Sunday, September 27, 2020

ශාන්තිය තුලින් ලද මානසික , කායික සුවය ලුහුඩින්...........

''ශාන්ති" යන පදයෙන් සෙතක්, ''කර්ම'' යන පදයෙන් ක්‍රියාවක් හැගවෙන හෙයින් ශාන්තිකර්ම වනාහි සෙත සලසන ක්‍රියාවක් ලෙස අර්ථකථනය කල හැක. දේශීය ශාන්තිකර්ම විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විද්‍යාත්මක වේ. චාරිත්‍ර වාරිත්‍ර නර්තන ආදී සියල්ල තුල මෙම විද්‍යාත්මක බව කැටි කොට ඇත.

විද්‍යාඥයා වූ කලී නිගමන වලට එලබෙන්නේ භෞතිකමය නොහොත් ද්‍රව්‍යමය සංකල්ප මත පිහිටවමින්ය. ගැමියා නිගමන වලට එලබෙන්නේ අත්දැකීම් තුලින් ලත් ඥානයෙනි. චිකිත්සන වේදයෙන් පෙන්වා දෙන ආකාරයට මානසික රෝග මෙන්ම මනෝ මූලික කායික රෝගයන්ද මිනිසුන්ට වැලදේ. ආරෝග්‍ය ශාලා වලින් ප්‍රතිකාර ලබා ගන්නා ප්‍රමාණයෙන් 30% - 40% පමණ මනෝ මූලික කායික රෝගයන්ගෙන් පෙලෙන බව චිකිත්සන වේදීන්ගේ මතයයි. සිග්මන් ෆොයිඩ් වැනි මනෝ විශ්ලේෂණවාදීන් ඊට මානසික කැලඹිලි ඇති බව පෙන්වා දෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී ඉන්සියුලින් ප්‍රහාරය විමෝන විග්‍රහය ආදී ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන අතර දේශීය වශයෙන් ඊට කරන ප්‍රතිකර්ම ලෙස ප්‍රධානතම ප්‍රතිකාරය ශාන්තිකර්මයයි. මෙම ශාන්තිකර්ම සදහා මූලික වූයේ ගැමි ජනයාගේ අත්දැකීම් තුලින් ලැබූ පාරම්පරික ඥානයයි.  

 සුන්දර නිදහස් නිවහනකදී මානසික ආතතිය විමෝචනය කල හැකිය. හෘද රෝගීන්ට එවන් පරිසරයක වාසය කිරීමට වෛද්‍යවරයා අනුමත කරන්නේද එබැවිනි. ශාන්තිකර්ම භූමිය ස්වාභාවික අමුද්‍රව්‍යන්ගෙන් කලාත්මකව නිමවයි. පහත කවියෙන් එය සනාථ වේ.

 

තැඹිලි නවසි බෝදිලි තල් පොල් වලු

කදලි වලුත් ගෙන මාරුක් මල්    වලු

තැඹිලි වලුත් සුවදැල් රඔකැන්    වලු 

එකලි ලෙසට සැරසුවලු නව        වලු  

 

තැඹිලි, නවසි, දෝතලු, රඹකැන් ආදී සශ්‍රීකත්වය සංකේතවත් කරන වලු විශේෂයෙන් කොහොඹා කංකාරි ශාන්තිකර්ම භූමියේ එල්ලයි. කෙසෙ

ල් දලු, පිති, හබරල කොල, පිති ගොක්කොල ආදියෙන් කරන විශේෂ සැරසිලි සියලු ශාන්තිකර්ම භූමියන්හි දක්නට ලැබේ. අතර කැටයම්, මූර්ති, සිතුවම් ආදිය අතර වේ. අයිලය, යහන්, පිදේනි තටු, බලි රූප ඊට නිදසුන් වේ. ස්වාභාවික අමුද්‍රව්‍යන් කපා, ගොතා, වියා කරන කලාත්මක ලෙස වර්ණ ගලපා සකස් කරයි. වටතිර ඇද, උඩුවියන් බැද සරසා ඇත. නව කොළ අතු වලින් භූමිය සරසයි. ඒවායින් පන්දම්, විලක්කු ආලෝකය සුවද දුම් ආදියෙන් ආතුරයාගේ මනසට ලැබෙන්නේ සැහැල්ලුවකි සහනයකි.

මෙවන් පරිසරයන් තුලදී මානසික සුවයන් තවත් තීවූර කරමින් නැගෙන සන්න, සැහැලි, ශ්ලෝක, යාදිනි, කඩතුරා, මල් යහන් ගායනා, සිරස පාද කවි ආදියේ සුමුදුර නාදය ප්‍රබල මනෝ චිකිත්සාවන් සිදු කරයි. මේවා ඇසීමෙන් පහන් වන මනුෂ්‍ය මනස නිවී සැනසීමට පත් වේ. නිරෝගි මනසක් තුලින් රුධිර ධාතුව පවිත්‍ර වෙමින් කායිකවද සෙත සලසයි

අවසානයේ ''අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසියතුනක් අන්තරා දූරිං භූතයි. තීන්දුයි. නිවාරණයි. ආයුබෝවේවා.....'' ආදී වශයෙන් කෙරෙන ප්‍රකාශන ආතුර මනසෙහි නිශ්චිත වශයෙන් කිසියම් තොරතුරක් කා වැද්දීමට සමත් වේ.

ශාන්තිකර්ම භූමියේ විවිධ වර්ණ දක්නට ඇත. සැරසිලි වල දක්නට ලැබූ වර්ණ වලට අමතරව ශීල්පීන්ගේ වස්ත්‍රාභරණ, වෙස් මුහුණු ආදිය භාවයන් සමග ගනුදෙනු කල හැකි වන සේ වර්ණ ගන්වා ඇත. බොහෝ සෙයින් රතු, සුදු, කලු වැනි වර්ණ චාම් වශයෙන් දක්නට ඇත. මෙම වර්ණ සෘජු ලෙසම භාවයන් හා සම්බන්ධ වේ. ගැටබෙරය, දෙවොල් බෙරය ආදී භාණ්ඩයන්ගෙන් නැගෙන අවනද්ධ සංගීතය ප්‍රබල මනෝ චිකිත්සාවකි. දෙවොල් බෙරයේ ''ගුම්'' යන ශබ්දය මනුෂ්‍ය භාවයන් සමග ගණුදෙනු කල හැකිය.

ඉහත කී නිදර්ශකයන්ට අනුව ශාන්තිකර්ම භූමියේ මනෝ විද්‍යාත්මක අයුරින් ගොඩනැගුණි. සෑම ශාන්තිකර්මයකම අනුපිලිවෙලකට සැකසුනු චාරිත්‍ර වාරිත්‍ර වලින්ද බව වර්ධනය කරයි. පුරාවෘත්ත කතා ආදියෙන් මෙන්ම ශාන්තිකර්ම පැවැත්වීමේ අරමුණු දැන ගැනීමේන් පවා මනෝ චිකිත්සාවන් ඇති වේ. යාගය අවසානයේ තමාට පිහිටක් ලැබේ යැයි කරන අපේක්ෂා මනෝ විද්‍යාත්මකය. මෙය මෝහන ක්‍රියාවලියකි.

ශාන්තිකර්ම සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය සොයාගන්නේ අත් උදව්කරුවන් වෙහෙස මහන්සි වේ. පොල්මල්, පුවක්මල් කැපීම, ලී දඩු කපා අදාල ස්ථානය වෙත ගෙන යාම ඔවුන්ට පැවරුණ විශේෂ කාර්ය්‍ය වේ. මඩුව සැකසීමේදී යක්දෙස්සන් ඇතුළු අත් උදව්කරුවන්ගේ කැපවීම නිතැතින්ම ඇති වේ. යහන්, අයිල සැකසීමේදීද මඩුව සැකසීමේදීද ඊට සහභාගී වන්නන්ටද ලැබෙනුයේ ව්‍යායාමයකි. කායික සුවයකි.

ශාන්තිකර්ම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අතර ඖෂධීය ගුණයෙන් යුත් ද්‍රව්‍ය ඇත. නව කොල අතු වැනි ඖෂධීය ගුණ සහිත ද්‍රව්‍යයන්ට නිදසුනකි. නව කොළ අතු සොයා ගන්නා අයටත්, මඩු සරසන අයටත්, සැරසූ මඩුවෙහි සිටින අයටත් ඖෂධීය ගුණය ලැබේ. මෙයින්ද කායික නීරෝගී බව සලසා දෙයි.

 බොහෝමයක් ශාන්තිකර්ම තුල කහදිය, දුම්මල වැනි පවිත්‍රකාරක අමුද්‍රව්‍ය භාවිතා කරයි. ශාන්තිකර්ම තුල එන පද නැටීම් තුල කොතල පද නැටීමේදී කහ දිය ඉසියි. දුම්මල පදය නැටීමේදී දුමාරය මඩුව තුල විහිදුවයි. එයින් විෂබීජ නසන අතරම භූමිය පවිත්‍ර කොට ආතුරයින් නීරෝගී සම්පන්න කරයි. 

ශාන්තිකර්මයට එන ඇදුරෝ ආතුරයෝ පූර්ව පේ වීමක් සිදු කරයි. එමෙන් ශාන්තිකර්මයට ගන්නා සෑම ද්‍රව්‍යයක්ම පේ කරන ලද ඒවාය. ශාන්තිකර්මයට සහභාගී වන අය පිරිසිදු සුදු වස්ත්‍ර අදියි. මෙසේ පවිත්‍රතාවය රැක ගැනීම තුලින්ද කායික සුව සැලසේ.

 


ශාන්තිකර්මය තුලින් ලද මානසික හා කායික සුවය තුල එකී කලාව අදටත් විද්‍යාමාන වේ. ශාන්තියේ සුවය ලද ආතුරයෝ ශාන්තිකර්ම භූමියෙන් නික්ම යයි.  


පහතරට බෙරයේ වගතුග

සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම බෙරය පහතරට නොහොත් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂක ...