පහතරට නර්තන සම්ප්‍රදාය
ලංකාවේ පහතරට ප්‍රදේශ ලෙස සැලකෙන ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කළුතර, වැනි දකුණ හා නිරිතදිග මුහුදුබඩ ප්‍රදේශ පුරා ව්‍යාප්තව පවත්නා ඉතාමත් අලංකාර හා විවිධත්වයකින් යුතු නර්තන සම්ප්‍රදාය පහතරට නර්තන සම්ප්‍රදායයි. වෙස් මුහුණු භාවිත කරමින් ඉදිරිපත් කරන ශාන්තිකර්ම හා කෝළම් ජන නාටක විශේෂය මෙහිලා විශේෂයෙන් සදහන් කල යුතුය. පහතරට නර්තන සම්ප්‍රදායේ පවත්නා ශාන්තිකර්ම ප්‍රධාන කොටස් තුනක් යටතේ විග්‍රහ කල හැකිය.
- දෙවියන් උදෙසා පවත්වන ශාන්තිකර්ම
- යකුන් උදෙසා පවත්වන ශාන්තිකර්ම
- ග්‍රහයන් උදෙසා පවත්වන ශාන්තිකර්ම
පහතරට නර්තන සම්ප්‍රදායේ භාවිත බෙරය පහතරට බෙරයයි. එහි ඇති දිග් හැඩය නිසා දිග් බෙරය ලෙසද, ඝෝෂාකාරී හඩ නිසා ඝෝශක බෙරය ලෙසද, යක් තොවිල් සදහා භාවිත කරන නිසා යක් බෙරය ලෙසද, රුහුණු රටට අනන්‍ය වූ සාම්ප්‍රදායික බෙරය වන නිසා රුහුණු බෙරය ලෙසද, දෙවොල් මඩු ශාන්තිකර්මය ප්‍රධාන වන නිසා දෙවොල් බෙරය ලෙසද, ආදී කොට නම් කිහිපයකින්ම මෙම බෙරය ව්‍යවහාරයේ පවතී. පහතරට බෙරය බොකු සම් භාවිතයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
පහතරට නර්තන සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව පවත්නා ප්‍රදේශ අනුව තවත් රංග ශෛලීන් තුනකට විග්‍රහ කල හැකිය.
1. මාතර රංග ශෛලිය
හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලද, ගාල්ල දිස්ත්‍රික්කයේ අඩක් පුරාද මාතර ශෛලිය ප්‍රචලිතව ඇත.ආධුනිකයෙකුට පහසුවෙන් ග්‍රහණය කල හැකි හස්ත චලන රටාවක් මෙහිදී දක්නට නොලැබේ. මාතර සම්ප්‍රදායේ දී උඩුකය නිරාවරණය නොකරයි. එහි ශාන්තිකර්මයන් හැන්දෑ යාමය, මධ්‍යම යාමය, අලුයම් යාමය යනුවෙන් කොටස් තුනකට වෙන් කර ඇත. මෙකී සම්ප්‍රදායේ යහන් සැකසීමේදී සූනියම් දෙවියන්ට වෙනම යහනක් සකසා ආරාධනා කරනු ලැබේ.
2. බෙන්තර රංග ශෛලිය
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොටසකත් කළුතර දිස්ත්‍රික්කයත් ව්‍යාප්තව පවත්නා රංග ශෛලියයි.බෙන්නර කේන්ද්‍ර කර ගනිමින් මෙම ශෛලිය පැතිරී ඇති නිසා බෙන්තර රංග ශෛලිය ලෙස හදුන්වයි. මෙකී ශෛලිය තුල වුව ද යම් යම් ගුරුකුලවල වෙනස්කම් දැකිය හැකි මුත් බෙන්තරට ආවේණික වූ රංග සැලැස්මක් ඇති බැවින් එකී අනන්‍යතාව පැහැදිලිව දක්නට ලැබේ.ආධුනිකයෙකුට පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි හස්ත හා පාද චලනවලින් පරිපූර්ණ බෙන්තර සම්ප්‍රදාය ඒ හේතුව කරණ කොට ගෙන පාසැල් පද්ධතියට නිරායාසයෙන්ම සම්බන්ධ වී ඇත. බෙන්තර සම්ප්‍රදායේ දී උඩුකය නිරාවරණය කරයි.එමෙන්ම පිදේනි තටු එකක් පමණක් තබනු ලබයි.
3. රයිගම් කෝරළ රංග ශෛලිය
රයිගම් කෝරළය, සල්පිටි කෝරළය, හේවාගම් කෝරළය, සියනෑ කෝරළය යන ප්‍රදේශ පුරා මෙම රංග ශෛලිය ව්‍යාප්තව ඇත. මෙකී ප්‍රදේශ පුරා වැඩි වශයෙන් ව්‍යාප්තව ඇත්තේ දෙවොල් මඩු ශාන්තිකර්මයයි. එහෙයින් දෙවොල් මඩු රංග ශෛලිය යැයි ඇතැමුන් හදුන්වයි. සන්නියකුම වැනි තොවිල් ද මෙම ප්‍රදේශ තුළ දකනට ලැබුණද දෙවොල්මඩුවලට තරම් සැලකිල්ලක් නොලැබේ.
දේව තොවිල්
ස්වභාවික දෙවිවරු - ඉරු, මිහිකත්
දේශීය සම්භවයක් ඇති දෙවිවරු - සමන් දෙවියන්
විදේශීය සම්භවයක් ඇති දෙවිවරු - පත්තිනි දෙවියන්, කතරගම දෙවියන්
ප්‍රධාන විශ්ණු, දැඩිමුණ්ඩ, දෙවොල්, වාහල වැනි දේව මණ්ඩලයක් දෙවියන් වෙනුවෙන් සිදුකරන ශාන්තිකර්මවලදී පුද ලබයි.
යක් තොවිල්
කළු යකා, රීරි යකා, මහසොහොන් යකා, සූනියම් යකා පුර පක්ෂයේ දී දෙවියන් ලෙසත් අව පක්ෂයේ දී යක්ෂයින් ලෙසත් පුද ලබයි. එමෙන්ම වද බිසව් (රිද්දි යාගයේදී), කළු කුමාර යකා, අභිමාන යකා, තොට යකා ,ගොපලු යකා,සන්නි යකුන් වැනි තවත් බොහෝ යක්ෂ මණ්ඩලයක්, යකුන් වෙනුවෙන් පවත්වන ශාන්තිකර්මවලදී පුද ලබයි. එම ශාන්තිකර්ම හඳුන්වද්දී එකී යක්ඛ නාමයට ඉදිරියෙන් යකුම/සමයම/යාගය යන වචන යොදයි.
(උදා:- ගොපලු සමයම, රිද්දි යාගය, සන්නි යකුම)
පහතරට නර්තන සම්ප්‍රදායට අයත් වන්නම් හඳුන්වන්නේ "සින්දු වන්නම්" නම් වූ විශේෂ නාමයකිනි. සින්දු වන්නම් 32කි.ආරම්භයේදී ගායනය උදෙසා භාවිත වූ බව පෙනෙන අතර පසු කාලයේදී බෙර පද, මාත්‍රා, නර්තන විධි සම්මිශ්‍රකර නර්තන අංගයක් ලෙස සකස් කර ගත් බව පෙනේ. මෙම සින්දු වන්නම්වල විශේෂත්වය වන්නේ එක් එන් සින්දු වන්නම් සදහා වෘත්තයක් හා තාලයක් තිබීමයි. හැම සින්දු වන්නමක් ම අනුපිළිවෙළට ගත් කල එකිනෙකට සම්බන්ධ බව පෙනේ. සෑම සින්දු වන්නමකම කවියේ අග පාදයේ අග වචනය හෝ පද කීපයක් ඊළග සින්දු වන්නම් මුල්පදයේ ආරම්භයට සම්බන්ධය. සින්දු වන්නම් බ්‍රහ්ම, විශ්ණු, මහේෂ්වර යන ත්‍රී මූර්තියට සම්බන්ධ බව පෙනේ. එයිනුත් විශේෂයෙන්ම විෂ්ණු දෙවියන් හා බොහෝ සබඳතා පෙන්වන සින්දු වන්නම් රාශියක් ඇත.