පඩුරු, ආදිය දොලහ බැගින් තැන්පත් කර ඇත. පසුව විලක්කු පත්තු කර තටුව මත සිටුවා තෙල්මේ නැටීම ආරම්භකරයි. ප්‍රථම මඩුමංගලයේදී චෝල රජ කුමරුන් දොලොස්දෙනෙක් මෙම තෙල්මේ නැටුමට සහභාගි වූ බව පුරාවෘතවල සදහන්වෙයි. පබළු වලින් සරසන ලද ඉතා අලංකාර ඇදුම්වලින් සැරසී නර්ථන කටයුතු සිදු කරයි. තෙල්මේ යා‍ගයේදී ශ්‍රීයා කාන්තාවට ආරාධනා කරනු ලැබේ. ඒකල නර්ථනයන් ආරම්භකොට පසුව සමූහ වශයෙන් ඉදිරිපත්කරයි. ශිල්පීන් පිනුම් ගැසීමද නර්තන අංගයට එක්කරමින් නරඹන්නන්ට විනෝදාස්වාදය ගෙනදෙයි.

සේරන් නිරිදුට

සිරසේ රෝග වන්විට

සැදු රග මඩුවට

පුද තෙල්මේ තමුව මෙලෙසට

 

සදුන් තෙල් කිරි මල්

සැදු නානා මෙහැම දේවල්

යහන පිට මන කල්

දොලහ දෙවිදුට පුදා මෙසියල්

 



දෙයිරන් පාවාදීම

දේවාභරණ තේවා කොට කිරීමේ දී පත්තිනි පා සළඹ ගෙන ආතුරයන්ට පවන් සලා සියළු ලෙඩ දුරු කිරීම සදහා අයදියි. මේ අවස්ථාවේ දී තේවා පද සළු පද කරඩු පද නැටීම සිරිතයි.

වාහල නැටුම

දෙවොල් මඩුවේ පත්තිනි දෙවියන් හා පුද ලබන දැඩි මුණ්ඩ වාහල බන්ඩාර දෙවියන් පිණිස වූ නර්ථනයක් වෙයි. දෙව්යන්ගේ දිෂ්ඨිය ආවේෂ කරගෙන කපු ඇදුරෙකු වාහල නටයි. ඉතා වේගවත් සහ විශ්මය ජනක නර්ථනයක් වන මෙය වාහල ඇදුමෙන් සහ වාහල තොප්පියෙන් කපු ඇදුරා සැරසී නටන නර්තනයකි. තොප්පියෙන් දෑස් අඩක් ආවරණය වී ඇති අතර එය දැඩිමුණ්ඩ දෙවියන්ගේ කිරුළ ලෙස විශ්වාස කරයි. වාහල ඇදුම රතු සහ සුදු සේලයකින් සහ හැට්ටයකින් සමන්විත වන අතර කකුල් දෙකට ගිගිරි බැද ගනී. පසුව දැඩිමුණ්ඩ දෙවියන්ගේ යහන අසල පුටුවක ඉදගෙන වාහල බණ්ඩාර දෙවියන්ගේ කවි සහ වාහල බන්ඩාර දෙවියන්ගේ උපත ගායනා කරයි. පසුව වේගවත් බෙර වාදනයක් කරන අතර වාහල නටන කපු ඇදුරාගේ මුළු ශරීරයටම දුම් අල්ලනු ලැබේ. දුම්මල වරං බල වතුරෙන් ජලකල එය අවසනට මුහුණට අල්ලයි. ඒ සමගම ආවේශවී මාලක්කන් රැල්ලක පනිමින් තොරණ අභියසට යයි. පසුව තෙරණ සහ සියළු මල් යහන් වලට වදිමින් නැටුම් දක්වයි. මෙහිදී තහ දිය කොතලය, අගුරු දුම්මල කබල, කලහ, පොල්මල, ඝෝඨලීය, හක් ගෙඩිය, පන්දම, යන හත් පදයන් නැටීම සිදුවේ. නැටුමේදී මේ සියලු ද්‍රව්‍ය ක්‍රමාණු කූලව අතට ගෙන ඒවා දෑතේ රදවාගෙන නර්ථනයේ නිරතවෙයි.

මෙය නරඹන්නන්ට විශ්මය හා බිය ගෙන නැටුමක් වන අතර අවසානයේ රගමඩල කරා විත් කාල පන්දම් ගසට දුම්මල ගැසීමේදී අන් ඇදුරන් විසින් ඔහු අල්ලාගෙන කලින් මතුරා තිබූ කහ දිය ඉස පන්දම් ඉවත් කර වාහල තොප්පිය ගලවා සිහි ගන්වනු ලැබේ. මෙම නැටුමෙන් දෙවියන්ගේ බලය නිරූපනය කර යක්ෂයින් සහ භූතයින් පලවා හැරීම අදහස් කරයි.

දස බිම්බර යුධට

මාරසෙන් රැස්වූ විට

දෙවියන් දැක නොසිට

දුවයි සක්වල ගලෙන් පිටතට

 

බුදුන් තනි කරලා

දෙවියෝ ගියහ හැරලා

දැඩිව එහි සිටලා

යුධ කරවි සැලකලේ වැදලා

 

අඹ විදමන

මේ සියලු කර්මයන්ගෙන් පසු නිවර්දි ප්‍රේක්ෂකය තවදුරටත් ශාන්ති කර්මය කෙරෙහි ඇදබැද තබා ගැනීමට පත්තිනි දෙවියන්ගේ චරිත කථාව නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම අඹ විදමන ලෙස හදුන්වයි.

පත්තිනි උපත් අතර අඹෙන් උපන් පත්තිනි අඹ පත්තිනි නොහොත් ඔරුමාල පත්තිනි උපත වඩා ප්‍රකට වූවකි. පඩිපුර පඩි රජුගේ අඹ උයනෙහි එක ගසක අකලට මා දිය කලයක් තරම් විශාලව අඹ ගෙඩියක් හටගෙන ඇත. මෙම අඹය නෙලාගැනීමට කිසිවෙක් සමත් නොවූ අතර අඹය නෙලීමට හැකි අයෙක් ඉදිරිපත් වන ලෙස දැන්වීය. දිනක් එක් මහල්ලෙක් පැමිණ තමා එය නෙලන්නේයැයි පැවසූ විට රජුගේ දුන්න ගන්න යැයි කී කල එය ප්‍රතික්ෂේපකර තමාගේම දුන්නෙන් අඹයට විද්දේය. ඊතලය අඹ නැට්ටේ වැදී අඹ ගෙඩිය ගිලිහෙත්ම අඹ නැට්ටෙන් වැටුනු අඹ කිරි බිංදුවක් උඩ බැලූ රජුගේ නලලත ඇසට වැටී එම ඇස නොපෙනී ගියේය. මෙම ඇස නැතිවීම මහත් විශ්මය ජනක සිද්ධියක් නිසා පඩි රජු එය කෑමට නොගෙන රන් ඔරුවක බහා කාවේරි ග‍ගේ පාකර හැරියාය. අඹයට විදි මහල්ලා නොපෙනී ගිය අතර ඒ මහළු වෙසින් පැමිණ ඇත්තේ සක් දෙවිදුන්ය. මෙසේ පාකර හැරි අඹය සහිත බෝට්ටුව මානායරනම් වෙදෙකුට හමු වී එහි තිබූ රන් අඹය නිවසට ගෙන ගොස් රන් බදුනක බහා තැබීය. දින ගනනක් ගතවීමෙන් පසු වෙලෙන්දාගේ ගෙදරට පැමිනි දරුවෙකු අඹය ඉල්ලූවිට සුරැකිව තැබූ අඹය මතක් වී එතැනට ගොස් බැලූ විට ඔහුට පෙනුනේ ඉතා රූමත් බිළිදු කුමරියකි. අඹය ඉල්ලා එහි පැමිනියේද සක් දෙවිදුය. ඔරුවේ පාවී ආ අඹයෙන් උපන් පත්තිනි දේවී අඹ පත්තිනි ඔරුමාල පත්තිනි නමින් හදුන්වයි.

එම පුවත අඹ විදමනෙහි කිවියෙන් ගායනා කරයි. පසුව ආතුර කැලට පත්තිනි දේවියන්ගේ ආශිර්වාදය ලබා දෙයි. ගරා වෙස් පෑම හැර වෙස්මුහුණු පැලද දෙවොල් මඩුවක නටන එකම නැටුම අඹ විදමන පමනකි.

අඹ විදමනෙහි ගයන කවි මෙසේය,

 

අරින සැරන් පොලු ගල්කැට වෙඩි සැර ආමුන        පෙරලා

කරන සටන් බැරිව සෙනග සිට ආයුධ අත            හැරලා

විදින වෙහෙස දැක දිවසින් සක් රජ කරුණා          කරලා

රැගෙන දුන්න සහ ඔලොගුව මහළු වෙසක් ගෙන     දරලා

 

පුරුක් නවය සන්දි නිසා දුන්න අදියි වර                නමන්ට

වරක විදල ඊය මෙසේ කිව් නිරිදුට උඩ                 බලන්ට

කලක් ලවතිනා අණ සක ගුවනේ කැරකී               තිබෙන්ට

උලක් ඇන්න සේ අඹ කිරි වැටුනේ පඩි නෙත          වැසෙන්ට

 

ජලෙනි දලෙනි සුරත් දමෙනි අඹෙහි                         උපන්නා

ගලෙහි කැලෙහි සඨවෙනි එක් වරක                         උපන්නා

එවැනි සමෙහි සත්වෙනි රන් අඹෙහි                         උපන්නා

මෙවැනි පතිනි කෙදිනි මෙලක් දිව                           බබලන්නා

 

නුරා සළඹ නද ගොපකර වැඩම                              කරනවා

නුරා ලමැද පියවොරු රන් දමෙන්                            වැසෙනවා

ගිරා තුඩුසෙ ගෝමර බදවට                                   දිලිසෙනවා

සරා ලාපු මල් අස්නට                                    වැඩමකරනවා

දෙවොල් නැටීම

දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩබැසීම තේමාව කරගෙන පවත්වන දෙවොල් නැටීම තවත් යාගාංගයකි. අලංකාර පහත රට නැටුම් අංගයක් වන මෙහි විශේෂ නැටුම් පද පන්තියක්ද ඇත. දෙවොල් පද හතකින් එය යුක්තය. එසේම එයට සකස් වූ වෙනම ඇදුම් කට්ටලයකි. ඉහට සේලයක්ද උඩු කයට විචිත්‍ර හැටිටයක්ද දෑත දෙපය වලලු, පාමිණි, පාදගම්, ගෙජ්ජි ආදියෙන් සැරසෙයි. හිසේද විශේෂ කිරුලකි. මෙයින් දෙවොල් හත්කට්ටුවේ විලාශය දක්වයි.

පත්තිනි හා දෙවොල් දෙවියන්ගේ අතීත තොරතුරු මෙහිදී ඉදිරිපත් කරයි. දෙවොල් නැටුමේදී එක් එක් නළුවා දේව නමස්කාරය කොට තනි තනිව නටා පසුව සමූහ වශයෙන් නටා නැටුම ටිකකට නවතා සංවාදයකට මුල පුරයි. දෙවොල් සත්කට්ටුවේ සීනි ගමින් ලංකාවට ගොඩ බැසීමේ සිද්ධිය නළුවන් ගෙනහැරපායී. නළුවන් ඉදිරියේ රෙදි කඩක් අල්ලා ඔවුන්ට යන්නට නොදෙයි. ඉන් පසු ගුරුන්නාන්සේ සහ නළුවන් අතර දෙබසකි. නළුවන් කථා කරන වචන එහෙන් මෙහෙන් කැඩුණු සිංහලය. වචන ඒ මේ අත පෙරලමින් කරන සංවාදය නරඹන්නන්ට විනොදාස්වාදය ගෙන දෙයි. කඩවත තරනය කිරීමට මුරකරුවන්ගෙන් නොයෙක් ලෙස අයදී. පසුව පත්තිනි ආදී දෙවිවරුන්ගේ නම අණ මුදුන්පත්කරගත්විට යෑමට ඉඩ දෙයි. අවසානයේ කඩවතින් ඉදිරියට ගොස් මිල්ල කපාගෙන ආ දැව වලින් ගැසූ මැලය සිසිල් කර පාගා ආතුර සෙත් පතා දෙවොල් නැටීම හමාරකරති.

එහි එන කවි කිහිපයක් මෙසේ වෙයි.

දෙවි සත් දෙනාගේ

උපතක් කියමි යාගේ

දුක් නිවන යාගේ

කියමි මේ කවි දෙවොල් බාගේ

අදිමින් රන් නිලා

 

බදිමින් සිරස නා ගුලා

ගෙන මුගුරු මන කලා

දෙවිදු වඩිනේ විමන් දැකලා

 

තොස් කර යහනේ පුද සරසනවා

සත් තිර තෙදබල ලොවට පෙනෙනවා

විස්තර තෙදබල ලොව පවතිනවා

දොස් හැර නාගුල සිරසෙ බදිනවා

දොලහ පෙලපාලිය

සාලිය යනු පෙලපාලියකි. මේවා දොලසක් ඇත. මේ තුලින් කරනු ලබන්නේ දෙලහ දෙවියන්ගේ නාමයට වස්තු දොලහක් ඔප්පු කිරීමයි. මෙය මුල්කරගෙන පාලි දොලහක් පැවැත්වීම මින් අදහස් කරයි.

දුම්මල, කහදිය කොතලය, මොට්ටැක්කිලිය, කුඩය, කොඩිය, සේසත, ඇතා, මීමා, දවුල, තම්මැටිටම, කොම්බුව, නලාව යන වස්තු දොලහ ශුභ මංගල වස්තු ලෙස හදුන්වයි. කපු මහතා දොලහ දෙවියන්ට කවි ගායනා කර දොලහ පෙලපාලිය ආරම්භ කරනු ලැබේ. මේ සදහා අනෙකුත් ඇදුරන්ගේ සහය නොඅඩුව ලැබේ.

මෙහිදී රග බිමක පසෙක පෙට්ටියේ ඇති පූජා භාන්ඩ හදුන්වා දීමේ සංවාදයක් උපයෝගී කර ගනී. මෙහිදී වෙනත් ශාන්තිකර්ම වල මෙන් සංවාද වලදී වචන උපහාස ස්වරූපයට පෙරලීම දක්නට ඇත. එසේම මෙම දෙළහ පෙලපාලියේ ඇතෙකු බැද දෙවියන්ට පූජා කිරීමත් මීමෙකු බැද දෙවියන්ට පූජා කිරීමත් විශේෂ ස්වරූපයක් දරයි.

නැකත් බලන් දොලසක් දෙවියන්          නමට

කොතෙක් පාලි කෙරුවත් නැත සිත       සතුට

මෙතෙක් කර දොළස දෙවියන්              රැකීමට

ඇතෙක් සොයාලා බැද දෙමි                  පඩුරකට

 

බලා පුත්තලම් මඩකලපුව         හිමයේ

බලා ඇවිද වැදි හත් කට්ටුව       හිමයේ

මුලා නොවී තුන් සිටිනා කල      හිමයේ

එදා බැද දුන්න දෙවිදුට              ඇතායේ

මරා ඉපැද්ද වීම

දෙවොල් මඩුවේ රග දක්වන පත්තිනි කථා පුවතේ එන පාළන කුමරු නමින් හැදින් වෙන කෝවාලණ් මරා දැමීමෙන් පසු පත්තිනි හෙවත් කණ්ණගී මේ ශෝචනීය සිද්ධියෙන් කම්පිත වී මහත්සේ විලාප නගා අවසානයේ සත්‍ය ක්‍රියා කොට ඒ මත සුවාමියා උපදවාගත් අයුරු මරා ඉපැද්දවීමෙන් නිරූපනය වෙයි.

මෙම සිද්ධිය රගපෑමට චරිත කිහිපයක් යොදා ගනී. පත්තිනි දේවිය, පාලන කුමරු, කාලි කෙල්ල, ශොපල්ලන් කුමාරවරු දෙදෙනා තොටියා වාදකයා යන චරිත මෙයට සම්බන්ද වෙයි.

කපු මහතා පත්තිනි දේවිය මෙන් සැරසෙයි. තෝවලණ් පාලන කුමරු ලෙස තවත් ශිල්පියෙක්ද තවත් ශිල්පියෙක් කාලි කෙල්ල ලෙසින්ද රග මඩලේ කෙලවරක ෙගාපල්ලන් ලෙස හැදගත් දෙදෙනෙක් සමග වෙස්මුහුනක් පැලද වදමල් දමක් කරේ පැලදි වදකයා සහ තොටියා වෙයි. මෙහි පරමාර්ථය පත්තිනි උපත කවියේ ඉදිරිපත් කිරීමේදී අභිරූපනයෙන් ඇතැම් සිදුවීම් දැක්වීමෙන් සහෘදයා කෙරෙහි වඩාත් තියුණු බැදීමක් යොමු කිරීමයි.

ගරා යකුම

දෙවොල් මඩුවේ අවසන් භාගයේදී පවත්වනු ලබන යාගංගය ගරා වෙස් පෑමයි. මෙයින් අපේක්ෂා කරනුයේ සකල විධ වස් දෝෂාන්ධකාරය දුරලීමයි. ආතුර පිරිසකට පැමිණ ඇති ඇස්වහ, කටවහ හෝවහ දෝෂ දුරු කිරීමට ගරාවෙස් පෑම සිදු කරයි.

රංග භූමිය තුල ගොරොක් අතු දෙකක් සිටුවා බුරුල්ල අතුවලින් ආවරණය කොට ගරා අයිලයක් සාදා ඇත.

ගරා යකාගේ උපත හා ස්වරූපය කියමින් කපු මහතාට කපු මහතා ගරා යකාට ආරාධනා කරයි. ගරා වෙස් මුහුණ පැලද උඩු කයට හා යටි කයට නියමිත ඇදුම් කට්ටලය ඇදගත් ඇදුරෙක් ගරා වෙස් ගෙන අයිලයට නගී. එහිදී කීල පා එම අයිලයේ ගොරොක් අතු තබාගෙන බිමට පනී. ඉන්පසු පැය භාගයක් හෝ ඊට වැඩි කාලයක් ගරා වෙස් පෑම සිදුකරයි. පසුව ගුරුන්නාන්සේ හා ගරා යකු අතර සංවාදයක් ඇරඹෙයි. ගරායකුගෙන් තම විස්තර විමසන ගුරුන්නාන්සේට දෙන පිළිතුරු හාස්‍යරසයෙන් යුත් පදවලින් යුක්තය. ගරා යකුට කැපකර දෙන පූජා වට්ටියේ ඇති කැවුම්, කෙසෙල් කරගල ආදී දේ අතටගෙන සංවාදය තවත් ඉදිරියට ගෙනයයි. අවසානයේ දොස් දුරුකර වෙස්පා ආවඩා ගරායකු නික්මෙයි.

කිරි ඉතිරිවීම

සැලි එකක් හෝ තුනක් ගෙන පොල් කිරි හෝ එළ කිරි කහද දමා ලිපතබා කිරි උතුරවා යහන්වලට ඉස ආතුරයින්ගේ හිසේද ගාති.

දෙවියන්ට පිං දීම

මඩු ශාන්තිකර්මයට වඩම්වන ලද දෙවිවරු මඩු ශාන්ති කර්මය අවසානයේදී නැවත විමන් වලට වඩම්මන්න ආරාධනාකිරීමයි. මෙහිදී දෙවියන්ට පිං දීම සිදු කරනු ලැබේ.

පිං බෙර වාදනය

දෙවියන්ට පිං දීමෙන් පසු මගුල් බෙර වාදනය සිදු කරනු ලබයි.

මෙම චාරිත්‍රයන් වර්තමානය වන විට වෙනස්ව පවතී. එසේ වනුයේ විවිධ නව පාරම්පරික ගුරුකුල පිහිටුවීම නිසාවෙනි.

(තොරතුරු ගුරුවරු , පොත්පත් හා අන්තර්ජාලය ඇසුරිනි. අඩුපාඩු ඇත්නම් සදහන් කරන්න)  

ප්‍රධාන මූලාශ්‍රයන්

දිසානායක මුදියන්සේ; සිංහල නර්තන කලාව;ඇස් ගොඩගේ සහ සහෝදරයෝ; කොළඹ; 1995 

පීරිස් ඥානසිරි;ශාන්තිකර්ම හා අභිචාර විධි; වාසනා ප්‍රකාශකයෝ; දංකොටුව; 2006

ඩබ්.ඒ.එම්.එස්.එන්.ජයවර්ධන

විශේෂවේදි ප්‍රථම වසර 

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


 

 

පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...